Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අභ්‍යවකාශයේ ලිංගික ව හැසිරීමේ දී ඇති වන අපහසුතා

පසුගිය දා ලොව ප්‍රකට නිල් චිත්‍රපට සමාගමක් වන ‘පෝන් හබ්’ සමාගම විසින් අපූර්ව ගණයේ නිල් චිත්‍රපටයක් රූගත කිරීමට සැලසුම් කළා. එනම්, අභ්‍යවකාශයේ සිද්ධීන් සිදුවන ආකාරයට එය රූගත කිරීමයි. මෙහි දී එහි සිදුවන සමහර ක්‍රියාකාරකම් අභ්‍යවකාශයේ ස්වභාවික තත්ත්ව යටතේ සිදුකෙරෙන බව පෙන්වන ආකාරයට තිරපිටපත ලියැ වී තිබෙනවා.

ඇත්තෙන්ම අභ්‍යවකාශයේ නිරුපද්‍රිත ව ලිංගික ක්‍රියාකාරකමක් සිදුකළ හැකි ද? එහි දී සිදුවන අපහසුතා මොනවාද? යන්න පිළිබඳ ව විද්‍යාත්මක පසුබිමකින් යුතු ව සොයාබැලීමට අපි අදහස් කළා.

අඩු ගුරුත්වය යටතේ පුරුෂ ලිංගය ප්‍රාණවත් කරගැනීමේ අපහසුතාවය

මිනිස් සිරුරෙහි පහළ කොටස්වල රුධිර සංසරණ ක්‍රියාවලිය සඳහා ගුරුත්වයේ ද යම් බලපෑමක් තිබෙනවා. අභ්‍යවකාශයේ දී පවතින්නේ ඉතා අඩු ගුරුත්වයක් බැවින් රුධිරය සිරුරේ පහළ කොටස්වලට වඩා හිස, පපුව වැනි පෙදෙස්වලට ඇදී යනවා. මේ හේතුවෙන් පුරුෂ ලිංගය ප්‍රාණවත් කරගැනීම සඳහා සරිලන රුධිර ප්‍රමාණයක් ශිෂ්ණය වෙත ගමන් කරවීම පෘථිවිය මත දී ට වඩා සාපේක්ෂ ව අපහසු වෙනවා.

විද්‍යාඥයින් පවසන අන්දමට ලිංගික ක්‍රියාවක් සිදුකිරීමට තරම් ශිෂ්ණය ප්‍රාණවත් කරගැනීමට පුරුෂයෙකුට අභ්‍යවකාශයේ දී ඉතා දැඩි වෙහෙසක් ගැනීමට සිදුවන මුත්, එය කළ නොහැකි ක්‍රියාවක් නොවේ.

YouTube

ස්ත්‍රී ලිංගය උද්දීපනය කිරීමේ අපහසුතාව

පුරුෂයෙකුට මෙන්ම ස්ත්‍රියකට ද අභ්‍යවකාශයේ දී ලිංගික ක්‍රියාවකට සරිලන ලෙස ‘උද්දීපනය’ වීම වඩා අපහසු වෙනවා. ස්ත්‍රියක ලිංගික උත්තේජනයට පත් වූ විට ඇයගේ භගමණිය ප්‍රාණවත් වීමට රුධිරය එයට හොඳින් ගමන් කළයුතු වන අතර, ස්වභාවික ව නිපදවෙන ස්නේහක තරල නිසි ලෙස යෝනිය පුරා පැතිරී යාමට ගුරුත්වය හොඳින් තිබිය යුතු යි. ගුරුත්වය අඩු අභ්‍යවකාශයේ දී මෙය නිසි ලෙස සිදුනොවන නිසා එහි දී ලිංගික ක්‍රියාවක නිරත වීම ස්ත්‍රියකට වඩා වේදනාකාරී අතෘප්තිකර එකක් වනු ඇති.

මීට අමතර ව ශරීරයෙන් නිපදවෙන ස්නේහක තරල යෝනියේ ඉහළ කොටස්වලට ඇදීයාම නිසා ඉතා අපහසු හා ජුගුප්සාජනක අත්දැකීමකට ස්ත්‍රිය හා පුරුෂයා යන දෙදෙනාට ම මුහුණදීමට සිදුවනු ඇති.

පුරුෂ හෝමෝනවල සිදුවන වෙනස්කම්

පුරුෂයෙකුගේ ලිංගික හැඟීම් උත්තේජනය කරන ප්‍රධානතම හෝමෝනය වන්නේ ටෙස්ටොස්ටෙරොන් හෝමෝනය යි. හොඳින් ලිංගික ක්‍රියාවක නිරත වීමට පුරුෂ ශරීරයක ටෙස්ටොස්ටෙරෝන් ප්‍රශස්ත මට්ටමක තිබිය යුතු යි. කෙසේ නමුත් විද්‍යාඥයින් පවසන්නේ අභ්‍යවකාශයේ දී පුරුෂයින්ගේ ටෙස්ටොස්ටෙරෝන් මට්ටම් පහළ වැටුණු බවට වාර්තා වෙන බව යි. නාසා ආයතනය ගගනගාමීන් ආධාරයෙන් මේ වාර්තා ලබාගෙන ඇති අතර, එය සිදුවන්නේ ඇයි දැ යි යන්න තවමත් අනාවරණය වී නැහැ. ගගනගාමීන් නැවත පෘථිවිය කරා පැමිණි විට ඔවුන්ගේ ටෙස්ටොස්ටෙරොන් මට්ටම නැවත සාමාන්‍ය තත්ත්වයට පත් වී තිබෙනවා. අඩු හෝමෝන ප්‍රමාණයක් සහිත ව ලිංගික ක්‍රි‍යාවක නිරත වීමේ දී පුරුෂයෙකු අපහසුතා රාශියකට මුහුණපානවා.

හෘදයේ ක්‍රියාකාරීත්වය හා විඩාව

NASA

අඩු ගුරුත්වයක් සහිත අභ්‍යවකාශයේ දී මිනිස් හෘදයකට සිරුර පුරා රුධිරය පොම්ප කිරීම සඳහා පෘථිවිය මත දී මෙන් වැඩි වෙහෙසක් ගැනීමට සිදුවන්නේ නැහැ. මේ නිසා කාලයත් සමග එය යම්කිසි ‘හැකිළීමකට’ භාජනය වෙනවා. මේ හේතුවෙන් යමෙකුගේ අත්පයවල මාංශපේශිවල ක්‍රියාකාරීත්වය දුර්වල වෙනවා. මේ හේතුවෙන් අභ්‍යවකාශයේ දී පුද්ගලයෙක් ‘උකටලී’ බවට පැමිණෙනවා.

මිනිසෙකු ලිංගික ක්‍රියාවලියක නිරතවීමේ දී ඔහුගේ හෝ ඇයගේ හදවත වේගයෙන් ගැහෙන්නට පටන්ගන්නා අතර, ආශ්වාස ප්‍රාශ්වාස කිරීම ද වේගවත් වෙනවා. හැකිළුණු හදවතක් හා දුර්වල වූ මාංශපේෂි සහිත ව මෙවැනි තත්ත්වයක් ළඟා කරගැනීම ඉතා අපහසු කර්තව්‍යයක් වෙනවා.

විකිරණවලට ලක්වීමේ හැකියාව

පෘථිවියේ දී මෙන් නොව අභ්‍යවකාශයේ දී යමෙකු ඉතා දැඩි ලෙස අහිතකර විකිරණවලට බඳුන් වීමේ සම්භාවිතාවක් තිබෙනවා. මේ හේතුවෙන් මිනිස් සෛලවල විකෘති ඇතිවීමේ දැඩි සම්භාවිතාවක් තිබෙනවා. යම්කිසි හෙයකින් අභ්‍යවකාශයේ ලිංගික ක්‍රියාවක් සිදුකර සාර්ථක ගැබ්ගැනීමක් සිදුකරගැනීමට යමෙකු සමත් වූවත්, බොහෝ ජානමය වශයෙන් විකෘති වූ දරුවෙකු ලැබීමේ වැඩි සම්භාවිතාවක් තිබෙනවා.

ew.com

අඩු ගුරුත්වය යටතේ කලල විකසනය සිදුවුවහොත් එහි විකසනය නියමාකාරයෙන් සිදුවන්නේ නැහැ. මේ හේතුවෙන් ප්‍රායෝගික ව අභ්‍යවකාශ තත්ත්ව යටතේ දී නිරෝගී කලල විකසනයක් සිදුවීමේ ඉඩක් ඇත්තේ නැහැ.

දහඩිය හා සබැඳි අපහසුතා

සාමාන්‍යයෙන් ලිංගික ක්‍රියාවක නිරතවීමේ දී මිනිස් සිරුර උණුසුම් වීම සිදුවන අතර දහඩිය විශාල වශයෙන් පිටවීම සිදුවනවා. පෘථිවිය මත දී ඒවා පහතට රූරා වැටීම හෝ වාෂ්ප වීම සිදුවූවත් අභ්‍යවකාශයේ දී එවැන්නක් සිදු නොවී සිරුර තදාසන්න ව පටලයක් සේ රැඳී තිබීම සිදුවෙනවා. මේ හේතුවෙන් ලිංගික ක්‍රියාව අරඹා කෙටි වේලාවකින් ම යමෙකු වටා පටලයක් සේ දහඩිය බැඳීමට පටන්ගන්නවා. මෙහි ප්‍රතිඵලය වෙන්නේ අනෙකාට මෙන්ම තමාටත් ලිංගික ක්‍රියාව ඉතා අප්‍රිය සහගත දෙයක් බවට පත්වීම යි.

asc-csa.gc.ca

බලය යෙදීමේ අපහසුතා

ලිංගික ක්‍රියාවක් සිදුකිරීමේ දී මිනිස් සිරුරු බලයන් යොදමින් ඉදිරිපසට පසුපසට තල්ලු වීම සිදුවෙනවා. මෙය ගුරුත්වය යටතේ හොඳින් සිදුකළ හැකි වුවත්, අඩු ගුරුත්වයක් යටතේ සිදුකිරීමේ දී ඝර්ෂණය හා සබැඳි ගැටලු ඇති වෙනවා. එමෙන්ම ක්‍රියකාරී ව ලිංගික ක්‍රියාවේ යෙදෙන පුරුෂයෙකු ඉදිරිපසට හා පසුපසට ගමන් කිරීමේ දී ඔහුට එරෙහිව ‘ඇතිල්ලුම් බලයක්’ ක්‍රියා නොකරන බැවින් අහ්‍යාවකාශයේ ලිංගික ක්‍රියාවලියක නිරතවීම බොහෝ කොට ම ‘සුළඟේ ඔහේ පැද්දීමක්’ වැනි යමක් වෙනවා. එමෙන්ම තෘප්තිමත්භාවය ඇති කීරීමට සරිලන වේගයකින් ලිංගික ක්‍රියාවේ නිරත වීමට නොහැකි වෙනවා. මේ නිසා එහි දී සාර්ථක ව ලිංගික ක්‍රියාකාරීත්වයක නිරත වීම ඉතා උගහට යි.

Polandeze

පසුවදන

ලොව බොහෝ නිල් චිත්‍රපට නිෂ්පාදක සමාගම් විවිධ ‘අපූර්ව’ ස්ථානවල ලිංගික ක්‍රියාකාරකම් සිදුකරන ආකාරය දක්වමින් චිත්‍රපට තනන්නට උත්සුක වෙනවා. මේ නවමුභාවය බොහෝ ප්‍රේක්ෂකයින්ට තෘප්තිමත්භාවයක් ළඟා කළ ද, බොහෝ කොට ම ඒ ඒ ස්ථානවල ඇත්තෙන්ම කිසිසේත්ම ප්‍රායෝගික ව ලිංගික ක්‍රියාවක නිරත විය නොහැකියි.

ගැඹුරු දිය යට දී, අයිස් මත වැනි විවිධාකර ‘අමුතු ස්ථාන’වල නිල් චිත්‍රපට තැනී තිබීම හෝ එසේ කරන්නට සැලසුම් කර තිබුණ ද ඒ බොහෝ ඒවා මොනයම් හෝ දෘශ්‍ය ප්‍රයෝග සහිත ව රූපගත කළ ඒවා වෙනවා. ඒ ඒ ස්ථානවලට අනන්‍ය වූ විශේෂිත තත්ත්වයන් පවතින අතර, ඒ ඒ කරුණු විවිධාකාරයෙන් ලිංගික ක්‍රියාවලට අහිතකර ලෙස බලපානවා.

කවරයේ පින්තූරය: huffpost.com

මූලාශ්‍රයයන්:

Buzzfeed.com

Needfindknow.com

Businessinsider.com

Health24.com

livescience.com

 

Related Articles