මියන්මාරයේ නිදහස් දිනය යෙදී ඇත්තේ ජනවාරි 4 වනදාටයි. 1948 ජනවාරි 4 වනදා බ්‍රිතාන්‍යයෙන් ඒ රට නිදහස ලැබු අතර ඒ කාළයේ එම රට හැඳින්වුනේ බුරුමය නමින්. මියන්මාරය ලෙස නම වෙනස් වුනේ 1989 දි.

පසුගිය දශක 7 කට ආසන්න කාළයේ මියන්මාරයේ තවත් බොහෝ වෙනස්කම් සිදු වුණා. මේ ලිපියෙන් අප බලාපොරොත්තු වෙන්නේ ඒ පිළිබඳ කෙටි විස්තරයක් ඔබ වෙත ගෙන එන්නටයි.

නිදහසට පෙර

බුරුමය 19 වන සියවස පුරාවට බ්‍රිතාන්‍ය පාලනයට කෙමෙන් කෙමෙන් නතු වී 1885 දී සම්පූර්ණයෙන් බ්‍රිතාන්‍ය යටත් ප්‍රදේශයක් බවට පත් වනවා. ඉන් පසුව දෙවන ලෝක යුධ කාළය වනතුරු එම ප්‍රදේශ පාලනය කරන්නේ බ්‍රිතාන්‍යයන් විසින්.

මියන්මාර් සිතියම (myanmarmap.facts.co)

දෙවන ලෝක යුධ සමයේ, 1942 දී, ජපන් හමුදාව බුරුමය අල්ලාගත්තා. වත්මන් බුරුමයේ ජාතියේ පියා සේ සැළකෙන අවුන්ග් සාන් ඇතුලු බුරුම නායකයින් පිරිසක් එකළ විශ්වාස කළේ ජපානය සමඟ කටයුතු කිරීමෙන් යටත් විජිත පාලනයෙන් නිදහස් විය හැකි බවයි. නමුත් පසු කාලීනව ඔවුන්ගෙන් ඇතමෙක් ජපනුන් අවිශ්වාස කරන්නට පටන් ගත්තා. 1945 දී අවුන්ග් සාන් ජපනුන්ට එරෙහිව සටන් කිරීමට පටන් ගත්තා.

දෙවන ලෝක යුද්ධය නිමවූ පසු ඔහු ෆැසිස්ට් විරෝධී මහජන ස්වාධීනතා ලීගය (Anti Fascist People’s Freedom League) නම් දේශපාලන ව්‍යාපාරයක් පිහිටුවාගත්තා. ඒ සමගම ඔහු රටේ ප්‍රධානම ජාතික නායකයා බවටත් පත් වුණා.

අවුන්ග් සාන් (thefamouspeople.com)

බුරුමයේ විශාල සුලුතර ජන කණ්ඩායම් සංඛ්‍යාවක් සිටිනවා. ඒ බොහෝ දෙනා ජීවත් වන්නේ මධ්‍යම බුරුමයෙන් ඈතට වන්නටයි. 1947 පෙබරවාරියේදී පැංග්ලොංග් ගිවිසුම (Panglong Agreement) නම් එකඟතාවකට අවුන්ග් සාන් සහ ප්‍රධාන සුලු ජන කොටස් කිහිපයක නායකයන් එළඹුණා. මේ අනුව ඔවුනට විශේෂ වරප්‍රසාද කිහිපයක් ලබා දෙමින් ඔවුන් අභිනවයෙන් නිදහස ප්‍රකාශ කරන්නට නියමිත වූ බුරුමයට ඒකරාශී කර ගනු ලැබුණා.

නමුත් ප්‍රතිවාදීන් විසින් 1947 ජූලි 19 වනදා අවුන්ග් සාන් ඝාතනය කෙරුණා. ඔහුගේ වයස ඒ වෙද්දී අවුරුදු 32 ක් පමණයි. 1948 ජනවාරි 4 වෙනිදා බුරුමය නිදහස ලැබුවත්, පැංග්ලොංග් ගිවිසුම ඒ ආකාරයෙන්ම ක්‍රියාවට නැගුණේ නැහැ.

බලාපොරොත්තු බිඳ වැටීම

සුලු කළකදී බුරුම කොමියුනිස්ට් පක්ෂය මෙන්ම සුළු ජන කොටස්වල විවිධ සන්නද්ධ කණ්ඩායම් රජයට එරෙහිව නැගී සිටියා. කැරෙන් ජාතිකයන් මෙසේ මුලින්ම නැගී සිටි පිරිසක්. ඔවුන් 1949 දී සිය අරගලය ඇරඹූ අතර මුල් සමයේදී බුරුමයේ සැළකිය යුතු ප්‍රදේශයක් ඔවුන් අතට පත්වුණා. නමුත් රජයේ හමුදා විසින් ඔවුන් පසුබස්වනු ලැබුණා.

නිදහසින් පසු රට පාලනය කළ අගමැති ඌ නු (U Nu) මධ්‍යස්ථ විදෙස් ප්‍රතිපත්තියක් ගෙන ගියා. එසේ වුනත් දිගටම රටේ මතුවූ අභ්‍යන්තර අස්ථාවරත්වය රටේ දියුණුවට බලපෑවා. මේ සියල්ල මධ්‍යයේ 1958 දි එරට හමුදා ප්‍රධානී ජෙනරාල් නේ වින් (Ne Win) රටේ බලය අල්ලාගත්තා.

නේ වින් (thefamouspeople.com)

නේ වින් පළමු අවස්ථාවේ වැඩි කල් රට පාලනය කළේ නැහැ. ඔහු 1960 දි මැතිවරණයක් පවත්වන්න කටයුතු කළා. එහිදී ඌ නු යළිත් රටේ අගමැති බවට පත් වුණා.

1962 මාර්තු 2 වනදා ජෙනරල් නේ වින් දෙවැනිවරටත් බලය අල්ලාගත්තා. මේ අවස්ථාවේ ඔහු කළක් යනතුරු බලය අත්හැරියේ නෑ. ඔහු “සමාජවාදය සඳහා බුරුම මාවත ” නම් වැඩසටහනක් හඳුන්වා දුන්නා. මෙම ක්‍රමවේදය ඔස්සේ සමාජවාදය කරා ගමන් කිරීම කෙසේ වෙතත් බුරුමය කෙමෙන් කෙමෙන් ලෝකයෙන් තනි වූ රටක් බවට පත් වුණා. රටේ ආර්ථිකයට මෙයින් විශේෂ යහපතක් නම් වුණේ නැහැ.

නේ වින් 1981 දී ජනාධිපති ධූරයෙන් ඉවත් වූ නමුත් පාලක බුරුම සමාජවාදී වැඩපිළිවෙල පක්ෂයේ නායකයා ලෙස සිටිමින් රටේ සැබෑ පාලකයා ලෙස කටයුතු කළා .

1988 වසරේ රටේ රාජ්‍ය විරෝධී පෙළපාලි මාලාවක් ඇතිවූ අතර එම කලබල අතර නේ වින් බලය අත හැරියා. එනමුත් කෙටි කළකින් බලය අල්ලාගත් ජෙනරාල් සවු මාවුන්ග් (Saw Maung) එම ජනතා නැගිටීම නිර්දය ලෙස මර්ධනය කළේ විශාල ප්‍රමාණයක් ඝාතනය කරමින්. මර්ධනයේ උච්චතම අවස්ථාව එළැඹියේ 1988 අගෝස්තු 8 වනදා. එහෙයින් එම විරෝධතා ව්‍යාපාරය 8888 ජනතා නැගිටීම ලෙස නම් කරනු ලැබ තිබෙනවා.

8888 ජනතා නැගිටීම (https://uscampaignforburma.files.wordpress.com)

1989 දී හමුදා රජය විසින් බුරුමයෙහි නම මියන්මාරය ලෙස වෙනස් කරනු ලැබුණ අතර රැන්ගූන් අගනුවර නාමය ද යැංගොන් ලෙස වෙනස් කෙරුණා. කෙසේ නමුත් මේ වන විට  රටට ජාත්‍යන්තරයෙන් විශාල බලපෑමක් එල්ල වෙමින් පැවතුණා. මේ අනුව 1990 දී මහ මැතිවරණයක් පැවැත්වීමට හමුදා පාලනය තීරණය කළා.

අවුන්ග් සාන් සූ කී

නූතන බුරුමයේ හෙවත් මියන්මාරයේ පියා ලෙස සැළකෙන අවුන්ග් සාන්ගේ දියණිය අවුන්ග් සාන් සූ කී ජීවත් වූයේ බ්‍රිතාන්‍යයේ. 1988 දී ඇය සිය රෝගී මව බැලීමට පැමිණි දිනවලම රජයට එරෙහි පෙළපාලි හටගනු ලැබුණා. ඇගේ පියාගේ නම ද හේතුවෙන් සූ කී එම ව්‍යාපාරය වෙත ඇදගනු ලැබුණ අතර 1990 දී ඇගේ නායකත්වය යටතේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාතික ලීගය (National League for Democracy) මියන්මාර මැතිවරණයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගත්තා. නමුත් පැවති හමුදා පාලනය එම ප්‍රතිඵල පිළිගත්තේ නැහැ. ඔවුන් මැතිවරණ ප්‍රතිඵල අවලංගු කර විපක්ෂ ක්‍රියාකාරීන් සිරගත කරන්නට කටයුතු කළා.

අවුන්ග් සාන් සූ කී (Reuters)

1992 දී ජෙනරල් තාන් ශ්වේ (Than Shwe) නව හමුදා නායකයා බවට පත් වුණා. ඔහු විසින් ඇතැම් දේශපාලන සිරකරුවන්ට නිදහස ලබා දුන්නා. නමුත් ප්‍රධාන වශයෙන් පාලනයෙහි වෙනස්කම් සිදු වූයේ නැහැ. ජාත්‍යන්තර ප්‍රජාවගෙන් බහුතර රටවල් ප්‍රමාණයක් මියන්මාරයට සහය පළ කළේත් නැහැ. මෙම සමය තුළ මියන්මාරය විදෙස් සබඳතා වර්ධනය කරගත් ප්‍රධානම රට චීනයයි. බටහිර රටවල් මියන්මාරයෙන් ඈත් වන විට චීනය එරටෙහි ආයෝජනය කිරීමට පැමිණියා.

ප්‍රතිසංස්කරණ

2006 දී මියන්මාර් අගනුවර අලුතින්ම ඉදි කළ නයි පි ඩාව් නගරය වෙත ගෙන යනු ලැබුණා. එකළ මෙය සැළකුණේ අනවශ්‍ය වියදමක් ලෙසයි. මේ අතර 2010 දී රටේ ජාතික ධජය සහ ජාතික ගීයද වෙනස් කෙරුණා.

2007 දී රජයට එරෙහිව තවත් විරෝධතා ව්‍යාපාරයක් හට ගත්තා. මෙහිදී පෙරමුණ ගනු ලැබූයේ බෞද්ධ භික්ෂූන් විසින්. මෙම ව්‍යාපාරයද මර්ධනය කරනු ලැබුණා. නමුත් ඇතැම් වාර්තා අනුව පැවසුණේ හමුදා පාලක ජුන්ටාව අතර යම් යම් මතභේද ඇතිවෙමින් පවතින බවයි.

මේ අතර 2008 අප්‍රේල් අවසානයේ නාර්ගීස් සුළි සුළඟ විසින් මියන්මාරයට දැවැන්ත ව්‍යසනයක් ගෙන ආවා. ජාත්‍යන්තර සහන සේවා සංවිධානවල අවධානය මියන්මාරය දෙසට යොමු වූ නමුත් එම සංවිධාන කියා සිටියේ රජයේ ප්‍රතිපත්ති හේතුවෙන් සහන කටයුතු සඳහා බාධා එල්ල වූ බවක්.

කෙසේ නමුත් වෙනස්වීම් සුලු වශයෙන් සිදු වෙමින් පැවතුණා. 2008 පෙබරවාරියේදී හමුදා ජුන්ටාව ප්‍රකාශ කළේ නව ව්‍යවස්ථාවක් පිළිබඳ ඡන්ද විමසීමක් පවත්වන බවයි. මේ අනුව මැයි මාසයේදී නව ව්‍යවස්ථාවක් සම්මත කරගනු ලැබුණා. 2010 දී නිදහස් මහ මැතිවරණයක් පවත්වන බව මියන්මාර් රජය කියා සිටියා.

ප්‍රතිසංස්කරණ සඳහා නායකත්වය දෙන ලද්දේ 2007 සිට මියන්මාර් අගමැති වූ ජෙනරල් තෙයින් සෙයින්. කෙසේ නමුත් මුලදී එම ප්‍රතිසංස්කරණ පිළිබඳ විශාල උනන්දුවක් විපක්ෂයට හෝ ජාත්‍යන්තර ප්‍රජාවට හෝ ඇති වූයේ නැහැ. ඔවුන් කියා සිටියේ මෙය තනිකරම හමුදා රජය විසින් කරනු ලබන ප්‍රෝඩාවක් බවයි. මේ හේතුවෙන් ප්‍රධාන විපක්ෂය වූ අවුන්ග් සාන් සූ කී ගේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාතික ලීගය 2010 පැවති මහ මැතිවරණයද වර්ජනය කළා. මේ අනුව හමුදාවේ ආධාර ලැබූ එක්සත් සහයෝගීතා සහ සංවර්ධන පක්ෂය එම මැතිවරණය ජය ගත්තා. මියන්මාර් හමුදා ආණ්ඩුව වෙනුවට සිවිල් පාලනයක් බිහි කළ බව එරට රජය කියා සිටියා. නමුත් බොහෝ දෙනා එය එතරම් තැකීමකට ලක් කළේ නැහැ.

නමුත් මියන්මාරයේ සැබෑ වෙනසක් සිදු වන බව වැටෙහුනේ 2011 සැප්තැම්බරයේදි. ඒ චීන ආධාර යටතේ ඉදිවෙමින් පැවතුණ මිට්සොනේ (Myitsone) වේල්ලේ ඉදි කිරීම් එකවරම නවතා දැමීමට එරට රජය තීරණය කිරීමත් සමගයි. එයිනුත් මියන්මාරයේ සිද්ධ වෙන වෙනස තේරුම් ගන්නට ඇතැමුන් සූදානම් වුණේ නැහැ. නමුත් තමුන්ට ජාත්‍යන්තර තලයේ හිටපු ප්‍රබලම මිත්‍රයා මේ විදියට අමනාප කරගන්නේ ඇයි කියන ප්‍රශ්නයක් බොහෝ අය තුළ මතු වුණා.

ටික දිනකට පසුව මියන්මාරය දේශපාලන සිරකරුවන් 200 කට නිදහස ලබා දුන්නා. ඒ වගේම 2011 වසර අවසන් වන්න පෙර එවකට ඇමරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් එම රටට සංචාරයක් සඳහා පැමිණියා.

මියන්මාරය ක්‍රම ක්‍රමයෙන් ප්‍රතිසංස්කරණ වේගවත් කළා. 2012 දී පාර්ලිමේන්තු ආසන 44 ක් වෙනුවෙන් පැවති අතුරු මැතිවරණවලට ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාතික ලීගය තරඟ වැදුණා. එම මැතිවරණ පැවතුණේ 2012 අප්‍රේල් 1 වනදා. එයින් ආසන 41 ක් ම එම පක්ෂය ජය ගත්තා. සූ කී ද මින් එක් ආසනයක් සඳහා තරඟ වැදී පාර්ලිමේන්තුවට තේරී පත් වුණා.

2012 නොවැ. 19 වනදා මියන්මාරයේදී එරට ජනපති තෙයින් සෙයින් සහ ජනාධිපති ඔබාමා හමු වුණා (whitehouse.gov)

2012 දී ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමාද මියන්මාරයේ සංචාරය කළා.

2015 දී පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාතික ව්‍යාපාරය ජයග්‍රහණය කළා. අවුන් ග් සාන් සූ කී විදේශිකයකු හා විවාහ වූ අයකු බැවින් ඇයට ජනාධිපති ධූරය දැරීමට නොහැකි වූ අතර ඇය වෙනුවෙන් ඇගේ පක්ෂයේ ටින් චෝ (Htin Kyaw) එම ධූරයට පත් කෙරුණා. කෙසේ නමුත් නව රජයේ ප්‍රධානියා කවරෙකුදැයි කිසිදු සැකයක් නැහැ.

සූ කී ඇතුලු නව මියන්මාර් රජයට මුහුණ දීමට අභියෝග රාශියක් වනවා. මින් වසර කිහිපයකට පෙර එවක රජය විසින් රටේ කැරළිකාර කණ්ඩායම් සමඟ ආරම්භ කළ සාම සාකච්ඡා ඉන් එකක්. එමෙන්ම හමුදාව සමඟ ගනුදෙනු කිරීමේදී ද රජයට සැළකිලිමත් වන්නට වනවා. ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තු ආසනවලින් හතරෙන් එකක් හමුදාවට හිමි ව තිබෙනවා.

මෑතක පටන් යළි මතුව ඇති රොහින්ග්‍යා මුස්ලිම්වරුන් පිළිබඳ ප්‍රශ්නය මියන්මාර් රජය මුහුණ දෙන තවත් අර්බුදයක්. ඒ පිළිබඳව වෙනම ලිපියකින් විස්තර කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

කවරයේ පින්තුරය: ශ්වේදගොන් දාගැබ, යැන් ගොන් (blog.juliehall.net)

මුලාශ්‍ර: A Short History of Burma (New Internationalist), Burma: a brief history (The New Statesman), Myanmar profile – Timeline (BBC)