Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලංකාවේ කුඹල් කර්මාන්තය ගැන දැනගනිමු

පසුගිය කාල සමය තුළ මෙරට දේශීය කර්මාන්ත නඟා සිටුවීම පිළිබඳව සමාජ කතිකාවතක් ඇතිව තිබුණා. 2020 මහා මැතිවරණයෙන් පසුව බලයට පත්වුණු ඇමති මණ්ඩලයට වේවැල්, පිත්තල, මැටි, ලී බඩු, සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන යන විෂයයන් සඳහා රාජ්‍ය අමාත්‍යවරයෙකු පත්කර තිබෙනවා. පත්වුණු රාජ්‍ය අමාත්‍යවරයා ගෙවුණු මාසයක පමණ කාලය තුළ මැටි කර්මාන්තය නඟා සිටුවීම වෙනුවෙන් පියවර ගන්නා ආකාරය දක්නට ලැබුණා. 

වසර දහස් ගණනක් තරම් ඈත අතීතයක සිට අප රට තුළ ක්‍රියාත්මක වුණු කුඹල් කර්මාන්තයට දිගු අතීතයක් තිබෙනවා. පසුගිය කාල සමයේ වෙළඳපලට පැමිණි විවිධ ආදේශක නිසා මැටි කර්මාන්තය කඩා වැටෙමින් තිබෙන ආකාරය දක්නට ලැබුණා. දැනට කුඹල් කර්මාන්තයේ නිරත වන පිරිසත් එය කරගෙන යන්නේ විවිධ ගැටළු මධ්‍යයේ යි. 

ලංකාවේ මැටි බඳුන් තැනීමේ ඉතිහාසය

ලංකාවේ විසූ ආදි මානවයන් දඩයම් යුගයෙන් පසුව ගෘහස්ත ගොවි යුගයකට සංක්‍රමණය වීමත් සමගම මැටි භාණ්ඩ සැකසීමට අවශ්‍ය පසුබිම නිර්මාණය වුණා. එකල ගංගා නිම්න ආශ්‍රිතව ජීවත් වුණු ජනයාට මැටි භාණ්ඩ තැනීම සඳහා අවශ්‍ය වුණු අමුද්‍රව්‍ය පහසුවෙන්ම සොයාගැනීමට හැකි වුණා. එදා මෙරට තුළ ජීවත් වුණු  මානවයන් මැටි බඳුන් භාවිතා කළ බවට විවිධ සාධක හමුව තිබෙන්නේ පුරාවිද්‍යා ස්ථාන ආශ්‍රිතව සිදුකළ කැණීම්වල දී යි. 

මෙරටින් හමුව තිබෙන පැරණිතම මැටි බඳුන් දොරවකකන්ද ප්‍රදේශයෙන් හමුවුණා. ඒවා වසර 5300ක් පමණ පැරණියැ යි විශ්වාස කරනවා. එසේම රංචාමඩම, හෝටන්තැන්න, ගල්පාය, වාරණ, පොතාන, හල්දුම්මුල්ල, ඉබ්බන්කටුව, සහ පොම්පරිප්පු ආදී ස්ථානවල සිදුකළ කැණීම්වල දී ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් වුණු මැටි බඳුන් සොයාගැනීමට හැකිවුණා. 

පැරණි මැටි බඳුනක් (Dinamina)

එලෙස ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට මෙරට සිදුවුණු මැටි බඳුන් නිෂ්පාදනය තවත් දියුණු තත්ත්වයට පත්වුණේ දෙවන පෑතිස් රජ සමයේ මෙහි පැමිණි කුඹල්කරුවන් නිසා යි. එදා මෙහි පැමිණි කුඹල්කරුවන් ලංකාවේ විවිධ ප්‍රදේශ ආශ්‍රිතව ජිවත්වෙමින් මැටි භාණ්ඩ සෑදීමේ කාර්යයෙහි නිරත වුණා. එම නිසා විවිධ යුගවලට අයත් වුණු එකිනෙකට වෙනස් මැටි බඳුන් කැණීම්වල දී හමුව තිබෙනවා. ලංකාවේ විවිධ ස්ථානවලින් හමුවුණු එම මැටි බඳුන් වර්ගීකරණය කළේ ශිරාන් දැරණියගල නම් ඉතිහාසඥයා යි. ඔහුගේ වර්ගීකරණයට අනුව මෙරටින් හමුවුණු මැටි බඳුන් වර්ග මෙසේ දැක්විය හැකියි. 

1) කාල වර්ණ මෙවලම් 

2) කාල රක්ත වර්ණ මෙවලම් 

3) රක්ත වර්ණ මෙවලම් 

4) සියුම් රතු බඳුන් 

5) රතු ආලේපිත බඳුන් 

6) ලා රතු තද අළු බඳුන් 

7) කහ වර්ණ ආලේපිත බඳුන් 

8) මෝස්තර සහිත බඳුන් 

9) දුඹුරු පැහැති බඳුන් 

වර්තමානයේ දී කුඹල් කර්මාන්තය සිදුවන ආකාරය 

අතීතයේ සිට මෙම කර්මාන්තයේ නිරත වුණු පරම්පරාවල උදවිය තවමත් විවිධ ප්‍රදේශ ආශ්‍රිතව ජීවත් වනවා. අදටත් ඔවුන් සිය ජීවිකාව ගෙනයන්නේ කුඹල් කර්මාන්තයේ නිරතවෙමින්. කෑගල්ල, මාතර, ගම්පහ, ගාල්ල වැනි දිස්ත්‍රික්ක ආශ්‍රිතව වැඩි වශයෙන් කුඹල් කර්මාන්තය සිදුවනවා. එවැනි ප්‍රදේශයකට ගිය විට මැටි භාණ්ඩවලින් පිරුණු වෙළඳසැල් බහුලව දක්නට ලැබෙනවා. එලෙස වෙළඳසැල් පවත්වාගෙන යන සමහර උදවිය ඔවුන් විසින් නිෂ්පාදනය කරන භාණ්ඩ විකිණීම සිදුකරන විට තවත් පිරිසක් මැටි භාණ්ඩ නිෂ්පාදනය කරන ස්ථානවලට ගොස් මිල දී ගන්නා භාණ්ඩ අලෙවි කිරීම සිදුකරනවා. 

මැටි භාණ්ඩ පිරුණු වෙළඳසැලක් (Youtube)

භාවිතා කරන මැටි වර්ග 

දේශීය කුඹල් කර්මාන්තයේ දී කෙයොලින් මැටි හා රතු මැටි යන වර්ග දෙක භාවිතා කරයි. ඒ අතුරින් කෙයොලින් මැටි, ජීර්ණය වුණු පෙල්ස්පාර් පොළවේ තැන්පත් වීම මඟින් සෑදෙනවා. සුදු පැහැති කෙයොලින් මැටි හැඳින්වීම සඳහා ප්‍රාථමික මැටි, ශේෂ මැටි සහ, කිරි මැටි ආදී නම් ද භාවිතා කරනවා. සාමාන්‍යයෙන් කෙයොලින් මැටි හැකිළීමේ ගුණයෙන් හා ඇළෙන සුළු බවින් වැඩි යි. එම නිසා ඒවායෙන් භාණ්ඩ තැනීමේ දී පෙල්ස්පාර්, සිලිකා වැලි, ක්වාට්ස් යන ඛණිජ වර්ග මැටි සමග  මිශ්‍ර කරනවා. 

කෙයොලින් මැටි වැසි ජලයත් සමග සේදී ගොස් ගංඟා දෙපස සහ වෙල් ආශ්‍රිතව තැන්පත් වනවා. එලෙස  තැන්පත් වන මැටි කාලයක් ගත වුණු පසුව ශාක හා සත්ත්ව රසායනික ද්‍රව්‍ය සමග සංයෝජනය වීමෙන් රතු මැටි බවට පත්වෙනවා. රතු මැටි හැඳින්වීම දියළු, ද්විතියික මැටි ආදී වෙනත් නම් භාවිතා කරනවා. කැළණි ගඟ සහ ගිං ගඟ ආශ්‍රිතවත්,  බංගදෙණිය, අනුරාධපුරය, කොච්චි කඩේ, අලුත්නුවර වැනි ප්‍රදේශවලත් රතු මැටි නිධි පිහිටා තිබෙනවා. රතු මැටි ස්වාභාවිකවම භාණ්ඩ තැනීමට සුදුසු වන ආකාරයට සැකසී ඇති හෙයින්, වෙනත් ඛනිජ වර්ග මිශ්‍ර කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. 

කුඹල් කර්මාන්තයේ දී යොදාගන්නා උපකරණ 

ඕනෑම කර්මාන්තයක් සිදුකිරීමේ දී එයටම ආවේණික වුණු උපකරණ කට්ටලයක් භාවිතා කරනවා. ඒ අනුව කුඹල් කර්මාන්තය සඳහා භාවිතා කරන උපකරණ කිහිපයක් තිබෙනවා. ඉන් සමහර උපකරණ අතීතයේ සිටම භාවිතා කළත් ඇතැම් උපකරණ පසුගිය දශක කිහිපය තුළ දී භාවිතයට පැමිණි ඒවා යි. පහත දක්වා ඇත්තේ මැටි භාණ්ඩ නිෂ්පාදනය කිරීම සඳහා භාවිතා කරන උපකරණ යි.

1) සකපෝරුව 

2) ජිගර් යන්ත්‍රය 

3) පග්මීල් යන්ත්‍රය 

4) බොල්මීල් යන්ත්‍රය 

5) පිල්ටර් යන්ත්‍රය 

6) ජොක්‍රෂරය 

මැටි භාණ්ඩ සෑදීමේ ක්‍රියාවලිය පිළිබඳව කෙටියෙන් 

මැටි භාණ්ඩ නිපදවීම සඳහා භාවිතා කරන්නේ සකපෝරුව නම් උපකරණය යි. අත් සකපෝරුවෙන් භාණ්ඩ සෑදීමේ දී එක් අයෙකු තෙත මැටි පිඬෙන් අවශ්‍ය භාණ්ඩයේ හැඩය සකස් කරන අතරේ තවත් කෙනෙකු සකපෝරුව කරකවනු ලබනවා. නමුත් පා සකපෝරුවෙන් භාණ්ඩ සාදන විට තනි පුද්ගලයෙකුට සකපෝරුව කරකවමින් භාණ්ඩය සෑදිය හැකියි. එසේ සකස් කරන භාණ්ඩ වියලෙන්නට තැබීමෙන් පසුව පෝරණුවකට දමා පුළුස්සා ගනියි. මැටි භාණ්ඩ පිළිස්සීම සඳහා පහත සඳහන් පෝරණු වර්ග භාවිතා කරනවා.

1) දර පෝරණුව 

2) දහයියා සහ ලී කුඩු පෝරණුව 

3) ගෑස් පෝරණුව 

4) විදුලි පෝරණුව 

5) දැවි තෙල් භාවිතයෙන් ක්‍රියා කරන පෝරණුව 

දර පෝරණුවක් (rabotayouth.ru)

පුළුස්සාගත් මැටි භාණ්ඩ අලංකාර කිරීම සඳහා කැටයම්, මුද්‍රා, සහ දියර චිත්‍ර යෙදීම යන ක්‍රම තුන භාවිතා කරනවා. එලෙස අලංකාර කරගැනීමෙන් පසුව මැටි භාණ්ඩයට හොඳ පෙනුමක් ලැබෙනවා. එසේම එහි වටිනාකම වැඩියි.

මැටි භාවිතයෙන් සාදන භාණ්ඩ 

මැටි භාවිතා කරමින් විවිධ වර්ගයේ භාණ්ඩ සාදනු කරනවා.

*ගෘහ උපකරණ- මුට්ටිය, කළය, වළඳ, ගුරුලේත්තුව, ලිප, නෑබිලිය

*ගොඩනැගිලි ද්‍රව්‍යය- උළු, ගඩොල්  

*කලාත්මක භාණ්ඩ- මල් පෝච්චි, අලංකරණ විසිතුරු නිර්මාණ, විවිධ සතුන්, කැට 

මැටිවලින් කළ විසිතුරු භාණ්ඩයක් (Time Out)

කුඹල් කර්මාන්තය කඩා වැටීමට හේතු 

පසුගිය කාල සමයේ දේශීය කුඹල් කර්මාන්තය බිඳ වැටීමට ප්‍රධානතම හේතුව වුණේ මැටි වෙනුවට ප්ලාස්ටික්, ඇළුමිනියම්, බ්ලොක්ගල්, ඇස්බැස්ටස්, ටකරන් වැනි ආදේශක වෙළඳපලට පැමිණීම යි. ඉන් සමහර භාණ්ඩ පහසුවෙන් භාවිතා කිරීමට හැකිවීමත්, මිල අඩුවීමත් නිසා මැටි භාණ්ඩවලට තිබුණු ඉල්ලුම ක්‍රමයෙන් අඩු වුණා. එසේම අමුද්‍රව්‍ය සොයාගැනීමට ඇති අපහසුතාවය ද මෙම වටිනා කර්මාන්තය කඩා වැටීමට හේතුවක් වී තිබෙනවා. 

ඇළුමිනියම් බඳුන් (change.org)

වර්තමානය වන විට අපේ රටේ කුඹල් කර්මාන්තය දියුණු කිරීම සඳහා සුදුසු වැඩපිළිවෙළක් සකස් වෙමින් තිබෙන ආකාරය දක්නට ලැබෙනවා. එය සාර්ථක වුණොත් මෙරට මැටි භාණ්ඩවලට ඉහළ වටිනාකමක් ලැබෙනු ඇති. එවිට මෙරට මැටි කර්මාන්තකරුවන්ගේ හෙට දවස යහපත් වනු ඇති බවට සැකයක් නැහැ.

කවරයේ ඡායාරූපය- මැටි භාණ්ඩ සකසන අවස්ථාවක් (Dorset Eye)

මූලාශ්‍රයයන්- archaeology.lk

Related Articles