Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Sustainability සිංහලෙන් 2 – CFL

CFL බල්බයක් මිලදී ගැනීමේදී තෝරාගැනීමට සාමාන්‍යයෙන් විවිධ නිෂ්පාදකයින්ගේ  විවිධ නිෂ්පාදන විවිධාකාර මිල ගණන්වලට  ඇති බව අප කවුරුත් දන්නා දෙයක්. ඉතින් සමහරවිට ඔබත් මේවා තියල තියෙන රාක්කෙ දිහා බලාගෙන කල්පනා කරලා ඇති මොකක්ද තෝරාගන්නේ කියල.

ඉතින්  CFL බල්බයක් තෝරාගැනීමට සැරසෙද්දී අපේ සිතට ප්‍රථමයෙන් නැගෙන ප්‍රශ්නයක් වන්නේ තිබෙන තෝරා ගැනීම් අතරින් ගෙවන මුදලට හොඳම වටිනාකමක් සහිත () තෝරා ගැනීම සිදු කරන්නේ කෙසේද යන්නයි.

මේ තේරීම හරියට කරන්නේ කොහොමද?

ලංකාවේදී මෙම මිලදී ගැනීම සිදු කරනවා නම් කල යුත්තේ සුනිත්‍ය බලශක්ති අධිකාරිය (Sustainable Energy Authority Sri  Lanka) මගින් සෑම CFL බල්බයක් සඳහා ලබාදී ඇති තරු ලකුණ සහිත ලේබලය පරික්ෂා කිරීමයි.

Save energy label – (සුනිත්‍ය බලශක්ති අධිකාරියෙන්)

මෙම තරු ශ්‍රේණිගත කිරීම 1 සිට 5 දක්වා වේ. තරු ගණන වැඩි වත්ම බල්බයේ කාර්යක්ෂමතාව වැඩි වේ – එනම් එකම වොටීයතාව ඇති බල්බ දෙකක් ගත් විට සමාන විදුලි පරිභෝජනයකින් තරු 5 බල්බයක් ලබා දෙන ආලෝකය ඒ හා සමාන වොටීයතාවක් ඇති තරු 3 බල්බයක් මගින් ලබා දෙන ආලෝකයට වඩා වැඩි වේ.

ඉතින් ඔබට අවශ්‍ය වොටීයතාවයෙන් යුක්ත (අවශ්‍ය ආලෝකය ප්‍රමාණයේ හැටියට) ඔබ අතේ ඇති මුදලට සරිලන වැඩිම තරු ගණනක් තිබෙන බල්බය තෝරාගන්න පුළුවන්.

හිතේ තියාගන්න ඕන අනෙක් කාරණය තමා මේ තරු ලකුණ දැකගන්නට නැති ශ්‍රේණිගත කිරිමකින් තොර බල්බ මිලදීගැනීමෙන් විදුලි බුබුලට ගෙවන ගාන වගේම මාසේ ගානේ විදුලි බිලෙනුත් ගානක් සාක්කුවට තට්ටුවෙන බව.

මෙහිදී විදුලි බුබුල සඳහා ලැබෙන වගකීම් කාලයත්, බල්බ් එක pin type ද screw type ද (ගෙදර තියෙන හෝල්ඩර් එකේ හැටියට)   යන්නත් ඔබේ පුද්ගලික කැමැත්ත පරිදි cool white (තද සුදු එළියෙන් යුක්ත) හෝ warm white (කහ එළියකින් යුක්තයි) කියන කාරණාත් සැලකිල්ලට ගන්න පුළුවන්.

CFL බල්බය කැඩී ගියහොත්?

ඕනෑම CFL බල්බයක් තුල රසදිය සුළු ප්‍රමාණයක් අඩංගුයි . බල්බය බිඳී ගිය විට මෙම රසදිය අවට වාතාශ්‍රයට මුසු වෙනවා බැවින් බිඳීමක් සිදුවූ විට එම කාමරයේ ඇති ජනෙල් දොරවල් මදකට හෝ විවෘත කිරීම වඩාත් සුදුසුයි.

බල්බයේ කුඩු එකතු කිරීමට පොඩි රෙදි කැබැල්ලක් භාවිතයත් ඒවා එකතු කොට කුඩා බෝතලයක් වැනි යමකට දමා ගැනීමත් වඩා සුදුසුයි. (කිසි විටකත් vacuum cleaner එකක් භාවිතා කොට කුඩු එකතු කිරීමෙන් වලකින්න). මෙම කොටස් පරිසරයට විසි නොකොට ප්‍රතිචක්‍රීකරණය කරන ආයතනයකයට ලබා දීමත් ඔබේ වගකීමක්.

අනෙක් වැදගත්ම කාරණය – මෙම කැඩුණු බල්බයක් පෑගීමෙන් ඔබ රසදිය විෂවීමකට ලක්විය හැකි බව හැමවිටම සිහි තබාගන්න. ඉතින් මේ බල්බයක් කැඩීගිය වෙලාවක ඒ අවට සිටින කුඩා දරුවන් හා සුරතල් සතුන් ආදිය  එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කරන්න.

රත් වූ කැඩුණු CFL බල්බයක් පෑගී රසදිය විෂ වූ පාදයක් (Source  – snopes )

පින්තූරේ පේන හැටියටම මේක ටිකක් බරපතලයි. ඒක හින්ද මේ අවදානම ගැන දැනගෙන ඉන්න එක හොඳයි.

CFL බල්බය දැවී ගිය විට?

පිලිස්සී ගිය CFL බල්බයක් කිසි විටෙකත් සාමාන්‍ය කසල සමග විසි කිරීම හෝ වැළලීම නුසුදුසුය. මෙහි ඇති රසදිය (mercury) සහ වෙනත් බැර ලෝහ පරිසරයටත්, මිනිසුන්ටත්,සතුන්ටත් ඉතාමත් විෂ සහිතය. මේ බැර ලෝහ බොහොමයක් අහාර දාමයකට ඇතුල් වුවහොත් ඉන් ඉවත් නොවේ. සරලව කියනවානම්  ශාකයක් හරහා ආහාර දාමයකට එක්ව මාළුවා හරහා අපේ ශරීරයට ඇවිත් අපි මැරෙනකම්ම අපේ ඇඟේ පවතිනවා.

රසදිය විෂ වෙලා තිබුණු මාළු අනුභවයෙන් ජපන්නුන්ට හැදුනු මිනමාටා රෝගය ගැන අහල තියෙනවාද?

ජපානේ එහෙම වුනාට ලංකාවේ එහෙම වෙන්නේ නැහැ කියල නම්  හිතන්න එපා.

එනිසා මේ  පිළිස්සෙන බල්බ කිහිපයක් එකතු කර ප්‍රතිචක්‍රීකරණය කරන ස්ථානයකට (බොහෝ සුපිරි වෙළඳසැල් මේවා ප්‍රතිචක්‍රීකරණය කිරීමට ආපසු ලබාගන්නවා) ලබාදීමෙන් පුරවැසියෙක් ලෙස ඔබෙන් පරිසරයට සහ අනාගත පරපුරට සිදුවිය යුතු යුතුකම ඉටු කරන්නටත් අමතක කරන්න එපා.

මේ ලිපිය කියවා ඔබත් වගකීමකින් වඩාත් කාර්යක්ෂම CFL බල්බ භාවිතා කොට, අඩු විදුලියක් භාවිතයෙන් පරිසරයට සහ රටට ඔබේ ඇති යුතුකම ඉටුකොට පරිසරයට විනාශයක් නොකර නිවැරදිව එය භාවිතයෙන් ඉවත් කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

කවරයේ පින්තුරය: Swalco

Related Articles