අදින් වසර මිලියන 300 කට පමණ පෙර වර්තමානයේ දී දැක ගැනීමට ලැබෙන මහද්වීප හත පෘථිවිය සතු වුණේ නැහැ. ඒ වෙනුවට පැවතුණේ ‘පැන්තලාස’ නමින් හඳුන්වන තනි සයුරකින් වට වූ ‘පැන්ජියාව’ නම් වූ සුවිසල් සුපිරි මහද්වීපයක්. භූ තැටි නිර්මාණය වීම පිළිබඳ නූතන න්‍යායට අනුව පැන්ජියා මහද්වීපය බිහි වී තිබෙන්නේ භූ තැටි කිහිපයකට කැඩුණු පෘථිවියේ පිටත පෘෂ්ඨය ලිස්සා ගොස් පෘථිවියේ ප්‍රාවරණය මත තැන්පත් වීම හේතුවෙන්.

වසර බිලියන 3.5 ක් පමණ වන පෘථිවි ඉතිහාසය තුළ දී මෙවැනි සුපිරි මහද්වීප කිහිපයක් ම නිර්මාණය වී කැඩී ගොස් තිබෙනවා. එයට හේතු වී ඇත්තේ පෘථිවියේ ප්‍රාවරණය නිරන්තයෙන් ම විසිරී යමින් සංසරණය වීම යි. භූ විද්‍යාඥයින් සඳහන් කරන අන්දමට මෙවැනි සිදුවීම් හේතුවෙන් පෘථිවියේ ඉතිහාසය විශ්මයජනක ලෙස වෙනස් වී ඇති අතර එය සෘජුව​ ම ජීවීන්ගේ පරිණාමය කෙරෙහි බලපෑම් කර තිබෙනවා.

© Science News

සුපිරි මහද්වීපයක් ගැන මතයක්

සියවසකට පමණ පෙර ‘පැන්ජියාව’ නම් වූ සුපිරි මහද්වීපයක් පැවති බවට ගැන මුල් වරට අදහසක් ඉදිරිපත් කරන ලද්දේ ජර්මානු ජාතික විද්‍යාඥයෙකු වූ ඇල්ෆ්‍රඩ් වේගනර් විසින්. සුපිරි මහද්වීපය ගැන මතය තහවුරු කිරීමේ සාක්ෂි වශයෙන් ඔහු කරුණු කිහිපයක් ම ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව වර්තමානයේ දී පවතින මහද්වීප අපහසුවකින් තොර ව පින්තූර ප්‍රහේලිකාවක් මෙන් එකට එක් කළ හැකි බව ඔහු පෙන්වා දුන්නා. එසේ ම පර්යේෂණ මගින් තහවුරු වී ඇත්තේ ලෝකයේ විවිධ රටවලින් ලබා ගන්නා ලද එක ම කාල පරිච්ඡේදයකට අයත් ගල් අඟුරු තැන්පතු සමාන සම්මිශ්‍රණයකින් යුතු බව යි. අතීතයේ දී සෑම මහද්වීපයක් ම තනි භූමි ප්‍රදේශයක් ව පැවති බව මෙයින් පැහැදිලි වෙනවා. එසේ ම ෆොසිල වාර්තා පෙන්වා දෙන්නේ මේ වන විට මිහිමතින් වඳ වී ගොස් ඇති පුරාණ පැළෑටි (විශේෂයෙන් ම මීවණ වර්ග), උතුරු ඇමෙරිකානු මහද්වීපයේ ඇපලේෂන් කඳුවැටිය සහ අප්‍රිකානු මහද්වීපයේ ඇට්ලස් කඳුවැටිය ආශ්‍රිත ප්‍රදේශවලින් හමු වීම අහඹු සිදුවීමක් නොවන බව යි.

(© Wikimedia Commons)
‘පැන්ජියාව’ කැඩී වෙන්වීම

‘පැන්ජියාව’ බිහි වුණේ වසර මිලියන ගණනාවක් තිස්සේ ක්‍රමයෙන් සිදු වූ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස යි. අදින් වසර මිලියන 480කට​ පමණ පෙර වත්මන් උතුරු ඇමෙරිකාවේ කොටස් ඇතුළත් වූ ලොරෝෂියාව නම් මහද්වීපය, තවත් කුඩා මහද්වීපය කිහිපයක් හා එක්වීමෙන් යූරමරිකා නම් මහද්වීපය නිර්මාණය වී තිබෙනවා. කලකට පසු ව එය ගොන්ඩ්වානා නම් වූ තවත් මහද්වීපයක් (වත්මන් අප්‍රිකාව, ඕස්ට්‍රේලියාව, දකුණු ඇමෙරිකාව සහ ඉන්දියානු අර්ධද්වීපය) හා එක් වීමේ ප්‍රතිඵලය වී ඇත්තේ ‘පැන්ජියාව’ නම් වූ සුපිරි මහද්වීපය බිහි වීම යි.

නමුත් වසර මිලියන 200 කට පෙර යළිත් වරක් සුපිරි මහද්වීපය, ගොන්ඩ්වානා සහ ලොරෝෂියාව ලෙස දෙකඩ වුණා. පසු ව ගොන්ඩ්වානා මහද්වීපය යළිත් කැඩී වෙන් වුණේ ඉන්දියාව නිර්මාණය කරමින්. ඉන් අනතුරු ව උතුරු ඇමෙරිකාව ලොරෝෂියාවෙන් වෙන් වී තිබෙනවා. වර්තමානයේ දී අපිට දැක ගැනීමට ලැබෙන මහද්වීප හත නිර්මාණය වුණේ මේ ආකාරයෙන්.

පැන්ජියාවේ ජීවය සහ දේශගුණය

© Sutori

‘පැන්ජියාව’ තනි මහද්වීපයක් වීම හේතුවෙන් එහි එකිනෙකට හාත්පසින් ම වෙනස් කාලගුණ රටාවන් රැසක් පවතින්නට ඇති බව යි භූ විද්‍යාඥයින්ගේ මතය වන්නේ. උදාහරණයක් ලෙස වර්ෂාවට සහ සුළඟට බාධක පැමිණ වූ සුවිසල් කඳුවැටිවලින් වට වූ මහද්වීපයේ අභ්‍යන්තර කොටස දැඩි වියළි බවකින් යුතු වුණා. එසේ ම ධ්‍රැවයන් සමන්විත වුණේ පෘථිවිය සතු ජලයෙන් වැඩි ප්‍රමාණයක් රඳවාගෙන සිටි අයිස් වැස්මකින්. නමුත් විශ්මයජනක කරුණ වන්නේ සමකය ආසන්නයේ පිහිටි භූමි ප්‍රදේශ ඇමසන් වනාන්තරයට සමාන සාරවත් නිවර්තන වැසි වනාන්තරයන්ගෙන් වැසී තිබීමයි. ෆොසිල සාක්ෂි පෙන්වා දෙන්නේ පැන්ජියාවේ ජීවය, සමකය ආසන්නයේ පැවති බව යි.

(© Wikimedia Commons)
Traversodontidae පවුලට අයත් උරගයින්

වසර මිලියන 100 ක පමණ කාලයක් පැවති ‘පැන්ජියා’ මහද්වීපය මත සත්ත්ව විශේෂ කිහිපයක් ද දැක ගැනීමට ලැබුණා. උදාහරණයක් ලෙස ශාක භක්ෂක සත්ත්ව පවුලක් වූ Traversodontidae (ශක්තිමත් සහ තද සමක් සහිත​ උරගයින්) හඳුන්වා දිය හැකි යි. වියළි දේශගුණික තත්ත්වයන් යටතේ වැඩුණු දැඩි ශාක වර්ග පහසුවෙන් ආහාරයට ගැනීමට හැකි වන ලෙස ඔවුන්ගේ හනු ශක්තිමත් ව පිහිටා තිබුණා.

ප්‍රිමියානු යුගයේ දී (අදින් වසර මිලියන 286 – 240 දක්වා කාල සීමාව) බත්කූරන් සහ කුරුමිණියන් වැනි කෘමීන් මිහිමත දැක ගැනීමට ලැබුණා. එසේ ම උරග විශේෂ රැසක් පෘථිවිය මත වාසය කළ අතර ඇතැම් උරගයින් යළිත් වරක් ජලයේ ජීවත්වීමට හැකි වන අයුරින් අනුවර්තනය වී තිබෙනවා.

(© BBC Nature)
තෙරොපොඩ් ඩයිනසෝරස්

නමුත් අවාසනාවන්ත ලෙස අදින් වසර මිලියන 252 කට පමණ පෙර ‘පැන්ජියාව’ අතිච්ඡාදනය (overlap) වුණේ ශාක සහ සත්ත්ව විශේෂ රාශියක් මිහිමතින් සදහට ම  තුරන් කරමින්. මෙය ‘ප්‍රිමියානු-ට්‍රියැසීය නෂ්ට ප්‍රාප්තිය’ නැතහොත් ‘මහා මිය යාම’ (the Great Dying) ලෙස හඳුන්වනවා. මේ කාලයේ දී ‘පැන්ජියාව’ පුරා අධික උෂ්ණත්වයක් ද පැතිර ගොස් තිබෙනවා. කෙසේ හෝ මෙම අවාසනාවන්ත සිදුවීමෙන් පසු ව යළිත් වරක් පෘථිවිය මත ජීවිය ඇති වීම ආරම්භ වී ඇති අතර ආකසෝරස් නම් උරග විශේෂ පෘථිවිය මත දැක ගැනීමට ලැබුණා. පසු කාලීන ව කිඹුලන් සහ කුරුල්ල බිහි වී ඇත්තේ ආකසෝරස් පරිමාණය වීමෙන් බව යි සඳහන් වන්නේ. එසේ ම තෙරොපොඩ් වැනි මුල් කාලීන ඩයිනසෝරස් සත්ත්වයින් බිහි වී ඇත්තේ ද ‘පැන්ජියා’ මහද්වීපය මත යි1.

මූලාශ්‍ර :

1 මහ පොළොවේ කතන්දරේ (මංජුල දිසානායක)

Cover: © Ancient Realms