Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

තවමත් සුරක්ෂිත, ලොව ප්‍රකට පුද්ගලයන්ගේ ශරීර කොටස්

කලකට පෙර ලොව විසූ සමහර ප්‍රකට පුද්ගලයන්ගේ ශරීර කොටස් අදටත් සුරක්ෂිතව කල්තබා ගෙන තිබෙනවා. ඉන් සමහරක් එසේ සුරක්ෂිත කර ඇත්තේ ඔවුන්ගේ ප්‍රකටභාවය රඳා පවතින්නේම ඒ අවයව මත නිසා බවයි විචාරකයන් පවසන්නේ. අනෙක්වා ඔවුන් හුදෙක් ප්‍රසිද්ධ පුද්ගලයින් වූ නිසාම සුරක්ෂිත කළ ශරීර කොටස් වෙනවා.

බෙනීටෝ මුසෝලිනි ගේ මොළයේ කොටස්

magnoliabox.com

බෙනීටෝ මුසෝලිනී දෙවන ලෝක යුධ දාමයේ ඉතාලියේ විසූ ඒකාධිපති පාලකයෙක්. දක්ෂ මොළකාරයෙකු වූ මොහුව 1945 වර්ෂයේ දී වෙඩි තබා ඝාතනය කරනු ලැබුවා. ඔහුගේ මරණ පරීක්ෂණය සිදු කරනු ලැබුවේ ඉතාලියේ මිලාන් නගරයේ යි. මිලාන්හි අධිකරණ වෛද්‍ය ආයතනයේ දී මරණ පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව ඇමෙරිකානු රජය විසින් අධ්‍යයන කටයුතු සඳහා ඔහුගේ මොළයේ කොටසක් රැගෙන ගොස් තිබුණා. ඒ අනුව වසර ගණනාවක්ම ඇමෙරිකාවේ සුරක්ෂිත කර තිබූ එය 2007 වර්ෂයේ දී මුසෝලිනීගේ බිරිඳ වෙත භාර දී තිබෙන බවයි වාර්තා වන්නේ.

ගැලීලියෝ ගැලීලිගේ මැද ඇඟිල්ල

thoughtco.com

ගැලීලියෝ ගැලීලි ලොව ප්‍රකට ගණිතඥයෙක් මෙන්ම තාරකා විද්‍යාඥයෙක්. ඔහු මිත්‍යා ලබ්ධිකයෙකු ලෙසින් කතෝලික පල්ලියේ අපවාදයට ලක්ව සිටි අයෙක්. ඒ නිසාම 1642 වර්ෂයේ දී ඔහුගේ මරණයෙන් අනතුරුව දේහය මිහිදන් කර ඇත්තේ ද ඉතාලියේ ෆ්ලොරන්ස් නගරයේ ඩි සැන්ටා ක්‍රොස් බැසිලියාවේ කුඩා කුටියක් තුළ යි. නමුත් එම සිදුවීමෙන් වසර 95කට පසු, 1737 වර්ෂයේ දී නැවතත් ඔහුගේ දේහය ගොඩට ගෙන බැසිලියාවේ ප්‍රධාන කුටියේ තැන්පත් කෙරුණු අතර ඔහු වෙනුවෙන් පිළිරුවක් ද ඉදි කරනු ලැබුවා.

ඒ කෙසේ වුවත් මෙහිදී සිදු වුණු විශේෂම කාර්යයක් වන්නේ, ගැලීලියෝ ගැලීලිගේ දතක් සහ ඇඟිලි 3ක් සිරුරින් ඉවත් කිරීම යි. ඒ අතරින් ඔහුගේ දකුණු අතේ මැද ‍ඇඟිල්ල ලොව පුරා බොහෝ ස්ථාන වල සුරක්ෂිතව තබා, වර්තමානය වන විට නැවතත් ඉතාලිය වෙතම රැගෙන ඇවිත් තිබෙනවා. මේ වන විට එය ෆ්ලොරන්ස් ඉතිහාස විද්‍යා කෞතුකාගාරයේ ස්ථිර ප්‍රදර්ශනය සඳහා තැන්පත් කර තිබෙණු දක්නට හැකියි.

චේ ගෙවාරා ගේ කෙස් රොද

en.wikipedia.com

චේ ගෙවාරා ලොව සුප්‍රකට විප්ලවවාදියෙක්. 1967 වර්ෂයේ දී මොහුව බොලිවියානු හමුදාව මඟින් ඝාතනය කරනු ලැබුවා. කෙසේ වෙතත් ඔහුගේ ඝාතනයෙන් පසු ක්‍රියාත්මක වුණු CIA සංවිධානය ඉතා රහසින් ඔහුගේ කෙස් රොදක් කපාගෙන තිබෙනවා. මේ කෙස් රොද අඟල් 3ක් පමණ දිගින් යුක්ත යි. පසුව මේ කෙස් රොද ඔහුගේ මළ සිරුරේ ඡායාරූපයක් සහ ඔහුගේ ඇඟිලි සලකුණු වල පිටපතක් ද සමග වෙන්දේසියේ අලෙවි කොට තිබෙන බවයි පැවසෙන්නේ. චේ ගෙවාරා ගේ මේ කෙස් රොද මිළ දී ගෙන ඇත්තේ බිල් බද්ලර් නම් වූ පොත් ව්‍යාපාරිකයෙක් විසිනුයි.

ඇල්බට් අයින්ස්ටයින් ගේ මොළය

මහා විද්‍යාඥයෙකු වන ඇල්බට් අයින්ස්ටයින් මිය යන්නේ 1955 වර්ෂයේ දී යි. ඔහුගේ මරණයෙන් පැය කිහිපයක් ගත වීමටත් පෙර ඔහුගේ සිරුරෙන් මොළය ඉවත් කෙරුණා. ඒ මහා ප්‍රාඥයෙකු වූ අයින්ස්ටයින්ගේ බුද්ධිය පිළිබඳ පරීක්ෂණ කටයුතු සිදු කිරීම උදෙසා යි.

පරීක්ෂණ කටයුතු අවසන් වීමෙන් අනතුරුව ඇල්බට් අයින්ස්ටයින්ගේ මොළය අස්ථානගත වූ බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. නමුත් පසු කලෙක, එනම් 1978 වර්ෂයේ දී, එය වෛද්‍ය තෝමස් ස්ටෝල්ට්ස් හාවී සන්තකයේ තිබී සොයාගනු ලැබුවා. වෛද්‍ය තෝමස් ස්ටෝල්ට්ස් හාවී යනු අන් කවරෙකුවත් නොව, අයින්ස්ටයින්ගේ මොළය සිරුරින් ඉවත් කළ වෛද්‍යවරයා යි. ඒ අනුව 2010 වර්ෂයේ දී අයින්ස්ටයින්ගේ මොළය සෞඛ්‍ය හා ඖෂධ පිළිබඳ ඇමෙරිකානු ජාතික කෞතුකාගාරය වෙත පරිත්‍යාග කර තිබෙනවා.

අයින්ස්ටයින්ගේ ඇස් දෙක ද ඔහුගේ මරණයෙන් අනතුරුව සිරුරින් ඉවත් කෙරුණු අතර එය අදටත් නිව්යෝර්ක් නගරයේ සේප්පුවක් තුළ සුරක්ෂිත කර තිබෙනවා.

තෝමස් අල්වා එඩිසන්ගේ අවසන් හුස්ම  

biographycity.com

ලොවට නව නිපැයුම් කිහිපයක්ම සොයාදුන් තෝමස් අල්වා එඩිසන් ගේ සිරුරින් කිසිදු අවයවයක් මේ වන තෙක් සුරක්ෂිත කර නැහැ. නමුත් මෙහි විශේෂතම කාරණය වන්නේ ඔහුගේ අවසන් හුස්ම යැයි සැලකෙන දෙය පරීක්ෂණ නළයකට එකතු කරගෙන තිබීම යි.

මෝටර් රථය ලොවට ඉදිරිපත් කිරීමේ දී මහත් විප්ලවයක් කළ හෙන්රි ෆෝඩ් සහ තෝමස් අල්වා එඩිසන් හොඳ මිතුරන්. මේ නිසයි තෝමස් අල්වා එඩිසන්ගේ අවසන් කාලයේ ඔහු සමග ජීවත් වීමේ අරමුණෙන් හෙන්රි ෆෝඩ්, එඩිසන්ගේ නිවස අසලින්ම නිවසක් මිල දී ගෙන තිබුණේ. කෙසේ හෝ 1947 වර්ෂයේ ෆෝඩ් මිය යන විටත් එඩිසන් මියගොස්. ෆෝඩ් ගේ මරණයෙන් පසුව ඔහුගේ භාණ්ඩ විමසීමේ දී, ඒ අතර එඩිසන්ගේ අවසන් හුස්ම අඩංගු බව කියන පරීක්ෂණ නලය ද තිබී තිබුණා. වාර්තා පවසන අන්දමට එඩිසන් ගේ අවසන් හුස්ම මේ අයුරින් පරීක්ෂණ නළයකට එක්රැස් කරගෙන ඇත්තේ ෆෝඩ් ගේ ඉල්ලිමකට අනුව ඔහුගේ පුත්‍රයා වූ චාල්ස් විසින්.

ඒබ්‍රහම් ලින්කන්ගේ හිස් කබල

en.wikipedia.com

ඒබ්‍රහම් ලින්කන් ඇමෙරිකාවේ 16 වන ජනාධිපතිවරයා යි. ඔහු ජෝන් විල්ක්ස් බූත් නම් සාහසිකයෙක් අතින් ඝාතනය වන්නේ 1865 වර්ෂයේ අප්‍රේල් 14 වන දා යි. ඔහුගේ ජීවිතය රැකගැනීම ‍සඳහා සිදු කරන ලද සැත්කමක දී ඔහුගේ හිස් කබලේ කොටසක් වෙඩි උණ්ඩය ද සමග සිරුරින් ඉවත් කරනු ලැබුවා. කෙසේ නමුත් සැත්කම අසාර්ථක වන අතර ලින්කන් මියයනවා. ඉන්පසු ඒ වෙඩි උණ්ඩය ද සමගින් වූ හිස් කබල සෞඛ්‍ය හා ඖෂධ පිළිබඳ ඇමෙරිකානු ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කෙරෙනවා.

ජෝජ් වොෂින්ටන්ගේ කෙස් රොද

historynet.com

ජෝජ් වොෂින්ටන් ඇමෙරිකාවේ ප්‍රථම ජනාධිපතිවරයා යි. ඔහු මියයන අවස්ථාවේ ඔහුගේ සමීපතමයෙක් වූ, හෙන්රි ලෝන්ග් ෆෙලෝ නම් කවියාගේ නැන්දණිය වූ එලිසා නමැත්තියගේ ඉල්ලීමක් අනුව ඔහුගේ හිස කෙස් රොදක් ඇය වෙත ලබා දී තිබෙනවා. පසුව ඒ කෙස් රොද මේන් ඉතිහාස සංගමය වෙත පරිත්‍යාග කොට තිබෙන බවයි වාර්තා වන්නේ.

කවරයේ කතාව- nationalgeographic.com 

මුලාශ්‍ර

content.time.com

www.atlasobscura.com

io9.gizmodo.com

mentalfloss.com

Related Articles