Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජනාධිපතිවරණ ඉතිහාසය තුළ කොළඹ දිස්ත්‍රික්කයේ ජනමතය හැසිරුණු ආකාරය

කොළඹ දිස්ත්‍රික්කය ඡන්ද බල ප්‍රදේශ 15කින් සමන්විත යි. දිස්ත්‍රික්කය පුරා අධික ජනගහනයක් වාසය කරන නිසා ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන ජනාධිපතිවරණයක දී කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රතිඵලය තීරණාත්මක යි. ශ්‍රී ලංකා ජනාධිපතිවරණ ඉතිහාසයේ දී මෙතෙක් කලක් කොළඹ දිස්ත්‍රික්කයේ ජනමතය හැසිරුණු ආකාරය මෙසේ යි.

කොළඹ දිස්ත්‍රික්කයට අයත්වන ආසන 

1976 වසරේ දී නොයෙල් තිත්තවැල්ල කොමිසම ඉදිරිපත් කළ සීමා නිර්ණයෙන් පසුව කොළඹ දිස්ත්‍රික්කය ආසනවලට බෙදුණු ආකාරයට යි.

1) උතුරු කොළඹ               2) මැද කොළඹ

3) බොරැල්ල                      4) නැගෙනහිර කොළඹ 

5) බටහිර කොළඹ               6) දෙහිවල 

7) රත්මලාන                      8) කොලොන්නාව             

9) කෝට්ටේ                      10) කඩුවෙල           

11) අවිස්සාවේල්ල              12) හෝමාගම  

13) මහරගම                      14) කැස්බෑව   

15) මොරටුව 

උතුරු කොළඹ ආසනය 

උතුරු කොළඹ 1931 වසරේ සිටම පවතින ආසනයක්. අතීතයේ සිටම එක්සත් ජාතික පක්ෂයේ බලකොටුවක් බවට පත්වුණු මෙම ආසනය ඔවුන්ට අහිමි වුණේ 1994 ජනාධිපතිවරණයේ දී පමණ යි. 

මැද කොළඹ ආසනය 

එක්සත් ජාතික පක්ෂයේ හදවත බඳු මැද කොළඹ ඡන්ද බල ප්‍රදේශයෙන් සෑම විටම ඔවුන්ගේ සහයෝගය ලබාගත් අපේක්ෂකයා ජයග්‍රහණය කළේ ඉතාමත් ඉහළ ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කරමින්. නමුත් 1994 වසරේ දී පමණක් ඔවුන්ට මැද කොළඹ අහිමිවුණේ ජනතා රැල්ල පොදුජන එක්සත් පෙරමුණ වටා පැවතීම 

නිසා යි.

බොරැල්ල ආසනය 

1959 වසරේ දී වෝල්ටර් තල්ගොඩපිටිය කොමිසම සිදුකළ සීමා නිර්ණයට අනුව උතුරු කොළඹ ආසනයෙන්  කොටසක් කැඩී බොරැල්ල ආසනය සෑදුනා. අතීතයේ සිටම එක්සත් ජාතික පක්ෂයට වාසිදායක එකක් වුණු මෙම ආසනය ඔවුන්ට අහිමි වුණේ 1994 ජනාධිපතිවරණයේ දී පමණ යි. 

නැගෙනහිර කොළඹ ආසනය 

1976 දී දකුණු කොළඹ ආසනයෙන් කොටසක් කැඩී සෑදුණු නැගෙනහිර කොළඹ ආසනය එක්සත් ජාතික පක්ෂයට වාසිදායක ආසනයක්. 1994 ජනාධිපතිවරණයේ දී පමණක් එක්සත් ජාතික පක්ෂය සහයෝගය ලබාදුන් අපේක්ෂකයා නැගෙනහිර කොළඹ ආසනය පරාජය වුණා.

බටහිර කොළඹ ආසනය 

නැගෙනහිර කොළඹ ආසනය සේම, 1976 දී දකුණු කොළඹ ආසනයෙන් කොටසක් කැඩී සෑදුණු බටහිර කොළඹ ආසනයත් එක්සත් ජාතික පක්ෂයට වාසිදායක ආසනයක්. 1994 ජනාධිපතිවරණය හැර අනිත් ජනාධිපතිවරණ 6 දී එක්සත් ජාතික පක්ෂය සහයෝගය ලබාදුන් අපේක්ෂකයා බටහිර කොළඹ ආසනය ජයග්‍රහණය කළා.

දෙහිවල ආසනය 

1976 දී දෙහිවල-ගල්කිස්ස ආසනයෙන් කොටසක් කැඩී සෑදුණු දෙහිවල ආසනය එක්සත් ජාතික පක්ෂයට වාසිදායක ආසනයක් බව මැතිවරණ ප්‍රතිඵල අධ්‍යයනය කරන විට පැහැදිලිවම පෙනෙන කරුණක්. 1994 ජනාධිපතිවරණයේ දී පමණක් එක්සත් ජාතික පක්ෂය සහයෝගය ලබාදුන් අපේක්ෂකයා දෙහිවල ආසනය පරාජය වුණා.

රත්මලාන ආසනය 

1976 දී දෙහිවල-ගල්කිස්ස ආසනයෙන් කොටසක් කැඩී රත්මලාන ආසනය නිර්මාණය වුණා. 1982, 1988, සහ 2015 ජනාධිපතිවරණවල දී එක්සත් ජාතික පක්ෂය සහාය දුන් අපේක්ෂකයා ජයග්‍රහණය කළ රත්මලාන ආසනය, 1988-2010 කාලය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල ජයග්‍රහණය කළා. 

කොලොන්නාව ආසනය 

1959 වසරේ දී අවිස්සාවේල්ල ආසනයෙන් කොටසක් කැඩී කොලොන්නාව ආසනය නිර්මාණය වුණා. ජනාධිපතිවරණ ඉතිහාසය තුළ වරින් වර දෙපසට දෝලනය වුණු මෙම ආසනය 1982, 2005, සහ 2015 ජනාධිපතිවරණවල දී එක්සත් ජාතික පක්ෂය සහාය දුන් අපේක්ෂකයා ජයග්‍රහණය කළත්, ඉතිරි අවස්ථාවන්වල දී ආසනය ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ කණ්ඩායම සහාය දුන් අපේක්ෂකයා යි.

කෝට්ටේ ආසනය 

1947 වසරේ දී අවිස්සාවේල්ල ආසනයෙන් කොටසක් කැඩී කෝට්ටේ ආසනය නිර්මාණය වුණා. මෙම ආසනය 1988, 1994, 1999, සහ 2010  ජනාධිපතිවරණවල දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල සහාය දුන් අපේක්ෂකයා ජයග්‍රහණය කළා. 

කඩුවෙල ආසනය 

1976 දී කොලොන්නාව සහ කොට්ටාව (වර්තමානයේ මහරගම) ආසනවලින් කොටස් වෙන්වී කඩුවෙල ආසනය නිර්මාණය වුණා. අතීතයේ සිටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට වාසිදායක වුණු මෙම ආසනය ඔවුන් පරාජයට පත්වුණේ 1982 ජනාධිපතිවරණයේ දී පමණ යි. 

අවිස්සාවේල්ල ආසනය 

1931 වසරේ සිට පවතින අවිස්සාවේල්ල ආසනය 1982 සහ 1988 ජනාධිපතිවරණවල දී එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළා. නමුත් 1994 වසරේ සිට පැවති ජනාධිපතිවරණවල දී මෙම ආසනය ජයග්‍රහණය කර තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල යි.

හෝමාගම ආසනය 

1959දී අවිස්සාවේල්ල ආසනයෙන් කොටසක් කැඩී නිර්මාණය වුණු හෝමාගම ආසනයට කෝට්ටේ ආසනයේ කොටසක් ද ඈඳුණා. අතීතයේ සිටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට වාසිදායක වුණු මෙම ආසනය ඔවුන් පරාජයට පත්වුණේ 1982 ජනාධිපතිවරණයේ දී පමණ යි. 

මහරගම ආසනය 

1959 දී අවිස්සාවේල්ල ආසනයෙන් කොටසක් කැඩී සෑදුණු කොට්ටාව ආසනය 1976 දී මහරගම නමින් නම් කළා. අතීතයේ සිටම එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලට අවාසිදායක වුණු මෙම ආසනය ඔවුන් ජයග්‍රහණය කළේ 1982 ජනාධිපතිවරණයේ දී පමණ යි. 

කැස්බෑව ආසනය 

1959 දී මොරටුව ආසනයෙන් කොටසක් කැඩී කැස්බෑව ආසනය නිර්මාණය වුණා. මෙම ආසනය අතීතයේ සිටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලේ බලකොටුවක් වුණා. එම නිසාම 1982 වසරේ සිට පැවති සෑම ජනාධිපතිවරණයක දීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල කැස්බෑව ආසනය ජයග්‍රහණය කළා. කොළඹ දිස්ත්‍රික්කය තුළ පවතින ආසන අතුරින් සෑම ජනාධිපතිවරණයක දීම එකම පිලකට ජයග්‍රහණය හිමිවුණු  එකම ආසනය වන්නේ කැස්බෑව ආසනය යි.

මොරටුව ආසනය 

1931 වසරේ සිටම පැවති මොරටුව ආසනය වරින් වර දෙපසටම දෝලනය වුණු ආසනයක්. 1994-2010 කාල සමය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල මෙම ආසනය ජයග්‍රහණය කරන විට ඉතිරි අවස්ථාවන්වල දී මෙම ආසනය ජයග්‍රහණය කළේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ කණ්ඩායම යි.

කොළඹ දිස්ත්‍රික්කය ජයග්‍රහණය කිරීමට තීරණාත්මක වන ආසන 4ක් 

කොළඹ නගරය තුළ ඇති උතුරු කොළඹ, මැද කොළඹ, නැගෙනහිර කොළඹ, බටහිර කොළඹ, බොරැල්ල, සහ දෙහිවල ආසන එක්සත් ජාතික පක්ෂයට වාසිදායක ආසන යි. කොළඹ නගරයෙන් පිටතට වන්නට පිහිටා තිබෙන කඩුවෙල, කැස්බෑව, හෝමාගම, අවිස්සාවේල්ල, සහ මහරගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ කණ්ඩායමට වාසිදායක ආසන යි. ඉහත ආසන 11හි බලය එම පක්ෂ 2ක අතර බෙදීයන විට මධ්‍යස්ථ ආසන හතර වන රත්මලාන, කොලොන්නාව, කෝට්ටේ, සහ මොරටුව යන ආසනවල ජයග්‍රහණය දෙපිලටම වැදගත්. නමුත් 1982 සහ 1994 වසරවල පැවති ජනාධිපතිවරණවල දී මෙම තත්ත්වය දක්නට නොලැබුණේ එක් අපේක්ෂකයෙකු පහසුවෙන්ම දිස්ත්‍රික්කය ජයග්‍රහණය කර තිබුණු නිසා යි.

1982 ජනාධිපතිවරණය 

මෙම ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ජේ.ආර් ජයවර්ධන තරග කරන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හෙක්ටර් කොබ්බෑකඩුව තරග බිමට පිවිසුණා. එවර ජේ.ආර් ජයවර්ධන කැස්බෑව ආසනය හැර අනිකුත් ආසන ජයග්‍රහණය කළේ ඉතාමත් පහසුවෙන්.

ජේ.ආර් ජයවර්ධන – ඡන්ද 436290 (57.71%)

හෙක්ටර් කොබ්බෑකඩුව – ඡන්ද 274476 (36.30%)

1982 ජනාධිපතිවරණයේ අවස්ථාවක් (colombo telegraph)

1988 ජනාධිපතිවරණය 

1988 වසරේ පැවති ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ රණසිංහ ප්‍රේමදාස සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිමාවෝ බණ්ඩාරනායක කොළඹ දිස්ත්‍රික්කය ජයග්‍රහණය කිරීම සඳහා ප්‍රබල සටනක නිරත වුණා. එවර රණසිංහ ප්‍රේමදාස කොළඹ නගරයේ ආසන 6ම ජයග්‍රහණය කරන විට සිරිමාවෝ බණ්ඩාරනායක කොළඹින් පිට පවතින ආසන 5න් 4ක් ජයග්‍රහණය කළා. 

කොළඹ නගරයේ ආසන 6හි ප්‍රතිඵල

රණසිංහ ප්‍රේමදාස – ඡන්ද 147112

සිරිමාවෝ බණ්ඩාරනායක – ඡන්ද 87459

කොළඹ නගරයෙන් පිට ආසන 5හි ප්‍රතිඵල

සිරිමාවෝ බණ්ඩාරනායක – ඡන්ද 148471

රණසිංහ ප්‍රේමදාස – ඡන්ද 114293

ඉහත ආසන 11හි ප්‍රතිඵලවලට අනුව රණසිංහ ප්‍රේමදාස ඉදිරියෙන් සිටියේ ඡන්ද 25475ක් පමණ යි. එම නිසාම දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය සඳහා මධ්‍යස්ථ ආසන 4හි ප්‍රතිඵල තීරණාත්මක වුණා.  

මධ්‍යස්ථ ආසන 4හි ප්‍රතිඵල

සිරිමාවෝ බණ්ඩාරනායක – ඡන්ද 95619

රණසිංහ ප්‍රේමදාස – ඡන්ද 92684

රණසිංහ ප්‍රේමදාස මධ්‍යස්ථ ආසන 2ක් ද ජයග්‍රහණය කළ නිසා කොළඹ දිස්ත්‍රික්කයේ ආසන 15න් 9ක බලය හිමිකරගත්තා. එසේම ඔහුට දිස්ත්‍රික්කය ඡන්ද 21379කින් ජයග්‍රහණය කිරීමට මැද කොළඹ ආසනයෙන් ලබාගත්  ඡන්ද 32712ක වාසිය විශාල සහායක් ලබාදුන්නා. 

අවසන් ඡන්ද ප්‍රතිඵලය 

රණසිංහ ප්‍රේමදාස – ඡන්ද 361337 (49.14%)

සිරිමාවෝ බණ්ඩාරනායක – ඡන්ද 339958 (46.23%)

1988 ජනාධිපතිවරණයේ අවස්ථාවක් (gettyimages)

1994 ජනාධිපතිවරණය 

1994 ජනාධිපතිවරණය සඳහා පොදුජන එක්සත් පෙරමුණෙන් (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල) චන්ද්‍රිකා බණ්ඩාරනායක ඉදිරිපත් වන විට, එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වුණේ ශ්‍රීමතී දිසානායක යි. එවර චන්ද්‍රිකා බණ්ඩාරනායක කොළඹ දිස්ත්‍රික්කයේ ආසන 15ම පහසුවෙන් ජයග්‍රහණය කළා.

චන්ද්‍රිකා බණ්ඩාරනායක – ඡන්ද 557708 (64.80%)

ශ්‍රීමතී දිසානායක – ඡන්ද 288741 (33.60%)

1999 ජනාධිපතිවරණය 

1999 ජනාධිපතිවරණයේ දී පොදුජන එක්සත් පෙරමුණෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක තරග වදින විට එක්සත් ජාතික පක්ෂයෙන් තරග වැදුණේ රනිල් වික්‍රමසිංහ යි. එවර කොළඹ නගරයේ ආසන 6ම රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කරන විට කොළඹ නගරයෙන් පිට ආසන 5ම ජයග්‍රහණය කළේ චන්ද්‍රිකා බණ්ඩාරනායක යි. 

කොළඹ නගරයේ ආසන 6හි ප්‍රතිඵල

රනිල් වික්‍රමසිංහ – ඡන්ද 169037

චන්ද්‍රිකා බණ්ඩාරනායක – 114340

කොළඹ නගරයෙන් පිට ආසන 5හි ප්‍රතිඵල

චන්ද්‍රිකා බණ්ඩාරනායක – ඡන්ද 227963

රනිල් වික්‍රමසිංහ – ඡන්ද 149353

ඉහත ආසන 11හි ප්‍රතිඵලවලට අනුව චන්ද්‍රිකා බණ්ඩාරනායක ඉදිරියෙන් සිටියේ ඡන්ද 23913ක් පමණ යි. එම නිසාම දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය සඳහා මධ්‍යස්ථ ආසන 4හි ප්‍රතිඵල තීරණාත්මක වුණා.  

මධ්‍යස්ථ ආසන 4හි ප්‍රතිඵල

චන්ද්‍රිකා බණ්ඩාරනායක – ඡන්ද 125937

රනිල් වික්‍රමසිංහ – ඡන්ද 100725

එවර මධ්‍යස්ථ ආසන 4ම චන්ද්‍රිකා බණ්ඩාරනායක ජයග්‍රහණය කළ නිසා පොදුජන පෙරමුණ දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 49125කින්.

චන්ද්‍රිකා බණ්ඩාරනායක – ඡන්ද 474310 (49.18%)

රනිල් වික්‍රමසිංහ – ඡන්ද 425185 (44.08%)

2005 ජනාධිපතිවරණය 

2005 ජනාධිපතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සංධානයෙන් (ශ්‍රී ලංකා නිදහස් පක්ෂයය ප්‍රමුඛ පිල) මහින්ද රාජපක්ෂ තරග වදින විට එක්සත් ජාතික පක්ෂයෙන් තරග වැදුණේ රනිල් වික්‍රමසිංහ යි. එවර කොළඹ නගරයේ ආසන 6ම රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කරන විට කොළඹ නගරයෙන් පිට ආසන 5ම ජයග්‍රහණය කළේ මහින්ද රාජපක්ෂ යි. 

කොළඹ නගරයේ ආසන 6හි ප්‍රතිඵල

රනිල් වික්‍රමසිංහ – ඡන්ද 223820

මහින්ද රාජපක්ෂ – 90337

කොළඹ නගරයෙන් පිට ආසන 5හි ප්‍රතිඵල

මහින්ද රාජපක්ෂ – ඡන්ද 292539

රනිල් වික්‍රමසිංහ – ඡන්ද 204864

ඉහත ආසන 11හි ප්‍රතිඵලවලට අනුව රනිල් වික්‍රමසිංහ ඉදිරියෙන් සිටියේ ඡන්ද 45808ක් පමණ යි. එම නිසාම දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය සඳහා මධ්‍යස්ථ ආසන 4හි ප්‍රතිඵල තීරණාත්මක වුණා.

මධ්‍යස්ථ ආසන 4හි ප්‍රතිඵල

මහින්ද රාජපක්ෂ – ඡන්ද 140654

රනිල් වික්‍රමසිංහ – ඡන්ද 134800

එවර මධ්‍යස්ථ ආසන 2ක බැගින් දෙදෙනාම ජයග්‍රහණය කළ නිසා රනිල් වික්‍රමසිංහ දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 35196කින්.

අවසන් ඡන්ද ප්‍රතිඵලය

රනිල් වික්‍රමසිංහ – ඡන්ද 569627 (51.12%)

මහින්ද රාජපක්ෂ – ඡන්ද 534431 (47.96%)

2005 ජනාධිපතිවරණයේ අවස්ථාවක් (gettyimages)

2010 ජනාධිපතිවරණය 

2010 ජනාධිපතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සංධානයෙන් මහින්ද රාජපක්ෂ තරග වදින විට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් (එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල) තරග වැදුණේ සරත් ෆොන්සේකා යි. එවර කොළඹ නගරයේ ආසන 6ම සරත් ෆොන්සේකා ජයග්‍රහණය කරන විට කොළඹ නගරයෙන් පිට ආසන 5ම ජයග්‍රහණය කළේ මහින්ද රාජපක්ෂ යි. නමුත් එවර කොළඹ නගරයෙන් පිටත ආසන 5 දී මහින්ද රාජපක්ෂ ඡන්ද 158393ක වාසියක් ලබාගන්නා විට සරත් ෆොන්සේකා කොළඹ නගරය තුළ ආසන 6න් ලබාගත්තේ ඡන්ද 110418ක වාසියක් පමණ යි. එසේම මධ්‍යස්ථ ආසන 4ත් මහින්ද රාජපක්ෂ විසින් ජයග්‍රහණය කළ නිසා එක්සත් ජනතා නිදහස් සංධානය දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 81718කින්.

අවසන් ඡන්ද ප්‍රතිඵලය

මහින්ද රාජපක්ෂ – ඡන්ද 614740 (52.93%)

සරත් ෆොන්සේකා  – ඡන්ද 533022 (45.90%)

2015 ජනාධිපතිවරණය 

2010 ජනාධිපතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සංධානයෙන් මහින්ද රාජපක්ෂ තරග වදින විට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් තරග වැදුණේ මෛත්‍රීපාල සිරිසේන යි. එවර කොළඹ නගරයේ ආසන 6ම මෛත්‍රීපාල සිරිසේන ජයග්‍රහණය කරන විට කොළඹ නගරයෙන් පිට ආසන 5ම ජයග්‍රහණය කළේ මහින්ද රාජපක්ෂ යි. නමුත් කොළඹ නගරයෙන් පිටත ආසනවල දී මහින්ද රාජපක්ෂ රඳවාගත් ඡන්ද පරතරය සෑහෙන දුරට අඩුවුණා. එසේම මධ්‍යස්ථ ආසන 4ම මෛත්‍රීපාල සිරිසේන ජයග්‍රහණය කළ නිසා ඔහුට දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය හිමිවුණේ වැඩි ඡන්ද 162459කින්.

අවසන් ඡන්ද ප්‍රතිඵලය

මෛත්‍රීපාල සිරිසේන – ඡන්ද 725073 (55.93%)

මහින්ද රාජපක්ෂ – ඡන්ද 562614 (43.40%)

කවරයේ ඡායාරූපය - 1994 ජනාධිපතිවරණයේ දී කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම ආසන ජයග්‍රහණය කළ චන්ද්‍රිකා බණ්ඩාරනායක (ABC Speakers)

Related Articles