Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලංකාවේ වී වගාව ආශ්‍රිතව පවතින ගැටළු

ලාංකිකයන්ගේ ප්‍රධාන ආහාරය වන බත සකස් කිරීම සඳහා සහල් අවශ්‍ය යි. වී භෝගය මඟින් සහල් ලබාගන්නා නිසා ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම පාහේ වී වගාව සිදුකරනු ලබනවා. ශ්‍රී ලංකාව තුළ මහා පරිමාණයෙන් සිදුවන වී වගාව බොහෝ දෙනෙකුගේ ජීවන වෘත්තීය බවට ද පත්ව තිබෙනවා. අප රටේ විශාල බිම් ප්‍රමාණයක වී වගා කරන්නේ පරිභෝජනයට අවශ්‍ය සහල් සපයාගැනීමේ අරමුණ ඇතිව යි. නමුත් වසරේ වැඩි කාලයක් වී වගාව සඳහා යොදවන ගොවීන්ට මහන්සියේ තරමටම අස්වැන්න නොලැබෙන්නේ ගැටළු රැසක් මැද වී ගොවිතැන් කටයුතු කිරීමට සිදුව ඇති නිසා යි.

වී වගාවට වඩාත් හිතකර සාධක 

වී වගාව ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම වාගේ සිදුකරනු ලැබුවත්, ඒ සඳහා වඩාත් හිතකර වන්නේ පහත දක්වා තිබෙන සාධක කිහිපය යි.

1) ප්‍රමාණවත් ජල සැපයුම හෝ මිලිමීටර් 1900ක පමණ වර්ෂාපතනයක් තිබිය යුතු යි 

2) සෙල්සියස් 21-32 අතර උෂ්ණත්වයක් 

3) ජලය රඳවා තැබිය හැකි හා ඉවත් කළ හැකි තැනිතලා බිම් හෝ හෙල්මලු බෑවුම්

4) ජලය රඳා පවතින මැටි සහිත දියලු පස

වී වගා කරන ප්‍රධාන කන්නයන් 

ශ්‍රී ලංකාවේ වී වගාකරන ප්‍රධාන කන්නයන් දෙක වන්නේ යල කන්නය සහ මහ කන්නය යි. එහි දී යල කන්නය සඳහා අප්‍රේල් සිට සැප්තැම්බර් දක්වා වී වගා කරන විට මහ කන්නය සඳහා ඔක්තෝබර් සිට මාර්තු දක්වා වී වගාකරනු ලබනවා. සාමාන්‍යයෙන් යල කන්නයේ දී තෙත් කලාපයට, කඳුකර බිම්වලට, සහ අතරමැදි කලාපයේ සමහර ප්‍රදේශවලට වර්ෂාව හොඳින් ලැබෙනවා. එනිසා යල කන්නය සඳහා එම ප්‍රදේශවල වී ගොවිතැන සිදුවන්නේ වර්ෂා ජලයේ ආධාරයෙන්. නමුත් එම කන්නයේ දී වියළි කලාපයටත්, අතරමැදි කලාපයේ සමහර ප්‍රදේශවලටත් සැලකිය යුතු වර්ෂාවක් පතිතවන්නේ නැහැ. එකලට එම ප්‍රදේශවල යල කන්නයේ වී වගාව සිදුකරනු ලබන්නේ රැස්කරගත් ජලය භාවිතා කිරීමෙන්. යල කන්නය අවසන් වී මහ කන්නය ආරම්භ වීමත් සමග වියළි කලාපයට ඊසාන දිග මෝසම සක්‍රීයවීමෙන් සැලකිය යුතු වර්ෂාවක් ලැබෙනවා. ඒ අනුව මහ කන්නයේ දී වියළි කලාපයේ වැඩි බිම් ප්‍රමාණයක් වගා කිරීමට හැකියාව ලැබෙනවා.

වී වගාකරන පිරිසක් (Dinamina)

වී වගා කරන ප්‍රධාන කලාප 

ලංකාවේ වී වගාව සිදුකරන ප්‍රධාන කලාපයන් හතරක් හමුවනවා. වියළි කලාපය, අතරමැදි කලාපය, තෙත් කලාපය, සහ කඳුකර බිම් එම කලාපවලට අයත් වනවා. පහත දක්වා තිබෙන්නේ එම කලාප හතරෙහි වී වගාව සම්බන්ධ විශේෂ ලක්ෂණ යී.

තෙත් කලාපය

1) ගාල්ල, කොළඹ, කෑගල්ල, රත්නපුර, ගම්පහ, කළුතර යන දිස්ත්‍රික්ක මෙම කලාපය සඳහා අයත් වනවා.

2) ප්‍රධාන වශයෙන් වර්ෂා ජලයෙන් වී වගාව සිදුකරනු ලබනවා.

3) ගංඟා මිටියාවත්වල සහ පහත්බිම්වල වී වගාව සිදුකරන නිසා ජලගැලීම්වලට හසුවී අස්වැන්න විනාශ වීමේ අවදානමක් තිබෙනවා.

4) වියළි කලාපයට සාපේක්ෂව අඩු අස්වැන්නක් ලැබෙයි.

වියළි කලාපය 

1) අනුරාධපුරය, මඩකලපුව, පොළොන්නරුව, හම්බන්තොට, යාපනය, අම්පාර, වව්නියාව, ත්‍රිකුණාමලය, පුත්තලම,  සහ යාපනය  යන දිස්ත්‍රික්ක මෙම කලාපය සඳහා අයත් වනවා. 

2) වර්ෂා ජලයෙන් සහ සම්පාදනය කරන ජලයෙන් වී වගාව සිදුකරනු ලබනවා.

3) බිම් ඒකකයකින් ලබාගන්නා අස්වනු ප්‍රමාණය ඉතාමත් වැඩි නිසා සහල් අතිරික්තයක් ඇතිවනවා.

4) යන්ත්‍ර සූත්‍ර බහුලවම යොදාගනු ලබනවා.

වියළි කලාපයේ වී වගා බිමක් (Araliya Rice)

අතරමැදි කලාපය 

1)  කුරුණෑගල දිස්ත්‍රික්කයත්, බදුල්ල, මොණරාගල, මාතලේ, මාතර යන දිස්ත්‍රික්කවලින් කොටස් ද මෙම කලාපය සඳහා අයත් වනවා. 

2) ලංකාවේ වැඩිම බිම් ප්‍රමාණයක් වී වගා කරන දිස්ත්‍රික්කය වන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කය යි..

3) වැසි  ජලයෙන් සහ සම්පාදනය කරන ජලයෙන් වී වගාව සිදුකරනු ලබනවා.

4) බිම් ඒකකයකින් ලබාගන්නා අස්වනු ප්‍රමාණය වැඩියි.

5) යන්ත්‍ර සූත්‍ර බහුලවම යොදාගනු ලබනවා.

කඳුකර බිම් 

1)  මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කත්, බදුල්ල සහ මාතලේ යන දිස්ත්‍රික්කවලින් යම් කොටස් ද  මෙම කලාපය සඳහා අයත් වනවා. 

2) ලංකාවේ අඩුම බිම් ප්‍රමාණයක් වී වගා කරන දිස්ත්‍රික්කය වන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කය යි.

3) හෙල්මළු ක්‍රමය භාවිතා කරමින් වී වගාව සිදුකරනු ලබයි.

4) බිම් ඒකකයකින් ලබාගන්නා අස්වනු ප්‍රමාණය අඩුයි.

හෙල්මළු ක්‍රමයට වගා කළ බිමක් (Back to nature)

වී වගාව ආශ්‍රිතව පවතින ගැටළු 

වර්තමානයේ දී ශ්‍රී ලංකාව තුළ මහා පරිමාණයෙන් වී වගාව කරනු ලැබුවත් ගොවියන් විශාල ගැටළු රැසකට මුහුණදෙමින් සිය වගා කටයුතු කරගෙන යනවා. එහි දී සොබාදහම මඟින් ඇතිකරන ගැටළු, කෘමි සතුන් මඟින් ඇතිකරන ගැටළු, තාක්ෂණික ගැටළු, සහ වෙනත් ආකාරයේ ගැටළුවලට මුහුණදීමට ඔවුන්ට සිදුව තිබෙනවා.

නිසි කලට වැසි නොලැබීම සහ අධික වර්ෂාවක් ලැබීම 

යල සහ මහ යන කන්නවල වී වගාව සිදුකිරීම සඳහා ඊසානදිග සහ නිරිතදිග යන මෝසම්වලින් ලැබෙන වර්ෂා ප්‍රමාණය ඉතාමත් වැදගත්. යම් හෙයකින් එම මෝසම් සක්‍රීය වීමෙන් පසුව  සැලකිය යුතු වර්ෂා ප්‍රමාණයක් නොලැබුණොත් අඩු බිම් ප්‍රමාණයක වී වගා කිරීමට සිදුවනවා. එවිට ලැබෙන අස්වැන්න ද අඩු වී යනවා. එසේම මෝසම් සක්‍රීය වීමෙන් අධික වර්ෂා ප්‍රමාණයක් ලැබුණොත් ජලගැලීම් වැනි ස්වභාවික විපත් ඇති වී අස්වැන්න විනාශ වී යාමට ඉඩ තිබෙනවා. පසුගිය වසර කිහිපය පුරාම මෝසම් වර්ෂාව නිසි අයුරින් නොලැබීම සහ අධිකව ලැබීම නිසා අනපේක්ෂිත විපත්වලට මුහුණදීමට වී ගොවියන්ට සිදු වුණා.

පළිබෝධනාශක අධිකව භාවිතා කිරීම නිසා පස නිසරු වීම 

වී වගාව සඳහා පළිබෝධනාශක අධික ලෙස භාවිතා කිරීමට සිදුවන්නේ වල් පැළ සහ කෘමි සතුන්ගෙන් වගාව ආරක්ෂා කරගැනීම සඳහා යි. අතීතයේ දී මෙම කාර්යයන් සඳහා කාබනික ද්‍රව්‍ය භාවිතා කරනු ලැබුවත් වර්තමානය වන විට බහුලව පළිබෝධනාශක භාවිතා කිරීමට ගොවියන් පුරුදු වී සිටිනවා. එම ක්‍රියාවලිය අඛණ්ඩව දිගුකලක් සිදුවන විට පස නිසරු වනවා පමණක් නොව හානිදායක මූලද්‍රව්‍යයන් පසට එකතු වනවා. පසුගිය කාල සමයේ රජරට ප්‍රදේශයෙන් වකුගඩු රෝගීන් බහුලව වාර්තා වීමට එය ද හේතුවක් බව අනුමාන කෙරුනා. 

පළිබෝධ හානි 

පැල මැක්කා, කොළ හකුලන දළඹුවා, දුඹුරු පැල කීඩෑවා, ගොයම් මැස්සා, පුරුක් පණුවා, ගොක් මැස්සා වැනි පළිබෝධකයන් වී වගාවට නිතරම හානි කරනු ලබනවා. මොවුන්  මර්ධනය කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් විවිධ කෘමිනාශක වර්ග නිර්දේශ කර තිබෙනවා. අතීතයේ දී මෙම රෝගවලින් ගොයම ආරක්ෂා කරගැනීම සඳහා කාබනික ද්‍රව්‍යය භාවිතා කළත් වර්තමානය වන විට බොහෝ ගොවි මහතුන් පළිබෝධනාශක භාවිතයට හුරුව තිබෙනවා. මෙම සාමාන්‍ය පළිබෝධකයින්ට අමතරව වෙනත් වර්ගයේ විශේෂ කෘමීන් ද වී වගාවට හානිකළ අවස්ථාවන් ගැන පසුගිය කාල සමයේ දී අසන්නට ලැබුණා. 

ගොයම් මැස්සා (Flicr)

එහි දී 2018 වසරේ සේනා දළඹුවා විසින් ඇති කළ විනාශය උදාහරණයක් ලෙස ගැනීමට පුළුවන්. සේනා දළඹුවා මුලින්ම හානිකරනු ලැබුවේ බඩඉරිඟු වගාවට යි. බඩඉරිඟු වගාවට දිගින් දිගටම හානි කිරීමෙන් පසුව දළඹුවාට ආහාර හිඟවීමෙන් උන් පසුව වී වගා බිම්වලට ද විශාල හානියක් සිදුකරනු ලැබුවා. එහි දී සේනා දළඹුවා රසායනික ද්‍රව්‍යයවලට ඔරොත්තු දුන් නිසා ගොවීන් දැඩි අසීරුතාවයකට පත් වුණා.

සේනා දළඹුවා (Dinamina)

මේ දිනවල කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාවතගම ප්‍රදේශය ආශ්‍රිවත් පළඟැටි උවදුරක් පැතිරී යනවා. විශාල රංචු වශයෙන් පැමිණ ඇති මෙම දේශීය පළඟැටි විශේෂය අඹ, පොල්, බඩඉරිඟු, කෝපි, කෙසෙල්, මඤ්ඤොක්කා වැනි භෝගවලට හානි සිදුකර ඇතැ යි වාර්තා වනවා. මෙම ලිපිය ලියන මොහොත වන විට එම පළඟැටි විශේෂය වී වගාවට විශේෂ හානි කිරීමක් සිදුකර ඇතැ යි වාර්තා වී නැතත් ඉදිරියේ දී ඔවුන්ගෙන් වී වගාවට හානි සිදුවීමට ඉඩකඩ නැති බව කියන්න බැහැ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පවසා සිටියේ මෙම පළඟැටි උවදුර මඟින් සේනා දළඹුවාටත් වඩා වැඩි හානියක් ඇතිවීමට ඉඩ ඇති බව යි.

ශ්‍රමිකයන්ගේ හිඟය සහ අධික වියදම 

වී වගාව සිදුකිරීම සඳහා විශාල ශ්‍රමිකයන් ප්‍රමාණයක් මෙන්ම යන්ත්‍ර සූත්‍ර ප්‍රමාණයක් ද අවශ්‍ය වනවා. මේ වන විට තරුණ ප්‍රජාව ක්‍රමයෙන් කෘෂිකර්මාන්තයෙන් බැහැර වීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන නිසා ශ්‍රමික හිඟයක් දක්නට ලැබෙනවා. එහෙයින් ශ්‍රමිකයන් සපයාගැනීමට සහ යන්ත්‍ර සූත්‍ර භාවිතයට අධික වියදමක් වැයවනවා. ඒ අනුව අස්වැන්න නෙළීමෙන් පසුව පාඩු විදීමට පවා  සිදුවන අවස්ථාවන් දක්නට ලැබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙසින් සමහර ගොවීන් වී වගාව අතහැර ලාභදායී වෙනත් වගාවන්ට යොමු වීමේ ප්‍රවණතාවයක් තිබෙනවා. 

වී අස්වැන්න අලෙවි කිරීමේ දුෂ්කරතා සහ සහතික මිලක් නොලැබීම 

වී ගොවීන් මාස කිහිපයක් ඉතාමත් වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් පසුව නෙළාගන්නා අස්වැන්න ඉහළ මිලකට විකුණා ගැනීමට බලාපොරොත්තු වනවා. නමුත් කලෙක සිට එම අස්වැන්න විකුණාගැනීමට නිසි ක්‍රමවේදයක් නොමැති වීම නිසා වී ගොවියා අසරණ වී තිබෙනවා. බොහෝ විට අතරමැදියෙකුට කුණු කොල්ලයට සිය අස්වැන්න විකුණන වී ගොවියා ඊළඟ කන්නයේ යළි වගාව අරඹන්නේ ණයකරුවෙකු ලෙසින්. එසේම වී අස්වැන්නට සහතික මිලක් ලබාදීමේ ක්‍රමයක් පැවතුණ ද එය නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ නැහැ. මේ හේතූන් නිසා වී ගොවියා බොහෝ විට අන්ත අසරණ තත්ත්වයකට පත්වනවා.

එසේම පොහොර සපයාගැනීමේ දී සිදුවන අපහසුතා, දියුණු යන්ත්‍රෝපකරණ භාවිතා නොකිරීම, දියුණු වගා ක්‍රම භාවිතා නොකිරීම වැනි දේවල් නිසා ලැබෙන අස්වැන්න අඩු වීම වැනි ගැටළුවලට ද  ගොවියා මුහුණදෙනවා. දිගින් දිගටම මතුවන ගැටළු නිසා ඇතැම් ගොවියන් වී ගොවිතැන අත්හැර වෙනත් වගාවන් සඳහා යොමුවී තිබෙනවා. මෙම තත්ත්වය දිගින් දිගටම පැවතුණහොත් වසරකට අවශ්‍ය සහල් ප්‍රමාණය නිෂ්පාදනය කරගැනීමේ අපහසුතාවයක් ඇති වීමේ අවදානමක් තිබෙනවා. එම නිසාම වී ගොවියාට දැඩි විශ්වාසයකින් යුතුව සිය කර්මාන්තයේ යෙදීමට අවශ්‍ය වටපිටාව සකසාදීම අදාළ බළධාරීන්ගේ වගකීම මෙන්ම යුතුකම ද වනවා. 

කවරයේ ඡායාරූපය- gettyimages 

මූලාශ්‍රයයන්- Official Website- Agricultural Department 

Related Articles