Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සමානුපාතික ඡන්ද ක්‍රමය පිළිබඳව තොරතුරු බිඳක්

1947 වසරේ දී ලංකාව තුළ මුල්ම වරට මහා මැතිවරණයක් පවත්වනු ලැබුවා. එම මහා මැතිවරණය සඳහා භාවිතා කරනු ලැබුවේ සරල බහුතර නියෝජන නියෝජන ක්‍රමය යි. 1947 වසරේ සිට 1977 වසර දක්වා අප රට තුළ පැවැත්වුණු සෑම ජාතික මැතිවරණයක්ම පැවැත්වුණේ ඉහත මැතිවරණ ක්‍රමය යටතේ යි. නමුත් සරල බහුතර නියෝජන ක්‍රමයේ තිබුණු අඩුපාඩු නිසා 1978 වසරේ සිට මෙරට ක්‍රියාත්මක වුණේ  සමානුපාතික නියෝජන ක්‍රමය යි. එම නියෝජන ක්‍රමයේත් විවිධ අඩුපාඩු තිබෙන නිසා 2018 වසරේ පැවැත්වුණු පළාත් පාලන මැතිවරණයේ දී මිශ්‍ර සමානුපාතික ඡන්ද ක්‍රමය නමින් නව ඡන්ද ක්‍රමයක් ක්‍රියාත්මක කළා. එය එතරම් සාර්ථක නොවුණු නිසා තවමත් අප රට තුළ ක්‍රියාත්මක වන්නේ සමානුපාතික නියෝජන ක්‍රමය යි. 

සරල බහුතර නියෝජන ක්‍රමයේ දක්නට ලැබෙන වාසි සහ අවාසි  

සරල බහුතර නියෝජන ක්‍රමය තුළ දී පහත දැක්වෙන වාසිදායක කරුණු කිහිපය දක්නට ලැබෙනවා. එනිසා අප රට තුළ පැවැත්වුණු මුල් මහා මැතිවරණ අට ක්‍රියාත්මක වුණේ සරල බහුතර නියෝජන ක්‍රමය යටතේ යි.

1) ඡන්ද දායකයා හා මන්ත්‍රීවරයා අතර සමීප සම්බන්ධතාවයක් ඇති වීම 

2) ශක්තිමත් හා ප්‍රබල දේශපාලන පක්ෂ ක්‍රමයක් බිහි වීම කෙරෙහි වන බලපෑම 

3) පාලකයින්ට මහජන මතය දැරීමට ඇති ඉඩ කඩ ප්‍රමාණය වැඩි වීම

4) ශක්තිමත් හා ප්‍රබල ආණ්ඩුවක් බිහි වීම කෙරෙහි මෙම නියෝජන ක්‍රමයෙහි වන බලපෑම නිසා දේශපාලන ස්ථාවර බව ආරක්ෂා වීම 

5) නියෝජන ක්‍රමය සරල වීම හා සාමාන්‍ය ජනයාට පහසුවෙන් එය අවබෝධ කර ගත හැකි වීම

ඉහත සඳහන් කළ හිතකර තත්ත්වයන් සේම පහත දැක්වෙන අහිතකර තත්ත්වයන් ද සරල බහුතර නියෝජන ක්‍රමය තුළ දී දක්නට ලැබෙනවා.

1) ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව හා හිමි ආසන සංඛ්‍යාව අතර පරස්පරතාවක් ඇති වීම 

2) සමහර විටෙක එක් පක්ෂයකට පමණක් විශාල ආසන සංඛ්‍යාවක් දිනා ගත හැකි වීම

3) බහුතර මතය නියෝජනය වීමට ඇති ඉඩකඩ අඩු වීම හෙවත් විකෘති මතයක් නියෝජනය වීම

4) සුළු පක්ෂවලට ප්‍රමාණවත් නියෝජනයක් ලබා ගත නොහැකි වීම

5) මෙම නියෝජන ක්‍රමය තරමක් සංකීර්ණ නිසා සාමාන්‍ය ජනයාට පහසුවෙන් එය අවබෝධ කරගත නොහැකි වීම 

1960 ජූලි මහා මැතිවරණයේ අවස්ථාවක් (gettyimages)

ලංකාවට සමානුපාතික නියෝජන ක්‍රමය හඳුන්වාදීමට බල පෑ හේතු 

සරල බහුතර නියෝජන ක්‍රමය යටතේ පැවැත්වුණු මහා මැතිවරණවල දී යම් ආසනයක් ජයග්‍රහණය කරන අපේක්ෂකයාට වඩා පරාජිත අපේක්ෂකයන්ගේ ඡන්ද එකතුව විශාල වශයෙන් වැඩි වීම සුලභවවම දක්නට ලැබුණු දෙයක්. පහත දැක්වෙන්නේ ඒ සඳහා උදාහරණයක්: 

1977 මහා මැතිවරණය- තෙල්දෙණිය ආසනය

ගාමිණී රාජපක්ෂ (එක්සත් ජාතික පක්ෂය) – 8,404 (37.18%)

රාජපක්ෂ කුලතිලක (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය) – 7,267 (32.15%)

ඒ.බී.ජී. සෙනෙවිරත්න (ස්වාධීන අපේක්ෂක) – 6,634 (29.35%)

1970 මහා මැතිවරණයේ දී ලැබුණු අවසන් ඡන්දය ප්‍රතිඵලය මෙම ඡන්ද ප්‍රතිඵලවලටත් වඩා විකෘති ඡන්ද ප්‍රතිඵලයක් වුණා. පහත දැක්වෙන්නේ එම ඡන්ද ප්‍රතිඵලය යි. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය- 1,839,979 (36.86%)- ආසන 91

ලංකා සමසමාජ පක්ෂය- 433,224 (8.68%)- ආසන 19

එක්සත් ජාතික පක්ෂය- 1,892,525 (37.91%)- ආසන 17

ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ- 245,727 (4.92%)- ආසන 13

කොමියුනිස්ට් පක්ෂය- 169,199 (3.39%)- ආසන 6

ඉහත ඡන්ද ප්‍රතිඵලයට අනුව වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ඇත්තේ එක්සත් ජාතික පක්ෂය යි. නමුත් ඔවුන්ට ලැබී තිබෙන ආසන ප්‍රමාණයේ විශාල අඩුවීමක් සිදුව තිබෙනවා. එය ඉතාමත් විකෘති ඡන්ද ප්‍රතිඵලයක් බව පැහැදිලියි. 1977 මහා මැතිවරණයේ අවසන් ඡන්ද ප්‍රතිඵලයත් මෙවැනිම ආකාරයේ එකක් වුණා. පහත දැක්වෙන්නේ එම ඡන්ද ප්‍රතිඵලය යි.

එක්සත් ජාතික පක්ෂය- 3,179,221 (50.92%)- ආසන 140

ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ- 421,488 (6.75%)- ආසන 18

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය – 1,855,331 (29.72%)- ආසන 8

ලංකා සමසමාජ පක්ෂය- 225,317 (3.61%)- ආසන 0

ඉහත සඳහන් අවසන් ඡන්ද ප්‍රතිඵලවල තිබෙන අසාමාන්‍ය බව නිසාම සරල බහුතර නියෝජන ක්‍රමය වෙනස් කරමින් සමානුපාතික ඡන්ද ක්‍රමය කරා යාමට ජේ.ආර් ජයවර්ධන ප්‍රමුඛ රජය තීරණය කළා. නමුත් එමඟින් ඔවුන් බලාපොරොත්තු වුණු ප්‍රතිඵල ලැබී නැති බව වර්තමානය වන විට පැහැදිලිවම දක්නට ලැබෙනවා.

ජේ.ආර් ජයවර්ධන (Daily News)

 සමානුපාතික නියෝජන ක්‍රමය ගැන කෙටියෙන් 

සමානුපාතික නියෝජන ක්‍රමය යනුවෙන් හඳුන්වන්නේ යම් මැතිවරණයක දී එක් එක් දේශපාලන පක්ෂ හා කණ්ඩායම් ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාවට අනුරූප වන පරිදි ව්‍යවස්ථාදායකයේ නියෝජනය ලබාදීම යි. එම නිසා මෙම ක්‍රමය යටතේ යටතේ පවත්වන මැතිවරණයක දී යම් අපේක්ෂකයෙකු ජයග්‍රහණය කරන්නේ වැඩිම ඡන්ද සංඛ්‍යාවක් දිනා ගැනීමෙන් නොව නියමිත ඡන්ද සංඛ්‍යාවක් පමණක් ලබා ගැනීමෙන්. මෙම ක්‍රමයේ මූලික අරමුණ වන්නේ මැතිවරණයක දී සෑම දේශපාලන පක්ෂයක් මෙන්ම කණ්ඩායමක්ම ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාවට සමානුපාතික වන අයුරින් නියෝජනයක් ලබාදීම යි. එමඟින් සෑම දේශපාලන මතයක්ම ව්‍යවස්ථාදායකය තුළ නියෝජනය වන බව පැහැදිලිවම පෙනෙන කරුණක්. 

මහජන නියෝජිතයන් 225 තෝරාගන්නා ආකාරය 

ඒ අනුව වර්තමානයේ දී ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන මහා මැතිවරණවල දී රට පරිපාලන දිස්ත්‍රික්කයන් 22කට බෙදා තිබෙනවා. එම එක් එක් දිස්ත්‍රික්කයෙන් පත්වෙන මන්ත්‍රීවරුන් ප්‍රමාණය ගණනය කරන්නේ පහත සඳහන් ක්‍රමවේදය යටතේ යි.

දිවයිනේ ලියාපදිංචි මුළු ඡන්ද සංඛ්‍යාව/160 = පරිමිත ඡන්ද සංඛ්‍යාව

ඉහත සඳහන් කළ ආකාරයට අනුව දිවයිනේ ලියාපදිංචි ඡන්ද දායකයන් ප්‍රමාණය අප රට තුළ පිහිටා තිබෙන මැතිවරණ බල ප්‍රදේශ ප්‍රමාණය වන 160න් බෙදූ විට පරිමිත අගයක් ලැබෙනවා. එම පරිමිත අගයෙන් එක් එක් දිස්ත්‍රික්කය තුළ සිටින ලියාපදිංචි ඡන්ද දායකයන් ප්‍රමාණය බෙදූ විට එක් එක් දිස්ත්‍රික්කයෙන් පත්වීමට නියමිත මන්ත්‍රීවරුන් ප්‍රමාණය ලැබෙනවා. එසේම පළාත් පදනම යටතේ සෑම පළාතකටම මන්ත්‍රීධුර 4ක් හිමිවනවා. යම් දිස්ත්‍රික්කයකට ඉහත සඳහන් ආකාර දෙකෙන්ම ලැබෙන මන්ත්‍රීධුර ප්‍රමාණය එකතු කර විට දිස්ත්‍රික්කයට හිමිවන මුළු මන්ත්‍රීධුර ප්‍රමාණය ගණනය කළ හැකියි. පහත දැක්වෙන්නේ කොළඹ දිස්ත්‍රික්කය සඳහා ලැබෙන මන්ත්‍රීවරුවන් ප්‍රමාණය ගණනය කර ඇති ආකාරය යි.

*2019 වසර වන විට ලංකාවේ ලියාපදිංචි ඡන්ද දායකයන් ප්‍රමාණය- 15,992,096

*පරිමිත ඡන්ද ප්‍රමාණය- 15,992,096/160 = 99,950.6

*2019 වසර වන විට කොළඹ දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද දායකයන් ප්‍රමාණය- 1,670,403

*මැතිවරණ දිස්ත්‍රික්ක ක්‍රමයෙන් තෝරාපත් වන මන්ත්‍රීධුර ප්‍රමාණය- 1,670,403/99,950.6 =16.72

ඒ අනුව දිස්ත්‍රික් ක්‍රමය අනුව කොළඹ දිස්ත්‍රික්කයට මන්ත්‍රීධුර 17ක් හිමිවනවා. එසේම පළාත් පදනම මත කොළඹ දිස්ත්‍රික්කයට මන්ත්‍රීධුර 2ක් හිමිවනවා.

*කොළඹ දිස්ත්‍රික්කයට හිමිවන මුළු මන්ත්‍රීධුර ප්‍රමාණය- 17+2= 19

ඉහත සඳහන් ආකාරයට දිස්ත්‍රික්ක 22 සඳහාම හිමිවන මුළු මන්ත්‍රීධුර ප්‍රමාණය ගණනය කළ විට මන්ත්‍රීවරුන් 196කට මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුව සඳහා සුදුසුකම් ලැබීමේ අවස්ථාව හිමිවනවා. එහි දී මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවට සුදුසුකම් ලැබීමේ වරම හිමිවන්නේ ලබාගන්නා මනාප ප්‍රමාණය අනුව යි. පාර්ලිමේන්තුවේ සිටින මුළු මන්ත්‍රීවරුන් ප්‍රමාණය වන 225 සම්පූර්ණ වීම සඳහා ඉතිරි මන්ත්‍රීවරුන් 29 තෝරාගනු ලබන්නේ ජාතික ලැයිස්තුව මඟින්. ජාතික ලැයිස්තුව මඟින් එක් එක් පක්ෂයට හිමිවන මන්ත්‍රීධුර ප්‍රමාණය තීරණය වන්නේ ද ලබාගන්නා ඡන්ද අනුපාතය අනුව යි.

3) ලංකා පාර්ලිමේන්තුව (gettyimages)

දිස්ත්‍රික්කයකට ලැබෙන ආසන ප්‍රමාණය ගණනය කරන ආකාරය 

2015 මහා මැතිවරණයේ දී කළුතර දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රතිඵලය සටහන් වුණේ පහත දැක්වෙන ආකාරයට යි.

එක්සත් ජනතා නිදහස් සන්ධානය- 338,801 (48.56%)- ආසන 5

එක්සත් ජාතික පෙරමුණ- 310,234 (44.47%)- ආසන 4

ජනතා විමුක්ති පෙරමුණ- 38.475 (5.52%)- ආසන 1

මෙම ප්‍රතිඵලයේ දී එක් එක් පක්ෂයට ලැබී තිබෙන ආසන ප්‍රමාණය ගණනය කරන්නේ පහත ආකාරයට යි.

*2015 මහා මැතිවරණයේ දී කළුතර දිස්ත්‍රික්කයේ වලංගු ඡන්ද ප්‍රමාණය- 697,635

දිස්ත්‍රික්කයට හිමිවන මන්ත්‍රීධුර ප්‍රමාණය- 10

කොටස් අනුපාතය = මුළු වලංගු ඡන්ද සංඛ්‍යාව/මන්ත්‍රීවරුන් ප්‍රමාණය 

69763.5 = 697,635/10

*මුල් වටයේ දී එක් එක් පක්ෂයට හිමිවන ආසන ගණන 

එක්සත් ජනතා නිදහස් සන්ධානය- 338,801/69763.5 = 4 (ශේෂය- 59,747)

එක්සත් ජාතික පක්ෂය- 310,234/69763.5 = 4 (ශේෂය- 31,180)

ජනතා විමුක්ති පෙරමුණ- 38,475/69,763.5 = 0 (ශේෂය- 38,475)

*පළමු වටය අවසන් වන විට මන්ත්‍රීධුර 10න් 8ක් බෙදී අවසන්. ඉතිරිව තිබෙන මන්ත්‍රීධුර බෙදී යන්නේ වැඩිම ශේෂය හිමි පක්ෂ දෙක අතර යි. ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහ ජනතා විමුක්ති පෙරමුණට වැඩි ශේෂයක් හිමිව තිබෙනවා. එම නිසා අවසානයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහ ජනතා විමුක්ති පෙරමුණට ආසනය බැගින් හිමිවනවා. ඒ අනුව අවසානයේ දී ආසන බෙදී යන්නේ පහත ආකාරයට යි.

එක්සත් ජනතා නිදහස් සන්ධානය- 4+1 = 5

එක්සත් ජාතික පෙරමුණ- 4+0 = 4

ජනතා විමුක්ති පෙරමුණ- 0+1 = 1

මෙම නියෝජන ක්‍රමයේ තිබෙන ගැටලු

1989 වසරේ සිට 2015 වසර දක්වා මෙරට පැවති සියලුම මහා මැතිවරණ ක්‍රියාත්මක වුණේ මෙම නියෝජන ක්‍රමය යටතේ යි. එහි දී ජයග්‍රාහී පක්ෂය පාර්ලිමේන්තුවේ සරල බහුතරය වන ආසන 113 ලබාගත්තේ 1989 සහ 2010 මහා මැතිවරණවල දී පමණ යි. ඉතිරි සියලුම මහා මැතිවරණවල දී ජයග්‍රාහී පක්ෂය ආණ්ඩුව පිහිටවනු ලැබුවේ සුළු පක්ෂවල සහාය ලබාගනිමින්. ඉන් නිගමනය කළ හැක්කේ මෙම නියෝජන ක්‍රමය මඟින් සුළුතර ආණ්ඩු නිර්මාණය වීමේ ප්‍රවණතාවය වැඩි බව යි. 

මෙම නියෝජන ක්‍රමයත් සමග කරළියට පැමිණි මනාප ක්‍රමය නිසා ගැටලු රැසක් ඇති වී තිබෙන බව කවුරුත් හොඳින්ම දන්නා කරුණක්. මෙම ක්‍රමය නිසා එකම පක්ෂයක අපේක්ෂකයන් පවා ගැටුම් ඇතිකරගන්නා ආකාරය සුලභවම දක්නට ලැබෙනවා. එම නිසාම මනාප පොරය වර්තමාන වන විට ජනතා අප්‍රසාදයට ලක්ව තිබෙනවා.

සරල බහුතර නියෝජන ක්‍රමයේ දී යම් ඡන්ද අපේක්ෂකයෙකුට ප්‍රචාරණ කටයුතු කිරීමට අවශ්‍ය වුණේ තමා නියෝජනය කරන ආසනය තුළ පමණ යි. නමුත් සමානුපාතික නියෝජන ක්‍රමයේ දී සෑම අපේක්ෂකයෙකුම දිස්ත්‍රික්කය පුරාම ගොස් ප්‍රචාරණ කටයුතුවල නිරත විය යුතු වනවා. ඒ අනුව මැතිවරණ ප්‍රචාරණය වෙනුවෙන් සෑම අපේක්ෂකයෙකුටම අධික වියදමක් දැරීමට සිදුවනවා. 

සරල බහුතර නියෝජන ක්‍රමය පැවති සමයේ දී සෑම ආසනයකටම වගකියන මන්ත්‍රීවරයෙකු සිටියා. නමුත් සමානුපාතික නියෝජන ක්‍රමයේ දී සමහර ආසන සඳහා නියෝජිතයන් පත්වන්නේ නැහැ. ඉන් සමහර ආසනවලට 1989 වසරෙන් පසුව කිසිදු මන්ත්‍රීවරයෙකු පත් වී නැහැ.

ශ්‍රී ලංකාව තුළ මේ දක්වා භාවිතා කළ නියෝජන ක්‍රම දෙකේම වාසි සහ අවාසි තිබෙනවා. එම නිසා ඉදිරියේ දී මෙම ක්‍රම දෙකෙහි තිබෙන හිතකර ලක්ෂණ ආශ්‍රයෙන් මිශ්‍ර-සමානුපාතික නියෝජන ක්‍රමයක් බිහිවනවා නම් එය රටේ ජනතාවට වඩාත් සුභදායී වනු ඇති. 

කවරයේ ඡායාරූපය-  ලංකා පාර්ලිමේන්තුව (gettyimages)

මූලාශ්‍රයන්- මැතිවරණ ප්‍රතිඵල- මැතිවරණ දෙපාර්තමේන්තුව

Related Articles