පළාත් සභා ක්‍රමයේ ආරම්භය සහ එහි විකාශනය

1987 වසරේ ජූලි 29 වැනිදා ජේ. ආර්. ජයවර්ධන සහ රජිව් ගාන්ධි අත්සන් කළ ඉන්දු-ලංකා ගිවිසුම නිසා රට තුළ නොසන්සුන්කාරී තත්ත්වයක් නිර්මාණය වුණා. ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහිව රට පුරා ප්‍රබල විරෝධයක් ඇතිවී තිබුණත්, ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන එය ගණනකට ගත්තේ නැහැ. ගිවිසුම අත්සන් කර දින 108ක් ගතවෙද්දී 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. එම සංශෝධනය මඟින් සිදුකළ බලය විමධ්‍යගත කිරීමෙහි ප්‍රතිඵලයක් ලෙස පළාත් සභා ක්‍රමයේ උපත සිදු වුණා. 1987 අංක 42 දරණ පනත හෙවත් පළාත් සභා පනත පාර්ලිමේන්තුවේ සිටි මන්ත්‍රීවරුන් 138කගේ සහාය ඇතිව සම්මත වුණා. 

ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කිරීම (Lanka Web)

ඊට පෙර බලය විමධ්‍යගත කිරීමට කළ උත්සාහයන් 

1957 වසරේ දී අත්සන් කළ බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුම සහ 1965 වසරේ දී අත්සන් කරන ලද ඩඩ්ලි-චෙල්වනායගම් යන ගිවිසුම් මඟින් අප රටේ බලය විමධ්‍යගත කිරීම සඳහා උත්සාහ කළා. නමුත් එම ගිවිසුම් දෙකටම විපක්ෂය සහ මහජනතාව යන දෙපාර්ශවයෙන්ම දැඩි විරෝධයක් එල්ල වුණා. එම නිසා ඒවා ක්‍රියාත්මක කිරීමට හැකි වුණේ නැහැ. නමුත් 1977 වසරේ දී පාර්ලිමේන්තුවේ 5/6ක බලයක් ලබාගෙන රජයක් පිහිට වූ ජේ. ආර්. ජයවර්ධන ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයට අසීමිත බලයක් තිබුණා. එම නිසා 1987 ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කිරීමේදී විපක්ෂය සහ මහජනතාව දැක්වූ විරෝධයට ඔවුන් කන් දුන්නේ නැහැ.

බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුම අත්සන් කිරීම (Tamil Guardian)

පළාත් සභා පිහිටුවීම 

1988 වසරේ පෙබරවාරි 5 වැනිදා ජනාධිපතිවරයා විසින් ප්‍රසිද්ධ කරන ලද අංක 491/10 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මඟින් 1988 පෙබරවාරි මස 03 වන දින සිට පළාත් සභා ක්‍රියාත්මක වන බව නිවේදනය කරනු ලැබුවා.  එසේම 1988-03-31 වන දින ප්‍රසිද්ධ කරන ලද අංක 499/10 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මඟින් එක් එක් පළාත් සභාවේ මන්ත්‍රීවරුන් ගණන සහ පළාත් සභාවට ඇතුළත් වන මැතිවරණ කොට්ඨාශ ගණන ප්‍රකාශයට පත් කෙරුණා.

ජේ. ආර්. ජයවර්ධන (Daily News)

එක් එක් පළාත් සභාවට අයත්වන මන්ත්‍රීවරුන් ගණන 

1988 වසරේ දී පළාත් සභා ඇති කළ අවස්ථාවේ උතුර සහ නැගෙනහිර ඒකාබද්ධ කර එක් පළාත් සභාවක් පිහිට වූ නිසා මෙරට තුළ පළාත් සභා 8ක් පමණක් දක්නට ලැබුණා. නමුත් පසු කලෙක එම පළාත් දෙකට වෙන වෙනම පළාත් සභා ලැබුණු නිසා වර්තමානය වන විට ලංකාවේ පළාත් සභා 9ක් පිහිටා තිබෙනවා. එම එක් එක් පළාත් සභාවට හිමිවන මන්ත්‍රීවරුන් ප්‍රමාණය පහත දක්වා තිබෙනවා.

බස්නාහිර පළාත් සභාව- 104

කොළඹ දිස්ත්‍රික්කය- 40

ගම්පහ දිස්ත්‍රික්කය- 40

කළුතර දිස්ත්‍රික්කය- 22

අමතර- 2

මධ්‍යම පළාත් සභාව- 58

මහනුවර දිස්ත්‍රික්කය- 30

නුවරඑළිය දිස්ත්‍රික්කය- 16

මාතලේ  දිස්ත්‍රික්කය- 10

අමතර- 2

දකුණු පළාත් සභාව- 155

ගාල්ල දිස්ත්‍රික්කය- 22

මාතර දිස්ත්‍රික්කය- 17

හම්බන්තොට දිස්ත්‍රික්කය- 14

අමතර- 2

වයඹ පළාත් සභාව- 52

කුරුණෑගල දිස්ත්‍රික්කය- 34

පුත්තලම දිස්ත්‍රික්කය- 16

අමතර- 2

උතුරු මැද පළාත් සභාව- 33

අනුරාධපුර දිස්ත්‍රික්කය- 21

පොළොන්නරුව දිස්ත්‍රික්කය- 10

අමතර- 2

ඌව පළාත් සභාව- 34

බදුල්ල දිස්ත්‍රික්කය- 18

මොණරාගල දිස්ත්‍රික්කය- 14

අමතර- 2

සබරගමුව පළාත් සභාව- 44

රත්නපුර දිස්ත්‍රික්කය- 24

කෑගල්ල දිස්ත්‍රික්කය- 18

අමතර- 2

නැගෙනහිර පළාත් සභාව- 37

අම්පාර දිස්ත්‍රික්කය- 14

මඩකලපුව දිස්ත්‍රික්කය- 11

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය- 10

අමතර- 2

උතුරු පළාත් සභාව- 38

යාපනය දිස්ත්‍රික්කය- 16

වව්නියා දිස්ත්‍රික්කය- 6

මන්නාරම දිස්ත්‍රික්කය- 5

මුලතිව් දිස්ත්‍රික්කය- 5

කිලිනොච්චි දිස්ත්‍රික්කය- 4

අමතර- 2

පළමු පළාත් සභා මැතිවරණය

1988 වසරේ අප්‍රේල් 28 වැනිදා වයඹ, උතුරු මැද, සබරගමුව, සහ ඌව පළාත් සඳහා පළාත් සභා මැතිවරණ පවත්වනු ලැබුවා. එවකට රටේ පැවති භීෂණකාරී වාතාවරණය නිසා බස්නාහිර, මධ්‍යම, සහ දකුණු යන පළාත් සඳහා ජූනි මාසයේ දී මැතිවරණය පැවැත්වුණා. උතුරු-නැගෙනහිර පළාත් සභාව සඳහා මැතිවරණයක් ක්‍රියාත්මක වුණේ නොවැම්බර් මාසයේ දී යි. එම අවධියේ දී පළාත් සභා ක්‍රමයට පැවති විරෝධය නිසා ප්‍රධාන විපක්ෂය වුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැතිවරණය වර්ජනය කළා. එසේම ජනතා විමුක්ති පෙරමුණ ඡන්දය වර්ජනය කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියා. එලෙස භීෂණකාරී වටපිටාවක් යටතේ පැවති පළමු පළාත් සභා මැතිවරණයෙන් පහසු ජයක් හිමිකරගත්තේ එක්සත් ජාතික පක්ෂය යි.

ආණ්ඩුකාරවරයා  

පළාත් සභාවක සිටින බලගතුම පුද්ගලයා වන්නේ ආණ්ඩුකාරවරයා යි. ආණ්ඩුකාරවරයෙකු පත් කිරීමේ බලය ඇත්තේ ජනාධිපතිවරයාට යි. ආණ්ඩුකාරවරයාගේ වසර 5ක ධූර කාලය තුළ ඔහුව ඉවත් කිරීමේ බලය හිමිව තිබෙන්නේ ද ජනාධිපතිවරයාට යි. එසේම ආණ්ඩුකාරයාට ජනාධිපතිවරයා වෙත යවනු ලබන ලිපියක් මඟින් ඉල්ලා අස් විය හැකියි. තවද පළාත් සභාවට ආණ්ඩුකාරවරයා ඉවත් කළ හැකි අවස්ථාවන් 3ක් පහත දක්වා තිබෙනවා.

1) ආණ්ඩුකාරවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන චේතනාන්විතව උල්ලංඝනය කිරීමක්. 

2) ආණ්ඩුකාරවරයා ස්වකීය ධූරයේ බලතල අයුතු අන්දමින් පාවිච්චි කිරීමක්. 

3) ආණ්ඩුකාරවරයා අල්ලස සම්බන්ධ වරදක් හෝ චරිත දූෂණය හා සම්බන්ධ වරදක් සිදු කිරීමක්.

ආණ්ඩුකාරවරයා ඉහත වැරදිවලින් එකක් කළ විට ඔහුව ඉවත් කරන මෙන් යෝජනාවක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ හැක්කේ පළාත් සභාවේ මන්ත්‍රීවරුන්ගෙන් 2/3 ක බහුතර බලයක් ලැබීමෙන් පසුව යි. පළාත් සභාවක් කැඳවීමේ සහ විසුරුවා හැරීමේ බලය හිමිවන්නේ ආණ්ඩුකාරවරයාට යි. එසේම බහුතර මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත ඇති පුද්ගලයා මහ ඇමතිවරයා ලෙස පත්කිරීමේ බලය තිබෙන්නේ ද ආණ්ඩුකාරවරයාට යි. තවද මහ ඇමතිවරයාගේ උපදෙස් අනුව පළාත් සභාවේ කැබිනට් මණ්ඩලය පත්කරන්නේ ද ආණ්ඩුකාරවරයා යි.

බස්නාහිර පළාත් සභාව (Daily News) 

පළාත් සභාවක් සතු බලතල 

කලාපය තුළ පිහිටි පළාත් පාලන ආයතන කටයුතු අධීක්ෂණයට, පාලනයට, සහ විසුරුවා හැරීමට බලය තිබෙන්නේ පළාත් සභාවට යි. එම කටයුතු සිදු කිරීම සඳහා ආණ්ඩුකාරයා, මහ ඇමතිවරයා, පළාත් සභා කැබිනට් ඇමතිවරුන්, පළාත් පාලන කොමසාරිස්වරයා, පළාත් පාලන සහකාර කොමසාරිස්වරයා සහ වෙනත් රජයේ නිලධාරින්ගේ සේවය ලබාගන්නවා.

පළාත් සභාවක් මඟින් සිදුකරන කාර්යයන් 

දැනට අප රට තුළ පළාත් සභා 9ක් ක්‍රියාත්මක වනවා. එම පළාත් සභා 9 මඟින් විවිධ කාර්යයන් ඉටුකරනු ලබනවා. එලෙස පළාත් සභා ඉටුකරන කාර්යයන් පහත දක්වා තිබෙනවා.

1) 1964 අංක 28 දරන ඉඩම් අත්පත් කර ගැනීම් පනතේ විධිවිධාන අනුව ඉඩම් අත්පත්කර ගැනීමට පළාත් සභාවන්ට හා පළාත් පාලන ආයතන වලට අවශ්‍ය කටයුතු සිදු කිරිම. 

2) රා.පරි.ච.ලේ. 06/2006 අනුව පළාත් රාජ්‍ය සේවයට අදාළ තනතුරු සඳහා සේවා ව්‍යවස්ථා සම්පාදනය කිරීම.

3)  පළාත් සභා ධූරධාරීන් හා නිලධාරීන් සම්බන්ධ කරගත හැකි තොරතුරු කාර්තුමය වශයෙන් යාවත්කාලීන කිරීම.

4)  පළාත් සභා හා පළාත් පාලන ආයතනවලට අදාල අමාත්‍ය මණ්ඩල සංදේශ සැකසීම සහ නීරික්ෂණ ඉදිරිපත් කිරීම.

5)  පළාත් සභාවන්ට අදාල පාර්ලිමේන්තු ප්‍රශ්න සඳහා පිළිතුරු සකස් කිරීම.

6)  පාර්ලිමේන්තු මහජන පෙත්සම් කාරක සභාව වෙතින් ලැබෙන පෙත්සම් සඳහා පිළිතුරු ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කිරීම.

7)  පළාත් සභා සඳහා වාහන මිලදීගැනීම සහ දීප ව්‍යාප්ත සේවයේ විශ්‍රාමික නිලධාරීන් වෙත තීරු බදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කිරීම.

8)   පළාත් සභා හා පළාත් පාලන ආයතන සඳහා නව තනතුරු ඇති කීරිම සඳහා සම්බන්ධිකරණ කටයුතු සිදු කිරීම.

9)   පළාත් සභාවන් සහ පළාත් පාලන ආයතන වලට අනුයුක්තව කටයුතු කරන විදේශීය ස්වේච්ඡා සේවකයින් සඳහා වීසා ලබාදීම/ කාලය දීර්ඝ කිරීම.

10) මාස දෙකකට වරක් පළාත් ප්‍රධාන ලේකම් සමුළුව පැවැත්වීම.

11) පළාත් සභා ධූරධාරීන්ගේ වරප්‍රසාද දීමනා හා පහසුකම් සම්බන්ධව අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීම.

12) පළාත් සභා හා පළාත් පාලන ආයතන වල දේශපාලන හේතූන් මත විවිධ ගැටලුවලට මුහුණදුන් අයට සහන සැලසීම සම්බන්ධව අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීම.

13) පළාත් සභාවලට අදාලව යොමුවන මහජන පැමිණිලි හා පෙත්සම් සඳහා පිළිතුරු සැපයීම.

පළාත් සභා ක්‍රමය ලංකාවට අවශ්‍ය ද?

බලය විමධ්‍යගත කිරීම ඉන්දියාව වැනි විශාල රටකට ගැලපුණත් 1987 වසරේ දී ඉන්දියානු බලපෑම මත හඳුන්වාදුන් පළාත් සභා ක්‍රමය ශ්‍රී ලංකාව වැනි කුඩා රටකට ගැලපෙන්නේදැයි සිතා බැලිය යුතු වේ. මන්ද පසුගිය කාල සමය තුළ පළාත් සභා 9ක් නඩත්තු කිරීම සඳහා විශාල වියදමක් දැරීමට ද සිදු විය. 

කවරයේ ඡායාරූපය- srilankamirror.com

මූලාශ්‍ර

1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 

Related Articles