Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පාපන්දු ලෝක කුසලානයේ විරෝධතා දැක්වූ “පුසී රයට්” කණ්ඩායම​

පසුගිය දා අවසන් වූ පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරගය පැවැත්වෙන අතරතුර විරෝධතාකරුවන් සිව් දෙනෙකු මොස්කව්හි ලුෂ්නිකි ක්‍රීඩාංගණය වෙත කඩා වැදුණා ඔබ දකින්න ඇති. මෙම විරෝධතාව පිළිබඳ වගකීම “පුසී රයට්” නම් සංවිධානය විසින් බාරගනු ලැබුණා. ඔවුන් ගැන නැවත කතාබහක් ඇති වුණේ කාලයකට පසුව යි.

ඇත්ත වශයෙන්ම මෙය සංගීත කණ්ඩායමක්. දේශපාලන විරෝධතා ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක වන සංගීත කණ්ඩායමක් කිවහොත් වඩාත් නිවැරදි යි. 2011 පටන් ක්‍රියාකාරී වූ එම සංවිධානය වඩාත් ප්‍රකට වූයේ 2012 දී එහි සාමාජිකාවන් තිදෙනෙකුට එරෙහිව පවරන ලද නඩුවක් හේතුවෙන්. මේ සාමාජිකාවන් වූයේ නඩේස්ඩා (නාඩියා) ටොලොකොන්නිකෝවා, මාරියා අල්යොකිනා, සහ යෙකටෙරීනා සමුට්සෙවිච් යන අය යි.

විරෝධතා දේශපාලනය

නාඩියා ටොලොකොන්නිකෝවා ඈත සයිබීරියාවේ නෝරිල්ස්ක් නම් කාර්මික නගරයක උපන් තැනැත්තියක්. ඇය තරුණ කාලයේම “වොයිනා” නම් දේශපාලන විරෝධාකල්ප දරන කලා කණ්ඩායමක සාමාජිකාවක බවට පත් වුණා. මෙකල ව්ලැඩිමීර් පුටින් සිය බලය තහවුරු කරගත් සමය යි. මේ හේතුව නිසා පුටින්ට එරෙහි කණ්ඩායම් විවිධ විරෝධතාවන්ට යොමු වනු දිස් වුණා.

ටොලොකොන්නිකෝවා 2012 දී නඩු විභාගය කරා රැගෙන යමින් (Getty Image)

2008 ජනාධිපතිවරණය ආසන්නයේ දී පුටින්ගේ එක්සත් රුසියාව පක්ෂයේ අපේක්ෂකයා වූ අගමැති දිමිත්‍රි මෙද්වෙදෙව්ගේ ප්‍රකාශයකට එරෙහිව “වොයිනා” කණ්ඩායම දැක්වූ විරෝධතාව නාඩියාගේ පළමු ප්‍රසිද්ධ වූ දේශපාලන විරෝධතාව වුණා. වැඩිපුර දරුවන් බිහි කරන ලෙස මෙද්වෙදෙව් විසින් සිදු කරන ලද ප්‍රකාශයකට ඔවුන් විරෝධය දැක්වූයේ රාජ්‍ය ජීව විද්‍යා විද්‍යාගාරයක විරෝධතා බැනර් එල්ලා එහි ලිංගික සංසර්ගයේ යෙදෙමින්. යුවළ පහක් මෙම විරෝධතාව වෙනුවෙන් සහභාගී වූ අතර ඒ හැරුන කළ තවත් පිරිසක් ද ඊට එක් වුණා. එය මෙද්වෙදෙව් උපහාසයට ලක් කිරීමක් ලෙසයි සලකන ලද්දේ. මෙම විරෝධතාව අවස්ථාව වනවිට නාඩියා ගර්භණී ව සිටියා.

මෙම “වොයිනා” කණ්ඩායම ඉන් ටික කලකට පසු කැඩී ගිය අතර නාඩියා අලුතින් බිහි වූ කණ්ඩායමට එක් වුණා. “පුසී රයට්” පිහිටුවා ගත්තේ එයින් ද කලකට පසුවයි.

මාරියා අල්යොකිනා “පුසී රයට්” හා සම්බන්ධ වීමට පෙර පරිසර ක්‍රියාකාරිණියක ලෙස කටයුතු කළ අතර රුසියානු ග්‍රීන්පීස් සංවිධානය සමග කටයුතු කළා. “පුසී රයට්” විරෝධතා හා සම්බන්ධ වනවිට ඇය​ ජනමාධ්‍යවේදය හදාරමින් සිටියා.

වර්තමානයේ “පුසී රයට්” කණ්ඩායමේ මූලික හඬ ලෙස මතුවන්නේ මෙම සාමාජිකාවන් දෙදෙනා යි.

සංගීත ප්‍රදර්ශන

2011 දී ඇරඹි “පුසී රයට්” කණ්ඩායම පන්ක් රොක් ප්‍රවර්ගයේ සංගීත කණ්ඩායමක්. ඔවුනගේ අදහස් අතර ඒකාධිපතිත්වයට එරෙහි වීම​, ආගම සහ රජය අතර සබඳතාවට එරෙහි වීම සහ ස්ත්‍රීවාදය ප්‍රධාන වුණා. ඔවුන් 2011 වසරේ සිට රුසියාවේ විවිධ ස්ථානයන්හි සිය විරෝධතා ගීත ප්‍රදර්ශනය කළා. මෙහි දී එවක ජනාධිපති මෙද්වෙදෙව් සහ අගමැති වූ පුටින්ට එරෙහි වීම වගේම රුසියානු ඕර්තොඩොක්ස් පල්ලිය පුටින් වෙත සහය පළ කිරීම විවේචනය කෙරුණා. මෙම විරෝධතා ප්‍රදර්ශන සාමාන්‍යයෙන් ඔවුන් සිදු කළේ සිය මුහුණු විවිධ වර්ණයන්හි ආවරණවලින් වසාගෙන යි. ඔවුනගේ ඇඳුම් ද වර්ණවත් වුණා.

පුසී රයට් සාමාජිකාවන් 2012 ජූලි 2 වනදා මොස්කව් හි පැවති Faith No More කණ්ඩායමේ සංගීත ප්‍රසංගයකදී (Reuters)

එවකට අග්‍රාමාත්‍යවරයා වුව ද රුසියාවේ දේශපාලන තුළ නියම බලවතා වූයේ ව්ලැඩිමීර් පුටින් බව ප්‍රකට කරුණක්. ඔහු 2012 ජනාධිපතිවරණය සඳහා යළි ඉදිරිපත් වුණා. මෙම සමය ඔහුගේ පාලනයට එරෙහි විරෝධාකල්ප නැග එමින් තිබූ සමයක් වුණා. මේ අතර පුටින් ඕර්තඩොක්ස් පල්ලියට සමීප වීමට සමත් වුණා. නාමිකව නිරාගමික රාජ්‍යයක් වුව ද එම පල්ලියේ සහය පුටින්ට ඉතා වැදගත් වූ අතර, ඔහු ද ඒ වෙනුවෙන් පල්ලියේ අවශ්‍යතා සලකා බලන තත්ත්වයක් උදා වී තිබුණා.

“පුසී රයට්” කණ්ඩායම 2011 අගෝස්තුවේ පමණ සිට 2012 පෙබරවාරිය වනතුරු මෙවන් ප්‍රදර්ශන 41ක් පැවැත්වූ අතර ඔවුනගේ 42 වන ප්‍රදර්ශනය පවත්වන ලද්දේ 2012 පෙබරවාරි 21 වනදා මොස්කව්හි ගැලවීමේ ක්‍රිස්තුස්වහන්සේගේ ආසන දෙව් මැදුරේ දී යි. මෙම අවස්ථාවේ ඔවුන් අල්තාරය ඉදිරියේ සිය විරෝධතාව දැක්වූ අතර එහි දී ආරක්ෂක​ අංශ විසින් ඔවුන් ඉවත් කරනු ලැබුණා. 2012 මාර්තු 3 වන දා ටොලොකොන්නිකෝවා සහ අල්යොකිනා අත්අඩංගුවට ගනු ලැබුණා. ඉන් දින කිහිපයකට පසු සමුට්සෙවිච් ද අත්අඩංගුවට ගනු ලැබුණා. “පුසී රයට්” කණ්ඩායම ලොව පුරා ජනප්‍රිය වූයේ එයින් පසුව යි.

මොස්කව් හි ගැලවීමේ ක්‍රිස්තුස්වහන්සේගේ ආසන දෙව් මැදුරේ විරෝධතාව (AP)

සිරගත කිරීම​

නඩු විභාගය අවසන් වනතුරු ඔවුන් රඳවා තබා ගන්නා ලද අතර 2012 අගෝස්තුවේ දී මෙම තිදෙනාම වසර දෙක බැගින් සිරගත කෙරුණා. මෙම නඩු විභාගය සහ දඬුවම් නියම කිරීම බටහිර රටවල විශාල පුවතක් වුණා. ජාත්‍යන්තර ක්ෂමා ආයතනය මොවුන්ව හඳුන්වාදුන්නේ හෘදය සාක්ෂියේ සිරකරුවන් ලෙස යි.

මෙම නඩු විභාගය තුළ මෙන්ම එහි තීරණය තුළ ද ඕර්තඩොක්ස් පල්ලිය පිළිබඳ වූ ප්‍රකාශයන් සහ එහි බලපෑම ද පැහැදිලිව පෙනෙන්නට තිබුණා. ඒ අනුව පැහැදිලි වූයේ ඕර්තඩොක්ස් පල්ලිය තව තවත් රාජ්‍යය සමග සම්බන්ධ වන ආකාරය යි.

පුසී රයට් (Daze)

2012 ඔක්තෝබරයේ දී සමුට්සෙවිච්ගේ අභියාචනයක් මත ඇයගේ සිර දඬුවම අත්හිටවූ සිර දඬුවමක් බවට පත් කරනු ලැබූ අතර ඒ අනුව ඇයව නිදහස් කර යවනු ලැබුණා. ටොලොකොන්නිකෝවා සහ අල් යොකිනා නිදහස ලද්දේ 2013 දෙසැම්බරයේ දී රාජ්‍ය ඩූමාව විසින් ඔවුනට සමාව දීමට අනුමැතිය දීමත් සමග යි. මීට​ සමගාමීව කාලයක් තිස්සේ සිරගත කර සිටි මිහායිල් කොදොර්කොව්ස්කි ද නිදහස් කරනු ලැබුණා. එහෙයින් මෙකල පුටින් විසින් විරුද්ධවාදීන් සිරෙන් නිදහස් කිරීම පිටිපස ඇති හේතුව පිළිබඳව ද විවිධ මත පළ වුණා.

පසුකාලීන කටයුතු

ටොලොකොන්නිකෝවා සහ අල්යොකිනා බටහිර රටවල බෙහෙවින් ප්‍රකට චරිත බවට පත් වුණා. කෙසේ නමුත් රුසියාව තුළ විශාල ජනප්‍රියත්වයක් ඔවුනට තිබේ ද යන්න සැක සහිත වන අතර විවිධ අවස්ථාවල ඔවුන්ට පහරදීම් ද සිදු වුණා. ඉන් ප්‍රකටම සිදුවීම වූයේ 2014 සිසිර ඔලිම්පික් උළෙලට සමගාමීව සෝචි නුවර දී ඔවුන් කළ විරෝධතාවකට කොසැක්වරුන් විසින් කස සහ “පෙපර් ස්පේ” යොදාගෙන කළ ප්‍රහාරය යි.

2015න් පසුව මෙම කණ්ඩායම රුසියාවෙන් පිටත සිය දේශපාලන කටයුතු ක්‍රියාත්මක කරනු දකින්නට ලැබුණා. ඊට උදාහරණයක් වූයේ 2015 දී ඔවුන් විසින් පළමු වතාවට ඉංග්‍රීසි ගීතයක් එළි දැක්වීම යි. මේ අතර 2016 ඇමරිකානු ජනාධිපතිවරණයට දින කිහිපයක් තිබිය දී ඔවුන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සටන් පාඨය වූ “Make America Great Again” යන තේමාවෙන් ගීයක් එළි දැක්වූවා. එමඟින් ට්‍රම්ප් ඇමරිකානු ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසු සංක්‍රමණිකයන්ට​, ස්ත්‍රීන්ට​, සමරිසියන්ට ආදී වශයෙන් විවිධ කණ්ඩායම්වලට පීඩනකාරී පාලනයක් ස්ථාපිත කරනු ඇති බවට අනතුරු ඇඟවීමක් කළා.

මේ අතර Netflix ඔස්සේ විකාශය වන House of Cards දේශපාලන කතාමාලාවේ එක් අවස්ථාවක, රුසියානු ජනාධිපති පෙත්‍රොව් ඇමරිකාවට පැමිණෙන අවස්ථාවක ධවල මන්දිරයේ පවත්වනු ලබන භෝජන සංග්‍රහයක දී එහි අමුත්තන් ලෙස ටොලොකොන්නිකෝවා සහ අල්යොකිනා සහභාගී වන ජවනිකාවක් වන අතර, එහි ඔවුන් දෙදෙනා විසින්ම ඔවුනගේ චරිතයන් රඟ දැක්වීම සිදු කළා.

අල්යොකිනා (වමේ) සහ ටොලොකොන්නිකෝවා House of Cards හි දී (Netflix)

කෙසේ නමුත් රුසියාවේ දී ඔවුන් නැවත දේශපාලන විරෝධතාවයක් සිදුකරනු දක්නට ලැබුණේ මොස්කව්හි ලුෂ්නිකි ක්‍රීඩාංගණයට කළ කඩා වැදීමත් සමයි. එහදී පොලිස් ඇඳුමින් සැරසුණ කාන්තාවන් තිදෙනකු මෙන්ම එක් පුරුෂයකු ද එම ක්‍රීඩාංගණයට කඩා වැදුණා. මෙම සිව් දෙනා වූයේ ඔල්ගා පක්සුතෝවා, ඔල්ගා කුරචේවා, නිකා නිකුල්‍ෂිනා, සහ ප්‍යෝතර් වර්ෂිලොව් යන අය යි.

රුසියානු බලධාරීන් ඔවුන් අත්අඩංගුවට ගෙන පසුව අධිකරණයක් හමුවට ඉදිරිපත් කළ අතර එම සිව් දෙනාම දින පහළවක කාලයක් සඳහා සිරගත කොට, වසර තුනක කාලයක් සඳහා ක්‍රීඩා තරග නැරඹීමට පැමිණීම තහනම් කරනු ලැබුණා.

ලෝක කුසලාන අවසාන තරගයේදී (Getty Images)

මේ අතර ජූලි 17 වන දා 2012 දී ටොලොකොන්නිකෝවා, අල්යොකිනා, සහ සමුට්සෙවිච් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීමට එරෙහිව යුරෝපීය මානව හිමිකම් අධිකරණය හමුවේ “පුසී රයට්” කණ්ඩායම විසින් ගොනු කර තිබූ නඩු විභාගයකින් ඔවුන් ජයග්‍රහණය කළා. ඔවුනට වන්දි මුදලක් ගෙවීමට ද එම අධිකරණය විසින් රුසියානු රජයට අණ කරනු ලැබුණා. නමුත් රුසියාව විසින් සම්මත කරගෙන ඇති නීතියකට අනුව එරට එම අධිකරණයෙහි විනිශ්චයන්ට බැඳී නොසිටින හෙයින් එම නියෝග අනුව රුසියාව කටයුතු කරනු ඇතැයි සිතිය නොහැකියි.

පුසී රයට් සාමාජිකාවක් සහ ප්‍රංශයේ කිලියන් එම්බැප්පේ (Reuters)

Cover: greenleft.org.au

Related Articles