කොරෝනා වසංගතය පසුගිය කාලයේ දී ශ්‍රී ලංකාවට ඇතුල්වීමත් සමගම එය රට තුළ පැතිරයාම පාලනය කිරීම සඳහා වැඩපිළිවෙළක් අවශ්‍ය වුණා. එම අවස්ථාවේ කරළියට පැමිණි නිරෝධායනය නම් ක්‍රියාවලිය මේ වන විට රට පුරාම ස්ථාන රැසක දී ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ශ්‍රී ලංකාව තුළ වසංගතය පාලනය කිරීමේ දී වඩාත්ම උපකාරී වුණු නිරෝධායන ක්‍රියාවලිය සඳහා පසුගිය කාල සමය තුළ විශාල පිරිසක් යොමු කරනු ලැබුවා. ඒ අනුව වර්තමානය වන විට නිරෝධායන මධ්‍යස්ථාන 32ක 3000කට අධික පිරිසක් රඳවා තිබෙන අතර තවත් බොහෝ පිරිසක් නිරෝධායනය අවසන් වී සිය නිවෙස් බලා ගොස් තිබෙනවා. 

නිරෝධායනයේ උපත සිදුවුණු ආකාරය 

ක්‍රි.ව 1347-1351 කාල සමය තුළ යුරෝපයේ පැතිරී ගිය මහාමාරිය වසංගතය හැඳින්වුණේ කළු මරණය ලෙසින්. එම වසංගතය එදා ඉතාමත් දරුණු ලෙසින් යුරෝපය පුරා පැතිරී ගිය නිසා යුරෝපයේ ජනගහනයෙන් 1/3ක් පමණ මරණයට පත් වුණු බව බොහෝ වාර්තාවල සඳහන් වනවා. එලෙස මහාමාරිය වසංගතය යුරෝපය පුරා පැතිරී ගිය අවස්ථාවේ එහි බලපෑම තදින්ම දැනුණේ ඉතාලියට යි. එම නිසාම රෝගය පැතිරී තිබුණු ප්‍රදේශවල සිට පැමිණෙන නැව් ඉතාලියේ වැනීසියට ඇතුළු කරගැනීමට පෙර දින 40ක් නැංගුරම් දමා තබනු ලැබුවා. එලෙස දින 40ක් හුදෙකලාව තැබීමේ සංකල්පය හඳුන්වනු ලැබුවේ නිරෝධායනය ලෙස යි. දින 40 යන වචනය ඉතාලි බසින් ලියනු ලබන්නේ Quaranta giorni ලෙස යි. අද බොහෝ දෙනෙකු භාවිතා කරන Quarantine හෙවත් නිරෝධායනය නම් වචනය බිඳී ආවේ ඉහත ඉතාලි වචනයෙනුයි. 

කළු මරණයට ගොදුරු වුණු රෝගියෙක් (CBS News)

නිරෝධායනය අපට ආගන්තුක වුණේ ඇයි?

අතීතයේ සිටම ලෝකය පුරා වසංගත පැතිරී ගිය අවස්ථාවල ඒවා පාලනය කිරීමට නිරෝධායනය නම් ක්‍රියාවලිය භාවිතයට ගනු ලැබුවා. පසුගිය වසර 50 පමණ ඇතුලත ශ්‍රී ලංකාව පුරා දරුණු වසංගත පැතිරී ගියේ නැහැ. එම නිසාම කොරෝනාවෛරසය ලංකාවේ පැතිර යාමත් සමගම කරළියට පැමිණි නිරෝධායනය යන ක්‍රියාවලිය ලංකාවේ සාමාන්‍ය ජනතාවට අරුම එකක් වුණා. ඒ අනුව සමහර පුද්ගලයන් නිරෝධානය මඟ හැර සිටීමට පවා කටයුතු කළා. 

නිරෝධායනය වසංගතයක් පැතිරයාම වැලැක්වීමට උපකාරී වන අයුරු 

පුද්ගලයෙකුන් තවත් පුද්ගලයෙකුට බෝ වන වසංගත රෝගයක දී එය ඉක්මනින් පැතිරයාමට ඉඩ තිබෙනවා. එහි දී රෝගය වැළඳුණු කෙනෙකු සමීපව ඇසුරු කළ පුද්ගලයන් හුදෙකලා කිරීම නිරෝධායන ක්‍රියාවලියේ දී සිදුවනවා. එසේම රෝගය වැළඳුණු පුද්ගලයන් බහුලව සිටින ප්‍රදේශවල සිට පැමිණෙන අයව ද නිරෝධායනයට ලක් කිරීම සාමාන්‍යයෙන් සිදුවන දෙයක්. එලෙස සිදුවන නිරෝධායන ක්‍රියාවලිය මඟින් රෝගය සමාජය තුළ පැතිරීමේ වේගය අඩු කිරීමට හැකියාව තිබෙනවා. 

නිරෝධායන මධ්‍යස්ථානයකට පහරදෙන පිරිසක් (gettyimages)

කොරෝනා වසංගතයත් සමග ලංකාවේ නිරෝධායනය ඇරඹුණු හැටි 

කොරෝනා වසංගතයේ ආරම්භය සිදු වුණේ චීනයේ යි. පසුගිය පෙබරවාරි මාසයේ දී එහි සිට ලංකාවට පැමිණි පිරිස හුදෙකලා කර තැබීමට අවශ්‍ය වුණා. ඒ අනුව ශ්‍රී ලංකා යුධ හමුදාවේ ශ්‍රම දායකත්වය ඇතිව දින කිහිපයකින් දියතලාව නිරෝධායන මධ්‍යස්ථානය ඉදිකරනු ලැබුවා. ඉන් පසුව චීනයේ සිට පැමිණි පිරිස දින 14ක් දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා තැබුවා.

දියතලාව නිරෝධායන මධ්‍යස්ථානය (army.lk)

ශ්‍රී ලංකාව තුළ නිරෝධායන මධ්‍යස්ථාන ප්‍රමාණය වැඩි වුණු හැටි 

පසුගිය මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාව තුළ කොරෝනා වසංගතය වේගයෙන් පැතිර යාම ආරම්භ වුණා. එම නිසා වසංගතය වේගයෙන් පැතිරෙමින් සිටි ප්‍රදේශවල ජනතාව හුදෙකලා කිරීමේ අවශ්‍යතාවයක් මතු වුණා. ඒ අනුව සමහර ප්‍රදේශ හුදෙකලා කරන විට තවත් විශාල පිරිසක් නිරෝධායනය ලක් කිරීමට අවශ්‍ය වුණා. එහි ප්‍රතිඵලයක් ලෙසින් වර්තමානය වන විට පූනානි, ගල්කන්ද, දියතලාව, කන්දකාඩු ඇතුළු නිරෝධායන මධ්‍යස්ථාන 30කට අධික පිරිසක් ශ්‍රී ලංකා යුධ හමුදාවේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වනවා. 

නිරෝධායන මධ්‍යස්ථානයක සිදුවන ක්‍රියාවලිය කෙටියෙන් 

නිරෝධායනය සඳහා පුද්ගලයයන් නිරෝධායන මධ්‍යස්ථානවලට ඇතුළත් කරන අවස්ථාවේ දී සහ ඉන් පසුව පහත සඳහන් ක්‍රියා පටිපාටියට අනුගමනය කරනවා 

1) පුද්ගලයන් නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන යාමේ දී ඔවුන් අතර මීටරයක දුර පරතරය පවත්වා ගනු ලබනවා.

2)  නිරෝධායන මධ්‍යස්ථානය වෙත පැමිණීමෙන් පසුව ඔවුන්ට එහි දී අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය පිළිබඳව හොඳ අවබෝධයක් ලබාදෙනවා..

3) නිරෝධායන මධ්‍යස්ථානය තුළ නිරෝධායනය වන පුද්ගලයන් අධීක්ෂණය කිරීම සිදුවනවා. එහි අරමුණ වන්නේ ඔවුන් නිවැරදිව එම ක්‍රියාවලිය අනුගමනය කරනවාදැයි පරීක්ෂා කිරීම යි.

4) යම් පිරිසක් දින 14ක නිරෝධායනය අවසන් කිරීමෙන් පසුව ඔවුන් සිටි ගොඩනැගිල්ල විශබීජානුහරණය කරන තුරු කිසිදු කෙනෙක් එයට ඇතුලත් කරගන්නෙ නැහැ.

5) නිරෝධායනය වන කාල සීමාව තුළ කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණොත් ඔවුන්ව රජයේ රෝහලකට ඇතුලත් කරනු ලබනවා.

කොරෝනා අවදානම වැඩි ප්‍රදේශවල සිට පැමිණි ජනතාව කාල වකවානු 2ක දී පහත ආකාරයට PCR පරීෂණයට ලක් කරනවා.

1) එහි දී මුලින්ම පරීක්ෂාව සිදුකරනු ලබන්නේ නිරෝධායන මධ්‍යස්ථානට පැමිණ දින 6-10ත් අතර කාලයක් ගෙවුණු පසුව යි.

2) ඉන් අනතුරුව දින 13-14 අතර කාලයක් ගතවුණු පසුව නැවතත් පරීක්ෂාවක් කරනු ලබනවා. 

නිරෝධායන මධ්‍යස්ථානයක් ඇතුළත (citizenpost.lk)

එම ක්‍රියාවලියේ දී සෞඛ්‍යය අංශවල නිලධාරින් සහ ශ්‍රී ලංකා යුධ හමුදා නිලධාරින් ඒකාබද්ධ වී කටයුතු සිදුකරනු ලබනවා. එහි දී රෝගීන්ගෙන්  ලබාගත් සාම්පල රසායනාගාරය වෙත යැවීමේ දී පහත ක්‍රමවේදය අනුගමනය කරනවා. 

1) සාම්පල එකතු කරගන්නා බඳුන් ඒවා ලබාගැනීමට පෙර නිවැරදිව නාමකරණය කළ යුතු වනවා.

2) එකතු කරගන්නා සම්පල හොඳින් ඇසුරුම් කරගැනීම අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්. 

3) එසේම ලබාගන්නා සාම්පල පැය 48ක් ඇතුළත රසායනාගාරය වෙත යවනු ලබනවා.

4) එලෙස රසායනාගාරය වෙත යවන සාම්පල ප්‍රවාහනය සහ ගබඩා කිරීම සිදුකළ යුත්තේ සෙල්සියස් 2-8 අතර උෂ්ණත්ව තත්ත්වවල දී යි.

5) පැය 48කට පසුව රසායනාගාරය වෙත ගෙන යන  සාම්පල සෙල්සියස් 70ක පමණ උෂ්ණත්වයක ගබඩා කර තැබීම කළ යුතු යි.

6) එසේම සාම්පල ලබාගන්නා එක් එක් පුද්ගලයාගේ ලෙඩ රෝගවල ඉතිහාසය පිළිබඳව කෙටි වාර්තාවක් රසායනාගාරයට සහ වසංගත රෝග අංශයට යැවීම සිදුවනවා.

එලෙස යවන සාම්පල රසායනාගරය තුළ පරීක්ෂාවට ලක් කිරීමෙන් පසුව එහි ප්‍රතිඵල වසංගත රෝග අංශය වෙත යවනු ලබනවා. ඉන් අනතුරුව වසංගත රෝග අංශය එම ප්‍රතිඵල නිරෝධායන මධ්‍යස්ථාන වෙත දැනුම් දෙනවා. නියමිත දින ගණන නිරෝධායන මධ්‍යස්ථානය තුළ ගතකිරීමෙන් පසුව ඉන් පිටව යන පුද්ගලයන්ට පහත සඳහන් ක්‍රියා පටිපාටිය අනුගමනය කිරීමට සිදුවනවා.

1) නිරෝධායන මධ්‍යස්ථාන තුළ සිටිය දී කොරෝනා රෝගියෙකු ලෙස තහවුරු වුණු පුද්ගලයෙකු සමීපව ඇසුරු කළ සියළුම පුද්ගලයන්ගේ නිරෝධායන කාල සීමාව තවත් දින 14කින් දීර්ඝ කරනවා. 

2) නිරෝධායනය වීමෙන් පසුව නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටවන එක් එක් පුද්ගලයාගේ තොරතුරු ඔහුගේ ප්‍රදේශයේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරියා වෙත යවනු ලබනවා. ඉන් පසුව ඔහු යටතේ නිරෝධානය වුණු පුද්ගලයන් ලියාපදිංචි විය යුතු යි.

3) එලෙස ලියාපදිංචි වීමෙන් පසුව දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරියාගේ අධීක්ෂණය යටතේ දින 14ක් ස්වයං නිරෝධායනය වන පුද්ගලයන්ට එම දින 14 අවසන් වන විට දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරියාගෙන් නිරෝධායනය අවසන් කළ බවට සහතිකයක් ලැබෙනවා.

ස්වයං නිරෝධායනය 

නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායන වන පිරිසට අමතරව තවත් විශාල පිරිසක් සිය නිවෙස්වල සිට ස්වයං නිරෝධායනයට ලක් වනවා. කොරෝනා රෝගීන් වාර්තා වුණු ඇතැම් ප්‍රදේශ හුදෙකලා කරමින් බොහෝ දෙනෙකු එලෙස ස්වයං නිරෝධායනයේ යෙදවීමට සිදුව තිබෙනවා. එලෙස ස්වයං නිරෝධායනයේ යෙදෙන පුද්ගලයන් දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරියාගේ සහ මහජන සෞඛ්‍යය පරීක්ෂකවරයාගේ අධීක්ෂණයට ලක් වනවා. එම කාල සීමාව තුළ දී ස්වයං නිරෝධායනය වන පුද්ගලයෙකු වෙතින් කොරෝනා රෝග ලක්ෂණ දිස් වුණොත් එම රෝගියා රජයේ රෝහලක් වෙත ඇතුලත් කිරීම අදාළ බලධාරීන් විසින් සිදුකරනු ලබනවා. 

නිරෝධායන ක්‍රියාවලිය ආරම්භ කළ දිනවල ලාංකිකයන්ට ඒ පිළිබඳව අත්දැකීමක් තිබුණේ නැහැ. නමුත් මේ වන විට සැලකිය යුතු පිරිසක් නිරෝධායන ක්‍රියාවලිය පිළිබඳව දැනුවත්ව සිටිනවා. එම නිසාම අනාගතයේ දී ශ්‍රී ලංකාව තුළ වසංගතයක් පැතිරී ගියොත් එහි ව්‍යාප්තිය අඩු කිරීමට නිරෝධායන ක්‍රියාවලිය සහායක් වනු ඇති.

කවරයේ ඡායාරූපය- නිරෝධායන මධ්‍යස්ථානයක් නිරීක්ෂණය කරන හමුදාපතිවරයා (Daily News)

මූලාශ්‍රය - epid.gov.lk