අවු. 95කට පස්සේ රේඩියෝ සිලෝන් ගිය උඩවැඩියා මල

අද සුපර් ස්ටාර්ස්ලා එක රැයෙන් බිහිවන්නේ රූපවාහිනී චැනල්වලින්. එදා දක්ෂ ගායකයන් බිහිකළේ ගුවන්විදුලියේ පිබිදෙන ගායක පරපුර. රටේ ජන ගී, වැදි ගී, අවුරුදු නත්තල් සිරිත් ගැන ලෝකයට කිව්වේ ශ්‍රී ලංකා ගුවන් විදුලිය යි. සිංහල, දෙමළ, සහ ඉංග්‍රීසි සේවා අතිශය ජනප්‍රිය වුණා. ක්‍රිකට් මැච් කාලෙට පොකට් රේඩියෝ අලෙවියත් ඉහළ ගියා. ඒත් අද රේඩියෝ යන්ත්‍රය කවුරුවත් ගණන් ගන්නෙ නෑ.

අතීතය විමසා බලමු

තැටිගත කිරීමේ යන්ත්‍රයක්-  mumbaimessenger.com

ඔබ මෙම ලිපිය කියවන්නේ ඩිජිටල් අකුරුවලින්. වයර් නැති සන්නිවේදනයකින්. ඒ ගැන කාටවත් පුදුමයක් නැහැ. ඒත් වයර් රහිත සන්නිවේනය ලෝකයට  මුලින්ම පැමිණීම ලෝක පුදුමයක් වුණා. ලෝකයේ පළමුවන ගුවන්විදුලි ප්‍රචාරක මධ්‍යස්ථානය ඉතාලියේ පිහිටවූයේ 1919 දී යි. ඒ ගුවන්විදුලිය සොයාගත් ගුග්ලිඑල්මෝ මාකෝනි විසින්. අපේ රටෙත් ඒ කාලෙ රේඩියෝ ප්‍රචාරයට කොච්චර උනන්දුවක් තිබුණා ද කිව්වොත්, 1922 දී “වයර්ලස් සමාජය” නමින් සංගමයක් පිහිටුවා ගත්තා. පස්සේ 1923 දී එහි නම “ලංකා ආධුනික රේඩියෝ සමාජය” කියලා වෙනස් කර ගත්තා. පස්සේ ඒක “ලංකාවේ සහ දකුණු ඉන්දියානු රේඩියෝ සමාජය” බවට පත්වුණා. මේ සමාජයට අවශ්‍ය වුණේ ලංකාවේ රේඩියෝ විකාශයක් ආරම්භ කිරීමට යි.

මුල්ම රේඩියෝ පණිඩුඩය

මුල් කාලයේ ගුවන් විදුලියේ ලාංඡන -wikipedia.org

ආණ්ඩුවෙ මැදිහත්වීමෙන් 1924 ජූනි 24 දා මුල්ම ගුවන්විදුලි පණිවුඩය ලබා තිබෙනවා. ඒ ආණ්ඩුකාර විලියම් හෙන්රි මැනිං ලංකා ඉංජිනේරු සංගමයට යැවූ පණිවුඩයක්. එය විසුරුවා හැර ඇත්තේ මධ්‍යම විදුලි සංදේශ කාර්යාලයේ සවිකළ ට්‍රාන්ස්මීටර් යන්ත්‍රයකින්. ඒ කාලෙ ග්‍රැමෆෝන් යන්ත්‍රයක් ක්‍රියාකර, එය ඉදිරියෙන් මයික්‍රෆෝනයක් තැබීමෙන් තමයි වැඩසටහන් විකාශය කළේ.

ලංකාව ගුවන් විදුලි ප්‍රචාරයෙන් මුල් තැන ලැබුණු රටක්. බ්‍රිතාන්‍ය යටත් විජිතයක ගුවන්විදුලි කටයුතු ඇරඹුණු පළමු රට ලංකාව යි. අත්හදාබැලීම්වලින් පසු නිල වශයෙන් ලංකාවේ ගුවන්විදුලි ප්‍රචාරය ඇරඹුණේ 1925 දෙසැම්බර් 15 දා යි. ඉන්දියාවේ රේඩියෝ විකාශන ආරම්භ වුණේ 1927 දී යි.

විකාශන කටයුතුවලට යන්ත්‍ර මිල දී ගෙන ඇත්තේ ආණ්ඩුව ලබාදුන් රු. 9000කින්. මුල් කාලයේ ගුවන්විදුලි සේවය හැඳින්වී තිනේනේ “රේඩියෝ සිලෝන්” නමින්. සිංහල නිවේදකයා අසන්නන් අමතා තිබෙන්නේ “කොළඹින් කතා කරමි” යන හැඳින්වීමෙන්.

තැපෑලට අයත් වූ රේඩියෝ සිලෝන්

රේඩියෝ සිලෝන් කාර්ය මණ්ඩලය 1941 දී – mumbaimessenger.com

1949 දී වන තෙක් රේඩියෝ සිලෝන් අයත්ව තිබුණේ තැපැල් දෙපාර්තමේන්තුවට. එය “ලංකා ගුවන්විදුලි සේවය” නමින් වෙනම දෙපාර්තමේන්තුවක් වුණේ 1949 දී යි.  ප්‍රථම ලාංකික අධ්‍යක්ෂ ජනරාල් වුණේ එම්. ජේ. පෙරේරා. 1967 දී එය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව නමින් සංස්ථාවක් බවට පත්වුණා. එහි පළමු සභාපති වුණේ නෙවිල් ජයවීර යි. ඊට පසු රිජ්වේ තිලකරත්න, ඒමන් කාරියකරවන ආදී නිලධාරින් ද සංස්ථාව නගා සිටුවීමට කැපවූ අය.

මුල්ම සිංහල නිවේදක ඩී. එම්. කොළඹගේ සහ මුල්ම නිවේදිකා ප්‍රභා රණසිංහ – wikipedia.org

1979 දී රජරට සේවය ආරම්භ කරන අතර එය පළමු ප්‍රාදේශීය සේවය යි. රුහුණු සේවය ආරම්භ කරන්නේ 1980 දී යි. මහවැලි ප්‍රජා ගුවන්විදුලිය 1981 දී ඇරඹෙනවා. මේ කාලේ ගුවන්විදුලිය කියන්නේ විශාල ලෙස ලාබ ලැබූ ආයතනයක්.

2020 දෙසැම්බර්වලට ගුවන්විදුලිය ආරම්භ වී අවුරුදු 95ක් පිරුණා. ඒ වෙනුවෙන් පේරාදෙණිය උද්භිද උද්‍යානය “ඩෙන්ඩ්‍රෝබියම් රේඩියෝ සිලෝන්” නමින් උඩවැඩියා මලක් නම් කළා.

දැනට කොටුවේ පිහිටි මධ්‍යම විදුලි සංදේශ කාර්යාලයේ කාමරයක තමයි මුල්ම ප්‍රචාරක මැදිරිය තිබුණේ. දිනපතා රේඩියෝ වැඩටහන් විකාශය කළා. හැබැයි ඉංග්‍රීසියෙන්. බටහිර සංගීතය, කාලගුණ වාර්තාව, මහාමාර්ග පිළිබද වාර්තා සහ වෙළෙද තොරතුරු ඒවාට ඇතුළත් වී තිබෙනවා.

ලයිසන්වලින් අහපු රේඩියෝ

1990 දශකය  දක්වා රේඩියෝව ඇහැව්වෙ සල්ලි ගෙවලා වාර්ෂික බලපත්‍රයක් අරගෙන. ඒක අලුත් කළේ තැපැල් කන්තෝරුවලට සල්ලි ගෙවලා. ඇත්තටම රූපවාහිනි බලන්නත් මුලින්ම ඒ වගේම බලපත්‍ර අවශ්‍ය වුණා. 1925 ජූලි මාසයේ සිටම බලපත්‍ර නිකුත් කර තිබෙනවා. ඒ අවුරුද්දෙ රේඩියෝ අහපු සංඛ්‍යාව 179ක්. 1926 අවසන් වන විට රේඩියෝ ලයිසන් 450ක් ලබාගෙන තිබුණා. 1935 අවසන් වන විට ගුවන්විදුලි බලපත්‍ර හිමියන්ගේ ගණන 3080ක් වුණා. බලපත්‍රයකට අය කළ මුදල රු. 10ක්. ඒ කාලෙ ජනගහනයන් 2000කට එක් රේඩියෝවක් පමණයි තිබී ඇත්තේ. එකල රේඩියෝව ඉතා සුඛෝපභෝගී උපකරණයක් ලෙස සැලකුණා.

ටොරිංටන් චතුරස්‍රයට පැමිණි රේඩියෝ සිලෝන්- wikipedia.org

දෙවැනි ලෝක යුද්ධය පැවතුණ ද 1940 වනවිට රේඩියෝ ලයිසන් සංඛ්‍යව 10000ක් දක්වා ඉහළ නැග තිබෙනවා. 1957 අවසන් වන විට පැවති ගුවන්විදුලි යන්ත්‍ර සංඛ්‍යාව 18036ක්. 1979 වර්ෂය වනවිට පැවති ගුවන්විදුලි යන්ත්‍ර සංඛ්‍යාව 1990060ක් ලෙස වාර්තා වෙනවා. 1980 දශකයේ ලංකාවට මුලින්ම රූපවාහිනිය එනවා. ඉන්පසු ගුවන්විදුලිය අත්කර ගෙන සිටි විද්‍යුත් මාධ්‍ය ඒකාධිකාරීත්වය බිද වැටෙනවා.

අතීතයේ නාට්‍ය තැටිගත කිරීමක්- Vernon. Corea.wordpress.com 

මුල් කාලයේ බ්‍රිතාන්‍ය ගුවන්විදුලියෙන් කෙටි නාට්‍ය ගෙන්වාගෙන ප්‍රචාරය කර තිබෙනවා. ක්‍රීඩා තොරතුරු සහ ප්‍රවෘත්ති රේඩියෝවට ආවේ 1927 දී යි. තිබුණේ එකම රේඩියෝ සේවය යි. ඒත කොළඹ අවට අයට විතර යි. ගුවන් විදුලි ප්‍රචාරය කරන පැය ගණනින් සියයට 10ක් තමයි  සිංහල, හින්දුස්තානි, සහ කර්ණාටක සංගිතයට වෙන් වුණේ. 1927 දී පළමුවන සිංහල සජීවී සංගීත වැඩසටහන ප්‍රචාරය කර තිබෙනවා. සංගීත තැටි එංගලන්තයෙන් සහ ඉන්දියාවෙන් ගෙන්වාගත් අතර, සිංහල තැටි කාගිල්ස් සහ මිලර්ස් යන සමාගම්වලින් ලබාගෙන තිබෙනවා. බී. එච්. ද සිල්වා, රුක්මණි දේවි, කෝකිලදේවි, එස්. ඒ. ලතීෆ් ආදී ගායක ගායිකාවන් ඒ කාලෙ ජනප්‍රියව සිටියා. ඔවුන් සියලු දෙනාම ග්‍රැමෆෝන් තැටිවලට සිංදු කිව්ව අය යි. පසුව ආනන්ද සමරකෝන් ඉන්දියාවේ ශාන්ති නිකේතනයේ ඉගෙනගෙන පැමිණ මෙරට සංගීතයේ වෙනසක් කළා.

පළමු සිංහල කතාව ගුවනේ

මුල්ම ගුවන් විදුලි කතාව පැවැත්වූ  පැලෑනේ වජිරඥාන හිමි vajiraramaya.lk

සිංහල බහුතරයක් සිටි රටක් වුණත් ඉංග්‍රීසියට මුල් තැන දුන් රේඩියෝවේ සිංහල කතාවක් ප්‍රචාරය වූයේ එය පටන් ගෙන අවුරුදු දෙකකට පස්සේ. ඒ බණ දේශනාවක්. පැවැත්වූයේ වජිරාරාමාධිපති පැලෑනේ සිරිවජිරඥාන හාමුදුරුවෝ. ඒ බණ කෙතරම් ජනප්‍රිය වුණාදැ යි කිව්වොත්, ඒ කාලෙ ගම්වල නගරවල ගුවන්විදුලි යන්ත්‍ර තිබුණු තැන් වටා විශාල පිරිස් රොක් වෙලා බණ අහපු බව පැවසෙනවා. උන්වහන්සේ ඊට පසු අවරුදු 20ක් කල් නොකඩවා කතා සහ ධර්ම දේශනා ගුවන් විදුලියෙන් ඉදිරිපත් කළා.

ගුවන් විදුලියට බෝම්බ

රේඩියෝ සිලෝන් නිෂ්පාදක මැදිරියක්- dinamina.lk

1939 ආරම්භ වූ දෙවන ලෝක යුද උණුසුම ලංකාවටත් වැඩිපුර දැනුණා. ඒ කාලේ ගුවන්විදුලි කාර්යාලය අසල ටොරිංටන් තුරග තරග පිටියේ (දැන් රූපවාහිනී සංස්ථාව තිබෙන) තාවකාලික  යුද ගුවන් තොටුපොළක් ඉදිකර තිබුණා. 1942 අප්‍රේල් 5 දා පාස්කු ඉරිදා උදේ 7.00ට සතුරු අහස් යානා බලඇණියකින් බෝම්බ අතහැරියා. ගුවන්විදුලිය අසලට බෝම්බ පතිත වුණා. මේ නිසා හැකි ඉක්මනින් එය වෙන තැනකට ගෙනයාමට ආණ්ඩුව තීරණය කළා.

අලුත් නවාතැන වුණේ බොරැල්ල කොටා පාරේ බවර් නම් ගෙය යි. 1942 සැප්තැම්බර් 3 දා අලුත් නිවහනට මැදිරි දෙකකින් යුත් රේඩියෝව ගෙවදුණා. මුලින්ම ප්‍රචාරය කරන ලද්දේ එන්. ආර්. ඩයස්ගේ සිංහල ගී ගායනයක්. මේ කාලයේ යුද ගුවන් සතුරු අනතුරු පහව යාමේ සංඥාවෙන් පසු නිලධාරින්ට සේවයට පැමිණීමට පාපැදි ලබා දී තිබුණා.

යළිත් ටොරිංටන් එකට

 පියානෝ වාදනයක් තැටිගත කරන අයුරු- Vernon. Corea.wordpress.com

අද ගුවන්විදුලිය තිබෙන තැනට නැවතත් බොරැල්ලේ සිට ආවේ 1950දියි. ඒ වන විට මැදිරි 10කින් යුත් ගොඩනැගිල්ලක් එහි ඉදිකර තිබුණා. ඒ වගේම නිදහස ලබා ඉංග්‍රිසි බලපෑම තුරන් වී ගිබුණා. සිංහල, දෙමළ සහ ඉංග්‍රිසි වෙනුවෙන් වෙන වෙනම සේවා ආරම්භ කිරීමද සිදුවුණා. වැඩසටහන් සම්පාදකවරු, සංවිධායකයන් පත්කර වඩාත් ක්‍රමානුකුලව රේඩියෝව විකාශය කළා. 1952 දී අධ්‍යක්ෂ ජනරාල් වූ එම්. ජේ. පෙරේරා ගුවන්විදුලිය තව තවත් ජනතාවට ළං කිරීමට සැලසුම් කිහිපයක්ම සකස් කර තිබෙනවා.

ජන ගී සොයා කඳවුරු බදී

ගුවන්විදුලිය වෙනුවෙන් නිකුත් කළ මුද්දරයක්- aboutceylon.com

පාරම්පරික ගායනා වන ජන ගී, වන්නම් ආදියේ වටිනාකම 1940 දශකයේ දී ගුවන්විදුලි බලධාරීන් තේරුම් ගෙන තිබුණා. මේ කාලෙ තිබුණේ තැටිගත කිරීමේ විශාල යන්ත්‍ර. ඒවා ගෙනයාමට ලොකු වාහනයක් අවශ්‍ය වුණා. ගුවන්විදුලියේ මුල් කාලීන ප්‍රථම සිංහල නිවේදකයා වූ ඩී. එම්. කොළඹගේ ඒ ගැන කියන්නේ මේ විදිහට යි:

තැටිගත කිරීමේ උපකරණ ගෙනයාමටත් තැටිගත කිරීමේ කමිටුවේ සාමාජිකයන් ගෙන යාමටත් විශේෂයෙන් සකස් කළ වෑන් රථයක් 1947 දී ලබාගන්නා ලදී. වෑන් රථයේ  එළිමහනේ සවිකළ හැකි කූඩාරමක් ද බූරු ඇදන් 12ක් ද කෑම පිසීමේ උපකරණ, පිගන් කෝප්ප ද විය. මේ නිසා දුර පළාත්වලට ගොස් වැඩසටහන් තැටිගත කළ හැකි විය. 

(ගුවන් විදුලි වංශය- ඩී. ඇම්. කොළඹගේ, 46 පිට)

1947 දී මාතර රාහුල විද්‍යාලයේ පැවති ජන ගී තැටිගත කිරීමකට කෙතරම් සෙනග ආවාදැ යි කිවහොත් පිරිස හැසිරවීමට පොලිසියත් කැඳවා තිබෙනවා. 1947-48 කාලයේ දී ගුවන්විදුලිය කෞතුක අගය, අධ්‍යාපනය, රසාස්වාදය යන අංග යටතේ තැටි 324ක් නිෂ්පාදනය කර තිබෙනවා.

මුල් යුගයේ ගුවන් විදුලි නිවේදකයන්

කරුණාරත්න අබේසේකර සහ තේවිස් ගුරුගේ – wikipedia.org

ඒ කාලේ වැඩසටහන් නිෂ්පාදකවරු හිටියෙ නැති නිසා නිවේදක තමයි තැටි සාප්පුවලට ගොස් ගී තැටි තෝරාගැනීමේ සිට වැඩසටහනේ හැම දෙයක්ම කරලා තියෙන්නේ. ඩී. ඇම්. කොළඹගේ තමයි 1937 දී පත්වූ මුල්ම සිංහල ස්ථිර නිවේදකයා වුණේ. ආර්. ආර්. ඇන්ඩර්සන් ඉංග්‍රීසි නිවේදකයෙක්. මෝසස් ඩබ්ලිව් ප්‍රනාන්දු 1943 දී තරග විභාගකින් තෝරාගත් තවත් සිංහල නිවේදකයෙක්. ඊට පසු පැමිණි දක්ෂයෙක් වුණේ තේවිස් ගුරුගේ. එල්. ආර්. විජේමාන්නත් දක්ෂ නිවේදකයෙක් ලෙස සිටියා. ඔහු පසුව අධ්‍යක්ෂ ජනරාල් තනතුරත් ලැබුවා. කරුණාරත්න අබේසේකර 1949 දි නිවේදක ධූරයට පත්ව ජනප්‍රිය වූ තවත් චරිතයක්.

රේඩියෝවේ අගය බහී

ගුවන් විදුලිය සංස්ථාවක් වූ පසු- Vernon. Corea.wordpress.com

1992 වන විට මෙරට පැවති ගුවන්විදුලි යන්ත්‍ර සංඛ්‍යාව ලක්ෂ 35ක්. සංස්ථාවට ආදායම් ලැබුණේ ගුවන් කාලය විකිණීමෙන් සියයට 60ක් සහ බලපත්‍රවලින් සියයට 40ක් වශයෙන්. මේ අවධියේ පෞද්ගලික නාලිකා ආරම්භය ද සිදුවන අතර මේ හින්දා ගුවන් විදුලි සංස්ථාවේ ඒකාධිකාරය බිඳවැටෙනවා. බලපත්‍ර ක්‍රමයත් අහෝසි කිරීම නිසා  ඒ ආදායමත් ගුවන් විදුලියට අහිමි වෙනවා. අද ගුවන් විදුලි සංස්ථාව ආණ්ඩුවේ ආධාරවලින් යැපෙන පාඩු ලබන තැනක්. ඒත් එහි ඉතිහාසය දකුණු ආසියාව පුරාම කීර්තිමත්.

ආශ්‍රිත මුලාශ්‍රයයන්:

ගුවන්විදුලි වංශය- ඩී. ඇම්. තොළඹගේ

මාධ්‍ය ප්‍රතිචාර- නන්දන කරුණානායක

කවරය- ගුවන්විදුලියේ තැටි ගබඩාව- roar.lk

Related Articles