Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතියේ හමුවන මංසන්ධි

දුර පළාත්වල සිට රැකියා කටයුතුවල නිරත වීම සඳහා කොළඹට එන බොහෝ දෙනෙකු ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතියේ වටිනාකම හොඳින්ම දන්නවා. වර්තමානයේ ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ දැවැන්තයා බවට පත්ව තිබෙන දුම්රිය විශාල පිරිසකගේ ප්‍රවාහන අවශ්‍යතා සපුරාලනවා. එලෙස දුම්රියෙන් ගමන් කරන ඔබට දුම්රිය මාර්ග පද්ධතිය තුළ දී දුම්රිය මංසන්ධි රැසක් හමුවනවා. ඉන් මංසන්ධි කිහිපයක් වර්තමානය වන විට ක්‍රියාත්මක නොවුණත් ඉතිරි මංසන්ධි කිහිපයකම සක්‍රීයව පවතින නිසා මෙම ලිපිය මඟින් තොරතුරු ඉදිරිපත් කරන්නේ ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතිය තුළ හමුවන මංසන්ධි පිළිබඳව යි.

දුම්රිය මාර්ග පද්ධතියක් ලංකාවට අවශ්‍ය වුණේ ඇයි?

19 වැනි සියවසේ මැද භාගය වන විට බ්‍රිතාන්‍යයන් ලංකාව තුළ කෝපි වගාව ආරම්භ කර තිබුණා. එය ටික කලක් යන විට ඉතාමත් ඉහළ අස්වැන්නක් ලබාදුන්නා. වසරින් වසර ලැබෙන කෝපි අස්වැන්න ඉහළ යන විට වැවිලිකරුවන්ට එම අස්වැන්න වෙනත් ප්‍රදේශවලට රැගෙනයාමට පහසු ක්‍රමයක් තිබුණේ නැහැ. ඒ වන විට මහනුවර සිට කොළඹ බලා අශ්ව කරත්ත ගමන් කළත් වැවිලිකරුවන්ගේ අස්වැන්න ප්‍රවාහනය කිරීමට එය ප්‍රමාණවත් වුණේ නැහැ. එම නිසා එක්වර වැඩි අස්වැන්නක් ප්‍රවාහනය කළ හැකි ප්‍රවාහන ක්‍රමයක අවශ්‍යතාවය මතු වුණා.

ලංකාව තුළ දුම්රිය ගමනාගමනය ඇරඹුණු හැටි 

1850 වසර පමණ වන විට ලංකාවේ කෝපි වැවිලිකරුවන්ට හොඳ මාර්ග පද්ධතියක අවශ්‍යතාවය මතුවෙමින් පැවති නිසා, ඔවුන් එවකට ලංකාව පාලනය කළ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයාට ඒ සඳහා පිළියමක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කළා. එයට ඔහුගෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණත් 1855 වසරේ දී බලයට පත් වුණු හෙන්රි වෝඩ් ආණ්ඩුකාරවරයා එම ඉල්ලීමට එකඟ වනවා. ඒ අනුව ඔහු 1858 වසරේ දී දුම්රිය දෙපාර්තමේන්තුව පිහිටුවා එම වසරේම අගෝස්තු 3 වැනිදා මුල්ම දුම්රිය මාර්ගය ඉදිකිරීම සඳහා මංගල පස් පිඩැල්ල කපනු ලැබුවා. 

ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතිය ආරම්භ කිරීමට මුල් වුණු හෙන්රි වෝඩ් ආණ්ඩුකාරයා 1860 වසරේ දී සිය ධූර කාලය නිමා කළත්, ඉන් පසුව පත් වුණු බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරුන් එම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන ගියා. 1864 වසරේ දෙසැම්බර් 27 වැනිදා මෙරට දුම්රිය ඉතිහාසයේ මුල්ම වරට දුම්රියක් කොළඹ සිට අඹේපුස්ස දක්වා ගමන් කරනු ලැබුවා.

ලංකාවේ පළමු දුම්රිය ගමන (Lankadeepa)

ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතිය පුළුල් වුණු හැටි  

විශාල පරිශ්‍රමයක් දැරීමෙන් පසුව ආරම්භ වුණු දුම්රිය මාර්ග පද්ධතිය වර්තමානය වන විට වඩාත් දියුණු තත්ත්වයකට පත්ව තිබෙනවා. එහි දී ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතිය අදියරෙන් අදියර දීර්ඝ කරමින් ජනතාවට හොඳ ප්‍රවාහන සේවයක් ලබාදිය හැකි මට්ටමට සකස් කරනු ලැබුවා. 

උඩරට දුම්රිය මාර්ගය 

ලංකාවේ දුම්රිය මාර්ග අතුරින් සුන්දරම දුම්රිය මාර්ගයක් වන උඩරට දුම්රිය මාර්ගය 1867 වසරේ දී මහනුවර දක්වා දීර්ඝ කරනු ලැබුවා. ඉන් පසුව 1873 වසර වන විට ගම්පොළ දක්වා දීර්ඝ කළ උඩරට දුම්රිය මාර්ගය හැටන් දක්වා දීර්ඝ කිරීමට තවත් වසර 11ක් පමණ ගත වුණා. එලෙස හැටන් දක්වා ඉදිකළ දුම්රිය මාර්ගය නානුඔය දක්වා දීර්ඝ කරන විට දුම්රිය මාර්ගයේ දිග තවත් කිලෝමීටර් 17කින් වැඩි වුණා. නමුත් එම කෙටි දුර ඉදිකිරීමට වසර 4ක පමණ කාලයක් ගත වුණේ එය ඉතාමත් සීග්‍ර නැග්මක් සහිත මාර්ගයක් වුණු නිසා යි. 1888 වසර වන විට නානුඔය දක්වා දීර්ඝ වුණු උඩරට දුම්රිය මාර්ගය 1924 වසරේ දී බදුල්ල දක්වාම දීර්ඝ කරනු ලැබුවා.

උඩරට දුම්රිය මාර්ගය ඉදිකරමින් (Pencil.online)

උතුරු දුම්රිය මාර්ගය 

ලංකාවේ තිබෙන දීර්ඝතම දුම්රිය මාර්ගය වන උතුරු දුම්රිය මාර්ගය 1894 වසරේ දී කුරුණෑගල දක්වා දීර්ඝ කරනු ලැබුවා. ඉන් පසුව 1903 වසර වන විට අනුරාධපුරය දක්වා උතුරු දුම්රිය මාර්ගය දීර්ඝ කරන අතරතුර කන්කසන්තුරේ සිට දුම්රිය මාර්ගය පහළට සෑදීම අරඹා තිබුණා. දෙපසින්ම සෑදෙමින් පැවති දුම්රිය මාර්ගය 1905 වසරේ අගෝස්තු 1 වැනිදා පලෙයිහි දී සම්බන්ධ වෙමින් උතුරු දුම්රිය මාර්ගය සම්පූර්ණ වුණා. එසේම 1914 වසර වන විට මැදවච්චියේ සිට මන්නාරම දක්වා කොටසත්, 1928 වසර වන විට මහව සිට ත්‍රිකුණාමලය දක්වා කොටසත් දීර්ඝ කරනු ලබනවා.

මුහුදුබඩ දුම්රිය මාර්ගය 

මුහුදත් සමග සමාන්තරව යන ලංකාවේ මුහුදුබඩ දුම්රිය මාර්ගය 1877 වසර වන විට පානදුර දක්වා දීර්ඝ කරනවා. ඉන් අනතුරුව 1890 වසර වන විට අළුත්ගම දක්වා දීර්ඝ කළ දුම්රිය මාර්ගය 1894 වසර වන විට ගාල්ල දක්වා ව්‍යාප්ත වුණා. එලෙස ගාල්ල දක්වා පැමිණි දුම්රිය මාර්ගය 1895 වසරේ දෙසැම්බර් 17 වැනිදා වන විට මාතර දක්වා දීර්ඝ වුණා. එදා මුහුදුබඩ දුම්රිය මාර්ගය මාතර දක්වා ගමන් කිරීමෙන් පසුව එය තවත් දීර්ඝ වුණේ පසුගිය කාල සමයේ යි. ඒ අනුව වර්තමානය වන විට මුහුදුබඩ දුම්රිය මාර්ගය බෙලිඅත්ත දක්වා ව්‍යාප්ත වී තිබෙනවා.

කැළණිවැලි දුම්රිය මාර්ගය 

1900 වසරේ දී වැඩ අරඹන ලද කැළණිවැලි දුම්රිය මාර්ගය 1902 වසරේ සැප්තැම්බර් 15 වැනිදා වන විට අවිස්සාවේල්ල දක්වා දීර්ඝ කරනු ලැබුවා. ඉන් අනතුරුව එය ඕපනායක දක්වා දීර්ඝ කර අවසන් කළේ 1919 වසරේ මැයි 2 වැනිදා යි.

දැනට ක්‍රියාත්මක වන දුම්රිය මංසන්ධි

වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ වසර පුරාම ක්‍රියාත්මකව පවතින දුම්රිය මංසන්ධි 8ක් තිබෙනවා. එම දුම්රිය මංසන්ධි ලංකා දුම්රිය මාර්ග පද්ධතිය තුළ හමුවන සුවිශේෂී දුම්රිය ස්ථානයන් බවට පත්ව තිබෙනවා.

කොළඹ කොටුව 

ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතියේ කේන්ද්‍රස්ථානය වන්නේ කොළඹ කොටුව දුම්රිය ස්ථානය යි. කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් බදුල්ල දක්වා දිවෙන ප්‍රධාන දුම්රිය මාර්ගයත්, බෙලිඅත්ත දක්වා දිවෙන මුහුදුබඩ දුම්රිය මාර්ගයත් ආරම්භ වනවා. ඊට අමතරව කැළණිවැලි දුම්රිය මාර්ගය වෙනුවෙන් මාර්ග අංක 0 ලෙසින් හඳුන්වන වෙනම දුම්රිය මඟක් කොළඹ දුම්රිය ස්ථානයේ සිට ක්‍රියාත්මක වනවා.

කොළඹ කොටුව දුම්රිය ස්ථානය (railways.gov.lk)

මරදාන 

මරදාන දුම්රිය ස්ථානයත් ලංකාව තුළ දක්නට ලැබෙන ඉතාමත් කාර්යබහුල දුම්රිය ස්ථානයන් අතුරින් එකක්. සාමාන්‍යයෙන් කොළඹ කොටුවේ සිට මාර්ග අංක 0 ඔස්සේ මරදානට පැමිණෙන දුම්රිය ඉන් පසුව  මාර්ග අංක 9 ඔස්සේ අවිස්සාවේල්ල බලා ගමන් කරන්නේ කැළණිවැලි දුම්රිය මඟ දිගේ යි. ඒ අනුව මරදාන දුම්රිය ස්ථානයෙන් එක් දිශාවකට ප්‍රධාන මාර්ගයත්, අනිත් දිශාවට කැළණිවැලි දුම්රිය මාර්ගයත් විහිදී පවතිනවා.

රාගම 

ප්‍රධාන මාර්ගයේ ගමන් කරන විට හමුවන තවත් දුම්රිය මංසන්ධියක් වන්නේ රාගම දුම්රිය ස්ථානය යි. එහි දී රාගම සිට පුත්තලම හරහා නූර් නගර් වෙත යන දුම්රිය මාර්ගය ආරම්භ වනවා. ඒ අනුව කොළඹ කොටුවේ සිට රාගම දුම්රිය ස්ථානයට පැමිණෙන දුම්රිය ප්‍රධාන මාර්ගය සහ පුත්තලම දුම්රිය මාර්ගය යන දුම්රිය මාර්ග ඔස්සේ ගමන් කරනවා.

පොල්ගහවෙල 

ශ්‍රී ලංකාව තුළ පවතින දුම්රිය මාර්ග අතුරින් ඉතාමත් වැදගත් දුම්රිය ස්ථානයක් වන පොල්ගහවෙල දුම්රිය ස්ථානය ප්‍රධාන මාරගයේ දී හමුවන ප්‍රධාන දුම්රිය මංසන්ධියක්. ඒ කොළඹ කොටුවේ සිට පැමිණෙන ප්‍රධාන දුම්රිය මාර්ගය පොල්ගහවෙලින් උඩරටට සහ උතුරට විහිදී යාම නිසා යි. එම නිසා පොල්ගහවෙල දුම්රිය ස්ථානයත් ඉතාමත් සක්‍රීය මට්ටමේ පවතින දුම්රිය ස්ථානයක් වනවා. 

පේරාදෙණිය හන්දිය 

පේරාදෙණිය හන්දිය දුම්රිය ස්ථානයත් උඩරට දුම්රිය මාර්ගයේ දී හමුවන ප්‍රධාන මංසන්ධි අතුරින් එකක්. කොළඹ කොටුවේ සිට පේරාදෙණිය හන්දිය වෙත පැමිණෙන දුම්රිය පේරාදෙණිය හන්දිය දුම්රිය ස්ථානයේ දී දෙපසට බෙදී බදුල්ල දෙසටත් මහනුවර හරහා මාතලේ දෙසටත් ගමන් කරනවා. 

මහව හන්දිය 

පොල්ගහවෙල සිට කන්කසන්තුරය දක්වා දිවෙන උතුරු දුම්රිය මාර්ගයේ ගමන් කරන විට හමුවන මුල්ම දුම්රිය මංසන්ධිය වන්නේ මහව දුම්රිය ස්ථානය යි. පොල්ගහවෙල දුම්රිය ස්ථානයේ සිට මහව දුම්රිය ස්ථානයට පැමිණෙන දුම්රියයන් උතුරු මාර්ගය ඔස්සේ කන්කසන්තුරේ දෙසටත් ත්‍රිකුණාමලය මාර්ගය ඔස්සේ ගල්ඔය හන්දිය දෙසටත් ගමන් කරනවා. 

මැදවච්චිය 

පොල්ගහවෙල දුම්රිය ස්ථානයේ සිට උතුරු දුම්රිය මාර්ගය ඔස්සේ මැදවච්චිය දුම්රිය ස්ථානයට පැමිණෙන දුම්රිය, උතුරු මාර්ගය ඔස්සේ කන්කසන්තුරේ දෙසටත් මන්නාරම මාර්ගය ඔස්සේ තලෛමන්නාරම දෙසටත් ගමන් කරනවා. 

ගල්ඔය හන්දිය 

මහව හන්දියේ සිට ත්‍රිකුණාමලය මාර්ගය ඔස්සේ ගල් ඔය හන්දියට පැමිණෙන දුම්රිය මඩකලපුව දෙසටත්, ත්‍රිකුණාමලය දෙසටත් වෙන් වී ගමන් කරනවා.  

දැනට ක්‍රියාත්මක නොවන දුම්රිය මංසන්ධි

මෙම දුම්රිය මංසන්ධිවලට අමතරව තවත් දුම්රිය මංසන්ධි දෙකක් අතීතයේ දී ක්‍රියාත්මක වුණත්, වර්තමානය වන විට එම දුම්රිය මංසන්ධි සක්‍රීය නොවන්නේ අතහැර දමා තිබෙන දුම්රිය මාර්ග නිසා යි. 

අවිස්සාවේල්ල

අතීතයේ අවිස්සාවේල්ලට පැමිණෙන දුම්රිය ඕපනායක දෙසටත්, යටියන්තොට දෙසටත් ගමන් කළා. නමුත් වර්තමානය වන විට එම දුම්රිය මාර්ග දෙක අත්හැර දමා තිබෙන නිසා අවිස්සාවේල්ල දුම්රිය මංසන්ධියක් ලෙසින් ක්‍රියාත්මක වන්නේ නැහැ. 

නානුඔය 

අතීතයේ දී නානුඔය සිට රාගල දක්වා සුන්දර කෙටි දුම්රිය මාර්ගයක් ක්‍රියාත්මක වී තිබෙනවා. නමුත් වර්තමානය වන විට එම මාර්ගය වසා තිබෙන නිසා නානුඔය දුම්රිය ස්ථානය දුම්රිය මංසන්ධියක් ලෙසින් ක්‍රියාත්මක වන්නේ නැහැ. 

කවරයේ ඡායාරූපය- සුන්දර උඩරට දුම්රිය මාර්ගයේ දසුනක් (Gettyimages)

මූලාශ්‍රයයන්- sri lanka railway official web

Related Articles