Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පස්වලින් කෑම උයන ඉරානයේ පුදුම දූපත: හෝර්මුස්

පර්සියානු බොක්කේ සාගරය මැද ඉරානයට ආසන්න ව පිහිටි හොර්මූස් දූපත කඳුළු බිඳුවක හැඩය ගත් කුඩා දිවයිනක්.  අරුම පුදුම වර්ණ රටා සහිත මේ දූපත භූ විද්‍යාඥයන්ගේ ඩිස්නිලන්තය ලෙසත් සැලකෙනවා. දීප්තිමත් රතු ඇතුළු වර්ණ පදාස රාශියක් පිරුණු පසින් සහ ලේ පාටැති වෙරළින්, පර්වත කූට සහ ලවණ ගුහාවලින් යුත් ඉරානයේ හෝර්මුස් දූපත, දේදුනු දූව කියලත් හඳුන්වනවා. ඒ විතරක්ද, එහි රතු පාට පස්වලින් ඉවුම් පිහුම් කිරීමත් සිදු වෙනවා.

 දූපතේ චන්ද්‍රිකා සේයාරුවක් – earthobservatory.nasa.gov

පිහිටීම

හෝර්මුස් දූපත ඉරාන වෙරළේ සිට කිලෝ මීටර 8ක් දුරින් පිහිටා තිබෙනවා.  එහි විශාලත්වය වර්ග කිලෝ මීටර 42ක්. අවසාදිත පාෂාණ, ගිනි කඳු පිපිරීමෙන් හටගත් පාෂාණ එහි දැකගත හැකි යි. දිවයිනේ උස ම ස්ථානය මීටර 186ක් උස යි. දූපතේ හොර්මුස් නගරය පිහිටා ඇත්තේ ඉරාන මව්බිම දෙසට පිහිටි තුඩුවක් වැනි කොටසේයි.

අවම වර්ෂාපතනයක් ලැබෙන නිසා මෙහි පස සහ ජලයත් ලවණ ස්වභාවයක් පළ කරනවා. දූපතේ ජල උල්පත් හිඟ නිසා ඉරාන ඉංජිනේරුවන් ගොඩබිමේ සිට නළ මාර්ගයෙන් දූපතට ජලය සැපයීමට කටයුතු කර තිබෙනවා. 2016 දී කළ සංගණනයකට අනුව දූපතේ 5900ක ජනගහනයක් වාසය කරනවා.

මෑතක දී සැලසුම් කළ දූපතේ නිවාස පන්තියක්- Frameweb.com

 ඉතිහාසය

දූපතෙන් ලැබුණු පැරණිත ම මානව සාධකය ලෙස මධ්‍ය පැලියොලිතික ( පූර්ව ශිලා) යුගයට අයත් ගල් අවි සැලකෙනවා. ඒවා වසර හතළිස් දහසකට (40000කට) කාලනිර්ණය කර තිබෙනවා. දේශ ගවේෂක මාර්කෝ පෝලෝ වර්ෂ 1290 දී හොර්මුස් දූපතට පැමිණ ඇති බව සඳහන් වෙනවා. ඉන් පසු මෙහි පැමිණි ගවේෂකයෙක් වන්නේ ඉබන් බතුතා යි.

15 වැනි සියවසේ දී චීන ආක්‍රමණික ෂෙන් හේ සිය නාවික හමුදාවත් සමඟ කිහිප වරක් දූපතට ගොඩබැස ඇති බව සඳහන්. වර්ෂ 1507 දී පෘතුගීසින් දිවයින යටත් කර ගන්නවා. ඔවුන් දූපතේ බළකොටුවක් ද ගොඩ නඟනවා. රතු ගල්වලින් තැනූ එම බළකොටුව පෘතුගීසින්ගේ පර්සියානු කලාපයේ පිහිටි අවසාන බළකොටු අතරින් එකක්. අදටත් එහි කොටු පවුරු තරමක් දුරට ඉතිරි ව පවතිනවා.

මුහුදු වෙරළේ රක්ත වර්ණය – iran in photos- facebook page

වර්ණවලින් බබළන්නේ ඇයි?

පාෂාණ, මැටි, සහ යකඩවලින් පොහොසත් ආග්නේය පාෂාණ සහිත නිසා  හොර්මුස් දූපත දීප්තිමත් රතු, කහ, සහ තැඹිලි වර්ණවලින් බබළනවා. එයට හේතුව  ඇති 70කටත් අධික ඛනිජ ලවණ වර්ග නිසා බව යි පැවසෙන්නේ. බ්‍රිතාන්‍ය භූ විද්‍යා කාර්යාංශයේ ප්‍රධාන භූ විද්‍යාඥ ආචාර්ය කැත්රින් ගුඩනෝට සඳහන් කරන්නේ  මීට වසර මිලියන සිය ගණනකට පෙර පර්සියානු බොක්කේ සීමාව වටා වූ නොගැඹුරු මුහුදේ ඝන ලුණු ස්තර නිර්මාණය වී ඇති බවත් කාලයත් සමඟ මෙම ලුණු ස්තර ප්‍රදේශයේ පිහිටි ඛනිජවලින් පොහොසත් ගිනිකඳු අවසාදිත සමඟ ගැටී, එම ස්තර අතර තැන්පත් වී, වර්ණවත් ගොඩබිමක් නිර්මාණය වී ඇති බව යි.

පසුගිය අවුරුදු   මිලියන 500 තිස්සේ ම, නව ගිනිකඳු අවසාදිත ස්තර මඟින් ලුණු ස්තර ගැඹුරට ම වළලා දමා තිබෙනවා. නමුත් ලුණු පාවෙන ද්‍රව්‍යයක් නිසා, කාලයාගේ ඇවෑමෙන් පාෂාණවල පිපිරුම් ඔස්සේ  පොළොව මතුපිටට පැමිණ ලවණ කොත් සාදා තිබෙනවා. මේ භූ විද්‍යාත්මක සැකසීමේ  ප්‍රතිඵලයක් ලෙස රතු පාටින් වර්ණ ගැන්වුණු දිය පහරවල්, තද රතු-දුඹුරු පැහැයෙන් යුතු මුහුදු වෙරළ, සහ අලංකාර ලවණ ගුහා එහි නිර්මාණය වී තිබෙනවා.

 දූපත හරහා දිවෙන මාර්ග – iran in photos – facebook page

නිහඬ මිටියාවත

සංචාරකයන් අතර ඉතා ජනප්‍රිය ස්ථානයක් වන මේ පෙදෙස එහි අලංකාරත්වය සහ නිශ්ශබ්දතාව නිසාම ගුප්ත සෞන්දර්යක් මවා පාන තැනක්. ලුණු කඳු සහිත පෙදෙසේ සිට ටික දුරක් පියමං කිරීමෙන් මේ ස්ථානයට පිවිසීමට හැකි යි. දිවයිනේ බටහිර දෙසට වන්නට “ලුණු දෙවඟන” යනුවෙන් හැඳින්වෙන මනස්කාන්ත ලුණු කන්දක් පිහිටා තිබෙනවා. කිලෝමීටරයකටත් වඩා දුරක පැතිරී ඇති එහි ළා පැහැ ගුහා සහ තියුණු දාර ඇති බිත්ති, කිරිගරුඬ මාළිගයක දැවැන්ත කුලුනු සේ දිස්වෙන  ලවණ ස්තම්භයන්ගෙන් වැසී තිබෙනවා.

රතු පස්වලින් ඇඳි මරතෝඩි – en.irna.ir

 ප්‍රදේශවාසී ජනතාව විශ්වාස කරන්නේ සිරුරේ ඇති සෘණාත්මක ශක්තීන් අවශෝෂණය කරගෙන පිටකළ හැකි අන්දමේ සුවකිරීමේ හැකියාවක් මේ ලුණුවල ඇති බව යි. එම මිටියාවතේ ටික කාලයක් ජීවත් වුණොත් අමුතු ප්‍රාණවත් බවක්  සිරුරට දැනෙන බව විශ්වාස කෙරෙන අතර එනිසා මේ මිටියාවතට ශක්තියේ මිටියාවත යන නමත් ගැමියන් ලබාදී තිබෙනවා.

 පිළිම නිම්නයේ හැඩතල – itto.org  

පිළිම නිම්නය

 මුහුදු වෙරළට නුදුරින් තමයි පිළිම නිම්නය ලෙස හඳුන්වන තැන පිහිටා ඇත්තේ. එහි පාෂාණ කඳු පිහිටා ඇත්තේ විවිධ ප්‍රතිමා මවා ඇති ආකාරයකින්. පර්වතවලින් අරුම පුදුම පිළිම වැනි හැඩතල කපන්නට වසර දස දහස් ගණනක් තිස්සේ සිදුවූ සුළං ඛාදනය සමත්ව තිබෙනවා.

 මකරුන්, පක්ෂීන්, යක්ෂයන් ආදී වශයෙන් නරඹන්නාගේ සිතුවිලි අනුව විවිධ රූප සියුම් ආකාරයෙන් නිම වී ඇති අයුරු මේ කඳු අතර දී  දැක ගත හැකි යි. එය සැබවින්ම සොබාදහම මැවූ කලාගාරයක්.

දේදුනු පෑයූ සේ දිස්වන කඳුවැටි- en.irna.ir

 දේදුනු කඳුවැටි නිම්නය

දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ ‘දේදුනු නිම්නය’ යනුවෙන් හැඳින්වෙන කඳුවැටි සහිත පෙදෙස පිහිටා තිබෙනවා. එය ඇත්තේ ප්‍රධාන මාර්ගය අසල ම යි. මේ නිසා එම ස්ථානයට පහසුවෙන් ළඟාවිය හැකි යි. සංචාරකයන් මේ කඳුවැටි පෙදෙසේ සැරිසැරීමට දැඩි ප්‍රියත්වයක් දක්වනවා.

එහි විස්මිත පාටවලින් පිරි පසක් සහ රතු, දම්, කහ, දුඹුරු, සහ නිල් පැහැයන්ගෙන් විචිත්‍රවත් ලෙස වර්ණ ගැන්වුණු කඳු දක්නට පුළුවන්. දීප්තිමත් විවිධ වර්ණ තීරුවලින් කඳුවැටි වර්ණ ගැන්වී ඇත්තේ කිසිවකු පින්තාරු කළ ආකාරයෙන්.  

රතු පස් රසකාරකයක් සේ යෙදූ පැතලි පාන් – Theiranproject.com  

 රතු පස්වලින් රස ආහාර

ලොව ආහාරයට ගතහැකියැ යි සැලකෙන එකම කන්ද පිහිටා ඇත්තේ ද මේ දූපතේ. එම කන්දේ රතු පැහැති පස් හඳුන්වන්නේ “ගෙලැක්” නමින්. එම පස ඇතිවීමට හේතුවී තිබෙන්නේ හීමටයිට් නම් යකඩ ඔක්සයිඩයක්. මෙය දිවයිනේ ආග්නේය පාෂාණවලින් හටගත් බව විශ්වාස කෙරෙන්නේ. ගෙලැක්  කර්මාන්ත කටයුතු සඳහා වටිනා ඛනිජයක් සේ ද භාවිත කරනවා.

ප්‍රදේශයේ ඉවුම්පිහුම් කටයුතුවල දී ද එම පස් කුළුබඩුවක් ලෙස භාවිත කරනවා.  මෙයින් වෑංජනවලට නැවුම් රසයක් ලබා දෙන බව දූපත්වාසීන්ගේ පිළිගැනීම යි.  රතු පස සෝස් ලෙසත් පාවිච්චි කරන අතර එම සෝස් හඳුන්වන්නේ සුරඛ් යනුවෙන්. පැතලි පාන් පුච්චන විට  එම සෝස් එක පාන්වල තවරනවා. ආහාර පිසීමට අමතර ව චිත්‍ර ශිල්පීන් තීන්ත වර්ගයක් ලෙස ද  රතු පස  යොදා ගැනීම සිදුවෙනවා. රූපලාවන්‍ය කටයුතුවලට වගේ ම සෙරමික් නිෂ්පාදන සඳහාත් රතු පස් යොදා ගන්නවා.

කෞතුකාගාරයේ කලාව- Wikipedia.org

නඩාලියන් කෞතුකාගාරය

ආචාර්ය අහමඩ් නඩාලියන් පිහිටුවා ඇති මේ කෞතුකාගාරය දූපතේ විවිධ වර්ණ රටා භාවිත කළ චිත්‍ර සහ පාෂාණවලින් කළ කලා කෘති රාශියකින් සමන්විත යි. ඔහුගේ කලා කෘති ලොව බොහෝ රටවල කලාගාරවල ප්‍රදර්ශනය කෙරෙනවා. ඔහු සිය කලාවට භාවිත කරන්නේ දූපත් පරිසරයේ ම අමුද්‍රව්‍ය යි.

 සංචාරක පිරිසක්- iraniantous.com

සංචාරක ආකර්ශනය

ඉරානය සංචාරක ආකර්ශනය සහිත රටක් නොවන නිසා මේ විස්මිත දූපත නැරඹීමට සංචාරකයන් විශාල වශයෙන් පැමිණෙන්නේ නැහැ. බොහෝ සංචාරකයන් මෙම ස්ථානය පිළිබඳ ව දැනුම්වත්ව නොසිටීම එයට එක් හේතුවක්. ඉරානයේ වරාය හා සමුද්‍රීය සංවිධානයට අනුව 2019 දී මෙහි පැමිණ ඇත්තේ සංචාරකයන් දහ අට දහසක් (18 000ක්) පමණ යි. දූපත්වාසී ජනයා නිවසේ පිසූ ආහාර සංචාරකයන්ට අලෙවි කරමින් ආදායමක් උපයා ගැනීමටත් හුරුවී සිටිනවා. රික්ෂෝ සහ යතුරුපැදි මඟින් සංචාරකයන් දූපත වටා ප්‍රවාහනය කිරීමත් ඔවුන්ගේ රැකියාවක් වෙලා. දූපතේ වටිනාකම ලෝකයට කියා දී ජාත්‍යන්තර සංචාරක අවධානය දිනා ගැනීම දූපත් වැසියන්ගේ අරමුණ යි.

 කවරයේ ඡායාරූපය - දූපතේ රතු පාට පස් කුළුබඩුවක් ලෙසත් තීන්ත ලෙසත් භාවිත කරනවා- iran in photos- facebook page 

මූලාශ්‍ර:

Bbc.com

en.irna.ir

itto.org

earthobservatory.nasa.gov

Related Articles