රජගල කන්දේ මහා සංඝාරාමය

අම්පාර දිස්ත්‍රික්කයේ සුන්දරත්වය වගේම ඓතිහාසිකත්වයටත් ඉහළ වටිනාකමක් දෙන තැනක් තමයි රජගල කන්ද හෙවත් රජගලතැන්න කියන්නේ. දීර්ඝ කාලයක් තිස්සේ කාලයක් වනයට යටවී තිබූ රජගල බෞද්ධ සංඝාරාමයේ නටබුන් පසුගිය කාලයේ පුරාවිද්‍යා කැණීම්වලට ලක් වුණා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ඉන්දියාවේ ඩෙකෑන් විශ්වවිද්‍යාලය විසින් සාමූහිකව මෙම කැණීම් සඳහා දායකත්වය දක්වනවා. ශ්‍රී ජයවර්ධනපුර සරසවිය රජගල කැණීම් ආරම්භ කළේ 2012 දී යි. එම කැණීම් වලින් පිළිමගේ, ලහබද්ගේ (භික්ෂුන් වහන්සේ දානයට පෙර හමුවූ ස්ථානය), ඡන්ථාඝරය (භික්ෂූන් වහන්සේ ඖෂධ ස්ථානය කළ ගොඩනැගිල්ල), දානශාලාව, බෝධිඝරය, සහ දාගැබ් 25ක් හමුවී තිබෙනවා. රජගල කන්දට නැඟීම සඳහා පුරාණයේ පැවති පෙත්මඟ පාදාගෙන ඒ අයුරින්ම සංරක්ෂණය කර අවසාන යි. දාගැබ් කිහිපයක් ද සංරක්ෂණය කර තිබෙනවා.

යන්නේ කොහොමද?

රජගල කන්ද ඈතින් – amazinglanka.com

මහඔය-උහන මාර්ගයේ රජගලතැන්න හන්දියෙන් හැරී අතුරු මාර්ගයක කී.මී. 3ක් ගමන් කළ විට රජගල කන්ද පාමුලට ළඟාවීමට පුළුවන. දිගටි ස්වරූපයෙන් යුත් මේ කන්ද ඈතට පෙනෙන්නේ මුව අයා නිදා සිටින කිඹුලකුගේ ස්වරූපයෙනි. මෙහි උස අඩි 1038ක්. වනවදුලුවලින් පිරුණූ සුන්දර දර්ශනයක් මෙම කන්ද මවා පායි. එය ලෙන් 100ක් පමණ තිබෙන අක්කර 1050ක් පුරා විහිදුනු පුරාවිද්‍යා භූමියක්. මෙය ලංකාවේ විශාලතම පුරාවිද්‍යා රක්‌ෂිතය වශයෙන් ද සැලකෙනවා.  

රජගල කැණීම් කණ්ඩායම

කඳු මතට පිවිසෙන පියගැට පෙළ සංරක්ෂණය කරමින් -rajagala archaeological project fb page

කැණීම් කටයුතු සඳහා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රශාන්ත මණ්ඩවලගේ අධීක්ෂණය යටතේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාස හා පුරාවිද්‍යා අංශයේ ආචාර්ය ගාමිණී රණසිංහ, මහාචාර්ය පද්මසිරි කන්නන්ගර, ආචාර්ය කරුණාසිරි හෙට්ටිආරච්චි, මහාචාර්ය ඇලෙක්සැන්ඩර් කපුකොටුව, කථිකාචාර්ය ඉනෝජ් කෞශල්‍ය ඇතුළු ආචාර්වරු කණ්ඩායමක් පුරාවිද්‍යා නිලධාරින් රැසකගේ මෙහෙයුම් දායකත්වය ලැබී තිබෙනවා.

සොඳුරු පරිසරය

කඳු මුදුනට දිවෙන මඟ-  rajagala archaeological project fb page

ලඳු කැලෑ සහිත වියළි කලාපීය වෘක්‌ෂලතා ව්‍යාප්තියක්‌ ඇති ප්‍රදේශයේ අතරින් පතර රූස්‌ස ගස්‌ සහිත ගණ වනාන්තරය දක්නට ලැබෙනවා. අලියා, මුවා, ගෝනා, වල්ඌරා ඇතුළු වන සතුන් ද මේ අවට සැරිසරනවා. වැසි කාලයට මින් උපත ලබන ඇළ මාර්ග නිසා පරිසරය වඩාත් අලංකාර වෙනවා. රජගල අවට ප්‍රදේශයට දියවර සපයන්නේ මංගලවට්‌ටවාන් ආරු ගංගාව යි.

ඉතිහාසය

දාන ශාලාව සංරක්ෂණය කරන අතරතුර rajagala archaeological project fb page

රජගල ඇති පැරණිම සෙල්ලිපියක එය ධනතිස පවත යනුවෙන් හඳුන්වා තිබෙනවා. ඊට පසුකාලීනව එය හඳුන්වා තිබෙන්නේ අරියඅරක ගරිකිබලව් තිස පවත මහ වෙහෙර (අරියාකර ගිරිකුම්භිලවාපී තිස්ස පබ්බත විහාරය) නමින් බව සෙල්ලිපිවලින් හෙළිවෙනවා. දෙවැනි මහින්ද රජුගේ කාලයට සෙල්ලිපියක මෙය හඳුන්වන්නේ අරිත්තරා වෙහෙර කියන නමින්. සද්ධාතිස්ස රජුගේ පුත් ලජ්ජිතිස්ස රජු ක්‍රි.පූ. 119 දී දීඝවාපිය පාලනය කළ කාලයේ ගිරිකුම්භීල විහාරය කරවූ බව මහාවංශය සඳහන් කරයි. ඒ විහාරය රජගල බවට මත ඉදිරිපත් වී තිබෙනවා.

ගල් පාත්‍ර සහිත ගොඩනැගිල්ල- rajagala archaeological project fb page

මෙම ප්‍රදේශයේ ජනාවාස ආරම්භය ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා දිවයන බවට සාධක හමුවී තිබෙනවා. කන්දේ තැනින් තැන ශිලා මෙවලම් නිෂ්පාදන ස්ථාන හමුවී තිබෙන අතර පසුගිය දා කළ කැණීම්වලින් මධ්‍ය ශිලා යුග මානවයන් ගැන නිශ්චිත සාධක හමුවුණා.

සෙල්ලිපි

පර්වත අතරින් නටබුන් පෙදෙසට  rajagala.sjp.ac.

ක්‍රි. පූ. යුගයේ සිට අනුරාධපුර මධ්‍ය යුගය දක්වා දිවයන සෙල්ලිපි 70කට අධික ප්‍රමාණයක් මෙම භූමියෙන් හමුවී තිබෙනවා. මෙම ලිපි අතර ලෙන් ලිපි, පුවරු ලිපි, ගිරි ලිපි, ටැම් ලිපි ද දක්නට ලැබෙනවා. .   

මිහිඳු හිමි ඇතුළු පිරිස ගැන සඳහන් වන ක්‍රි. පූ. යුගයට අයත් සෙල්ලිපිය ඒ අතරින් ඉතා වැදගත්. “මේ දිවයිනට වාසනා මහිමය නිසා වැඩි ඉට්ඨිය හා මහින්ද තෙරුන්ගේ ථූපය යනුවෙන්” එහි සඳහන් වෙනවා. මිහිඳු හිමියන් පිරිනිවන් පෑවේ උත්තිය රජ සමයේ බව මහාවංශය සඳහන් කරනවා. උන්වහන්සේගේ ධාතු මෙහි ද තැන්පත් කර දාගැබක් කරවූ බවට සෙල්ලිපිය සාක්ෂි සපයනවා.

නටබුන්

පැරණි ධර්ම ශාලාවක නටබුන් rajagala.sjp.ac.

මෙහි නටබුන් නැරඹීම සඳහා කන්ද මුදුනට ඉදිකර තිබූ පැරණි මාර්ගය සංරක්ෂණ කටයුතුවල දී නැවත තහවුරු කර තිබෙනවා. දැන් නරඹන්නන්ට ඉතා පහසුවෙන් වනපෙත මැදින් වැටී ඇති පියමං ඔස්සේ කඳු මුදුන දක්වා ගමන් කර නටබුන් නැරඹිය හැකියි. මේ නටබුන් පැහැදිලි කරන්නේ එදා මේ ආරාමයේ භික්ෂුන් විශාල සංඛ්‍යාවත් වැඩසිටිය බව සේම, එය රටේම ප්‍රකට ආගමික කේන්ද්‍රස්ථානයක් වූ බවයි. කන්දේ විවිධ උස් මම්ටම්වල  බෑවුම්වල කටාරම් කෙටූ ලෙන්, දාගැබ්, ප්‍රතිමා ගෘහ, දාන ශාලා, ආවාස ගෘහ, පොකුණු, වැසිකිළි, පෙත්මං ආදී ගොඩනැගිලි සිය ගණනක් දැකගත හැකියි.

මෙහි නටබුන් අතර අඩක් නිමකළ සැතපෙන බුදු පිළිමය, දිය පිහිල්ල, හා සුවිසල් ශෛලමය පාත්‍ර දෙකක් ද දක්නට ලැබෙනවා. දිය පිහිල්ල තවමත් ක්‍රියාත්මකව පවතිනවා. මෙහි පුරාවිද්‍යා කාර්යාලය අසල පිහිටුවා ඇති පුන්කලස දෝතින් රැගෙන සිටින මුරගල හා නාගරාජිනී යුගල සහිත මුරගල් ද දුලබ කලා නිර්මාණ ලෙස සැලකෙනවා. ශිලාමය පාත්‍ර සහිත ගොඩනැගිල්ල දැන් සංරක්ෂණය කර තිබෙනවා. එයට නුදුරින් ගල්පුවරු යොදා තැනූ උළුවස්ස සහිත ගල්ලෙන දැකගත හැකියි.

කුඩයක හැඩය ගන්නා ඡත්‍ර ලෙන Wikipedia.org

අනුරාධපුර යුගයට අයත් කළ හැකි වැනසී ගිය බිතුසිතුවම් කොටස් කිහිපයක් ද කඳු මුදුන අවට ලෙන්වල දැකගත හැකියි. කුඩයක ආකාරයට ස්වභාවිකව නිර්මාණය වූ ලෙනක් හඳුන්වන්නේ ඡත්‍ර ලෙන නමින්. එම ලෙන වටා ද කටාරම් කොටා තිබෙන්නේ පුරාණයේ භික්ෂුන් වහන්සේ බවුන් වැඩූ ස්ථානයක් බව පැහැදිලි කරමින්.

මෑත සොයාගැනීම්

මධ්‍ය ශිලා යුග මානවයා

කැණිම්වලින් හමුවූ සත්ව අවශේෂ- Sri jayawardhanapura university

පසුගිය මැයි මාසයේ මහලෙන තුළ කළ කැණීම්වලින් මෙහි මධ්‍ය ශිලා යුග මානවයන් වාසය කළ බව තහවුරු වන සාධක ලැබුණා. ඒ සමඟම නැගෙනහිර පළාතෙන් හමුවූ පළමු ප්‍රාග් ඓතිහාසික සාධක සහිත ස්ථානය ලෙස ද රජගල ඉතිහාසයට එක් වුණා.

මහ ලෙන කැණීම් කරමින් – Sri jayawardhanapura university

මිනිස් දත්, වඳුරන්ගේ දත්, කැකුණ ඇටවල පොතු, මසන් කෑ බවට තොරතුරු, පිඹුරා, හාවා, මීමින්නා, ගෝනා, මුවා, හම්බාවා, කුඩා හම්බාවා, වවුලා, සහ ලෙහෙල්ලා මාළුවාගේ ඇටකටු මෙහි පස් අතර තිබී හමුවුණා. මුහුදු ගොළුබෙල්ලන් හා මිරිදිය ගොළුබෙල්ලන් ද මෙම කැණීම්වලින් හමුව තිබෙනවා. මෙලෙස සතුන් රැසකගේ ඇටකටු හමුවීමෙන් පෙනෙන්නේ එදා සිටි මානවයා දඩයම් කර අනුභවයට යොදාගත් භෝජනයේ පළල් බවයි. ඔවුන් කැකුණ ඇට වැනි ඇට වර්ග මෙන්ම වන සතුන් ද බහුලව භෝජනයට ගෙන තිබෙනවා. ඒ අනුව ඓතිහාසික යුගයට පෙර යුගයේ ද මේ භූමිය මානව ජනාවාසයක්ව පැවති බව තහවුරු කිරීමට මෙම කැණීම ඉවහල් වුණා. එවකට මානවයා භාවිතා කළ ක්ෂුද්‍ර ශිලා මෙවලම් රැසක් ද මෙහි තිබී හමු වුණා.

ගල් ඔරලෝසුව

සංරක්ෂණය කළ දාගැබක්- rajagala archaeological project fb page

ගල් පර්වත කොටසක කැටයම් කළ ඔරලෝසු මුහුණතක් මෙහි කැණීම්වලින් හමුවුණා. දුලබ පුරාවස්තුවක් වූ එය මහාවංශයේ කාලසන්ධි නමින් හැඳින්වෙන උපකරණයක් බව හෙළි වී තිබෙනවා. පැතලි වෘත්තාකර හැඩයෙන් යුත් මෙය මතට හිරුඑළිය වැටෙනා ආකාරය නිරීක්ෂණය කරමින් වේලාව තීරණය කෙරෙනවා. මෙයට පෙර මෙවැනි ඔරලෝසුවක් හමුවී තිබෙන්නේ අභයගිරියෙන් පමණයි.

නාට්‍ය ශාලා ටිකට් ගැන සඳහන් සෙල්ලිපිය

මෙහි ප්‍රාකාරයක කොටා තිබූ සෙල්ලිපියක නාටක ශාලාවේ සලාක පත් නිකුත් කරන දනව් වසන් නම් අයෙක් ගැන සඳහන් වෙනවා. අනුරාධපුර යුගයේ මධ්‍ය කාලයේ දී මුදල් ගෙවා නාට්‍ය නැරඹූ ප්‍රේක්ෂකයන් සිටි බව සෙල්ලිපියෙන් පැහැදිලි වෙනවා.

ප්‍රතිසංස්කරණය කළ පුරාණ වැව

පැරණි වැව – rajagala archaeological project fb page

කන්දේ බටහිර බෑවුමේ මධ්‍ය කොටසේ සංකීර්ණයට ජලය සපයන්නා වූ, දැනට බිඳී ගිය වැව පසුගිය කාලයේ පුරාවිද්‍යා සංරක්ෂණයේ දි ප්‍රතිසංස්කරණය කෙරුණා. දැන් එය කඳු බෑවුම් අතර ජලය පිරී සුන්දර ජලාශයක දර්ශනයක් මවා පානවා.  

පුරාණ සංඝාරාමයක විශාලත්වයෙන් සිත් විස්මයට පත් කරගන්නා අතරම අපූරු සොබාදහම් අත්දැකීමක් ලබාගැනීමටත් රජගල කදිම ස්ථානයක්.

රජගල ගැන ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් නිපදවූ වාර්තා චිත්‍රපටයක් මේ:

ආශ්‍රිත මූලාශ්‍රයයන්:

දිවයින බදාදා අතිරේකය, 2012 සැප් 26

පාචීනතිස්‌ස – උත්තරපස්‌ස නැගෙනහිර පලාත හා උතුරුමැද පලාතේ සිංහල බෞද්ධ උරුමය, එල්ලාවල මේධානන්ද හිමි

Archaeology.gov. lk

රජමහා විහාරාරාම- කුසුම්සිරි විජයවර්ධන

Cover : අඩක් නිම කළ සැතපෙන පිළිමය-  lankatraveldirectory.com

Related Articles