Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රමෝන් මැග්සේසේ දිනාගත් ලාංකිකයන්

රමෝන් මැග්සේසේ සම්මානය ගැන ඔබ හොඳින් දන්නවා ඇති. ඒ පිළිබඳව ලිපියක් මීට ප්‍රථම අප විසින් පල කළා. එහි සඳහන් වී තිබුනේ මෙම සම්මානය ආරම්භ කිරීමට හේතු වූ කරුණු, ප්‍රධාන කරනු ලබන සම්මාන ප්‍රමාණය හා එහි වත්මන් තත්වය පිළිබඳව යි. රමෝන් මැග්සේසේ සම්මානය මේ වන විට ලංකාවේ 10 දෙනෙකුට හිමි වී ඇති අතර ඉන් එක් අයෙක් මෙරට සේවය කළ ප්‍රංශ පුරවැසියෙක් වෙනවා. අනෙක් 9 දෙනා ශ්‍රී ලාංකිකයනුයි.

පිලිපීන රජය මේ සම්මානය දීම ආරම්භ කර තිබෙන්නේ 1958 එම ප්‍රථම සම්මාන උළෙලේ දීම ලංකික කාන්තාවක් විසින් එම සම්මානය ලබා ගන්නවා. ඒ මේරි රත්නම් නම් වෛද්‍යවරියක්. ලංකාවට අවසන් වතාවට රමෝන් මැග්සේසේ සම්මානයක් හිමි වී තිබෙන්නේ 2017 වසරේ දී ගෙත්සි ෂන්මුගම් නම් ගුරුවරියට යි. ඒ යුද්ධයෙන් අවධානමට පත් වූ  කාන්තාවන් හා ළමයින්ගේ සුබසාධනය වෙනුවෙන් කරන ලද ආදර්ශමත් කාර්යයන් හා කැපකිරීම් හේතු කරගෙන යි.

ශ්‍රී ලංකාවට හිමි වූ රාමෝන් මැග්සේසේ

මැග්සේසේ සම්මානය (officialgazette)

1958 වසරේ දී ප්‍රදානය කළ පළමු මැග්සෙස් සම්මානය දිනා ගැනීමට ලාංකිකයන් වෙනුවෙන් වසර 62ක් පුරාවට සේවය කළ වෛද්‍යවරියක් සමත් වෙනවා. ඒ වෛද්‍ය මේරි රත්නම්. මහජන සේවය වෙනුවෙන් ඒ සම්මානය ඇයට හිමි වෙනවා. මෙරටින් බිහි වූ විශිෂ්ට පුවත්පත් කතුවරයෙක් වන ටාසි විට්ටච්චිට 1959 දී මැග්සේසේ සම්මානය හිමිවෙනවා. ඒ ජනමාධ්‍ය වෙනුවෙන්. ඉන් පසුව මෙම සම්මානය හිමි කරගන්නේ ඒ.ටී. ආරියරත්න යි. ඒ ඔහු විසින් ආරම්භ කරන ලද ශ්‍රී ලංකාවේ විශාලතම ස්වේච්ඡා සේවා සංවිධානය වන සර්වෝදය වෙනුවෙනුයි. 1969 ප්‍රජා නායකත්ව ක්ෂේත්‍රයෙන් මේ සම්මානය ඔහුට හිමිවෙනවා.

ජෝසෆ් ෆර්නැන්ඩස්ට 1976 වසරේ මහජන සේවා මැග්සේසේ සම්මානය හිමි වූ අතර ඔහු ශ්‍රී ලංකාවේ වාසය කළ ප්‍රංශ ජාතිකයෙක්. මංජු ශ්‍රීට ශ්‍රී ලංකාවේ චිත්‍ර කලාව හා සංස්කෘතියට කළ මෙහෙවර උදෙසා 1979 දී මැග්සේසේ සම්මානය හිමි වෙනවා. 

මර්සලීන් ජයකොඩි පියතුමා 1983 මැග්සේසේ ලබා ගන්නා අතර මහාචාර්ය එදිරිවීර සරච්චන්‍ද්‍රට මෙම සම්මානය හිමිවෙන්නේ 1988 වසරේ දී යි. පණ්ඩිත් W.D අමරදේවයන් මැග්සේසේ සම්මානයෙන් පිදුම් ලබන්නේ 2001 වසරේ දී යි. 

අමරදේවයන්ගෙන් පසු මෙරටට මැග්සේසේ සම්මානයක් ලැබෙන්නේ 2008 දී යි. ඒ වසරේ නැගී එන ආසියානු නායකත්වය සඳහා යි. ආනන්ද ගලප්පත්තිට මෙම සම්මානය හිමිවෙන අතර ඔහු වෘත්තියෙන් මනෝ වෛද්‍යවරයෙක්.

දැනට ශ්‍රී ලංකාවට හිමි වී ඇති අවසන් මැග්සෙසේ සම්මානය 

A.T ආරියරත්න (trans-4-m.com)

1958 වසරේ සිට2008 කාල වකවානුව දක්වා ත්‍යාග පිරිනැමෙන්නේ තේමා හයක් යටතේ යි. එහෙත් 2009 සිට ඉදිරියට මෙසේ කාණ්ඩ කිරීම සිදු කර නැහැ. ඒ වෙනුවට විවිධ ක්ෂේත්‍රවල විශිෂ්ට දායකත්වය ලබා දුන් සය දෙනකුට වාර්ෂිකව ත්‍යාග පිරිනමනවා. 2017 වසරේදී ගෙත්සි ෂන්මුගම් සඳහා ද ඒ ආකාරයේ රමෝන් මැග්සේසේ සම්මානයක් ලැබෙනවා. යුද්ධයෙන් දැඩි මානසික පීඩනයන්ට ලක්ව සිටි දරුවන් හා තරුණ තරුණියන්ට මනෝවිද්‍යා උපදේශනය හා අධ්‍යාපනය ලබා දීමේ මානව හිතකාමී ක්‍රියාකාරකම් හේතුවෙන් ඇයව මේ සඳහා නිර්දේශ වෙනවා.

ගෙත්සි ෂන්මුගම් 

ගෙත්සි ෂන්මුගම් (bassyjakarta.com)

1934 වසරේ බ්‍රිතාන්‍ය ලංකාවේ උපත ලබන ගෙත්සි ෂන්මුගම් අ.පො.ස සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව ගුරු වෘත්තියට පිවිසෙනවා. පසුව යාපනය නල්ලූර්හි පුහුණු මධ්‍යස්ථානයෙන් සාර්ථක පාඨමාලාවක් ද හදාරනු ලබනවා.

1967 වසරේ දී ඉංග්‍රීසි ගුරුවරියක් ලෙස තම වෘත්තීය ජීවිතය ආරම්භ කරන ගෙත්සි ෂන්මුගම් පළමුවෙන්ම කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයේ උප ගුරුවරියක් ලෙස සේවය කරනවා. මේ දිනවල මනෝ විද්‍යාව සම්බන්ධයෙන් ඇල්මක් දැක්වූ එතුමිය වැඩි දුරටත් ඒ සම්බන්ධයෙන් අධ්‍යනය කිරීම් සිදු කරනවා. පසුව ස්වේච්ජා මානසික උපදේශනය සඳහා ද ඇය යොමුවෙනවා. 1983 වසරේ දී තම වෘත්තීය ජිවිතයේ සමුගැනීමෙන් පසුව ඇය විසින් සමාජ සද්කාර්යයන් ලෙස විශාල වශයෙන් මානසික උපදේශන වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙනවා.

ඇයගේ සමාජ මෙහෙවර ඇරඹෙන්නේ ඉන් පසුව යි. 80 දශකයෙන් පසුව ආරම්භ වූ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල යුද්ධය නිසා අවතැන් වූ වැඩිහිටියන්ට මෙන්ම දරුවන්ට අධ්‍යාපනය හා මනෝ උපදේශන කටයුතු සිදු කිරීමට පටන් ගන්නවා.

මේ අතරවාරයේ යි ඇය “සේව් ද චිල්ඩ්රන් නෝර්වේ” (SCN) යන රාජ්‍ය නොවන සංවිධානය හරහා උතුරුකරයේ සේවය සඳහා එකතු වෙනවා. මෙම වැඩසටහන යටතේ යුද්ධය හේතුවෙන් අනාථ වූ කාන්තාවන්, වැන්දඹුවන් හා දරුවන් වෙනුවෙන් මනෝ උපදේශන සේවා පවත්වනවා. ඒ දරුණු යුද පරිසරය ගණනකට නොගනිමින් උතුරු හා නැගෙනහිර ප්‍රදේශවලට ඇතුළුවෙමින්.

රාමෝන් මැග්සේසේ සම්මානය හා ශ්‍රී ලංකා අභිමානි 

W.D අමරදේව (static.ft.lk)

මැග්සේසේ සම්මානය මෙන්ම ශ්‍රී ලංකාවේ පුරවැසියෙකුට ලබාගත හැකි ඉහළම සම්මානය වන ශ්‍රී ලංකා අභිමානි යන සම්මාන දෙකම අත්කරගත් පුද්ගලයන් දෙදෙනෙක් මේ වන විට බිහි වී තිබෙනවා.

ඒ සර්වෝදය ව්‍යාපාරය ආරම්භ කරමින් ශ්‍රී ලංකාවට ඉමහත් සේවයක් කළ A.T ආරියරත්න හා ශ්‍රී ලංකා සංගීත ක්ෂේත්‍රයේ නොමැකෙන සලකුණ වන පණ්ඩිත් W.D අමරදේව යන ගෞරවණිය පුරවැසියන් යුගලය යි.

Related Articles