Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රත්තරන් මිල ඉහළ යාමට බලපාන හේතු

මේ දිනවල සිය විවාහ මංගල උත්සවය සැලසුම් කරමින් සිටින තරුණ තරුණියන් ගැටළු රැසකට මුහුණපාමින් සිටිනවා. මංගල උත්සව සඳහා පනවා ඇති දැඩි නීතිරීති, මංගල ඇඳුම් සඳහා අවශ්‍ය වන සමහර ද්‍රව්‍යවල පවතින හිඟය වැනි ගැටළු ඒ අතරින් ප්‍රධාන යි. ඊට අමතරව ඔවුන් මුහුණදෙන විශාලතම ගැටළුවක් වන්නේ ලෝක වෙළඳපල තුළ රත්තරන් මිල සීඝ්‍රයෙන් ඉහළ යාම යි. එම නිසා වර්තමානය වන විට රත්තරන් පවුමක මිල රුපියල් 90000-100000 අතර විචලනය වෙමින් පවතිනවා. 2020 වසරේ මාර්තු මාසයේ සිට සිදුවුණු රන් මිල ඉහළ යාමට හේතු වුණේ කොරෝනා වසංගත තත්ත්වය ලොව පුරා පැතිර ගිය නිසා යි.

පසුගිය දශකය තුළ රන් මිලෙහි විචලනය 

2011-2020 කාල සමය තුළ දී ලෝක වෙළඳපොලෙහි රන් මිල විශාල ලෙසින් විචලනය වුණා. 2011 වසර ආරම්භ වන විට ඇමරිකානු ඩොලර් 1400ක් වැනි අගයක පැවති රන් මිල එම වසරේ අගෝස්තු මාසය වන විට ඇමරිකානු ඩොලර් 1900 සීමාව දක්වා වැඩි වුණා. එය මෙම වසරේ වැඩිවීමට පෙර පසුගිය දශකය තුළ වාර්තා වුණු වැඩිම රන් මිල යි. එලෙස වැඩිවුණු රත්තරන් මිල 2011 වසර අවසන් වන විට ඇමරිකානු ඩොලර් 1550 දක්වා අඩු වුණා. 

2012 වසර රත්තරන් මිල විශාල ලෙස විචලනය වුණු වසරක්. එම වසර මුල ඇමරිකන් ඩොලර් 1800 සීමාව දක්වා ක්ෂණිකවම ඉහළ ගිය රත්තරන් මිල වසර මැද වන විට යළි ක්‍රමයෙන් ඩොලර් 1550 දක්වා පහත වැටුණා. නමුත් වසර අග වන විට යළි එය ඩොලර් 1800 සීමාවට පැමිණියා. 2012 වසරේ සැප්තැම්බර් මාසය පමණ වන විට රන් මිල විශාල ලෙස වැඩි වුණත් ඉන් පසුව එය සීඝ්‍රයෙන් පහත වැටුණා. ඒ අනුව 2013 වසරේ මැද භාගය වන විට එය ඩොලර් 1200 දක්වා අඩු වුණා 

2013 වසරේ මැද භාගයේ සිට 2016 වසර වන තුරු විචලනය වෙමින් පැවති රත්තරන් මිල 2015 වසර අවසන් විට අවම තත්ත්වයකට පත්වුණා. ඒ අනුව පසුගිය දශකය තුළ දක්නට ලැබුණු අඩුම රත්තරන් මිල වාර්තා වුණේ 2015 වසරේ අගභාගයේ දී යි. එය ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් 1060ක්. එදා සිට ක්‍රමයෙන් විචලනය වුණු රන් මිල 2020 වසරේ මාර්තු මාසය පමණ වන විට ඩොලර් 1500 දක්වා වැඩි වී තිබුණා. 

එම කාල සමය තුළ කොරෝනා වසංගතය ලෝකය පුරා සීඝ්‍රයෙන් පැතිර යමින් තිබුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ලෝක වෙළඳපලේ රත්තරන් මිල වේගයෙන් ඉහළ ගියා. 2020 වසරේ මැද භාගය වන විට එය ආසන්න වශයෙන් ඩොලර් 2050 තරම් ඉහළ අගයක පැවතුණා. එය පසුගිය දශකය තුළ වාර්තා වුණු රන් මිලෙහි වැඩිම අගය යි. එලෙස සීඝ්‍රයෙන් ඉහළ ගිය රන් මිල පසුගිය මාස කිහිපය තුළ දී ක්‍රමයෙන් පහළ ගියා. ඒ අනුව වර්තමානය වන විට එය 1800 සීමාවේ රැඳී පවතිනවා.

පසුගිය දශකය තුළ රන් මිලෙහි වෙනස් වීම (goldprice.org)

රත්තරන් මිල ඉහළ යන්නේ ඇයි?

රත්තරන් පරිභෝජනය කළ නොහැකි නිසා මෙතෙක් කල් නිෂ්පාදනය කළ රත්තරන්වලින් සැලකිය යුතු ප්‍රමාණයක් ඉතිරිව පවතිනවා. එම රත්තරන් ලෝකය පුරාම සංසරණය වනවා. නමුත් ලෝකයේ ජනගහනය වැඩිවීමත් සමගම රත්තරන්වලට තිබෙන ඉල්ලුම වැඩි වනවා. එම ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීමට නොහැකි වුණොත් ලෝක වෙළෙඳපල තුළ රත්තරන් හිඟයක් නිර්මාණය වනවා. එවිට ඉතිරිව තිබෙන රත්තරන්වලට තිබෙන ඉල්ලුම වැඩිවන නිසා එහි මිල ඉහළ යනවා. කොරෝනා වැනි වසංගත තත්ත්වයක් ලොව පුරා පැතිරයාමත් සමගම විවිධ හේතූන් නිසා රත්තරන් හිඟයක් නිර්මාණය වුණා.

රත්තරන් නිෂ්පාදනය පහත වැටීම 

ලෝකයේ වැඩියෙන්ම රත්තරන් නිෂ්පාදනය කරන රටවල් දහය අතරට ඇතුළත් වන ඇමරිකාව, රුසියාව, දකුණු අප්‍රිකාව, පේරු, මෙක්සිකෝව, බ්‍රසීලය වැනි රටවලට කොරෝනා වසංගතය නිසා විශාල හානියක් සිදුවුණා. එම නිසා ලෝකයේ රත්තරන් නිෂ්පාදනය සීඝ්‍රයෙන් පහළ ගියා. එවිට රත්තරන් ඉල්ලුමට සාපේක්ෂව සැපයුම පහළ ගියා. රත්තරන් සැපයුම පහළයාමත් සමගම ඇතිවුණු රත්තරන් හිඟය නිසා තිබෙන රත්තරන්වලට තිබෙන ඉල්ලුම වැඩි වී තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස රත්තරන් මිල විශාල ලෙසින් ඉහළ ගියා.

රත්තරන් පතලක් (aidc.org.za)

උද්දමනය 

යම් කිසි කාල පරිච්ඡේදයක් තුළ රටක භාණ්ඩ සහ සේවාවල මිල අඛණ්ඩව ඉහළ යාම උද්දමනය ලෙසින් හැඳින්විය හැකියි. කොරෝනා වසංගතය ලොව පුරා පැතිරයාමත් සමගම උද්දමනය සීඝ්‍රයෙන් වැඩි වුණා. උද්දමන අනුපාතය ඉහළ යන විට මුදලේ අගය අඩු වනවා. එවිට බොහෝ ආයෝජන මාර්ගවලින් ප්‍රතිලාභ ලබාගැනීමට තිබෙන අවස්ථාව නැතිවී යනවා. එම නිසා සැලකිය යුතු ව්‍යාපාරිකයන් පිරිසක් රත්තරන් ආයෝජනය කරනවා. ඒ උද්දමනය දීර්ඝ කාලයක් පැවතිය ද රත්තරන්වල වටිනාකම අඩු නොවන නිසා යි. එලෙස විශාල පිරිසක් රත්තරන්වලට මුදල් ආයෝජනය කළ විට වෙළඳපොල තුළ ක්ෂණිකවම රත්තරන් හිඟයක් ඇතිවනවා. එවිට වෙළඳපොල තුළ රත්තරන් මිල ඉහළ යන්නේ ඉතිරිව තිබෙන රත්තරන්වලට තිබෙන වැඩි ඉල්ලුම නිසා යි.

රන් බිස්කට් (sigo.co)

රත්තරන් බෙදාහැරීමට තිබෙන ඉඩකඩ සීමා වීම 

කොරෝනා වසංගතය ලෝකය පුරා පැතිරයාමත් සමගම බොහෝ රටවල්වල ගුවන් තොටුපොළවල් වසා දමනු ලැබුවා. එවිට රත්තරන් නිෂ්පාදනය කරන රටවල්වල තිබෙන රත්තරන් වෙනත් රටවල්වලට ප්‍රවාහනය කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එම නිසා ලෝකයේ රටවල් රැසකම රත්තරන් හිඟයක් පවතිනවා. එවිට යම් රටක පවතින රත්තරන්වලට තිබෙන ඉල්ලුම සීඝ්‍රයෙන් වැඩි වනවා. එම නිසා රත්තරන් මිල ක්‍රමයෙන් ඉහළ යනවා. වර්තමානයේ දී ශ්‍රී ලංකාවත් මෙම තත්ත්වයට මුහුණ දෙනවා. ඉදිරියේ දී මෙරට ගුවන් තොටුපොළ විවෘත කිරීමෙන් පසුව ගුවන් යානා පැමිණීමත් සමගම මෙම තත්ත්වය සමනය විය හැකියි.  

 බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ (The jakarta Post)

පොළී අනුපාත අඩුවීම සහ කොටස් වෙළඳපොල අස්ථාවර වීම 

බැංකුවල පොළී අනුපාත පහළ යන විට මුදල් බැංකුවල තැන්පත් කිරීම මඟින් බලාපොරොත්තු වන තරම් ප්‍රතිලාභ ලබාගත නොහැකියි. එම නිසා බොහෝ පිරිස් මුදල් බැංකුවල තැන්පත් කිරීමෙන් වැලකී ඒවා රත්තරන් මිල දී ගැනීම සඳහා යොදවනවා. සාමාන්‍යයෙන් කොරෝනා වැනි වසංගත තත්ත්වයක් ලොව පුරා පැතිර යන විට වැඩි රටවල් ප්‍රමාණයක් ආර්ථික අර්බුදයකට මුහුණ දෙනවා. එවිට කොටස් වෙළඳපොලෙහි යම් කඩාවැටීමක් දක්නට ලැබෙනවා. කොටස් වෙළඳපොල කඩාවැටෙන විට ආයෝජකයන් එහි කොටස් මිල දී ගැනීමට උත්සාහ කරන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් රත්තරන් ආයෝජනය කිරීම සඳහා මුදල් යොදවනවා. ඉහත හේතු නිසා රත්තරන් මිල ඉහළ යනවා. 

කොළඹ කොටස් වෙළෙඳපල (gettyimages)

මේ දිනවල ලොව පුරා පවතින කොරෝනා වසංගත තත්ත්වය සමනය වීමෙන් පසුව ඉල්ලුමට සරිලන රත්තරන් සැපයුම ලබාදීමට හැකිවේවි. එවිට ලෝක වෙළෙඳපල තුළ රත්තරන් මිල යළිත් සාමාන්‍ය තත්ත්වයට පත්වන බවට අනුමාන කළ හැකියි.

කවරයේ ඡායාරූපය- gettyimages 

මූලාශ්‍රයයන්- Groww.in

Related Articles