සොබාදහම තුළ විටින් විට අපූර්ව දේ සිදුවෙනවා. වැස්ස, සුළං වැනි නිතරම අපි අත්දකින ස්වභාවික සංසිද්ධීන්ට අමතර ව ඉඳහිට, අහඹු ලෙස සිදුවන සංසිද්ධිත් ලොව සමහර ස්ථානවල සිදුවෙනවා. ඉන් බහුතරය ඉතා චමත්කාර ජනක යි. මින් සමහරක් සංසිද්ධි කිසි ලෙසකින් ජීවිත හෝ දේපළ හානි ඇති නොකරන අතර, තවත් සමහරක් අසුරු සැණෙකින් ජීවිත දහස් ගණනක් බිළිගත හැකි මට්ටමේ දරුණු ඒවා වනවා. එමෙන්ම මින් සමහරක් කිසි ලෙසකින් ශ්‍රී ලංකාව තුළ දැකගත නොහැකි යි. පාඨක ඔබගේ දැනුම් පොතට අමතර දැනුමක් එක්කරනු වස් එවැනි දුර්ලභ ස්වභාවික සංසිද්ධි කිහිපයක් පිළිබඳ තොරතුරු ඔබ වෙත ගෙන එන්නට අපි අදහස් කළා.

මිහිදුම් දුන්න

metoffice.gov.uk

මිහිදුම් දුන්න සමහර විටෙක ධවල දේදුන්න හෝ 'අවතාර' දේදුන්න ලෙස ද හඳුන්වනවා. මේවා ඇති වන්නේත් සාමාන්‍ය දේදුන්නක් ඇති වන ආකාරයට ම යි. එකම වෙනස වන්නේ මේවා ඇති වන්නේ වර්ෂාව හේතුවෙන් නොව දැඩි මීදුම් තත්ත්වයක් නිසා වීම යි. වර්ෂාවක දී මෙන් නොව මේ මිහිදුම් දුනු ඇතිවන්නට හේතු වන ජල අංශු ඉතා කුඩා වීම නිසා හිරු එළිය ඒවා තුළින් ගමන් කිරීමේ දී නිසියාකාර ව විවර්තනය වෙන්නේ නැහැ. මේ හේතුවෙන් ඇති වන වක්‍රාකාර ස්වරූපය දේදුන්නක දී මෙන් වෛවර්ණ නොවී ධවල පැහැති වෙනවා.

චක්‍රාකාර වලාකුළු

Dahlia Rudolph

මේ ආකාර වලාකුළු පෙනුමෙන් පියාඹන පීරිසියක හැඩ ගන්නවා. සමහර විටෙක මේවා පියාඹන පීරිසියැ යි වරදවා වටහා ගෙනත් තිබෙනවා.

මේ හැඩයේ වලාකුළු ඇති වන්නේ ඉහළ උන්නතාශයක් ඇති ප්‍රදේශවල යි. විශේෂයෙන් පහළ උන්නතාශහි ඇති කඳු, ගොඩනැඟිලි, කුලුනු වැනි දේවල් නිසා සාමාන්‍ය වායු ප්‍රවාහවල ගමනට බාධා එල්ල වීම හේතුවෙන් මේවා හට නොගන්නේ ඒවා හි උෂ්ණත්වය අවට තුෂාරාංකයට වඩා වැඩි වීම හේතුවෙන් ජලවාෂ්ප ඝණීභවනයක් සිදුනොවීම නිසාවෙනුයි. ඉහළ උන්නතාශවල වායු ප්‍රවාහ සාපේක්ෂ ව අඩු උෂ්ණත්වයක පවතින නිසා ඒවා කඳු වැනි බාධකවල ගැටී පහළට එනවිටත්, අවට වාතයේ තුෂාර අංකයට වඩා පහළ අගයක පැවතීම නිසා අවට ජල වාෂ්ප ඝණීභවනය කරමින් බාධාව වටා වළල්ලක ස්වරූපයකට වලාකුළු සාදනවා.

සාමාන්‍ය යානාවල ගුවන් නියමුවන් මේ ආකාරයේ වලාකුළු දුටු විට ඉන් ඉවතට සිය ගුවන්යානාව මෙහෙයවනවා. ඒ මෙවැනි වලාකුළු ආශ්‍රිත ව ඇති ආකූල ප්‍රවාහයන් නිසා යානය පාලනයෙන් තොර වීමට ඉඩකඩ වැඩි නිසා යි. කෙසේ නමුත් ගුවන් කරණම් සිදුකරන 'ග්ලයිඩර්' යානාවල නියමුවන් මෙවැනි වලාකුළු වාසිදායක ලෙස යොදාගන්නා අවස්ථාත් තිබෙනවා.

හිරු 'සුනඛයින්'

Stockphoto.com/ Scene_It

'හිරු සුනඛයින්' යන මේ සංසිද්ධිය ලොව ඕනෑම තැනක ඕනෑම කාලයක දී සිදුවිය හැකියි. කෙසේ නමුත් මේවා ඇතිවන්නට සුදුසුම අවස්ථාව වන්නේ හිරු ක්ෂිතිජයට ආසන්න ව තිබෙන විට යි. මෙහි දී හිරු වටා දීප්තිමත් වළල්ලක් වැනි දෙයක් ඇති වන අතර, හිරුට තිරස් රේඛාවේ දෙපසින් එම වළල්ල මත දීප්තිමත් ස්ථාන දෙකක් ඇති වෙනවා.

මෙම සංසිද්ධිය ඇතිවන්නේ හිරුඑළිය අවට ඇති අයිස් අංශු මතට වැටීම හේතුවෙනුයි. මේවා 'ව්‍යාජ හිරු' හා 'අවතාර හිරු' ලෙස ද ව්‍යවහාරයේ දී හඳුන්වනවා.

තුහින මල්

Nick Page

තුහින මල් ලෙස ස්වභාවික සංසිද්ධි දෙකක ඵලයන් හඳුන්වනවා. මින් එකක් වන්නේ අයිස් තුනී ස්ථරයක් දිගු නැටි සහිත පැළෑටිවලින් මැඩී ගොස් පුෂ්ප ආකාර ව්‍යුහ තැනීම යි. අනෙක  ශීතල හා නිසොල්මන් පරිසර තත්ත්වයන් යටතේ ජලාශයක හෝ මුහුද මත ඇති තුනී අයිස් ස්ථරයක් මත අයිස් ස්ඵටික පුෂ්පයක හැඩයට වර්ධනය වීම යි. මේ ද්විත්වය ම අතිශය අලංකාර පිහිටීම් වෙනවා.

යමහල් අකුණු

Youtube

සමහර යමහල් විදාරණය වීමේ දී ඒවා ආශ්‍රිත ව 'අකුණු ගැසීම්' ඇතිවෙනවා. මේ සංසිද්ධියේ දී සිදුවන පුළිඟු පැනීම්වලට අහසේ වලාකුළුවල කිසිදු සම්බන්ධයක් නැහැ. සාමාන්‍ය අකුණු කුණාටුවක දී වලාකුළු මත ඇතිවන අයිස් ස්ඵටික එකිනෙක ගැටී විද්‍යුත් ආරෝපණ ජනනය වෙනවා. මේවා එක් එක් ස්ථානවලට පොළා පැනීම අකුණු ඇති වීමට හේතු වෙනවා. ගිනිකඳු විදාරණයක දී ඉවතට විසිවන විවිධ පාෂාණ කැබලි, අයිස්, අළු වැනි දේ එකිනෙක ගැටීමෙන් විද්‍යුත් ආරෝපණ ජනනය වෙනවා. මේ නිසා සක්‍රීය යමහළකින් නැඟෙන දූලි වලාවන් තුළ 'අකුණු' ජනනය වෙනවා.

ලොව සමහර ගිනිකඳුවල පමණක් මේ සංසිද්ධිය සිදුවනවා. එයට හේතුව නිසියාකාර ව තහවුරු කරගෙන නැති අතර, ඒ ඒ ස්ථානවල ගල් කැබලි හා අනෙකුත් දේවල් හි ව්‍යුහය නිසා මෙසේ සිදුවන බවට පිළිගැනෙනවා.

ගිනි සුළි

Charles "Trey" Bolt

ගිනි සුළි ලෙස හැඳින්වෙන මේවා එක්තරා ආකාරයක සුළි කුණාටු වර්ගයක් වෙනවා. මෙය ගිනි රකුසා හෝ ගිනි ටොනාඩෝව ලෙසත් හඳුන්වනවා. කෙසේ නමුත් මෙය ඇත්තෙන් ම ටොනාඩෝවක් නොවේ. මෙය අනෙකුත් ටොනාඩෝ මෙන් අවකාශයේ ඉහළ කොටස්වලින් ඇති නොවන අතර, භූමියෙන් පැන නඟින උණුසුම්, වියළි, වේගවත් සුළං ධාරා නිසා හටගන්නවා. මේ වායු ධාරාවල ප්‍රභවය බොහෝ විට ගින්නක් වන අතර, ගිනි දළු හා අළු වැනි දේ ද ඒවායේ අන්තර්ගත වෙනවා. ගිනි සුළි පවතින්නේ ඉතා කෙටි කාලයක් නමුත් ඒවා ඉතා භයානක වෙනවා. මේවා තුළ උෂ්ණත්වය සෙල්සියස් අංශක 1,100ක් තරම් ඉහළ අගයක් ගත හැකියි. මේ උෂ්ණත්වය එම පද්ධතියේ පවතින අළු අංශු නැවත දහනය කරන්නට සමත් වෙනවා.

ලොව එතෙක් මෙතෙක් වාර්තා වී ඇති දරුණුතම ගිනි සුළිය වාර්තා වී ඇත්තේ 1923 වසරේ ජපානයෙනුයි. මහා කැන්ටෝ භූමිකම්පාව හේතුවෙන් හටගත් සුවිශාල ගිනි සුළියක් 38,000ක් පමණ දෙනා මිනිත්තු 15ක් තුළ මරණයට පත් කරන්නට සමත් වුණා. භූමිකම්පාව හේතුවෙන් 142,800ක් දෙනා මියගිය බැව් සඳහන් වී ඇති අතර, ගිනි කුණාටුව හේතුවෙන් මියගිය ගණන එමෙන් 27%ක් පමණ වූ අගයක් වුණා.

කවරයේ පින්තූරය- u/DenkeyKeng/reddit.com