සිංහල සිනමාවේ නිල ආරම්භය විදියට සැලකෙන්නේ 1947 ජනවාරි 21 තිරගත වුණු ‘කඩවුණු පොරොන්දුව’ චිත්‍රපටය වුණාට, අපේ රටේ ‘චිත්‍රපට පෙන්වීමේ ඉතිහාසය’ නම් ලියවෙන්න පටන් ගන්නෙ ඊට ගොඩාක් කලින්. සිලෝන් තියටර්ස්, සිනමාස්, සිලෝන් එන්ටර්ටේන්මන්ට්ස් වගේ සිනමා සමාගම් අතීතයේ ඉඳලම ලංකාවට විදෙස් චිත්‍රපට ගෙන්වීම සිදුකළා. ඒ චිත්‍රපටවලට ලාංකේය ප්‍රේක්ෂකයන්ගෙනුත් හිමිවුණේ ඉතා ඉහළ ප්‍රතිචාරයක්. රසිකයන්ගේ උනන්දුව හොඳින්ම තේරුම් ගත්ත මේ සමාගම් මුල් කාලෙ ඉඳලම දකුණු ඉන්දියානු ආභාසය සහිත සිංහල චිත්‍රපට නිර්මාණය කිරීම ගැන අවධානයෙන් හිටියෙ. ‘කඩවුණු පොරොන්දුව’ හැදෙන්නෙත් එහෙම වටපිටාවක.

මුල්කාලීන ලාංකේය සිනමාවේ තිබුණු ප්‍රධානම ගැටලුව විදියට විචාරක අවධානයට ලක් වෙන්නෙ ඒ නිර්මාණවල තිබුණු දැඩි ඉන්දියානු ආභාසය. සිනමා විචාරක ජයවිලාල් විලේගොඩ මහත්මයා තමන්ගෙ ලිපිවල නිතර නිතරම සඳහන් කරනවා ‘කඩවුණු පොරොන්දුව’ හරහා සිද්ධ වුණේ භාෂා 12ක් කතා කරපු ඉන්දියානු සිනමාවට තවත් අලුත් භාෂාවක් එකතු වීම විතරක් බව. ගනු ලැබූ

දේශීය සිනමාවක් ගොඩනැගීම

ඔය අතරෙ 1956 සිද්ධ වෙන දේශපාලන හැලහැප්පීම් එක්ක ජාතික චින්තනය වගේ කාරණා රට පුරා උත්කර්ෂයට නැංවෙන්න පටන් ගන්නවා. සිංහල සිනමාවටත් මේ තත්ත්වයෙන් මිදෙන්න හැකියාවක් ලැබෙන්නෙ නැහැ. දකුණු ඉන්දියානු වට්ටෝරු සිනමා සම්ප්‍රදායෙන් සම්පූර්ණයෙන්ම ගැලවෙන්න බැරි වුණාට රාජ්‍ය මට්ටමෙන් ලැබුණු තල්ලුවත් එක්ක දේශීය සිනමාවක් නිර්මාණය කරගන්න ගොඩක් අය මහන්සි වෙනවා. ඒ වගේම රජයේ චිත්‍රපට අංශයත් (Government Film Unit – GFU) උසස් මට්ටමේ වාර්තා චිත්‍රපට රාශියක් මේ කාලෙ නිර්මාණය කරමින් හිටපු බව සිහිපත් කළ යුතුයි. ඒ වාර්තා චිත්‍රපට ඇතුළෙ මුලින් කියපු ඉන්දියානු ආභාසය නම් යන්තමින්වත් දකින්න ලැබුණෙ නැහැ.

Image Credit: dbsjeyaraj.com

මෙහෙම වටපිටාවක, මහා බ්‍රිතාන්‍යයේ කාලයක් නැවතිලා හිටපු, ශ්‍රී ලාංකික තරුණයෙක් ආපහු ලංකාවට ඇවිත් රජයේ චිත්‍රපට අංශයේ සේවයට බැඳෙනවා. එංගලන්තයේ හිටපු කාලෙ කෙටි චිත්‍රපට කිහිපයක් (Farewell to childhood, Soliloquy) අධ්‍යක්ෂණය කරලා, සම්මානයට පවා පාත්‍ර වෙන මේ තරුණයා ලංකාවට එන්න කලින් වැඩ කරන්නෙ Times of Ceylon පත්තරේ ලන්ඩන් කර්තෘ මණ්ඩලයෙ. ඔහු තමයි ලෙස්ටර් ජේම්ස් පීරිස්. ඉන්දියානු වට්ටෝරුවේ හිරවෙලා තිබුණු සිංහල සිනමාව එතනින් එළියට අරගෙන තාත්විකත්වයට නැඹුරු කිරීමේ අවශ්‍යතාව දැඩිව මතුවෙලා තිබුණු කාලෙක, GFU එකට එන ලෙස්ටර් ජේම්ස් පීරිස්ට මුණගැහෙනවා. තමන්ගෙ අදහස්වලට ගොඩක් සමාන අදහස් තියෙන දෙන්නෙක්. ඒ ටයිටස් තොටවත්ත සහ විලී බ්ලේක්. ‘රේඛාව’ නිර්මාණය වීමේ මූලාරම්භය තියෙන්නෙ එතන.

‘රේඛාව’ට කලින් නිර්මාණය වුණු චිත්‍රපට වැඩි ප්‍රමාණයක් බිහි වුණේ ඉන්දියානු චිත්‍රාගාර ඇතුළෙ, ඉන්දියානු සම්භවයක් සහිත අධ්‍යක්ෂකවරු අතින්. ඒ වගේම ඒ චිත්‍රපට හැම එකකම වගේ පසුතලය විදියට භාවිත වුණේ අතින් ඇඳපු චිත්‍ර. හැබැයි ලංකාවෙ ජන ජීවිතයෙන්, සිරිත් විරිත් සහ ඇවතුම් පැවතුම්වලින් කොයි තරම් දුරස් වුණත්, මොන තරම් භාවාතිශය වුණත් මේ චිත්‍රපටවලට ලංකාවෙ ප්‍රේක්ෂකාගාරයෙන් නම් හිමි වුණේ ගොඩාක් ඉහළ ප්‍රතිචාරයක්.

ඉන්දියානු වට්ටෝරු සිනමාවෙන් ඔබ්බට

ඔහොම වටපිටාවක අර තරුණයො තුන්දෙනා ටිකක් භයානක තීරණයක් ගන්නවා. ඒ තමයි ස්වාභාවික දර්ශනතල පසුබිම් වුණු, දේශීය ගැමි ජීවිතය පිළිබිඹු වෙන චිත්‍රපටයක් නිර්මාණය කිරීම. වාණිජ වශයෙන් අති සාර්ථක සහ ස්ථාවර අඩියක තිබුණු දකුණු ඉන්දියානු වට්ටෝරු සිනමා සම්ප්‍රදායට පටහැනිව යමින්, ඒ වගේ තීරණයක් ගන්න හිතීම පවා ඒ කාලෙ හැටියට සෑහෙන්න භයානකයි. එළිමහනේ චිත්‍රපට රූගත කිරීම කරන්න බැහැයි කියන අදහස නිෂ්පාදකයො අතරෙ මුල්බැහැගෙන තිබුණු කාලයක් ඒක.  හිරු එළිය සහ අති රමණීය දර්ශන තලවලින් ලංකාවට කිසිම අඩුවක් නොතිබුණත් ඔවුන් වැඩි විශ්වාසයක් තියල තිබුණෙ චිත්‍රාගාර සහ චිත්‍ර ශිල්පියො විසින් ඇඳපු කෘත්‍රීම, පැතලි පසුතල ගැන විතරයි. ඒ වගේම අධි රංගනය වෙනුවට ස්වභාවික රංගන ශෛලියක් භාවිත කිරීම, සිනමා තරු වෙනුවට වෘත්තීය නොවන නළු නිළියො යොදා ගැනීම වගේ තීරණ ඇතුළෙ තිබුණෙත් සුළුපටු අවදානමක් නෙමෙයි.

Image Credit: sundayobserver.lk

‘රේඛාව’ ඇඳෙන්නෙ බරපතල ආර්ථික අපහසුතා ගොඩාක් මැද. මුල් කොටසේ වැඩ ඉවර වුණාට පස්සෙ ඉතිරි නිෂ්පාදන කටයුතු වෙනුවෙන් මුදල් හිඟ වෙනවා. එතන ඉඳලා ලෙස්ටර්, විලී, ටයිටස් තුන්දෙනාගෙ උඩුගං බලා පිහිනීමේ සිහිනයට මූල්‍ය දායකත්වය සපයන්නෙ ශ්‍රීමත් චිත්තම්පලම් ඒ. ගාඩිනර් මහත්මයාගේ ‘සිලෝන් තියටර්ස්’ සමාගම. ලෙස්ටර් පසුකාලීනව සඳහන් කරන විදියට එහෙම ලැබෙන මුදල රුපියල් 125,000/-ක්. සීමාසහිත චිත්‍රාලංකා සමාගම වෙනුවෙන් සිලෝන් තියටර්ස් ආයතනයේ ඒ අනුග්‍රහය නොලැබෙන්න 1956.12.28 වෙනිදා සිංහල සිනමාවේ 38 වෙනි චිත්‍රපටය විදියට ‘රේඛාව’ තිරගත නොවෙන්න ඉඩ තිබුණා.

ඒ කාලෙ හැටියට වාණිජ අතින් සාර්ථක වෙයි කියලා හිතන්න පුළුවන් කිසිම ලක්ෂණයක් නොතිබුණු ‘රේඛාව’ සිලෝන් තියටර්ස් අනුග්‍රහයෙන් තමන්ගෙ නිෂ්පාදන කටයුතු ඉවර කරනවා. ඒ දක්වාම චිත්‍රාගාරවලට කොටු වෙලා තිබුණු සිංහල සිනමාවේ ඊට කලින් දකින්න නොලැබුණු ස්වාභාවික අව්ව, වැස්ස, රැය, දහවල වගේ දේවල් රූපරාමු හරහා ප්‍රේක්ෂකයාට දකින්න ලැබෙනවා.

සැබෑ සිංහල සිනමාවේ පළමු වෙඩි මුරය, ‘රේඛාව’

‘රේඛාව’ චිත්‍රපටය ඊට කලින් තිබුණු දෙමළ චිත්‍රපට වට්ටෝරු ආකෘතිය පුපුරවා හැරීමේ පළමු වෙඩිමුරය වෙන්නෙ එහෙම. හරියටම කිව්වොත්, සිංහල සිනමාවේ 38 වැනි චිත්‍රපටය වුණාට ඇත්තටම දේශීය සිනමාවක ආරම්භය සිද්ධ වෙන්නෙ ‘රේඛාව’ චිත්‍රපටයෙන්. හැබැයි මෙතනදි කිවයුතු තවත් දෙයක් තියෙනවා. ඒ තමයි ලෙස්ටර් ජේම්ස් පීරිස්ට අමතරව තවත් පිරිසක් අඩු වැඩි වශයෙන් ‘දේශීය සිනමා කර්මාන්තයක්’ සඳහා තමන්ගෙ දායකත්වය සපයපු බව. බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න, සිරිසේන විමලවීර සහ ශාන්ති කුමාර් වගේ අයත් මේ කාරණය ගැන කතාබහේදි අමතක කරන්න බැහැ. වට්ටෝරු ලක්ෂණ කොයිතරම් තිබුණත් ‘පොඩිපුතා’ (1955) වගේ චිත්‍රපට පවා දේශීය සිනමාවක් වෙනුවෙන් උඩුගං බලා පිහිනන්න උත්සාහ කළ බව සඳහන් කරන්න ඕන.

Image Credit: ft.lk

ගොඩක් අය උපකල්පනය කරපු විදියටම, වාණිජමය වශයෙන් ‘රේඛාව’ට අත්වෙන්නෙ දරුණු අසාර්ථකත්වයක්. වට්ටෝරු සිනමා රසිකත්වය පැත්තෙන් වගේම ඇතැම් විචාරකයන් අතිනුත් ‘රේඛාව’ විවේචනය වුණා. ඒ හරහා නිරූපණය වුණු ‘ගම’ සහ ‘ගැමිකම’ ඇත්ත එකක් නෙවෙයි, ඒක අධ්‍යක්ෂකවරයා විසින් උත්කර්ෂයට නංවපු ව්‍යාජ ගැමිකමක් කියලයි සමහර විචාර ඇතුළෙ කියවුණේ. ඔවුන් කියපු විදියට ‘රේඛාව’ ඇතුළෙ තිබුණෙ ඇත්ත ගැමිකමක් නෙමෙයි, ගම ගැන ‘විදේශීය දැක්මක්’. ඒ වගේම ලාංකේය සමාජය පුරා ඔඩු දුවලා තිබුණු දුප්පත්කම ගැන චිත්‍රයක් පිළිබිඹු වෙන නිසා ‘රේඛාව’ ජාත්‍යන්තරයට නොයා යුතුයි කියලත් සමහර විචාරකයො සඳහන් කළා. වෘත්තාන්ත චිත්‍රපටයකට වඩා‘රේඛාව’ වාර්තා චිත්‍රපටයකට සමීප බව තවත් තැනක කියැවුණා.  ලෙස්ටර් ඇතුළු පිරිස GFU හරහා ලබාගත්ත වාර්තා චිත්‍රපට අත්දැකීම් ‘රේඛාව’ හදද්දි එයාලට නරක විදියට බලපෑම් කරල තියෙන බවයි ඒ විචාරකයන්ගෙ මතය වුණේ.

කොහොම වුණත් ‘රේඛාව’ හරහා සිංහල සිනමාව ඇතුළෙ සිද්ධ වුණේ සුළුපටු දෙදරීමක් නෙමෙයි. ඒ වගේම ‘රේඛාව’ අපේ සිනමාවේ දැවැන්ත හැරවුම් ලක්ෂ්‍යයක් විදියට හැඳින්වීමත් අතිශයෝක්තියක් නෙමෙයි. තවත් විදියකට කිව්වොත්, දේශීය, තාත්වික සිනමා සම්ප්‍රදායේ ආරම්භය ‘රේඛාව’ හරහා සනිටුහන් වීම කියන්නෙ සිංහල සිනමාව අධ්‍යයනය කරන කෙනෙකුට මගහැර යන්න බැරි ඓතිහාසික කාරණයක්.

Cover image – fragmenteyes.blogspot.com, www.sundaytimes.lk

මූලාශ්‍ර –

අද්‍යතන සිංහල සිනමාවේ විෂය ක්ෂේත්‍රය – ධම්මික ගංගානාත් දිසානායක

ජයවිලාල් විලේගොඩගේ නොපළ ලිපි – සුනිල් මිහිඳුකුල

ශ්‍රී ලංකාවේ ජාතික චිත්‍රපටි නාමාවලිය විමසුම – අජිත් ගලප්පත්ති

ලෙස්ටර් විරචිත ලේඛන සංහිතා – පරිවර්තනය, නුවන් නයනජිත් කුමාර