Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකාව තුළ පොල් හිඟයක් ඇතිවීමට හේතු

මේ දිනවල ලංකාව තුළ පොල් හිඟයක් තිබෙන බව කවුරුත් හොඳින්ම දන්නා කරුණක්. වාර්ෂිකව ලැබෙන පොල් අස්වැන්න අඩු වීම හේතුවෙන් නිර්මාණය වී ඇති පොල් හිඟය නිසා වෙළඳපොල තුළ පොල් මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. මෙරට ජනයා පුරුදුව සිටින ආහාර රටාව අනුව දෛනිකව සැලකිය යුතු පොල් ප්‍රමාණයක් පරිභෝජනයක් සිදු කරනවා. එනිසා පොල් මිල ඉහළ යාමෙන් පීඩාවට පත්වුණු ගණන සුලුපටු නැහැ. 

ලංකාවේ විශාල පොල් හිඟයක් ඇතිවීමට, පසුගිය දශකය තුළ මෙරට පොල් නිෂ්පාදනය ක්‍රමයෙන් පහත වැටීම බලපෑවා. එය ක්‍රමයෙන් පහත වැටීමට පහත සඳහන් හේතු කිහිපය බලපෑවා. 

විවිධ රෝග සහ පළිබෝධකයන් මඟින් වගාවට හානි සිදුවීම 

යම් බෝගයක් වගා කළ විට එයට ලෙඩ රෝග වැළඳීම සහ පළිබෝධකයන්ගෙන් හානි සිදුවීම සාමාන්‍ය දෙයක්. නමුත් රෝග සහ පළිබෝධකයන්ගෙන් සිදුවන හානිය සීමාව ඉක්මවා ගියොත් වගාවෙන් ලැබෙන අස්වැන්න අඩු වී යනවා. සාමාන්‍යයෙන් පොල් වගාබිම්වලට ප්‍රධාන වශයෙන් හානි කරන පළිබෝධකයන් කිහිපදෙනෙකු පහත දක්වා තිබෙනවා.

1) රතු පොල් කුරුමිණියා  

2) කළු පොල් කුරුමිණියා 

3) පොල් මයිටාවා 

4) පොල් දළඹුවා 

5) ප්ලෙසිස්පා නම් කෘමියා 

6) වේයා 

පළිබෝධකයන් මෙන්ම විවිධ රෝගයන් ද පොල් වගාවට විශාල ලෙසින් හානි සිදු කරනවා. පහත දක්වා තිබෙන රෝගයන් පොල් වගාවට නිතරම වැළඳෙන රෝග ලෙසින් හඳුනාගෙන තිබෙනවා.

1) කොළ පුල්ලි රෝගය  

2) පොල් කොළ මැලවීමේ රෝගය 

3) කඳෙන් ඕජස් ගැලීමේ රෝගය 

4) පොල් කොළ කුණුවීමේ රෝගය 

එලෙස පළිබෝධකයන් සහ විවිධ රෝග මඟින් සිදුවන හානිය නිසා පොල් ගස් මැරී යාම, ගස්වල වර්ධනය අඩාල වීම, පොල් ගසේ කඳ දිරායාම සහ අකාලයේ කඩාගෙන වැටීම, හටගන්නා පොල් ගෙඩි නිසරු වීම, පොල් අස්වැන්න අඩු වීම වැනි ප්‍රතිඵල ලැබිය හැකියි. නමුත් ඉහත සඳහන් කළ රෝග සහ පළිබෝධකයන් මර්ධනය කිරීම සඳහා නිර්දේශ කර ඇති උපක්‍රම භාවිතා කිරීමෙන් හොඳ පොල් අස්වැන්නක් ලබාගත හැකියි. 

මයිටාවන් නිසා හානි වී ඇති පොල් ගෙඩි (Silumina)

සතුන්ගෙන් සිදුවන හානිය 

පළිබෝධකයන් සහ ලෙඩ රෝගවලට අමතරව පොල් වගාවට විශාල හානියක් කරන සත්ත්ව කොට්ඨාසයක් ලෙස රිලවුන් සහ වඳුරන් හැඳින්විය හැකියි. දැනට ලංකාවේ බොහෝ ප්‍රදේශවල වඳුරු සහ රිලා ගහණය සීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතිනවා. විශාල රංචු වශයෙන් ගම් වදින වඳුරු සහ රිලා කණ්ඩායම් ගැමියන්ගේ ගෙවතුවල බෝග වගාවන්ට හානි කරන ආකාරය නිතරම අසන්නට ලැබෙනවා. සාමාන්‍යයෙන් උන් හොඳින් වැඩී තිබෙන පොල් ගස්වලට නැග එහි තිබෙන පොල් මල් කමින්, පොල් ඇට්ටි බිම දමමින් කුරුම්බා බොන ආකාරය සුලභවම දැකිය හැකියි. එසේම හොඳින් වැඩුණු පොල් ගෙඩි පවා උන් විනාශ කර දමන්නේ වගාකරුවන් අසරණ තත්ත්වයකට පත්කරමින්. බොහෝ විට ගම් ආශ්‍රිතව ජීවත් වන රිලවුන්ට සහ වඳුරන්ට ආහාර සොයාගැනීමේ දුෂ්කරතා තිබෙන නිසා උන්  නිතරම පොල් වගාබිම් ආශ්‍රිතව සැරිසරන ආකාරය දැකිය හැකියි. උන් එසේ කරන්නේ ආහාර සොයාගැනීම සඳහා වෙනත් පහසු මාර්ගයක් නොමැති නිසා යි. රිලා සහ වඳුරු රංචු නිතර නිතර පොල් වගාවන්ට හානි කිරීම මඟින් වාර්ෂිකව විශාල පොල් ප්‍රමාණයක් අහිමි වනවා.

පොල් ගසකට පැමිණ සිටින රිලවෙක් (UCA News) 

ලංකාවේ රිලා සහ වඳුරු ගහණය පාලනය කිරීම සඳහා අදාළ බලධාරීන් විවිධ ක්‍රම හඳුන්වා දී තිබුණත් එම කිසිදු ක්‍රමයක් සාර්ථක වී නැහැ. එම නිසා මෙරට වාර්ෂික පොල් අස්වැන්න වැඩිකර ගැනීමට නම් රිලා සහ වඳුරු රංචුවලින් සිදුවන හානිය අවම කිරීම සඳහා ස්ථීර විසඳුමක් ලබාදිය යුතුව තිබෙනවා. 

රිලවුන් සහ වඳුරන් පොල් වගාවට හානි කරන ආකාරයටම දඬු ලේනුන් ද පොල් වගාවට විශාල ලෙස හානි කරනවා. සාමාන්‍යයෙන් දඬු ලේනුන් විශාල රංචු වශයෙන් වගාවලට පැමිණෙන්නේ නැහැ. නමුත් වගාව වෙත පැමිණෙන දඬු ලේනුන් පොල් මල්, පොල් ඇට්ටි, සහ පොල් ගෙඩි විනාශ කර දමන ආකාරය නිරීක්ෂණය කළ හැකියි. දඬු ලේනුන් විසින් පොල් වගාවට සිදුකරන හානිය රිලවුන් සහ වඳුරන් කරන හානිය තරම් විශාල නොවුණත් වාර්ෂිකව සැලකිය යුතු පොල් ප්‍රමාණයක් විනාශ කරනවා. ඉහත සඳහන් කළ සත්ත්ව විශේෂයන් තුන මඟින් පොල් වගාවට සිදුවන හානිය සම්පූර්ණයෙන්ම නැවැත්වීම ප්‍රායෝගිකව කළ නොහැකියි. එම නිසා හානිය හැකි තරම් අවම කිරීමට උත්සාහ කළ යුතුයි. 

පොල් ඉඩම් කොටස් කර විකිණීම 

රටේ ජනගහනය ක්‍රමයෙන් වැඩිවීමත් සමග මිනිසුන්ට නිවාස තනාගැනීම සහ ව්‍යාපාර සඳහා ඉඩම් අවශ්‍ය වුණා. ඉඩම් අවශ්‍යතාවය මතු වුණු විට විශාල ඉඩම් කොටස් කර විකුණන ආකාරය පසුගිය දශක කිහිපය තුළ සුලබවම දක්නට ලැබුණා. එහි ප්‍රතිඵලයක් ලෙස මෙරට තිබුණු සරුසාර පොල් ඉඩම් සැලකිය යුතු ප්‍රමාණයක් විනාශයට පත් වුණා. එයට හොඳම උදාහරණය වන්නේ ඈත අතීතයේ දී සාරවත් පොල් වතු දක්නට ලැබුණු ගම්පහ, කුරුණෑගල වැනි දිස්ත්‍රික්කවල අද එවැනි පොල් වතු සුලභව දක්නට නොලැබීම යි. ගම්පහ සහ කුරුණෑගල සේම මෙරට පොල් වගාව හොඳින් සිදුකරන අනිකුත් ප්‍රදේශ ආශ්‍රිතව ද එම තත්ත්වය දැකිය හැකියි. පොල් ඉඩම් කොටස් කර විකිණීමේ ක්‍රියාවලිය තවමත් සිදුවෙමින් පවතිනවා. එම නිසා විනාශ කරන පොල් ගස් වෙනුවට අළුතින් පොල් පැල රෝපණය කිරීමේ ක්‍රියාවලියක් පැවතිය යුතු යි. 

කොටස් කර විකුණන පොල් ඉඩමක් (Dinamina)

ගෙවතුවල තිබෙන පොල් ගස් නිසි පරිදි නඩත්තු නොකිරීම 

පොල් බෝගය හොඳින් වැවෙන ප්‍රදේශවල ගෙවතු ආශ්‍රිතවත් සැලකිය යුතු මට්ටමින් පොල් වගාව සිදු කරනවා. සාමාන්‍යයෙන් එම ප්‍රදේශවල අක්කරයක පමණ ඉඩමක සැලකිය යුතු තරම් පොල් ගස් ප්‍රමාණයක් දක්නට ලැබෙනවා. නියමිත කාලයට පොල් අස්වැන්න කඩා ගැනීමෙන් පසුව එවැනි ප්‍රදේශවල ගෙවතු විශාල ප්‍රමාණයකින් පොල් මිලට ගන්නා පුද්ගලයන් සිටිනවා. ඔවුන් පොල් විශාල ප්‍රමාණයක් එකතු කිරීමෙන් පසුව පොල් හිඟ පළාත්වලට ගොස් ඒවා විකුණනවා. නමුත් බොහෝ ගෙවතුවල තිබෙන පොල් ගස් හොඳින් නඩත්තු වන්නේ නැහැ. නිසි කලට පොල් පොහොර නොදැමීම නිසා අස්වැන්න අඩු වනවා. එසේම පොල් ගස්වලට ලෙඩ රෝග වැළඳුනත් ඒවාට නිසි ප්‍රතිකාර ලබාදෙන්නේ නැහැ. එලෙස පොල් ගස් නිසි පරිදි නඩත්තු නොවීම හේතුවෙන් ගෙවතුවලින් ලැබෙන පොල් අස්වැන්න අඩු වනවා. එයත් රටේ පොල් හිඟයක් ඇතිවීමට වක්‍රාකාර හේතුවක් වනවා.

අනාගතයේ දී පොල් ආනයනය කිරීමට සිදුවේවි ද?

දැනට අප රටේ ජනතාවගේ පරිභෝජනයට ප්‍රමාණවත් තරම් වාර්ෂික පොල් අස්වැන්නක් ලැබෙන්නේ නැහැ. නමුත් මීට දශක කිහිපයකට පෙර මෙරට ජනතාවගේ පරිභෝජනයට ප්‍රමාණවත් තරම් පොල් අස්වැන්නක් ලැබුණා. එසේම පොල් අපනයනය කිරීමට පවා හැකි වුණා. නමුත් වර්තමානය වන විට මෙරටින් ලැබෙන වාර්ෂික පොල් අස්වැන්න අඩු වී යාම හේතුවෙන් පොල් ආනයනය කළ යුතු තත්ත්වයකට පත්ව තිබෙනවා. ලංකාවට පොල් ආනයනය කිරීමට බලාපොරොත්තු නොවන බව රජයේ ස්ථාවරය වුණත් මෙම තත්ත්වය දිගින් දිගටම පැවතීම හිතකර වන්නේ නැහැ. එම නිසා මෙරට වාර්ෂික පොල් අස්වැන්න වැඩි කරගැනීමට අවශ්‍ය පිළියම් යෙදීම අදාළ බලධාරීන්ගේ යුතුකම මෙන්ම වගකීම ද වනවා. ඔවුන්ට එය නිසියාකාරව ඉටු කිරීමට හැකි නොවුණොත් නුදුරු දිනයක මෙරටට පොල් ආනයනය කිරීමට සිදුවනු ඇති.

Related Articles