Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සුනුවිසුණු වී ගොස් නැවත හිස එස වූ අපූර්වතම නගර I

මානව ඉතිහාසයේ අති විශිෂ්ටතම නගර දිහා බලන විට වැටහෙන දෙයක් තමයි ඒ නගර සැලසුම් කරන්න වගේම ගොඩනගන්න කොයි තරම් කාලයක් ගත වුණත්, ඒවා බිඳ වැටෙන්න නම් ගත වුණේ ඉතාමත්ම සුළු කාලයක් වන බව. පොළොවට ඉතා ඉක්මණින්ම පස් ව යන මට්ටමටම සමතලා වී ගියත්, ඒ සුන්බුන් අතරින් යළි නැගි සිටිමින්, අතිශය විස්මය ජනක ලෙස ගොඩ නැගුණු ලෝකයේ අපූර්වතම නගර දහයක් අතර සුළු මොහොතක් හෝ සැරිසරන්න ඔබ කැමතියි ද? එසේ නම් මේ ලිපිය කියවා බලන්න.

බර්ලින්

assets.entrepreneur.com

මුළු යුරෝපයම තමන්ගේ ආධිපත්‍යයට නතු කරගන්න සිහින මැවූ ඇඩොල්ෆ් හිට්ලර් තමන්ගේ නාසි අධිරාජ්‍යයේ අගනුවර ලෙස හැඳින්වූයේ බර්ලින් නුවරයි. නමුත් දෙවන ලෝක යුද්ධය උත්සන්න වනවාත් සමගම නොකඩවාම බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවේ මෙන්ම ඇමරිකානු ගුවන් හමුදාවේ ප්‍රහාරයන්ට ලක් වන්නට බර්ලින් වැසියන්ට සිදු වුණා. එපමණක් නොවෙයි, බර්ලින් නුවර සෑම වීදියක් පාසාම යුද ගැටුම් හටගත්තා. රුසියානු හමුදාවන් බර්ලින් නුවර යටපත් කරගන්නවාත් සමගම එහි වූ ප්‍රතාපවත් ගොඩනැගිල්ලක් වුණු රයිෂ්ටාගය හෙවත් ජර්මානු පාර්ලිමේන්තුවේ සුන්බුන් මත ඔවුන් රුසියානු ජාතික ධජය ලෙලවනු ලැබුවේ ජර්මානුවන්ගේ පරාජය පෙන්නුම් කරන්නටයි.

1.bp.blogspot.com

යුද්ධය හේතුවෙන් බර්ලින් නගරයෙන් සියයට අසූවක්ම විනාශ වූ අතර, ඉතිරි වූ ගොඩනැගිලි පවා තුවක්කු මූණිස්සම් සිදුරු වලින් පිරී ගොස් තිබුණා. දෙවන ලෝක යුද්ධය නිම වීමෙන් වසරකට පසුව, එනම් 1946 පටන්ම නගරය නැවත ගොඩ නැගීම යළි ඇරඹුනත් අදටත් මධ්‍යම බර්ලින් නගරයේ තැනින් තැන හිස් ඉඩකඩ දක්නට ලැබෙනවා. පළමු හා දෙවන ලෝක යුද සමය අතරමැද කාල වකවාණුව තුළ ඉතාමත්ම කාර්යබහුල ගොඩනැගිල්ලක් ව තිබූ Potsdamer Platz ගොඩනැගිල්ල දෙවන ලෝක යුද සමයේදී බිමටම සමතලා වුනත්, එය නැවතත් ගොඩනගනු ලැබීමෙන් අනතුරුව, මේ වන විට විශාල ගොඩනැගිලි සංකීර්ණයක් බවට පත්ව තිබෙන අතර, රයිෂ්ටාග් ගොඩනැගිල්ලද නෝමන් ෆොස්ටර් නැමති ප්‍රසිද්ධ ගෘහ නිර්මාණ ශිල්පියා විසින් නැවත ගොඩනගනු ලැබුවේ එහි වහලය මත අනර්ඝ වීදුරු නිමැවුමක්ද නිර්මාණය කරමිනුයි.

ලිස්බන්

www.youtube.com

පෘතුගාලයේ අගනුවර වන ලිස්බන් නගරය 1755 වසරේ නොවැම්බර් මස පළමු වනදා හෙවත් සියළු ශාන්තුවරුන්ගේ දිනය දා අති විශාල භූමි කම්පාවකට මුහුණ දුන් අතර, ඉන් මිනිත්තු හතලිහකට පමණ අනතුරුව විශාල සුනාමියක්ද ඇති වුණා. මුළු ලිස්බන් නගරයෙන් සියයට අසූ පහක් පමණ විනාශයට පත් කරමින් තිස් දහසකට පමණ මරු කැඳ වූ මෙම භූමිකම්පාව නිසා හටගත් ගින්නකින් නගරය පුරා පුස්ථකාල, දේවස්ථාන ඇතුළු ගොඩනැගිලි රැසක් විනාශ වී ගියා. එම ගින්න දින පහක් පුරා නොනිවී පැවතුනේද මහා විනාශයකට ලිස්බන් නගරය ගොදුරු කරගනිමිනුයි.

vignette2.wikia.nocookie.net

භූමිකම්පාව හටගත්තේ ආගමික දිනයකදී නිසා බොහෝ දෙනා පෙළඹුනේ එම ඛේදවාචකය දෙවියන්ගේ කෝප වීමක් හේතුවෙන් හටගත්තක් බවයි. පෘතුගීසීන්ගේ සාරධර්ම පිරිහීම හේතුවෙන් කෝප වූ දෙවියන් වහන්සේ ඊට දඬුවම් කළ බවටද විශ්වාස කෙරෙනවා. එපමණක් නොවෙයි, විශ්වයේ නිර්මාතෘවරයා පිළිබඳව යුරෝපීයයන්ගේ දර්ශනය කෙරෙහිද ඉන් බලපෑමක් වූ බවයි විචාරකයින්ගේ මතය වන්නේ.

කෙසේ හෝ මාර්කේස් ඩො පොම්බාල් අගමැතිවරයා යටතේ ලිස්බන් නගරය යළි උපත ලබනවා. ලිස්බන් නගරය යළි නිර්මාණය කර ඇත්තේ භූමිකම්පාවන්ට ඔරොත්තු දිය හැකි අන්දමේ ජාලමය රටාවකට අනුකූලවයි. සාම්ප්‍රදායික ගෘහ නිර්මාණ ශිල්පය සමග මුසු කරන ලද දැලිසාකාර කූඩු ක්‍රමයකට අනුකූලව නගරයේ ගොඩනැගිලි වලට මූලික පදනම සපයා තිබෙනවා. එමෙන්ම Praça do Comércial හෙවත් ලිස්බන් නගරයේ මාළිගා අංගනය නැවත ගොඩනගා ඇත්තේද භූමිකම්පාව මතින් නගරය යළි නැගී සිටීමේ ජයග්‍රාහී භාවය පිළිඹිබු වන අයුරිනුයි.

හිරෝශිමා

www.visithiroshima.com

මේ නගරය ගැන නම් හඳුන්වාදීම අවශ්‍ය වන්නේත් නැති තරම්. දෙවන ලෝක යුද සමයේදී ජපන් හමුදාවන්ගේ ප්‍රධානතම හමුදා මූලස්ථානයක් වුණු හිරෝශිමා නගරය 1945 වසරේ අගෝස්තු 06 වනදා “ඉනෝලා ගේ” (Enola Gay)  නමින් හඳුන්වනු ලැබූ B – 29 වර්ගයේ අමෙරිකානු යානයක් මගින් හෙලන ලද පරමාණු බෝම්බය නිසා දැවැන්ත ලෙස බැට කෑ නගරයක්. අමෙරිකානුවන් මේ බෝම්බය හැඳින්වූයේ “Little Boy” යන නමින්. මිනිසුන් හැත්තෑ දහසක් පමණ දෙනා ඉන් මිය ගියේ එක සැණෙකින්. විකිරණ සහ අනෙකුත් තුවාල හේතුවෙන් ඊට ආසන්න ප්‍රමාණයක් දෙනා මරණයට පත් වුණේ පරමාණුක ශක්තීන් හේතුවෙනුයි. නගරයෙන් විශාල ප්‍රමාණයක් සුණු විසුණු වන්නට ගත වුණේ තත්පර කිහිපයක් පමණයි. නගරයෙන් යම් කොටසක් ඉතිරි වී තිබුණා නම් එයද විනාශ වී ගියේ එම වසරේම සැප්තැම්බර් මස හිරෝශිමාව හරහා හමා ගිය චණ්ඩ මාරුතයකින්.

www.pressenza.com

යුද සමය අවසාන වීමත් සමග නගරය යළිත් ක්‍රම ක්‍රමයෙන් ජනාකීර්ණ වන්නටත්, එහි ගොඩනැගිලි ඉදි වෙන්නටත් පටන් ගැනීමෙන් අනතුරුව, 1950 වසරේදී, 16 වන ශත වර්ෂයේ නිමවන ලද, නමුත් බෝම්බ ප්‍රහාරයෙන් කඩා වැටුණු එහි වූ හිරෝශිමා මාළිගයද නැවත ගොඩනැගෙන්නේ නගරයේ ඉතිහාසය මූර්තිමත් කරන කෞතුකාගාරයක් ලෙසිනුයි. බෝම්බ ප්‍රහාරයේ බලපෑම එල්ල වූ පළාත් අතුරින් ආසන්නතම දුරකින් පිහිටා තිබූ, නමුත් විශාල හානියක් සිදු නොවූ “Genboku Dome” ගොඩනැගිල්ල මේ වන විට යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙසත්, යුද සමය සිහි ගන්වන ස්මාරකයක් ලෙසත් මේ වන විට නම් කොට තිබෙනවා.

මෝස්ටා(ර්)

බොස්නියා සහ හෙ(ර්)සෙගොවීනා රාජ්‍යයේ නෙරෙත්වා ගඟ අසබඩ පිහිටා ඇති මෝස්ටා(ර්) නගරය යනු එහි ගෘහ නිර්මාණ ශිල්පය වෙනුවෙන් විශාල ප්‍රසිද්ධියක් ඓතිහාසික වශයෙන්ද ඉසිලූ නගරයක්. ඉස්ලාමීය, සර්බ් සහ කතෝලික ආභාශයන්ගෙන් සැදුම් ලත් ගොඩනැගිලි අතරතුර නෙරෙත්වා ගඟ හරහා දිවෙන ස්ටාරි මෝස්ට් පාලම අති විශේෂිතයි. 1560 වසරේදී මෙම පාලම ඔටෝමානු ඉංජිනේරුවන් විසින් ගොඩනගනු ලැබුවේ සුල්තාන් සුලෙයිමාන් නැමති පාලකයාට උපහාරයක් වශයෙනුයි.

1992 සිට 1995 දක්වා ක්‍රොආත්වරු හා බොස්නියානුවන් අතර පැවති යුද්ධය හේතුවෙන් මෙම නගරය දෙපාර්ශවයෙන්ම විවිධ ප්‍රාහරයන්ට ලක් වුණා. ඊට හේතුව නගරයේ පිහිටීම දෙපාර්ශවයේම උපක්‍රමයන් සාර්ථක කරගැනීමට ඉතා යෝග්‍ය එකක් වූ බැවින්. ඉස්ලාමික සහ කතෝලික ආගමික ස්ථාන, පුස්තකාල ඇතුළු ගොඩනැගිලි විශාල ප්‍රමාණයක් මෙන්ම ස්ටාරි පාලමද ඉන් විනාශයට පත් වුණා. කෙසේ වෙතත්, ගැටුම්කාරී තත්වය පහව යාමෙන් අනතුරුව ලෝක බැංකුව, යුරෝපා සංගමය සහ අගා ඛාන් සංස්කෘතික පදනම ආදී සංවිධාන රැසකගේ සහයෝගීතාවය මත මෝස්ටා(ර්) නගරය යළි ගොඩ නැගුණා. 2004 වසරේදී ස්ටාරි පාලම නැවත ගොඩනැංවීම එම නගරය නැවතත් නැගී සිටිනු ඇති බවට සාක්ෂි දැරුවා.

සැන් ෆ්‍රැන්න්සිස්කෝ

1906 වසරේ සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේ සැන් ඇන්ඩ්‍රියාස් ගල් පරය හරහා දිව ගිය භූමි කම්පාව සහ ඉන් අනතුරුව හටගත් ගින්න නිසා බටහිර අමෙරිකාවේ ප්‍රධානතම මූල්‍යමය සහ සංස්කෘතිකමය මධ්‍යස්ථානය වූ සැන් ෆ්‍රැන්සිස්කෝ නගරය පොළොවටම සමතලා වී ගියේ අතිශය ඛේද ජනක අයුරින්. 1900 වසරේ ඇති වූ ගැල්වස්ටෝන් භූමිකම්පාවට පමණක් දෙවැනි කොට සැළකෙන මෙම ස්වභාවික විපත නිසා අමරිකානුවන් තුන් දහසකගේ පමණ ජීවිත වලට හානි පැමිණුනා. භූමිකම්පාව හේතුවෙන් හටගත් ගින්න නිවීමට දින ගනණක් යනතුරු ජලය සපයා ගැනීමට නොහැකි වුණේ භූමි කම්පාවෙන් නගරයේ ජල සැපයුමටද හානි පැමිණ තිබූ නිසාවෙනුයි.

www.adventuresbydisney.com

1915 වන විට සැන් ෆ්‍රැන්සිස්කෝ නගරය කෙමෙන් කෙමෙන් යළි ගොඩනැගෙන්නට වුණා. නව මං මාවත් ඉදිවුණේ වඩාත් පුළුල් අයුරින්. පැසිෆික් හයිට්ස් වැනි සුප්‍රසිද්ධ ගොඩනැගිලි ඉදි කෙරුනේද භූමිකම්පාවෙන් අනතුරුවයි. 1915 වසරේ  ” World’s Fair ” නැමති අන්තර්ජාතික ප්‍රදර්ශනයේදී ද පැනමා ඇළ සහ සැන් ෆ්‍රැන්සිස්කෝ නගරය යළි ඉදි කිරීම සමරනු ලැබුවා.

කවරයේ ඡායාරූපය – http://glimpse.clemson.edu

තොරතුරු උපුටා ගැනීම – www.theculturetrip.com වෙබ් අඩවියේ “10 cities around the world Destroyed and Rebuilt” ලිපිය ඇසුරිනි.

Related Articles