Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වූහාන් නගරයේ මෑතකාලීන ඉතිහාසය

චීනයේ වූහාන් නගරය, මෑතක දී ඇති වූ නව කොරෝනා වෛරස් වසංගතයක් හේතුවෙන් බෙහෙවින් කතාබහට ලක් වන නගරයක් බවට පත් වෙලා. තත්ත්වය කෙතරම් බැරෑරුම් ද යත්, වූහාන් නගරය මේ වන විට පිටත ලෝකයෙන් වෙන් කර තබා තිබෙනවා.

මිලියන 11ක ජනගහනයක් වාසය කරන වූහාන් නගරය, මධ්‍යම චීනයේ විශාලම නගරය යි. චීනයේ විශාලම නදිය වන යැංසි කියෑං හා එහි විශාලම අතු ගංගාව වන හන් නදිය හමුවන ස්ථානයේ යි එය පිහිටා තිබෙන්නේ.

වූහාන් නගරය පැරණි නගර තුනක් වන වූචාංග්, හන්කව් හා හන්යංග් යන නගර තුනේ එකතුවක් වනවා. වසර 3,500ක් පමණ ඈතකට මෙහි ඉතිහාසය දිවයන බව කියනු ලබනවා. යැංසි නදියේ මේ ප්‍රදේශයේ නාවික යාත්‍රාවලට ගමන් කළ හැකි හෙයින් වූහාන් නගරය වැදගත් තොටුපලක් බවට ද පත් වුණා.

වූහාන් (Wikimedia Commons)

කෙසේ වෙතත්, අප සලකා බලන්නේ 19 වන සියවස අග භාගයේ හා 20 වන සියවස මුල් භාගයේ වූහාන් ප්‍රදේශයේ ඉතිහාසය යි.

වෙළෙඳාම සඳහා විවෘත වීම

චීනයේ ටයිපිං කැරැල්ල සමයේ මෙම ප්‍රදේශය වසර ගණනාවක් තිස්සේ කැරලිකරුවන් අත පැවතුණා. මෙම ප්‍රදේශයට එකල සැලකිය යුතු හානියක් සිදුවුණා. මේ අතර 1856-60 සමයේ චීනය බ්‍රිතාන්‍යය සමග දෙවන අබිං යුද්ධයට පැටලීලයි සිටියේ. එහි ප්‍රතිඵලය වුණේ, වරායන් එකොළහක් විදෙස් වෙළෙඳාම සඳහා විවෘත කිරීමට චීනයට සිදුවීම යි. ‘හන්කවු’ ද ඉන් එක් වරායක්.

කියවන්න​: බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය එක්ව දියත් කළ දෙවන අබිං යුද්ධය

මේ අතර 19 වන සියවස අවසාන සමයේ මෙම ප්‍රදේශය සැලකිය යුතු කාර්මීකරණයක් දුටුවා.

වූචාංග් සිද්ධිය සහ ෂින්හායි විප්ලවය

බටහිර රටවල් හමුදාමය තර්ජන කරමින් විවිධ අවස්ථාවල චීනයේ වැදගත් වෙළෙඳ නගරවල “අවසරලත් කලාප” (concessions) ලබා ගත්තා. මේවායේ බල පැවැත්වුණේ, ඒ ඒ රටවල නීතිය මිසෙක චීන නීතිය නොවේ.

වූචාංග් සිද්ධියෙන් පසු තාවකාලික රජයක් පිහිටවූයේ මෙම ගොඩනැගිල්ලේ ය. (Public Domain)

20 වන සියවස මුල් කාලය වන විට චීනයේ අධිරාජ්‍යයට එරෙහි විප්ලවවාදී කණ්ඩායම් මතු ව තිබුණා. චිං අධිරාජ්‍ය හමුදාවට බැඳීමට සමත් වූ මෙවන් විප්ලවවාදීන් පිරිසක් යම් ප්‍රහාරයකට සූදානම් වෙමින් සිටිය දී 1910 ඔක්තෝබර් 9 වන දා පිපිරීමක් සිදුවුණා. මෙය සිදුවුණේ රුසියානු අවසරලත් ප්‍රදේශයේ යි. විප්ලවකාරී කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයන් තීරණය කළේ, චිං බලධාරීන් තමන් අත්අඩංගුවට ගැනීමට පෙර තමන් ක්‍රියාත්මක විය යුතු බව යි. මේ අනුව ඔක්තෝබර් 10 වන දා (දහයයි දහය​) සවස් යාමයේ එම සාමාජිකයන් නගරයේ ආණ්ඩුකාර නිවස ඇතුළු වැදගත් ගොඩනැගිලි කිහිපයක් අල්ලා ගත්තා. මීළඟ දින කිහිපය තුළ ඔවුන් සමස්ථ ප්‍රදේශයේම සිය බලය තහවුරු කළා. ඉන්පසුව අවට ප්‍රදේශවල ද මෙම කැරැල්ල පැතිර ගියා. මෙම ක්‍රියාවලියේ අවසානය වුණේ 1911 දී චීන අධිරාජ්‍යය බිඳ වැටීමෙන්.

කියවන්න​: චීන අධිරාජ්‍යය බිඳ දැමූ ෂින්හායි විප්ලවය

මෙය චීනයේ ෂින්හායි විප්ලවය ලෙස හැඳින්වෙනවා. මෙම විප්ලවයෙන් පසු චීනය දශක කිහිපයක අස්ථාවර කාලයක් කරා ගමන් කළා.

KMT අගනුවර

ෂින්හායි විප්ලවයෙන් පසු බලය එක් පාර්ශවයක් අත වූයේ නැහැ. රටේ ප්‍රදේශ ගණනක් පැවතියේ ප්‍රාදේශීය යුධ නායකයන් අත යි. මේ අතර​, දකුණුදිග චීනයේ සුන් යත්-සෙන් මෙහෙය වූ ජාතිකවාදී ගුවොමින්ඩාං (KMT) ව්‍යාපාරය ක්‍රියාත්මක වුණා.

1925 දී සුන් යත්-සෙන් මියගිය පසු මෙම ව්‍යාපාරයේ නායකත්වය පිළිබඳ චියැංග් කායි-ශෙක් හා වෑංග් ජිංග්වෙයි අතර ගැටුමක් හටගත්තා. 1926 අගභාගයේ දී වෑංග් ජිංග්වෙයි වූහාන් හි රජයක් පිහිටවූවා. එහෙත් ජාතිකවාදී කඳවුරේ හමුදා ශක්තිය වැඩිපුර වූයේ චියැං සතු ව යි. එහි ප්‍රතිඵලය වූයේ මාස කිහිපයක් තුළ වූහාන් හි බලය චියැං අතට පත් වීම යි.

වූහාන් නගරයේ පිහිටීම (map4news.com)

චියැං කායි ශෙක් විසින් චීන ජනරජයෙහි අගනුවර ලෙස නැන්කිං නගරය නම් කර තිබුණා. 1937 ජූලි මාසයේ ජපානය සමග යුද්ධය ඇති වූ අවස්ථාවේ ජපන් තර්ජනය නැන්කිං වෙත එල්ල වුණා. ප්‍රධාන සටන පැවතියේ ෂැංහයි නගරයේ යි. එම නගරය ජපනුන් අතට පත් වූ පසු නැන්කිං ආරක්ෂා කිරීම පහසු වූයේ නැහැ. 1937 දෙසැම්බරයේ දී නැන්කිං ජපනුන් අතට පත් වුණා. එහි දී ජපනුන් විසින් චීන ජාතිකයන් විශාල පිරිසක් ඝාතනය කළා.

කියවන්න: ලක්ෂ ගණනක් අතවරයට ලක්කර ඝාතනය කෙරුණු නැන්කිං සංහාරය 

චීන ජනරජ ආණ්ඩුව වූහාන් වෙත පසුබැස එහි සිය අගනුවර පිහිටුවා ගත්තා. දිගටම එල්ල වූ ජපන් ප්‍රහාරවලට KMT හමුදා තරමක් කල් සාර්ථකව මුහුණ දුන්නා. වූහාන් සඳහා සටන 1938 ජූනි මාසයේ දී ඇරඹුණ අතර, ඔක්තෝබරය අවසාන වෙද්දී එය නිම වූයේ ජපනුන් නගරය අල්ලා ගැනීමෙන්. KMT රජය තවත් රට මැදට පසුබැස්සා.

වූහාන් ගිනි බෝම්බ ප්‍රහාරය​​

වූහාන් නගරයේ උපක්‍රමික පිහිටීම හේතුවෙන් එය ජපානයට ද ඉතා වටිනා ගමනාගමන මධ්‍යස්ථානයක් වුණා. දුම්රිය​, ගංගා සහ ගුවන් මාර්ග කේන්ද්‍රයක් ලෙස වූහාන් වැදගත් වුණා. 1944 වසන්තයේ ජපනුන් දියත් කළ ඉචිගෝ යුධ ව්‍යාපාරයේ දී ගුවන් හමුදා මධ්‍යස්ථානයක් ලෙස එය වැදගත් වුණා. එහෙයින් එය ඇමරිකන් ගුවන් හමුදා ඉලක්කයක් බවට පත් වුණා.

එකල ඇමරිකන් ගුවන් හමුදා සහ යුධ උපදේශකයන් චීන පාලන ප්‍රදේශයන් හි සිට එයට සහාය වෙමින් කටයුතු කළා. වූහාන් නගරයට ගිනි ගන්නා බෝම්බ දැමීම සඳහා චියැං අනුමැතිය දුන් අතර, මෙම ප්‍රහාරය සඳහා ම ඇමරිකානු B-29 ෆ්ලයිං සුපර් ෆෝට්‍රස් යානා 92ක් ගෙන්වනු ලැබුණා.

මෙම ප්‍රහාරය වූහාන් වෙත ගෙන ආවේ විශාල ව්‍යසනයක්. මෙයින් 40,000ක් දෙනා මියගියා. හන්කවු ප්‍රදේශයේ ගින්න දින තුනක් පැවතුණා.

දෙවන ලෝක යුද්ධය අවසානයේ දී වූහාන් ප්‍රදේශය නැවතත් චීන ජාතිකවාදී පාලනයට නතු වුණා. කෙසේ නමුත්, 1949 දී චීන සිවිල් යුධ සමයේ දී කොමියුනිස්ට්වාදීන් විසින් එහි බලය අල්ලා ගත්තා.

කවරයේ පින්තූරය: වූහාන් නගරය (Getty Images)

මූලාශ්‍රයයන්:

  1. China’s War with Japan (1937-45) - Rana Mitter
  2. The Restless Empire - Odd Arne Westad
  3. The US Firebombing of Wuhan, Part 1 - China in WW 2

Related Articles