ලොවෙන් අඩකම අධිරාජිනිය වූ වික්ටෝරියා රැජින රළු පාලනයක් ගෙන ගිය තැනැත්තියක ලෙස ඉතිහාසගතව ඇත. ඇල්බට් කුමරුන්ගේ බිරිඳ ද ගෞරවණීය රැජිනක ද ලෙස රාජය ඉතිහාසයේ ලියවුණ ද, ඇයගේ ජීවිතේ සැඟවූ පැතිකඩක් සේම, රජ පවුලේ අපකීර්තිමත් නින්දිත මතකයක් සේ ද මුන්ෂිගේ කතාව කියවෙයි. රජ පවුලේ පිළිකුලට සහ වෛරයට ලක් වූ අබ්දුල් කරීම් හෙවත් මුන්ෂි, වසර සියයකට අධික කාලයක් රජ පවුලේ ඉතිහාසයෙන් මකා දැමෙන්නේ ඔහු සහ වික්ටෝරියා රැජින අතර වූ සමීප සබඳතාවය හේතුවෙනි.

හෆිස් මොහොම්මද් අබ්දුල් කරීම්

රෝහල් සහායකයෙකුගේ, දරුවන් හය දෙනෙකුගෙන් යුතු පවුලේ දෙවෙනි වැඩිමහල් පුත්‍රයා විදියට අබ්දුල් මේ ලෝකෙට එන්නේ 1863 අවුරුද්දේ. 1887 අවුරුද්දේ අබ්දුල්ට වයස අවුරුදු 24 වෙද්දී ඔහුට ජීවිතේ හැරවුම් ලක්ෂයක් හමුවෙනවා. එවකට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ පාලකයා වුණේ හැටඅට හැවිරිදි වික්ටෝරියා රැජින. එකල පැවති සිරිතක් අනුව, රැජිනගේ ජුබිලි උත්සවය වෙනුවෙන් ඉන්දියාවෙන් තෑග්ගක් විදියට යැවූ සේවකයින් දෙදෙනාගෙන් කෙනෙකු වෙන්න අබ්දුල්ට පුළුවන් වෙනවා. අබ්දුල්ගේ උගත්කමත්, සේවාවේ පළපුරුද්දත්, ඉහළ නිලධාරීන්ගේ සබඳතාත් මත, මාස දෙකක් තිස්සේ දුර ගෙවාගෙන ඒ ගිය ගමනේ දී රැජිනගේ සිත දිනාගන්න වගේම, ඇගේ පෞද්ගලික සහායක වෙන්නත් අබ්දුල්ට හැකියාව ලැබෙනවා. 1901 දී රැජින මියයන තුරුම ඇයගේ ජිවිතයේ අවසාන වසර පහළොවකට ආසන්න කාලයේ දී අසලින්ම රැඳී සිටින්නේ අබ්දුල්.

වික්ටෝරියා රැජිනගේ ඉන්දියානු සේවකයෝ පින්තුරය : Queen Victoria's Indian servants Abdul Karim and Mohammed Buksh - Pinterest

අබ්දුල්ව මුන්ෂි විදියට හැඳින්වෙන්නේ ඇයි?

අබ්දුල්ව මුන්ෂි විදියට හඳුන්වන්න පටන් ගන්නේ වික්ටෝරියා මහා රැජින. අබ්දුල්ගේ සේවය පිළිබඳව ඕනෑවටත් වැඩිය පැහැදිලා හිටපු ඇය විසින් අවුරුද්දක් සම්පූර්ණ වෙන්නත් කලින්ම අබ්දුල්ට “මුන්ෂි” කියන නම දෙන්නේ “ගුරුවරයා” කියන තේරුම් සහිතව. පසුව වික්ටෝරියා රැජින විසින් මුන්ෂිව ඇයගේ ඉන්දියානු ලේකම්වරයා ලෙසින් තනතුරේ පිහිටුවනවා. ඒ විතරක් නෙවෙයි, CIE, සහ CVO, කියන පදවි නාමත් මුන්ෂිට ලබා දෙන්න රැජින කටයුතු කරනවා.

වික්ටෝරියා රැජින සහ මුන්ෂි පින්තුරය : Published in the The Graphic, October 1897

රැජිනගේ සහ මුන්ෂිගේ මතභේදයට තුඩු දුන් හිතවත්කම

“මා ඔහුට ඉතා ප්‍රියයි. ඔහු ඉතා යහපත්, මෘදු, සහ තේරුම්ගැනීමේ හැකියාවකින් යුතු අයෙකි. ඔහු සැබෑවටම මට ඉතා සැනසීමක් ගෙනදෙන්නෙක්”, යනුවෙන් වික්ටෝරියා රැජින 1888 දී තමන්ගේ විසි හතර හැවිරිදි සේවක මුන්ෂි ගැන තමන්ගේ ලේලිය වූ කනොව්හි අදිපාදිවරිය සමගින් පවසනවා. රැජින සමගින් චිත්‍ර අදිමින්, සංචාරයේ යෙදෙමින් කල් ගෙවමින්,වින්ඩ්සර්, බැල්මොරල් මාලිගාවන්හි සේම රැජිනගේ ස්කොට්ලන්ත ගිම්හාන නිවසේ ද රැඳෙන්නට මුන්ෂිට අවසර ලැබී තිබුණා. ඉන්දියාවේ ද අධිරාජිනිය වුණත් රැජින කවදාවත් ඉන්දියාවට ගොස් තිබුණේ නැහැ. වික්ටෝරියා රැජින ඉන්දියාව  ඇසුවේ, දැක්කේ මුන්ෂි තුලින්. රැජිනට උර්දු භාෂාව, ඉන්දියානු කෑම වර්ග, ඉන්දියානු දේශපාලනය වැනි බොහෝ දේ හඳුන්වාදෙමින් කල් ගෙවන මෙම තරුණයා රජ පවුලට පමණක් නොව එංගලන්ත රාජ සභාවටත් තර්ජනයක් වුණා.

Abdul Karim with the Battenberg children of Princess Beatrice: Alexander, Leopold and Victoria Eugenie

රැජිනගේ සිතෙහි මුන්ෂි පිළිබඳ ආලය වැඩි වෙද්දී වර්ගවාදය, පන්තිභේදය, හෝ ඉරිසියාව නිසා  රජ පවුල ඔහු නොරුස්සන තත්ත්වයත් වැඩි වෙනවා. ඔවුන් මේ තත්ත්වය “මුන්ෂි උන්මාදය” ලෙසින් හැඳින්වුවා. නමුත් රැජින මුන්ෂි පිළිබඳ කෙතරම් පහන් සිතැතිව සිටියා ද කිවහොත් ඔහු පිසින ඉන්දියානු ආහාර වර්ග රාජකීය ආහාර ලේඛන වලට ඇතුලත් කරන්නත්, රැජින විසින් ඔහුට ලියන ලියුම්වල “ඔබේ ආදරණිය අම්මා”,“ ඔබේ සමීපතම මිතුරිය” ආදී ආමන්ත්‍රණයන් මෙන්ම හාදු ඇතුලත් කරමින් අත්සන් කරන්නටත් ඇය  පෙළඹී තියෙනවා. එමෙන්ම ඔහුට එංගලන්තයෙන් නිවසක් ලබා දී, ඔහුගේ බිරිඳ, සහ නැන්දණිය ඉන්දියාවේ සිට ගෙන්වා දෙනවා. ඔහුගේ පියාව අග්‍රා බන්ධනාගාරයේ සහායක වෛද්‍ය නිලධාරියා බවටත් පත් කරනවා. එමෙන්ම මුන්ෂිගේ බිරිඳ හමුවීමට රැජින නිතර මුන්ෂිගේ නිවසට ගොස් තිබෙනවා.

රැජින තමන්ගේ දිනපොත්හි මෙසේ ලියා තබනවා; “හින්දුස්ථානි භාෂාවේ (උර්දු) වචන කිහිපයක් මා මේ වන විට හදාරමින් සිටිනවා. එවිට මට හැකියි මගේ ඉන්දියානු සේවකයන් සමග වචන කිහිපයක් කතා කරන්නට. එය අපූරු අත්දැකීමක්”

රැජිනගේ වෙනත් හිතවත්කම්

රැජින සහ ජෝන් බ්‍රව්න් පින්තුරය Daily Mail

1861 වසරේ දී සිදුවූ ඇල්බට් කුමරුගේ මරණයෙන් අනතුරුව ස්කොට්ලන්ත සේවකයෙකු වූ ජෝන් බ්‍රව්න් සමගින් රැජිනගේ ඉතා සමීප හිතවත්කමක් පැවති තියෙනවා. ඇල්බට් කුමරුගෙන් පසුව රැජිනගේ පෞද්ගලික ජීවිතයේ හිස්තැන සම්පූර්ණ කළේ ජෝන් බ්‍රව්න් යැයි පැවසෙනවා. ඔවුන්ගේ සමීපකම කෙතරම් දුර දිග ගියේ ද යත් සමහරුන් වික්ටෝරියා මහා රැජින පිළිබඳ පවසද්දී මිසිස් බ්‍රව්න් ලෙස රහසේ හැඳින්වූ බව ද සඳහන්. කෙසේ වෙතත් ජෝන් බ්‍රව්න්ගේ මරණයෙන් වසර හතරකට පසුව මුන්ෂි ඉන්දියාවේ සිට පැමිණීම රැජිනට වචනයේ නියම අරුතින්ම තෑග්ගක් වූවා යැයි පැවසෙනවා. නමුත් ජෝන් බ්‍රව්න්ටත් වැඩිය රැජිනගේ අධ්‍යාත්මය තුළට පිවිසි සේවකයා ලෙසින් සටහන් වෙන්නේ අබ්දුල් කරීම් හෙවත් මුන්ෂි යි.

ජෝන් බ්‍රව්න් සහ රජ පවුල 1870 දී  පින්තුරය

රාජකීයයන්ගේ වෛරය, සහ අවසානය

මියයන්නට කලින් රැජින ලියා තැබූ විදියට ඇයට අවසන් ගෞරවය දක්වන කුඩා කණ්ඩායමට මුන්ෂිව ඇතුලත් වෙනවා.1901 දී වික්ටෝරියා මහා රැජින මියගිය විට පවුලේ සාමාජිකයන් සහ ඉතාම කිට්ටු මිතුරන් කිහිපදෙනෙකු පමණක් වූ ඒ කුඩා කණ්ඩායමට එකතු වෙන්න රැජිනගේ පුත් එඩ්වර්ඩ් විසින් මුන්ෂිට ඉඩ දෙනවා. ඒ අනුව රැජිනගේ නිසල දේහය දැක්ක අවසාන පුද්ගලයෙකු වන්නේ මුන්ෂි.

වික්ටෝරියා රැජින සහ රජ පවුල පින්තුරය - thoughtco.com

නමුත් රැජිනගේ දේහය පිළිබඳ කටයුතු අවසන් වූ වහාම රැජින විසින් මුන්ෂිට ලබා දුන් නිවසින් මුන්ෂිව සහ ඔහුගේ පවුලේ අයව එළියට ඇද දමන්නත්, මුන්ෂිව ඉන්දියාව වෙත පිටුවහල් කරන්නත්, රැජින සහ මුන්ෂි අතර හුවමාරු වූ සියලුම ලිපි ලේඛන පුළුස්සා දමන්නත් රැජිනගේ වැඩිමහල් පුත්‍රයා වූ හත්වෙනි එඩ්වර්ඩ් කටයුතු කරනවා. එමෙන්ම වික්ටෝරියා රැජිනගේ දිනපොත් වල අබ්දුල්ගේ නම සඳහන් වූ සෑම සටහනක්ම මකලා දාන්නත් රැජිනගේ දුව වුණු බ්‍රියට්‍රිස් හැකි පමණින් කටයුතු කරනවා. දශකයටත් අධික කාලයක් රැජිනගේ ජිවිතයේ ළඟම හිතවතා වුණු ඉන්දියානු මුන්ෂි පිළිබඳ මතකය රජ පවුලේ සාමාජිකයින් හැදින්වුයේ ඉතාමත් අපකීර්තිමත්, නින්දිත යමක් විදියට. තමන්ව රජ පවුලේ ඉතිහාසයෙන් අතු ගාලා දැමීමෙන් අනතුරුව ඉන්දියාවේ අග්‍රා වෙත පැමිණෙන මුන්ෂි, රැජින විසින් තමන්ට තෑගි කළ වතු යායේ ජීවත් වෙනවා. 1909 දී වයස අවුරුදු 46ක්ව සිටිය දී මිය යනතුරුම ඔහු එම වතු යායේ සරල ජීවිතයක් ගත කරනවා.

වැළලී ගිය අතීතයක් ගොඩගත් මාධ්‍යවේදිනිය

oil sketch of Abdul Karim  by Laurits Tuxen commissioned by Her Majesty in 1887

ගවේශනශීලි මාධ්‍යවේදිනියක් වුණු ශර්බානි බාසු 2003 දී රැජිනගේ Isle of Wightහි ගිම්හාන නිවසේ සංචාරයේ යෙදෙනවා. එහි තිබූ සිතුවම් අතර අබ්දුල් කරීම් නැමති සේවකයෙකු රැජින අසලින් සිටගෙන ඉන්න සිතුවම් කිහිපයක්ම බාසු දකිනවා.

2017 දී ටෙලිග්‍රාෆ් පුවත්පතට අදහස් දක්වමින් බාසු ඒ ගැන කියන්නේ මෙහෙම: “නමුත් ඔහු සේවකයෙකු වගේ පෙනුනේ නැහැ. ඔහුව සිතුවම් කරලා තිබුනේ වංශාධිපතියෙකු වගෙයි. පොතක් අතැතිව එක් පසෙකට හැරී සිටි ඔහු මා තුළ කුතුහලයක් ඇති කළා. ඉන් අනතුරුව මා ඔහුගේ තවත් සිතුවම් කිහිපයක් දැක්කා. එහි වූ මහත්මා ගතිය මට දැනුනේ අසාමාන්‍ය දෙයක් විදියට”.

මුන්ෂි සිතුවම පින්තුරය

2003 දී ඒ දැක්මෙන් අනතුරුව වසර පහක් තිස්සේ බාසු මේ පිළිබඳව සොයනවා. දිගු කාලයක් පුරා සිදු කරන ලද ගවේශනයකින් අනතුරුව ඉතිහාසඥයන් පිරිසක් සම්බන්ධ කරගනිමින්, අනතුරුව වසර ගණනක් තිස්සේ කිසිවෙකුත් විවෘත නොකරන ලද වික්ටෝරියා රැජිනගේ දිනපොත් සහ උර්දු භාෂාව පුරුදු පුහුණු වුණු පොත් පරිශිලනය කරන්නට ඔවුන්ට හැකි වෙනවා. වෙළුම් දහතුනකින් යුතු රැජිනගේ දිනපොත් එකක් නෑර බාසු කියවනවා.

මුන්ෂි සිතුවම 2

එහි දී අසනීපයෙන් පසු වූ මුන්ෂිව බලන්න රැජින ගිය හැටි, එමෙන්ම මුන්ෂිගේ බිරිඳ සමගින් තේ පානය, මුන්ෂිගේ නිවසේ බැළලියගේ පැටවුන් පිළිබඳව, ඉන්දියාව පිළිබඳ වූ ඇයගේ කැමැත්ත, මුන්ෂි පිළිබඳ වූ ඇයගේ කැමැත්ත යනාදී බොහෝ කරුණු රැජිනගේ දිනපොත් වල ඇතුලත් වෙනවා.

මෙහිදී තවත්අහඹු දෙයක් සිදු වෙනවා. 2010 දී මුන්ෂි පවුලේ සාමාජිකයෙකු විසින් බාසුට දිනපොතක් ලබා දෙනවා. එය, රජ පවුලට විනාශ කරන්නට නොදී වසර ගණනක් තිස්සේ රැකගත් මුන්ෂිගේ දිනපොතක්.

එහි අබ්දුල් හෙවත් මුන්ෂි මෙසේ ලියා තිබෙනවා.

“1887 වික්ටෝරියා රැජිනගේ ස්වර්ණමය ජුබිලියේ පටන් 1897 දියමන්ති ජුබිලිය දක්වා වූ කාලය තුළ රජ මාලිගාවේ ගෙවුණු මගේ ජීවිතය පිළිබඳ දිනපොත යි. තාවකාලික පදිංචිය සඳහා නාඳුනන දේශයක නාඳුනන මිනිසුන් අතර සිටියෙමි. රැජිනගේ ශ්‍රේෂ්ඨ කාරුණිකත්වය හේතුවෙන් මේ සියලු ශුභ සිද්ධියත්, ගෞරවයන් මා හට හිමි වූ බව සියල්ලෝම දනී. අප රැජිනට සර්වබලධාරී දෙවියන්ගේ ආශිර්වාදය වැඩි වැඩියෙන් ලබා දෙන ලෙස යාච්ඥා කරමි”

පින්තුරය : මුන්ෂි පසුකාලීනව

රැජිනගේ මරණයෙන් සියවසකටත් පසුව හමුවෙන තොරතුරු පාදක කරගනිමින්, ඉතිහාසයෙන්අතු ගා දමන්නට නියමිත වූ, වික්ටෝරියා රැජිනගේත් මුන්ෂිගේත් අපූරු සබඳතාවය ඇතුලත් කරමින් ශර්බානි බාසු “වික්ටෝරියා සහ අබ්දුල්” නමින් කෘතියක් ලියා පළ කරනවා. පසු කාලිනව ඒ ඇසුරෙන් චිත්‍රපටයක් ද නිර්මාණය වෙනවා.

වික්ටෝරියා සහ අබ්දුල් චිත්‍රපටයෙන්

කවරයේ පින්තුරය : womanscape.com

මුලාශ්‍රයයන්:

BBC, telegraph.co.uk, සහ people.com