ලංකාවේ අඩු ආදායම් ලාභීන්ට විශ්‍රාම වැටුපක් අත්‍යවශ්‍ය ඇයි?

“අපි දුප්පතුන් හා ධනවතුන් අතර බැඳියාව වැඩි කරලා හැම මනුෂ්‍යයෙක්ටම වඩා හොඳ ජීවිතයක් ලබා දෙන්න දායක වෙමු.” – හිටපු එ. ජා. මහ ලේකම් කොෆී අනන් මහතා.

හැමදාම උදේ පාන්දර පහමාරට තමන්ගේ අතුගාන රැකියාව පටන් ගන්න කන්දයියා රාමයියා හවස ඉර බහින තුරුම කරන්නේ තමන්ට වෙන් වුණු වීදිය අතු ගාන එකයි. කලින් පෞද්ගලික ආයතනයක ආරක්ෂක නිලධාරියෙක් විදිහටත්, ඊට කලින් කොන්ත්‍රාත්තු සේවකයෙක් විදිහටත් තමයි ඔහු ජීවිකාව කරලා තියෙන්නේ. අදට අවුරුදු හැටඅටක් වෙන ඔහු පෙනුමෙන්ම බොහොම මහලු පුද්ගලයෙක්. කලින් කරපු ආරක්ෂක රස්සාවට නිතරම රෑ එලි වෙන තුරු ඇහැරලා ඉන්න සිද්ධ වුනු නිසා තමයි කන්දයියා මේ විදිහට අතු ගාන රස්සාවකට මාරු වෙලා තියෙන්නේ. “දැන් මට කිසිම කරදරයක් නැතිව මාසෙකට දවස් දෙකක් නිවාඩු ඉල්ලා ගන්න පුළුවන්. සිකියුරිටි කෙනෙක් විදිහට ඉන්න කාලේ නිවාඩුවක් ගන්න හරිම අමාරුයි.” කියලා ඔහු අපිට කිව්වා. කතා කරන විදිහෙන් නම් තේරුණේ ඔහු තමන්ගේ අලුත් රස්සාව ගැන සතුටු වෙන බව. ඒත් ඔහු දිහා බැලුවාම අපිට පෙනුණේ මේ රස්සාව තව වැඩි කාලයක් කරන්න ඔහුට ශක්තියක් නැහැ කියලා. කවදා හරි බැරි කමට මේ රැකියාව නවත්වන්න වුණොත් රාමයියාට විශ්‍රාම යන්න කියලා තියෙන්නේ ඉතුරු කර ගත්තු රුපියල් 10,000ක් විතරයිලු.

කන්දයියා රාමයියා. මොන තරම් දුක සේ ඉන්න කෙනෙක් වුණත් අපිත් එක්ක හිනා වෙලා කතා කළා. අවුරුදු 68ක් වෙලත් තවම ඔහුට මාසෙට ලැබෙන්නේ රුපියල් 18,000ක් වගේ. ඉතින් කිසිම ඉතුරුවක් කරගෙන නැහැ. අපි ඔහුගේ කැමැත්තෙන්මයි මේ ඡායාරූපය ලබා ගත්තේ.

කන්දයියා රාමයියා. මොන තරම් දුක සේ ඉන්න කෙනෙක් වුණත් අපිත් එක්ක හිනා වෙලා කතා කළා. අවුරුදු 68ක් වෙලත් තවම ඔහුට මාසෙට ලැබෙන්නේ රුපියල් 18,000ක් වගේ. ඉතින් කිසිම ඉතුරුවක් කරගෙන නැහැ. අපි ඔහුගේ කැමැත්තෙන්මයි මේ ඡායාරූපය ලබා ගත්තේ.

දවසට පැය 8ක් රස්සාව කරන ඔහුට දවසකට රුපියල් 550ක වැටුපක් ලැබෙනවා. අතිකාල නැත්නම් ඕ.ටී කරන්න පැයකට රුපියල් 50ක් ලැබෙනවා. සතියේ සෙනසුරාදා ඉරිදා දවස් දෙකත් ඇතුළුව හැමදාම වැඩ කරලා කන්දයියා නිවාඩු ගන්නේ මාසෙටම දවස් දෙකක් විතරයි. මේ තරම් මහන්සි වුණත් ලැබෙන උපරිම ආදායම රුපියල් 19,000ට වැඩි නැහැ.

එක උදාහරණයක් අරගත්තා වුණත් කන්දයියා කියන්නේ ලංකාවේ අඩු ආදායම් ලාභීන්ගේ පැතිකඩක්. ඔවුන් බොහෝ දෙනෙක් ඉතා මහලු වයසට යන තුරුම පොඩි වැටුපක් ගන්න ගොඩාක් මහන්සි වෙනවා. ඇඟ බොහොම වෙහෙසවන්න සිදු වෙන රස්සාවක් කරනවා ඇරෙන්න ඔවුන්ට ජීවත් වෙන්න වෙන කිසිම විදිහක් නැහැ. නමුත් දීර්ඝ කාලයක් එක තැන වැඩ නොකරන රාමයියා වගේ අයට තමන් සල්ලි ඉතුරු කර ගත්තේ නැතිනම් විශ්‍රාම ගන්න කියලා කිසිම ක්‍රමයක්වත්, අරමුදලක්වත් ලැබෙන්නේ නැහැ. බොහෝ දෙනා භුක්ති විඳින වරප්‍රසාද කිසිවක් ඔවුන්ට හිමි වෙලා නැහැ.

“මම හම්බු කරන සල්ලි වැඩි කොටස එදිනෙදා වියදමට ගත්තාම ඉවර වෙනවා. කීයක් හරි ඉතුරු වුණොත් මගේ දුවට දෙනවා. අද කාලේ වියදම් එක්ක මගේ පඩියෙන් කරන්න පුළුවන් දෙයක් නැහැ..” තමන්ගේ කොටස අතු ගාල ඉවර කරලා ඒ ටික එකතු කරගෙන යන්න කුණු ලොරිය එනකල් බලාගෙන හිටපු රාමයියා ඈත බලාගෙන එහෙම කිව්වා. “අපේ ඇඟේ හයිය හත්තිය තියෙනවා නම් මොන තරම් නාකි වුණත් අපි මහන්සි වෙලා රස්සා කරනවා. අනිත් සේවකයන්ට තියන වරප්‍රසාද අපිටත් ලැබුණොත් අපේ ජීවිතත් මොන තරම් ලේසි වෙයිද? හැබැයි මම නම් ආණ්ඩුවෙන් මොකුත් කරනකල් බලං ඉන්නේ නෑ. වයසට ගියත් පුළුවන් කාලයක් රස්සාව කරනවා.”

රාමයියාට එහෙම කියා ගන්න ශක්තියක් තිබුණත් ලංකාවේ අඩු ආදායම් ලබන වැඩි දෙනාගේ තත්වය ඊට වෙනස්. වයසට යනවත් එක්ක බොහෝ දෙනෙක්ට මේ වගේ ඇඟ වෙහෙසලා වැඩ කරන්න අමාරු වෙනවා. ආදායම අඩු කම නිසා මේ වගේට මිනිස්සු විශ්‍රාම ක්‍රම, අර්ථ සාධක අරමුදල් ආදියෙන් කිසිම විදිහකට රැකවරණයක් නැහැ. ඉතින් මේ තත්වයේ තියාගෙන මිනිස්සුන්ගෙන් වැඩ ගන්න එක ලොකු ලොකු කොම්පැණි වලටත් වාසියි, මොකද ඔවුන්ට අර්ථ සාධක වාරික ගෙවන්න තරම් කාලයක් රැකියාව නොකරපු බව කියන්න පුළුවන් නේ. නමුත් මේ ක්‍රියාවලියේ තියෙන අනිසි ප්‍රතිඵලය අවුරුදු ගණනාවක් මහන්සි වුණු මිනිස්සුන්ට මහලු වෙලා අමාරු වුණ දාට කිසිම හව්හරණක් නැති වෙන එකයි.

විශ්‍රාම ආදායමක් ලබා ගැනීමට ඇති අයිතිවාසිකම

ජා ඇල ආශ්‍රිතව ක්‍රියාත්මක වෙන සමාජයීය ගැටළු පිළිබඳ මධ්‍යස්ථානය කියන ආයතනයේ අධ්‍යක්ෂක ඇනී කුරියාන් මහත්මිය Roar එකට මෙහෙම කිව්වා. “මට වැටහෙන විදිහට ලංකාවේ තියන ලොකුම ගැටලුව තමයි වැඩිහිටි පුද්ගලයන්ගේ දුප්පත්කම. ඉතාම අඩු පිරිසකට විතරයි ප්‍රමාණවත් තරමේ විශ්‍රාම ආදායමක් මාස්පතා ලැබෙන්නේ. ගොවීන්, ස්ථිර නොවන කම්කරුවන් වගේ ජීවිකාවන් වල නියැලෙන අය වැඩි දෙනා වැඩ නැවතුණු දාට කිසිම ආදායමක් නොලැබෙන පිරිසක්”

විශ්‍රාම වැටුප, සේවක අර්ථසාධක අරමුදල සහ අනෙක් වැඩසටහන් කොයි එකෙත් අරමුණ වැඩ කරන මිනිසුන් මහළු වියට එළඹුණාම විශ්‍රාම සුවයෙන් ඉන්න පුළුවන් විදිහට යම් ආර්ථික ශක්තියක් ලබා දෙන එක. ලංකාවේ දැනට ක්‍රියාත්මක වෙන සේවක අරමුදල් ක්‍රමය හෙවත් කවුරුත් දන්න EPF එක ලංකාවේ රජයේ නොවන හැම සේවකයෙක්ටම ලබා ගන්න අයිතියක් තියෙන වැඩපිළිවෙලක්. විශ්‍රාම කාලයේදී ප්‍රමාණවත් ඉතිරියක් තියා ගන්න ඔවුන්ට මේක විශාල ශක්තියක්. සේවක අර්ථසාධක අරමුදල් පනතට අනුව සෑම සේවකයෙක්ගේම මාසික වැටුපෙන් 12%ක මුදලක් මේ අරමුදලට මාස 6කට වරක් බැර කළ යුතුයි. ඊට අමතරව සේවායෝජකයා විසින් 8%ක අමතර වැටුපකුත් මේකට එකතු කරලා සේවකයා ලබන වැටුපෙන් 20%ක්, නැතිනම් පහෙන් එකක මුදලක් මාස්පතා ඔහුගේ ගිණුමට එකතු වෙනවා. මේ සම්පූර්ණ මුදල සහ එයට ලැබෙන 12%ක වාර්ෂික වැල් පොලිය කියන සියල්ලේම එකතුවට අදාළ සේවකයා සම්පූර්ණ හිමිකම දරනවා. මේ මුදල විශ්‍රාම වයස පහු වුණාට පස්සේ හරි රැකියාව කර ගන්න බැරි තත්වයක් (අනතුරකට මුහුණ දුන්නොත්, ආබාධයන්ට ලක් වුණොත්, රෝගී වුණොත්) ඇති වුණාම හරි සම්පුර්ණයෙන්ම හරි කොටසක් හරි ලබා ගන්නත්, තමන් කැමති කෙනෙකුට ඒකෙ හිමිකම පවරන්නත් ඒ සේවකයාට අවස්ථාව තියෙනවා.

වැඩිහිටි පුද්ගලයන් අතර දිළිඳු කම

ලංකාවේ වැඩිහිටි ජනගහණ ප්‍රතිශතය එන්න එන්නම වැඩි වෙනවා. මේ නිසා වැඩිහිටි පිරිස රැකබලා ගන්න යම් වැඩපිළිවෙලක් සකස් කරන එක යුගයේ අවශ්‍යතාවයක්. රූපය : ආයිෂා ජවුෆර් (Aaysha Jaufer)

ලංකාවේ වැඩිහිටි ජනගහණ ප්‍රතිශතය එන්න එන්නම වැඩි වෙනවා. මේ නිසා වැඩිහිටි පිරිස රැකබලා ගන්න යම් වැඩපිළිවෙලක් සකස් කරන එක යුගයේ අවශ්‍යතාවයක්. රූපය : ආයිෂා ජවුෆර් (Aaysha Jaufer)

වැඩි වෙන ආයු අපේක්ෂාවක් සහ අඩු වන උපත් අනුපාතිකයක් තියෙන එකේ අනිවාර්ය ප්‍රතිඵලය තමයි වැඩිහිටි ජනගහන ප්‍රතිශතය ඉහළ යන එක. ලංකාවත් මේ තත්වයට මුහුණ දීලයි තියෙන්නේ. දැනටමත් දිළිඳු පවුලක ඉන්න වැඩිහිටි පිරිස් ආදායම් උපයන්නන්ගේ ඉඳන් යැපෙන්නන් බවට පත් වෙනකොට ඒ පවුල් වලට ඒක අමතර බරක් වෙනවා. මේ නිසා ඔවුන් ඒ ගැන විශාල බියකින් පසු වෙන්නේ. තමන්ගේ පවුල තුල ස්වාධීන ආදායම් මාර්ගයක් පවත්වා ගන්න එක මේ නිසා හරිම වැදගත් කාරණාවක් බවට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම වැඩිහිටි අයව නඩත්තු කරන්න ආර්ථික ශක්තිය අඩු පවුල් වලට මේ තත්වය වැඩිපුර බලපානවා. මේ නිසා විශ්‍රාම වැටුපක් හරි, අර්ථසාධක අරමුදලක් හරි තමන්ගේ නමට තියෙන එක ඔවුන් කාට වුණත් අත්‍යවශ්‍යයි. කොහොම නමුත් අඩු ආදායමක් ලබන, විශේෂයෙන්ම එදිනෙදා රැකියා සොයා ගෙන දවසේ පඩියට වැඩ කරලා ජීවත් වෙන අයව වර්තමාන වැඩපිළිවෙළෙන් පැත්තකට තල්ලු වෙලා කිව්වොත් නිවැරදියි. මේ වගේ පහසුකමක වැඩිම අවශ්‍යතාවය දැනෙන පිරිසටම ඒක ලබා ගන්න බැහැ.

එක්සත් ජාතීන්ගේ ගෝලීය මානව හිමිකම් ප්‍රඥප්තියේ 22 වැනි වගන්තියට අනුව ඕනෑම රටක ජීවත් වෙන පුරවැසියෙක් සමාජයේ කොටසක් වශයෙන් සමාජීය වශයෙන් රැකවරණයක් ලැබිය යුතු බව දක්වලා තියෙනවා. නමුත් ලංකාවේ මේ විදිහට හැම කෙනෙක්ටම ආර්ථික රැකවරණයක් තියෙනවාද කියලා හිතලා බලන්න. අපි මේ කියපු දිනපතා ආදායම් ලබන පිරිසට සහ ගොවීන්ට එවන් වැඩපිළිවෙලක් නැහැ නේද?

වැඩිහිටි පුද්ගලයන් වෙනුවෙන් රජය පැත්තෙන් ඇති වැඩපිළිවෙල

මේ තත්වය ගැන වැඩිදුර විස්තර ලබා ගන්න හිතාගෙන අපි ලංකාවේ ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයට යන්න තීරණය කළා. මේ ආයතනයේ අධ්‍යක්ෂකවරයා එක්ක කලින් කතා කරලා හමු වෙන්න වෙලාවක් වෙන් කරගෙන තමයි අපි එතනට ගියේ. නමුත් ඔහු කාර්යබහුලයි කියලා සංවර්ධන නිලධාරියෙක් එක්ක අපේ සාකච්ඡාව සුදානම් කරලා තිබුණා. පත්‍රිකා කිහිපයක තිබුණු කරුණු කිහිපයක් සාරාංශ කරලා කිව්වා මිසක් වෙනත් වැදගත් තොරතුරු කිසිම දෙයක් දැනගන්න අපිට අවස්ථාවක් ලැබුණේ නැහැ.

කොහොම වුණත් එක දෙයක් පැහැදිලියි. ලංකාවේ රජයේ ආයතන වලින් තොරතුරු ගන්න යද්දී එක්කෝ ඔවුන්ට තොරතුරු සපයන්න තියෙන හැකියාව මෙච්චරයි, ඒ ඇරෙන්න වෙනත් දෙයක් ගැන ඔවුන්ට දැනුමක් නැහැ. එහෙමත් නැතිනම් පත්‍රිකා වල මුද්‍රණය කරලා තියෙන දේවල් වලට පිටින් තොරතුරු ලබා දෙන්න එපා කියලා ඔවුන්ට උපදෙස් දීලා තියෙනවා. අපි හිතන්නේ මේ දෙකම මේකට හේතු වෙන්න ඇති කියලයි.

අයිතිවාසිකම ඇති සියලු දෙනාට EPF ලබා ගැනීමේ පහසුව තහවුරු කරන්න ප්‍රමාණවත් යාන්ත්‍රණයක් තියෙනවද?

අපි කලින් කියපු ආයතනය, එහෙමත් නැතිනම් ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය තමන්ගේ ප්‍රධාන අරමුණ විදිහට ඔවුන්ගේ වෙබ් පිටුවේ දාල තියෙන්නේ මෙහෙමයි. “වැඩිහිටියන්ගේ නිදහස, රැකවරණය, ආත්ම පරිපූර්ණත්වය, සහභාගීත්වය හා අභිමානය සහතික කිරීමත්, සමාජ සංවර්ධන කාර්යයන්හි වැඩිහිටියන්ගේ සහභාගීත්වය උනන්දු කරවීමත් දැනුවත් කිරීමේ වැඩසටහන් තුළින් වැඩිහිටියන්ගේ අයිතිවාසිකම් රැකදීමත් අපගේ මෙහෙවර වේ.”

කොහොම වුණත් ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය තමන්ගේ අරමුණෙන් දක්වලා තියෙන තත්වය ඇති කරන්න ඇත්ත කැපවීමක් කරනවා නම් මොන විදිහේ රැකියාවක් කරපු කෙනෙක්ට වුණත් වැඩිහිටි කවුරුත් ආත්ම පරිපූර්ණත්වය හා අභිමානය සහිතව ජීවත් වෙන්න අවස්ථාවක් තියෙන්න අවශ්‍යයි. වැඩිහිටියන් කාගේත් මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන්න නම් මොන රැකියාවක් කළත්, කාටත් විශ්‍රාම වැටුපක් හරි අර්ථසාධකයක් හරි ලබා ගන්න පුළුවන් ක්‍රමවේදයක් සකස් කරලා තියෙන එක අත්‍යාවශ්‍ය කරුණක්. මේක රජයේ සේවකයාට, නිලධාරීන්ට වගේම එදිනෙදා වැඩක් කරලා දවසේ පඩි ගන්න කම්කරුවාටත් අදාළ නම් විතරයි වැඩිහිටි ලේකම් කාර්යාලයේ ඇත්ත අරමුණ ඉටු වෙනවා කියන්න පුළුවන් වෙන්නේ.

දැනට ලංකාවේ ඉන්න අවුරුදු 70කට වැඩි වෙනත් ආදායමක් නැති සියළු දෙනා වෙනුවෙන් මාසයකට රුපියල් 2000ක අනිවාර්ය දීමනාවක් ලබා දෙනවා. පින් පඩිය කියලා කොතනත් ප්‍රසිද්ධ මේ අගය රුපියල් 200ක් වගේ වෙලා තිබිලා මෑතකදී 2000ක් දක්වා වැඩි වුණු එක ඇත්තටම ප්‍රශංසා කරන්න ඕන දෙයක්. නමුත් අද තියෙන වියදම් එක්ක බැලුවාම මේ වගේ සොච්චම් පඩියකින් ජීවත් වෙන්න කියලා කියන එක ඇත්තටම සාධාරණද? මේ මිනිස්සු කවුරුත් අවුරුදු 40ක් 50ක් තිස්සේ රටේ ආර්ථිකයට සුළුවෙන් හරි දායක වුණු මිනිස්සු. ඔවුන් රැක බලා ගන්න පුරවැසියන් විදිහට අපිට යුතුකමක් තියෙනවා නේද?

මේ ලිපිය පළ කරලා අපි අදහස් කරන්නේ එදිනෙදා පඩියට වැඩ කරපු මිනිස්සුන්ටත් කවදා හරි නැති බැරි වෙලා වයසට ගිය දවසට යම් ආර්ථික සහනයක් ලැබෙන්න ඕනේ කියන එක ගැන කතිකාවක් ඇති කරන්නයි. රජයේ සේවකයන්, පෞද්ගලික අංශයේ සේවකයන් ලබා ගන්න වරප්‍රසාද ඔවුන්ටත් අයිතියි කියන දේ සමාජයක් විදිහට අපි පිළිගන්න ඕන කාරණාවක්. ඔවුන් වැඩි දෙනා ගෙවන ඉතුරු ජීවිත කාලයේදී වත් රටට කරපු සේවය වෙනුවෙන් ආර්ථික ශක්තියක් ඔවුන්ට ලබා දෙන වැඩ පිළිවෙලක් නිර්මාණය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මේ ලිපිය අවසන් කරනවා.

මේ ගැන ඔබට තියෙන අදහස වගේම මේ විදිහට අසාධාරණකම් වලට ලක් වුණු මිනිසුන් ගැන ඔබ දන්නා යම් කතාවක් තියෙනවා නම් අපේ ෆේස්බුක් පොස්ට් එකට කමෙන්ට් කරන්න. ජාතික වශයෙන් ක්‍රමවේදයක් නැතිනම් අපි අපිම අතරින් කෙනෙක්ට ඔවුන්ගේ ජීවිතයට ශක්තියක් වෙන්න එයින් පොඩි අවස්ථාවක් හරි සැලසේවි. අපේ රටේ මිනිසුන් ආපදාවකදී වගේම ආසාධාරණකම් වලිනුත් රැක ගන්න එක අපි කාගේත් වගකීමක්.

Related Articles