Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හෙද සිසුවියන් අට දෙනෙක් මැරූ රිචඩ් ස්පෙක්

ඇමෙරිකා එක්සත් ජනපදයෙන් බිහිවූ දාම ඝාතකයින් ගැන සඳහන් කරන විට රිචඩ් ස්පෙක්ගේ නම සඳහන් නොකෙරෙන්නේ නම් එය අඩුවක්.

ක්‍රීඩකයින්, රංගන ශිල්පීන්, ගායකයින් වැනි අය එක් රැයෙන් ජනප්‍රිය වූ අවස්ථා ඉතිහාසය පිරික්සීමේ දී අපට හමුවනවා. රිචඩ් ස්පෙකුත් මේ ආකාරයෙන් ‘එක රැයෙන්’ ජනප්‍රිය වූ අයෙක්. ඒත් ඒ කිසියම් කලා කටයුත්තක් හෝ ක්‍රීඩාවක් නිසා නොවේ. 1966 වසරේ එක් දිනක් තුළ හෙද සිසුවියන් අට දෙනෙකු ඉතා අමානුෂික ලෙස ඝාතනය කිරීම නිසා යි.

ළමා කාලය

ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉලිනොඒ ප්‍රාන්තයේ කර්ක්වුඩ්හි 1941 වසරේ දෙසැම්බර් මස 6 වන දා උපන් රිචඩ් ස්පෙක්ට, අනෙකුත් බොහෝ දාම ඝාතකයින්ට මෙන් නොව සතුටුදායක මුල් ළමා කාලයක් උරුමව තිබුණා. ඔහුගේ දෙමාපියන් දුසිරිතෙන් තොර, දැඩි ආගමානුකූල දිවි පෙවෙතක් ගතකළ අයවළුන් වුණා. කෙසේ නමුත් රිචඩ් සය වියැතිව සිටිය දී ඔහුගේ පවුල් සංස්ථාව දෙදරා ගියේ හෘදයාබාධයක් හේතුවෙන් ඔහුගේ පියා මියයාමත් සමග යි.

වසර කිහිපයක ඇවෑමෙන් රිචඩ්ගේ මව දෙවන විවාහයක් කරගත්තා. රිචඩ්ගේ ජීවිතයේ සියළු ගැටළු ඇරඹුණේ එතැන් සිට යි. රිචඩ්ගේ සුළු පියා වෙළෙඳෙකු වූ අතර දාමරිකයෙකු වුණා. දීර්ඝ කාලයක් තිස්සේ ඔහුගේ නාමය විටින් විට පොලිස් පොත්වල ලියැවුණු අතර, ඔහු රිචඩ්ගේ මවට හා ඇගේ දරුවන්ට දරුණු ලෙස සලකන්නට වුණා.

රිචඩ් ස්පෙක් කුඩාකළ -Youtube

ඉක්මණින්ම සුළු පියා සමග ඔහුගේ ගම් පෙදෙස වූ ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලස් නුවරට සංක්‍රමණය වන්නට රිචඩ්ට සිදුවුණා. මෙහිදී ඔහුට ජීවත් වීමට සිදුවූයේ තමන් කුඩා කල දුටු සාමකාමී, වැදගත් අසල්වැසියන්ට හාත්පසින්ම වෙනස් මිනිසුන් සමග යි.

එතැන් පටන් රිචඩ් මානසික අතින් කඩා වැටුණා. ඔහු පන්ති කාමරයේ දී කතා කිරීමට පවා මැලි වූ අතර, වෛද්‍යවරු විසින් අනිවාර්යයයැ යි නිර්දේශ කිරීමෙන් අනතුරුවත් උපැස් පැළඳීමෙන් වැළකී සිටියා. මෙහි ප්‍රතිඵලය ලෙස ඔහුට පාඩම් වැඩ නිසිලෙස සිදු කිරීමට නොහැකි වූ අතර නව යොවුන් වියට එළඹීමත් සමග අධ්‍යාපනයට තිත තබන්නට සිදුවෙනවා.

ආදර්ශමත් නොවූ තරුණයෙකු ලෙස

අධ්‍යාපනය හමාර කිරීමත් සමග රිචඩ් සිය සුළු පියාගේ අඩිපාරේ යමින් බීමට ඇබ්බැහි වුණා. නිතරම බීමත්ව සිටි ඔහු විවිධ කුළී වැඩවල නිරත වන්නට පටන්ගත්තා. මේ අතර ඔහුට හමු වූ 15 හැවිරිදි යුවතියක සමග ඔහු විවාහ වන්නට ද යෙදුණා. විවාහයෙන් අනතුරුව ඔහුට පවුල් බර දැනෙන්නට පටන්ගත් අතර ඔහු සිය මූල්‍ය අවශ්‍යතා සරිකරගත්තේ මංකොල්ලකෑම් හා සොරකම් මඟින්. මේ නිසා කිහිප විටක්ම සිරගත වන්නටත් ඔහුට සිදු වූ අතර, රිචඩ්ට බියේ ජීවත් වූ ඔහුගේ බිරිඳට මුණිවත රැකීම හැර වෙන කිසිවක් කිරීමට හැකි වූයේ නැහැ.

1965 වසරේ දී රිචඩ් අඟල් 17ක් දිගු පිහියක් ආධාරයෙන් කාන්තාවකට අඩන්තේට්ටම් කරනවා. මේ නිසා ඔහු පොලිස් භාරයට ගැනෙන අතර මාස 6කට සිරගෙට නියම වෙනවා. සිය ජීවිතය ගැන ද බිය වූ රිචඩ්ගේ බිරිය අවසන ඔහුගෙන් දික්කසාද වන අතර, මේ වන විට ඔවුනට ලැබී සිටි දරුවා ද නීති ප්‍රකාරව සිය භාරයට ගන්නවා.

රිචඩ් ස්පෙක් තුරුණු වියේ දී- chicagoreader.com

සිය පවුල විසිරී යාමෙන් තවත් අගතියට පත් වූ රිචඩ් නිතරම කළකෝලාහළ කරන්නට පටන්ගත් අතර, සුරාසැළක දී තවත් මිනිසෙකුට පිහියෙන් ඇණීමෙන් කරදරේ වැටීමෙන් පසු සිය සොයුරිය සමග ජීවත් වීම සඳහා නැවත ඉලිනොඒ බලා යනවා.

ඝාතනවලට පූර්විකාව

1966 වසර රිචඩ්ට සුවිශේෂී වුණා. ඒ ඔහු තීරණාත්මක සිද්ධීන් ගණනාවකට මුහුණපෑම නිසා යි. එම වසරේ අප්‍රේල් මාසයේ දී 65 වියැති කාන්තාවකගේ නිවසට පැන, ඇයව බරපතල ලිංගික අඩත්තෙට්ටමට ලක් කරන කරන ඔහු ඒ තදාසන්නවම 32 වියැති සුරාසැල් සේවිකාවක ඝාතනය කරනවා. අනතුරුව ඔහු ඒ වන විට චිකාගෝහි ජීවත් වූ ඔහුගේ තවත් සොයුරියක් වෙත යන්නේ පොලිසියෙන් බේරීම සඳහා යි.

1966 වසරේ ජූලි මස වන විට තමන් සිදුකළ ඝාතනයට තවදුරටත් පොලිසිය තමන් පසුපස ලුහුබැඳ නොඑන බැව් වටහාගත් රිචඩ් නැව් සමාගමක සේවයට යන්නට තීරණය කරනවා. එය අවසන් මොහොතේ අසාර්ථක වීමත් සමග ඔහු නැවතත් ප්‍රචණ්ඩකාරී වෙනවා.

හෙද සිසුවියන් ඝාතනය කිරීම

රිචඩ් අතින් ඝාතනය වූ හෙද සිසුවියන්- Bettmann/Getty Images

සුරා සොඬෙකු බවට පත්ව සිටි රිචර් හට එක් දිනෙක එලා හූපර් නම් 53 වියැති කතක් හමුවනවා. ඇය ලිංගික අපහරණයට ලක් කරන ඔහු ඇය සතුව තිබූ පිස්තෝලයක් සොරකම් කරගන්නවා. අනතුරුව ඔහු දකුණු චිකාගෝවේ වීදි සරන්නේ තවත් කිසිවෙක් බියකොට මුදල් සොරාගැනීමේ අටියෙනුයි. මෙහිදී ඔහු අහම්බයකින් චිකාගෝ සමාජ රෝහලේ සේවයෙහි නියුතුව සිටි හෙද සිසුවියන් ලැගුම් ගෙන සිටි  නේවාසිකාගාරයක් දකිනවා. ඒ වන විට රාත්‍රී 11 පමණ වී තිබූ අතර, රිචඩ් ජනේලයක් බිඳ එම ගොඩනැගිල්ලට ඇතුළු වෙනවා. ඒ අවස්ථාවේ නේවාසිකාගාරයේ හෙද සිසුවියන් 6 දෙනෙකු සිටි අතර ඔවුන් සියළුදෙනා පිස්තෝලය පෙන්වා බියගැන්වූ රිචඩ් ඒ සියළු දෙනාගේ දෑත් පසෙක තිබී සොයාගත් රෙදිපටි ආධාරයෙන් බැඳ දමනවා. අනතුරුව එකිනෙක පසෙක තිබූ කාමරයක් වෙත ගෙනයන ඔහු ඉන් පස් දෙනෙක්වම  පිහියෙන් ඇන හෝ ගෙල සිරකර ඝාතනය කරනවා.

හෙද සිසුවියන්ගේ කෙඳිරිලි ඇසී ඔවුන් සිටි කාමරය වෙත යාබද ගොඩනැගිල්ලක සිටි තවත් හෙද සිසුවියන් දෙදෙනෙක් පැමිණෙන්නේ මේ අතර යි. ඔවුන් දෙදෙනාටම මරණය උරුම කර දෙන්නට රිචඩ් ක්‍රියා කරන්නේ තමන් සතු වූ පිහියේ ආධාරයෙනුයි. මේ අතර සිය පෙම්වතා හමුවට ගොස් සිටි ග්ලෝරියා ඩේවි මේ ගොඩනැගිල්ලට පැමිණෙන අතර ඇය අල්ලා, ලිංගික අතවර සිදු කොට අවසන ඝාතනය කරන්නට රිචඩ් ක්‍රියා කරනවා.

මේ අනපේක්ෂිත පැමිණීම් සමග ගොඩනැගිල්ලේ නිරුපද්‍රිතව රැඳී සිටි අවසන් හෙද සිසුවිය පිළිබඳව රිචඩ්ට අමතක වෙනවා. කොරසොන් අමුරාඕ නම් පිලිපීන ජාතික යුවතියක වූ ඇය රිචඩ් එහෙ මෙහෙ වූ අවස්ථාවක් බලා ඇඳක් යට සැඟවෙන අතර, ඒ නිසා ඇගේ දිවි රැකෙනවා. උදෑසන 6 වන තුරු එහි නිසොල්මන්ව සිටි ඇය රිචඩ් එම පරිශ්‍රයෙන් නික්මයන තුරු සිට ආධාර සොයා ඉවතට දිවයනවා.

අත්අඩංගුවට ගැනීම හා නඩු විභාගය

කොරසොන් අමුරාඕ- Bettmann/Getty Images

ජීවිතය බේරාගත් කොරසොන් අමුරාඕට හොඳින් රිචඩ් ස්පෙක්ව මතක තිබුණා. කොටින්ම ඇය ඔහුගේ ශරීරයේ වූ පච්චා සලකුණක් පවා නිවැරදිව පැවසුවා. මේ නිසා පහසුවෙන්ම මිනීමරුවා රිචඩ් බැව් හඳුනාගන්නට පොලිසිය සමත් වූ අතර 1967 වසරේ අප්‍රේල් මස 3 වැනි දා ඔහු අත්අඩංගුවට ගැනෙනවා. කෙසේ නමුත් ඔහු එම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරනවා. ඔහු අමුරාඕ ඉදිරියේ හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට යැවෙන අතර දුටුවනම ඇය ඔහු හඳුනාගන්නවා. වහාම ඔහුට එරෙහිව චෝදනා ගොණු කොට නඩු විභාගය පටන් ගැනෙනවා. මේ නඩු විභාගය ඇමෙරිකාව පුරා ප්‍රචලිත වෙනවා. චෝදනාවලට වැරදිකරු වූ ඔහුට මරණ දඬුවම ලබා දීමට තීන්දු වෙන නමුදු එකල මරණීය දණ්ඩණයට එරෙහිව නැගී තිබූ රැල්ල නිසා එය අහෝසි කර නැවත ඔහු ජීවිතාන්තය දක්වා සිරගෙට යැවෙනවා. එහිදී ද මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන නිතර හසු වූ ඔහු 1991 වසරේ දී වැළඳුණු හෘදයාබාධයක් හේතුවෙන් මියයනවා.

Related Articles