Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පසුගිය සතියේ විශේෂ සිදුවීම්වල ඇතුළාන්තය ගැන විමසුමක්

මෙරටට පැමිණි ආසියානු ශූරයන්, මහජනයාට විවෘත වූ විවෘත වූ නෙළුම් කුළුණ, රැජනගේ අවමඟුලට යාමට සූදානම් වන ජනපති, අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහලේකම්වරයාගේ මෙරට සංචාරය, සහ සමන්තා පවර් ගේ මෙරට සංචාරය ඇතුළු පසුගිය සතියේ කතාබහට ලක් වූ කරුණු කිහිපයක් පිළිබඳ ව මේ ලිපියෙන් සොයා බලමු.

සිය රට පැමිණි ආසියා ශූරයෝ

ආසියා කුසලානය දිනා ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් සහ නෙට්බෝල් කණ්ඩායම් පසුගිය 13 වැනිදා නැවත මෙරටට පැමිණියහ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පාකිස්තානය පරාජය කර ආසියා කුසලානය දිනා ගත් අතර, නෙට්බෝල් කණ්ඩායම සිංගප්පූරුවේ පැවති අවසන් මහා තරගයේ දී සිංගප්පූරු කණ්ඩායම පරාජය කර ආසියා කුසලානය දිනා ගැනීමට සමත් විය.

මෙම කණ්ඩායම්වලට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී විශේෂ උණුසුම් පිළිගැනීමක් හිමි වූ අතර පසු ව ඔවුහු විශේෂ බස් රථ දෙකකින් කොළඹ 07 පිහිටි ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානය සහ නෙට්බෝල් සම්මේලනයේ ප්‍රධාන කාර්යාලය වෙත පැමිණියහ. ඔවුන් ගමන් ගත් මග දෙපස රැස් ව සිටි ජනතාවගෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උණුසුම් පිළිගැනීමක් හිමි විය.

මෙරටට පැමිණි ආසියානු ශූරයෝ – www.dailymirror.lk

 

විවෘත වූ නෙළුම් කුලුන

දකුණු ආසියාවේ උස ම ගොඩනැඟිල්ල ලෙස ඉදි කෙරුණු නෙළුම් කුලුනේ මෙහෙයුම් කටයුතු ඊයේ (15) ආරම්භ විය. මේ වන විට දේශීය සහ විදේශීය ආයෝජකයන් 22ක් නෙළුම් කුලුන ආශ්‍රිත ව්‍යාපාර සඳහා ගිවිසුම්ගත වීමට කැමැත්ත පළ කර ඇති බව නෙළුම් කුලුන පුද්ගලික සමාගමේ ප්‍රධාන පරිපාලන නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ පසුගියදා සඳහන් කළේ ය.

2012 වසරේ දී ආරම්භ කළ නෙළුම් කුලුනේ ඉදිකිරීම් කටයුතු මේ වසරේ පෙබරවාරි මස අවසන් කෙරුණු අතර ඒ සඳහා චීන සමාගම ලබා දුන් ණය මුදලේ ගෙවීම් කටයුතු 2024 වසරේ දී අවසන් කිරීමට නියමිත ය. ඊයේ සිට මහජනතාවට නෙළුම් කුලුන නැරඹීම සඳහා අවස්ථාව හිමි විය. ඊයේ දිනයේ දී නෙළුම් කුලුන නැරඹීම සඳහා පුද්ගලයන් 2,612 ක පිරිසක් පැමිණ ඇති අතර ඔවුන්ගෙන් ලැබුණු ආදායම ලක්ෂ 15කට ආසන්න බව වාර්තා විය.

නෙළුම් කුළුණ – www.facebook.com-  Thilina Kaluthotage Photography

 

රැජනගේ අවමඟුලට යන ජනපති රනිල්

බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් මහ රැජනගේ අවමංගල්‍ය උත්සවය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගී වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පසුගිය දා නිවේදනය කළේ ය. කොළඹ, බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය වෙත ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහිදී මහ රැජනගේ අභාවය වෙනුවෙන් ශෝක පණිවිඩයක් ද සටහන් කළේ ය.

ජනාධිපතිවරයාට අමතර ව හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රිපාල සිරිසේන, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, සහ හිටපු කතානායක කරූ ජයසූරිය ඇතුළු තවත් බොහෝ දෙනෙක් බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය වෙත ගොස් ශෝක පණිවිඩ සටහන් කර තිබිණි. දෙවන එළිසබෙත් රැජනගේ අවමංගල්‍ය එළඹෙන 19 වැනිදා පැවැත්වීමට නියමිත අතර, එදින මෙරට නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

රැජනගේ දේහය – www.facebook.com- The Royal Family

 

අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම් මෙරටට

අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහලේකම් මාටින් චොන්ගොන් සැප්තැම්බර් 11 වැනි දා මෙරටට පැමිණියේ ය. වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාව සිටිය දී සිදු කළ ආරාධනාවකට අනුව මහලේකම්වරයා මෙරටට පැමිණි බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය.

සංචාරය අතරතුර ඔහු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සහ කතානායක මහින්ද යාපා අබේවර්ධන හමු වී සාකච්ඡා කළේ ය. ඔහු පාර්ලිමේන්තුව දැක බලා ගැනීමට ද ගොස් තිබිණි.

මෙරටට පැමිණි අන්තර් පාර්ලිමේන්තු සංගමයේ ලේකම්, පාර්ලිමේන්තු නිලධාරීන් පිරිසක් සමඟ – www.parliament.lk

සමන්තා පවර් ගේ මෙරට සංචාරය

සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනයේ (USAID) පරිපාලක සමන්තා පවර් මෙරට දෙදින නිල සංචාරයක පසුගිය දා නිරත වූවා ය. සැප්තැම්බර් 10 වැනිදා මෙරටට පැමිණි ඇය ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අමාත්‍යවරුන්, සහ පෞද්ගලික අංශය ඇතුළු පාර්ශව ගණනාවක් හමු වී ශ්‍රී ලංකාව තුළ මේ වන විට උද්ගත වී ඇති ආර්ථික අර්බුදය වැනි කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කළා ය.

ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡා අතරතුර ඇය සඳහන් කර තිබුණේ  මානුෂීය ආධාර ලෙස අමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 20ක අරමුදල් මෙරටට ලබා දීමට කටයුතු කරන බව යි. ආර්ථික අර්බුදය හමුවේ තවදුරටත් ශ්‍රී ලංකාවට සහය දීමට අපේක්ෂා කරන බව ද ඇය සඳහන් කළා ය.

ජනාධිපතිවරයා සහ සමන්තා පවර් අතර සාකච්ඡාව – www.adaderana.lk

 

දමිතා අබේරත්න සහ ළහිරු වීරසේකරට ඇප

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි රංගන ශිල්පිනී දමිතා අබේරත්න ඇප මත නිදහස් කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය සැප්තැම්බර් 12 වැනි දින නියෝග කළේය. ඇය එදින කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරු ව කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ එම නියෝගය ලබා දී තිබිණි.

ඇයට විදේශගත වීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කිරීමට ද අධිකරණය කටයුතු කර තිබිණි. පසුගිය ජුලි මස පැවති මහජන විරෝධතා අතරතුර ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපළවලට හානි කළ බවට ඇයට චෝදනා එල්ල වී ඇත.

ඇප මත නිදහස් වූ දමිතා අබේරත්න – www.dailymirror.lk

 

පොලිස් රාජකාරියට බාධා කළ බවට වන චෝදනා මත සැප්තැම්බර් 9 වැනි දින අත්අඩංගුවට ගත් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු ළහිරු වීරසේකර ද සැප්තැම්බර් 10 වැනි දින ඇප මත නිදහස් විය. මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය ඔහු ඇප මත මුදා හැරීමට නියෝග කර තිබිණි. හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු කොළඹ ජාතික රෝහල වෙත එදින පෙරවරුවේ ඇතුළත් කිරීමට පොලිසිය පියවර ගෙන තිබිණි. ඔහු අත්අඩංගුවට ගත් අවස්ථාවේ පොලිසිය ඔහුට පහර දී ඇති බවට ද වාර්තා පළ විය.

දිවුරුම් දුන් රාජ්‍ය අමාත්‍යවරු

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ රජයේ දිවුරුම් දුන් කැබිනට් අමාත්‍යවරුන්ට අමතර ව තවත් රාජ්‍ය අමාත්‍යවරුන් 38 දෙනෙක් දිවුරුම් දීම පසුගිය දා සිදු විය. රාජ්‍ය අමාත්‍යවරුන් 38 දෙනෙක් ජනාධිපතිවරයා ඉදිරියේ දිරුවුම් දුන් අතර, මේ සම්බන්ධයෙන් පාර්ශව ගණනාවක් විරෝධය පළ කර තිබේ.

විපක්ෂය පෙන්වා දී ඇත්තේ රට දැවැන්ත ආර්ථික අර්බුදයක පවතින අවස්ථාවක මේ අයුරින් රාජ්‍ය අමාත්‍යවරුන් පත් කර ඔවුන්ට ලබා දෙන වරප්‍රසාද සඳහා මුදල් වැය නොකළ යුතු බව ය.

දිවුරුම් දුන් රාජ්‍ය අමාත්‍යවරු – www.dailynews.lk

 

වර්තමාන ආර්ථික අර්බුදය හමුවේ රජයට මුහුණ දීමට සිදු වී ඇති ආර්ථික දුෂ්කරතා සැලකිල්ලට ගෙන මහජන මුදල් අරපිරිමැස්මෙන් හා උපරිම කාර්යක්ෂමතාව  කින් යුක්තව පරිහරණය කිරීම සඳහා බලධාරීන් කටයුතු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දා අවධාරණය කළේ ය. රාජ්‍ය වියදම් කළමනාකරණය සඳහා විශේෂ විධිවිධාන සකසන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත ලිඛිත උපදෙස්  පසුගිය දා ලබා දී තිබේ.

ඉහළ යන ආහාර උද්ධමනය

කොළඹ ආහාර උද්ධමනය (ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යෑම) 80% දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ පාරිභෝගික මිල දර්ශකය පෙන්වා දී තිබේ. පසුගිය 2022 මැයි මාසයේ දී 58%ක් ලෙස පැවති ආහාර උද්ධමනය ජූනි මාසයේ දී 75.8% දක්වා ඉහළ ගොස් ඇති බවද එම දර්ශකය සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ ලක්ෂ 57 ක පමණ පිරිසක් ප්‍රමාණවත් ආහාර වේලක් නොමැති තත්ත්වයක පසුවන බව ලෝක ආහාර වැඩසටහන මෑතක දී නිකුත් කළ වාර්තාවක දැක්වේ. එහි වැඩිදුරටත් සඳහන් වන්නේ එවැනි පිරිස් මානුෂීය ආධාර අවශ්‍ය පසුබිමක සිටින බව යි.

 ලංකාවේ ආහාර උද්ධමනය ඉහළ ගොස් ඇති අයුරු – www.tradingeconomic.com

 

චක්‍රලේඛ කිහිපයක් සංශෝධනය කෙරේ

රට තුළ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී යම් යම් චක්‍රලේඛ ඒවාට බාධාවක් වී ඇත්නම් එම චක්‍රලේඛ කඩිනමින් සංශෝධනය කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිලධාරීන්ට පසුගිය දා උපදෙස් දුන්නේ ය. ඉන්දීය ආයෝජන සහයෝගීතාව මත රට තුළ ක්‍රියාත්මක සහ යෝජිත සංවර්ධන ව්‍යාපෘති කිහිපයක ප්‍රගතිය විමසා බැලීමට අදාළ ආයතනවල නිලධාරීන් සමඟ ජනාධිපති මන්දිරයේ දී පැවති සාකච්ඡාවක් අතරතුර ජනාධිපතිවරයා මෙම උපදෙස් දී තිබිණි.

මැයි 9 ප්‍රචණ්ඩ ක්‍රියා වැලැක්වීම ආරක්ෂක අංශ මඟ හැර ඇති බවට චෝදනා

පසුගිය මාර්තු මාසයේ අවසන් දින කිහිපයේ හා මැයි මාසයේ දී රට තුළ සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා මැඬපැවැත්වීමේ දී ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ බුද්ධි අංශ ක්‍රියා කර ඇති ආකාරයේ බරපතල අඩුපාඩු රැසක් නිරීක්ෂණය වන බව ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පත් කළ හිටපු ත්‍රිවිධ හමුදාපතිවරුන්ගෙන් සැදුම්ලත් විමර්ශන මණ්ඩල වාර්තාව අනාවරණය කර තිබේ.

අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, මාර්ෂල් ඔෆ් ද එයාෆෝස් රොශාන් ගුණතිලක, සහ ජෙනරාල් දයා රත්නායක යන අයගෙන් සැදුම්ලත් මෙම කමිටුවේ වාර්තාවජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පසුගිය දා භාර දී ඇත.

මැයි 9 ප්‍රචණ්ඩ ක්‍රියා – www.licas.news

 

විදෙස් රැකියා සඳහා පිටත්ව යන පුද්ගලයන් ගණන ඉහළට

විදේශ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යමින් ඇතැයි, විදේශ සේවා නියුක්ති කාර්යාංශය පසුගිය දා සඳහන් කළේ ය. පසුගිය මාස කිහිපය තුළ පමණක් ශ්‍රී ලාංකිකයන් 208,772 දෙනෙකු විදෙස් රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව එම කාර්යාංශයේ නිලධාරියෙක් මාධ්‍ය වෙත සඳහන් කර තිබිණි.

ඒ අතරින් වැඩි පිරිස පිරිමි පුද්ගලයන් වන අතර එම සංඛ්‍යාව 126,000කට අධික ය. මේ වසරේ මේ දක්වා වූ කාලය තුළ ශ්‍රී ලාංකිකයන් 2,858ක් දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇත.

විදේශ ගමන් බලපත්‍ර සඳහා අයදුම් කිරීමට පෝලිමේ සිටින ජනතාව – www.dailymirror.lk

 

ඉහළ යන එච්.අයි.වී ආසාදිතයෝ

එච්.අයි.වී. වයිරසය ආසාදනය වන තරුණ තරුණියන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බව එච්.අයි.වී. (ඒඩ්ස්) මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි පසුගිය දා සඳහන් කළා ය. අනාරක්ෂිත ලිංගික ව හැසිරීම හේතුවෙන් අවුරුදු 18–19 වයස් කාණ්ඩවල දරුවන් මෙසේ එච්.අයි.වී. ආසාදිතයන් බවට පත්වෙමින් තිබෙන බව ඇය පැවසුවා ය.

මෙම වයස්වල පසුවන සිව් දෙනෙක් එච්.අයි.වී ආසාදිතයන් ලෙස ජූලි මාසයේදී හඳුනා ගත් බවත්, අගෝස්තු මාසයේ දී එම සංඛ්‍යාව පහක් වූ බවත් ඇය පෙන්වා දෙයි. අනාරක්ෂිත ලිංගික කටයුතුවල යෙදෙන පුද්ගලයන් වහාම එච්.අයි.වී. පරික්ෂාවන්ට යොමු විය යුතු බව පැවසු ඇය සඳහන් කළේ මේ වන විට රට පුරා පවතින එච්.අයි.වී./ ඒඩ්ස් සායනවලට අවශ්‍ය පරීක්ෂණ කට්ටල ලැබෙමින් පවතින බව යි.

කොළඹ නෝර්වේජියානු තානාපති කාර්යාලය වසා දැමීමට තීරණයක්

නෝර්වේ රජය විදේශයන්හි පවතින එරට තානාපති කාර්යාල ජාලය ආශ්‍රිත ව ව්‍යුහාත්මක වෙනස්කම් කිහිපයක් සිදුකිරීමට තීරණය කර ඇත. එම වැඩසටහනේ කොටසක් වශයෙන් කොළඹ පිහිටි නෝර්වේජියානු තානාපති කාර්යාලය ද ඇතුළු ව නෝර්වේජියානු තානාපති කාර්යාල පහක් 2023 ජූලි මස අග වනවිට ස්ථිර වශයෙන් වසා දැමීමට ද තීරණය කර ඇත. නෝර්වේජියානු විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් වන පරිදි, යුරෝපයේ සහ වෙනත් රටවල ක්‍රියාත්මක වන නෝර්වේජියානු තානාපති කාර්යාල කිහිපයක් ප්‍රතිව්‍යුහගත කිරීම ද මෙම වැඩසටහනට ඇතුළත් වේ.

කොළඹ නෝර්වේජියානු තානාපති කාර්යාලය – www.colombopage.com

කවරයේ ඡායාරූපය- ආසියා ක්‍රිකට් කුසලානය දිනා ගැනීම සමරන ශ්‍රී ලාංකිකයෝ - www.facebook.com/ Thilina Kaluthotage Photography

මූලාශ්‍ර:

www.dailymirror.lk

www.themorning.lk

www.adaderana.lk

President's Media Division

Related Articles