Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කෘෂිකර්මාන්තයට ඩ්‍රෝන තාක්ෂණය යොදාගන්නේ මෙහෙමයි

අපත් ඇතුළු ලොව බොහෝ රටවල් මහා පරිමාණයෙන් කෘෂිකාර්මික නිශ්පාදන සිදුකරන බව ඔබ දන්නවා. එයින් ඇතැම් රටවල් සාම්ප්‍රදායික කෘෂිකාර්මික ක්‍රම අනුගමනය කරන විට තවත් සමහර රටවල් නවීන කෘෂිකාර්මික ක්‍රම භාවිතා කරනවා. අද වන විට කෘෂිකාර්මික කටයුතු සඳහා භාවිතා කරන නවීනතම තාක්ෂණික ක්‍රමයක් වන්නේ ඩ්‍රෝන තාක්ෂණය යි.  

ඩ්‍රෝන යානා යනු?

ඩ්‍රෝන තාක්ෂණය යනු  අපගේ වැඩ කටයුතු පහසුවෙන්ම සිදුකිරීමට මිනිසා විසින් නිර්මාණය කෙරුණු අපූරු තාක්ෂණයක්. මිනිසුන් රහිත යානා (Unmanned Aerial Vechicle) පොදුවේ ඩ්‍රෝන යානා ලෙස හඳුන්වනු ලබනවා. වර්තමානය වන විට ප්‍රධාන වශයෙන් ඩ්‍රෝන යානා වර්ග 4ක් දක්නට පුළුවන්.

1) ස්ථාවර පියාපත් ඩ්‍රෝන යානා (Fixed-Wing)

2) තනි රොටර ඩ්‍රෝන යානා (Single-Rotor)

3) බහු රොටර ඩ්‍රෝන යානා (Multi-Rotor)

4) ස්ථාවර පියාපත් දෙමුහුන් ඩ්‍රෝන යානා (Fixed Wing-Hybrid)

ඩ්‍රෝන යානාවක් (New York Times)

කෘෂිකර්මාන්තය සඳහා ඩ්‍රෝන තාක්ෂණයේ අවශ්‍යතාවය මතුවුණු හැටි  

පසුගිය දශකය කිහිපය තුළ ලෝකයේ රටවල් බොහොමයක් කාර්මීකරණයට ලක්වුණා. මේ බොහෝ රටවල තරුණ පිරිස් කෘෂිකර්මාන්තය ආශ්‍රිත රැකියාවල නිරතවීමට මැලිකමක් දක්වනු  ලැබුවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් කෘෂිකාර්මික කටයුතු සඳහා ශ්‍රමික හිඟයක් ඇති වුණා. තරමක් විශාල ගොවිබිම් පාලනය කළ උදවිය ශ්‍රම හිඟය නිසා දැඩි ලෙස පීඩා වින්ඳා. එම නිසා බෝග වගා බිම් අඛණ්ඩව පරීක්ෂා කිරීම, පොහොර යෙදීම, පළිබෝධකයන්ගෙන් සිදුවන හානි පරීක්ෂා කිරීම, පසේ තත්ත්වය පරීක්ෂා කිරීම, බෝගවල වර්ධනය සිදුවන ආකාරය, වගාබිම්වලට ස්වභාවික වාරිමාර්ගවලින් සිදුවිය හැකි අනතුරු නිරීක්ෂණය කිරීම වැනි කාර්යයන් සඳහා නවීන තාක්ෂණයේ පිහිට පැතීමට සිදුවුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් අද වන විට ඩ්‍රෝන යානා කෘෂිකාර්මික කටයුතු සඳහා භාවිතා කරනවා. 

වගාබිම් ආශ්‍රිතව වැඩකරන ශ්‍රමිකයන් (World Bank Blogs)

ශාක සෞඛ්‍යය අධීක්ෂණය කිරීම 

විශාල වගාබිමක් හිමි පුද්ගලයෙකුට එහි තිබෙන ශාකවල සෞඛ්‍ය තත්ත්වය නිරීක්ෂණය කිරීම ලෙහෙසි පහසු කාර්යයක් නොවෙයි. නමුත් ඩ්‍රෝන යානාවක් භාවිතා කර එය පහසුවෙන් ඉටුකරගැනීමට හැකියාව ලැබී තිබෙනවා. එහි දී සිදුවන්නේ ඩ්‍රෝන යානා මඟින් ශාකවල NDVI (Normalized Difference Vegetation Index) අගය ගණනය කිරීම යි. 

හරිත ශාකවල ඇති හරිතප්‍රද ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලියේ දී සූර්යාලෝකයේ තිබෙන නිල් සහ රතු ආලෝකය වැඩිපුර අවශෝෂණය කරගන්නවා. එසේම ආසන්න අධෝරක්ත කිරණ සහ කොළ ආලෝක තරංග වැඩිපුර පරාවර්තනය කරනවා. ඉහත සඳහන් කරන ලද NDVI අගය, ආසන්න අධෝරක්ත කිරණ (NIR) සහ රතු (R) ආලෝක තරංගය යන දෙවර්ගයේ පරාවර්තනය සහ අවශෝෂණය අතර වෙනස සැලකීමෙන් ගණනය කරනු ලබනවා. පහත දක්වා තිබෙන්නේ NDVI අගය ගණනය කිරීම සඳහා භාවිතා කරන සූත්‍රය යි. 

NDVI අගය = (NIR-R)/(NIR+R)

සෛද්ධාන්තිකව NDVI අගය (-1) සහ (+1) අතර පැවතිය යුතු යි. නමුත් ප්‍රායෝගිකව එම අගයන් (-0.1) සිට (+0.9) අතර අගයක පවතිනවා. ඒ අනුව යම්කිසි ශාකයක NDVI අගය අසාමාන්‍ය ලෙස පහළ මට්ටමකට යන්නේ නම් එම ශාකයේ සෞඛ්‍ය තත්ත්වය යහපත් වන්නේ නැහැ. ඩ්‍රෝන යානා මඟින් වගාවේ තිබෙන පැළවල දත්තයන් ලබාගන්නා නිසා එහි සෞඛ්‍ය තත්ත්වය පහසුවෙන් අධීක්ෂණය කර සුදුසු පිළියම් යෙදිය හැකියි. 

වගාබිමක් නිරීක්ෂණය කරන ඩ්‍රෝන යානාවක් (geospatialworld.com)

වගා ක්ෂේත්‍රයේ තත්ත්වය අධීක්ෂණය කිරීම 

යම්කිසි වගා බිමක පාංශු සහ ක්ෂේත්‍ර තත්ත්වයන් අධීක්ෂණය කිරීම සඳහා ඩ්‍රෝන යානා යොදාගන්නවා. වගාබිමට යවන ඩ්‍රෝන යානා මඟින් එහි නිවැරදි උන්නතාංශ තොරතුරු ලබාගන්නවා. වගාබිමේ නිවැරදි උන්නතාංශ තොරතුරු තිබුණු විට එහි තෙත් සහ වියළි ස්ථාන පිළිබඳව අවබෝධයක් ලබාගත හැකියි. එවිට වගාවට නිසියාකාරව ජලය යෙදීමට හැකිවනවා. 

එසේම ඩ්‍රෝන යානා මඟින් වගා බිමේ පාංශු තත්ත්වය නිරීක්ෂණය කළ හැකියි. එවිට පසේ සරුබව අඩු ස්ථානවලට ගැළපෙන පරිදි පෝෂක යෙදීම සිදුකළ හැකියි. 

පොහොර වර්ග ඉසීම 

පහසුවෙන් ළඟාවීමට නොහැකි ස්ථානවල පිහිටා තිබෙන වගාබිම්වලට පොහොර වර්ග යෙදීම තරමක් අපහසු කාර්යයක්. එවැනි අවස්ථාවල දී කම්කරුවන් යොදවා පොහොර යෙදීමට විශාල මුදලක් අවශ්‍ය වනවා. නමුත් ඩ්‍රෝන යානා එවැනි ස්ථානවලට පහසුවෙන් යවා පොහොර ඉසීම සිදුකළ හැකියි. එසේම ඩ්‍රෝන යානා මඟින් විශාල වගාබිම්වලට අඩු කාලයක් ඇතුළත පොහොර යොදා අවසන් කළ හැකියි. 

සාමාන්‍යයෙන් බැක්පැක් ඉසින යන්ත්‍ර භාවිතා කරමින් වගාබිම්වල පොහොර ඉසීමේ යෙදෙන කම්කරුවන්ට විවිධ ලෙඩරෝග වැළඳීමේ අවධානමක් තිබෙනවා. ඩ්‍රෝන යානා මඟින් වගාවට පොහොර යෙදීම මඟින් එවැනි අවධානමක් වළක්වාගත හැකියි. තව ද ඩ්‍රෝන මඟින් පොහොර ඉසීමේ දී ඒකාකාරී ලෙසින් වගාවට ඉසීමට හැකියාව ලැබෙන නිසා අනවශ්‍ය ලෙස පොහොර අපතේ යාමක් සිදුවන්නේ නැහැ.

පොහොර ඉසින ඩ්‍රෝන යානාවක් (Life)

බීජ වැපිරීම 

කම්කරුවන් යොදාගෙන විශාල වගාබිමක බීජ වැපිරීම සිදුකළ විට විශාල කාලයක් වැයවනවා. එසේම දැරිය නොහැකි තරම් මුදලක් කම්කරු කුලිය සඳහා අවශ්‍ය වනවා. නමුත් ඩ්‍රෝන යානා භාවිතයෙන් බීජ වැපිරීම සිදුකළ විට අඩු කාලයක් තුළ වගාව පුරාම බීජ සිටුවා අවසන් කළ හැකියි. වැඩි කාර්යක්ෂමතාවයකින් බීජ වැපිරීමේ කාර්යය සිදුකරන නිසා බීජ අපතේ යාමක් සිදුවන්නේ ද නැහැ. එම නිසා වර්තමානය වන විට ඩ්‍රෝන යානා මඟින් බීජ වැපිරීම වගාකරුවන් අතර ජනප්‍රිය වී තිබෙනවා.

වගාවේ ආරක්ෂාව පිළිබඳව නිරීක්ෂණය කිරීම 

තම නිවසින් දුර බැහැර ප්‍රදේශයක වගාබිමක් තිබෙන පුද්ගලයෙකුට එය සොර සතුරන්ගෙන් සහ සතුන්ගෙන් බේරාගැනීම පහසු කාර්යයක් වන්නේ නැහැ. නමුත් ඩ්‍රෝන යානා දවස පුරාම වගාබිම නිරීක්ෂණය කිරීමට යෙදවීම මඟින් වගාබිමට එන සොර සතුරන් සහ සතුන් පිළිබඳව තොරතුරු ලබාගත හැකියි. එවිට වගාව ආරක්ෂා කිරීම සඳහා සුදුසු පියවර ගත හැකියි. එමගින් වගාවට සිදුවන හානි අවම කරගෙන වැඩි අස්වැන්නක් ලබාගැනීමට අවස්ථාව ලැබෙනවා. 

වගාබිම්වලට ඉහළින් ගමන් කරන ඩ්‍රෝන යානා (GCN)

ඊට අමතරව පරාගණය කිරීම සහ ඩ්‍රෝන යානාවල කෘතිම බුද්ධිය වැඩි කිරීම සඳහා පර්යේෂණ සිදුකරමින් පවතිනවා. ඉන් සමහර පරීක්ෂණවලින් සාර්ථක ප්‍රතිඵල අත්වී තිබෙනවා. 

කවරයේ ඡායාරූපය- වගා බිමකට පොහොර ඉසින ඩ්‍රෝන යානා කිහිපයක් (consortiq)

ලාශ්‍රයයන්- uavcoach.com

Related Articles