Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හියෙයි කන්දේ “දුවන හිමිවරු”

ජපානයේ ක්යෝ‍තෝ නුවරට ඊසාන දිගින් අඩි 2782ක් උස “හියෙයි” නම් කන්දක් තිබෙනවා. ඔය කන්ද පාමුල තිබෙන වසර 1200ක් පැරණි, එන් ර් යා කුජි නම් පන්සලේ වසන බෞද්ධ හිමිවරු ලොව පුරා ප්‍රසිද්ධව සිටින්නේ “මැරතන් හිමිවරු” නමිනු යි.

තෙංදයි-ෂු

“තෙංදයි” කියන්නේ ජපානයේ ප්‍රචලිතව ඇති, මහායාන බුදු දහමේ එක් සම්ප්‍රදායක්. 8වන සියවසේ දී පමණ චීනයෙන් ජපානයට ලැබුණු බව කියන මෙම සම්ප්‍රදායේ මූලස්ථානය ලෙස හැඳිවිය හැකි පන්සල අප ඉහත සඳහන් කළ හියෙයි කන්ද පාමුල ඇති එන් ර් යා කුජි යි. එහි වැඩ වසන භික්ෂූන් වහන්සේලා සියල්ලම තෙංදයි සම්ප්‍රදාය පිළිපදින්නන්.

හියෙයි කන්ද සිසිරයේ දී (Wikimedia Commons)

බුද්ධත්වය කරා “දිවීම”

බොහොමයක් බෞද්ධයින් විශ්වාස කරන පරිදි, බොහොමයක් නිකාය වල ඉගැන්වෙන පරිදි, යමෙකු බුද්ධත්වය කරා ළඟා වීමට නම් ආත්මභවයන් ‍රැසක් පුරාවට පෙරුම් පිරිය යුතුයි. නමුත් හියෙයි කන්දේ හිමිවරුන් ද ඇතුළු තෙංදයි බෞද්ධයින්ගේ විශ්වාසයන්ට අනුව නම් එක් ජීවිත කාලයක දී බුද්ධත්වය කරා ළඟා විය හැකියි.

තෙංදයි සම්ප්‍රදායට අනුව බුද්ධත්වය ළඟා වන්නේ බුදුන් කෙරෙහි ඇති ශ්‍රද්ධාවෙන්, අතිශය දුෂ්කර යෝගී ව්‍රත පිළිපැදීමෙන්. මේ ව්‍රත වලින් ඉතාමත්ම දුෂ්කර ව්‍රතය වන්නේ මේ දිවීමයි. “කයි හෝ ග්‍යෝ” නමින් හැඳින්වෙන මෙම “දිවීම” එන් ර් යා කුජි පන්සල අවට ඇති කඳු වල සිදු කළ යුතුයි. එම කඳු වල පිහිටි සිද්ධස්ථාන සියල්ලම මෙම දිවීමේ දී මඟින් මග නැවතී වන්දනාමාන කළ යුතු වෙනවා.

හැල්මේ දුවන භික්ෂුවක්  (odditycentral.com)

දිවීමේ කාලයේ දී සුදු සිවුරු හැඳිය යුතු අතර, වැස්සක දී පමණක් හිස ලෑ හැකි වන සේ ලී පතුරින් සෑදූ තොප්පියක් ද ඔවුන් විසින් ගෙනයනවා. පන් ආදී තෘණ වර්ග වලින් සෑදූ සපත්තු පමණයි පැළඳීමට අවසර තිබෙන්නේ. එසේම, තමාගේ ඉලක්කය සම්පූර්ණ කර ගත නොහැකි වූවන් චාරිත්‍රානුකූලව සියදිවි නසාගැනීම සඳහා කිරිච්චියක් හා කඹයක් ගෙන යෑම ද සිරිතක්.

කයි හෝ ග්‍යෝ

මේ ඔබත් මමත් දන්නා සාමාන්‍ය “මැරතන් දිවීමක්” නම් නොවෙයි. මේ අවුරුදු 7ක් පුරාවට, දින 1000ක් මුළුල්ලේ සිදුවන මහා දිවීමක්.

සංචාරකයින් කණ්ඩායමකට මුණගැසුනු හැල්මේ දුවන හිමිවරු පිරිසක්  (Tumblr)

කයි හෝ ග්‍යෝ මූලිකවම කොටස් දෙකකට බෙදෙනවා. ඒ, හයකු-නිචි කයි හෝ ග්‍යෝ, එනම් දින සියයේ දිවීම, සහ සෙන්නිචි කයි හෝ ග්‍යෝ, එනම් දින දහසේ දිවීම යනුවෙන්. දින 100 දිවීම පැවැත්වෙන්නේ වසරක් පුරාවටයි. එන් ර් යා කුජි ආශ්‍රමයේ ආශ්‍රමාධිපති තැන අනිවාර්යයෙන්ම මෙම දින සියයේ දිවීම සම්පූර්ණ කළ යුතුයි. දින සියයේ දිවීම සම්පූර්ණ කළ ජ්‍යෙෂ්ඨ හිමිවරුන්ව පමණක් දින දහසේ දිවීම සඳහා ‍තෝරාගන්නවා.

මෙම වසර 7 පුරාවට ඔවුන් විසින් හියෙයි කන්දේ පිහිටි සියළුම සිද්ධස්ථාන වන්දනාමාන කළ යුතුයි.

දින දහස

හැඳින්වීමේ දී අප විසින් සඳහන් කළා මේ හිමිවරුන් “දුවන” බව. නමුත් මේ ඔබත් මමත් කරන ආකාරයේ දිවීමක් නොවෙයි. දිවීමකුත් ඇවිදීමකුත් අතර, වඩාත් පැහැදිලිව කිවහොත් “හැල්මේ යෑමක්” ලෙස හඳුන්වන්න පුළුවන්. මෙම හැල්මේ දිවීම සඳහා සියළුම එන් ර් යා කුජි භික්ෂූන්ට අවසර ලැබෙන්නේ නැහැ. නමුත් දින 1000 හැල්මේ යෑම සඳහා අවසර ලැබූවන්ට එම අභියෝගය මගින් නවතා ඉවත්වීමට අවසරයක් ද නැහැ. පාදයේ දිය බිබිලි නැගීම, හෝ වනසතුන් විසින් පහරදීම හෝ කිසිම හේතුවක් නිසා කිසිම දිනක දිවීම නවතා දැමීමට ඔවුනට අවසරයක් නැහැ. දිවීම නවතාදැමූවන් විසින් සාම්ප්‍රදායට අනුකූලව සියදිවි තොරකරගත යුතු බවයි ඔවුන් විශ්වාස කරන්නේ.

හැල්මේ දුවන මාර්ගය විශාල ප්‍රදේශයක් පුරා පැතිර පවතිනවා  (odditycentral.com)

හැල්මේ දිවීමේ පළමු තුන් වසර මදක් පහසු බව කිවහැකියි. පළමු තුන් වසරේ දී දිවීමට ඇත්තේ එක් වසරකට දින 100 බැගිනුයි. මින් එක් දිනකට කිලෝමීටර 30ත් 40ත් අතර දුර ප්‍රමාණක මෙම හිමිවරුන් විසින් හැල්මේ දුවා සම්පූර්ණ කළ යුතුයි.

සිව්වන සහ පස්වන වසර දෙකෙහි දී වසරකට දින 200ක් හැල්මේ දිවීම අවශ්‍ය වනවා. එක් දිනක දී කිලෝමීටර 30ත් 40ත් අතර ප්‍රමාණයක් ඔවුන් විසින් ආවරණය කළ යුතු වෙනවා. සයවන වසර දුෂ්කර වසරක්. හිමිවරුන් විසින් දිනකට කිලෝමීටර 60 ගණනේ දින 100ක් දිවිය යුතු වනවා.

අවසාන සහ අති දුෂ්කර සත්වන වසරේ පළමු දින 100 දී දිනකට කිලෝමීටර 84ක් බැගිනුත්, දෙවන දින 100 දී දිනකට කිලෝමීටර 30 – 40 අතර ප්‍රමාණයකුත් හැල්මේ දිවීම ඔවුන්ගෙන් අපේක්ෂා කෙරෙනවා.

තවත් දුෂ්කරක්‍රියා

දිවීමට සූදානම් වෙමින්  (The Guardian)

දිවීමේ පස්වන වසරේ දී ඔවුන් චාරිත්‍ර ඉ‍ටු කරමින් ඉතා ක‍ටුක සතියක් ගතකරනවා. එහි දී ආහාර පාන, හෝ නින්ද රහිතව දින 7 1/2ක් පුරාවට ෆුඩෝ ම්යෝ නම් දේවතාවා සිහිකර මන්ත්‍ර ජප කරමින් පන්සලේ හිඳ සිටිය යුතුයි. තවත් භික්ෂූන් දෙදෙනෙකු ඔහුගේ සහයට ඔහු හා සිටින අතර, ඔහු නින්දට වැටීමෙන් වළක්වාලනවා.

මධ්‍ය රාත්‍රියේ 2ට පමණ අසල ඇති ළිඳක් වෙත ගොස්, ෆුඩෝ ම්යෝ දේවතාවාට පූජාවක් ලෙස දිය උගුරක් මුවට ගැනීමේ අවසරය මොවුනට ඇතත්, එයින් එකදු බිඳුවක්වත් පානය නොකර, එම ජලය මුව තුළ කලතා ඉවත දැමිය යුතුයි.

හිමිවරුන්ට ගිමන් හැරීමට අවසර ඇති ස්ථානයක්  (RocketNews24)

වසර ගණනාවක් පුරාවට විඳින ලද දුක් කම්කටොලු නිසා බොහොමයක් හිමිවරු මෙම පියවරේ දී අපවත් වනවා.

“විහාරික බුදුවරයා”

මේ ලිපිය කියවූ ඔබට, මෙම දිවීමේ ක්‍රියාව කොතරම් වෙහෙසකර, දුෂ්කර කටයුත්තක් දැයි අමුතුවෙන් කිව යුතු නැහැ. මෙතෙක් කලකට වාර්තා වී ඇති අයුරින් මෙම දින 1000 හැල්මේ දිවීම සම්පූර්ණ කර ඇත්තේ හිමිවරුන් 46 දෙනෙකු පමණයි. ඔවුන් සත්‍යය අවබෝධ කරගත්තවුන් සේ සලකා, ජීවමාන බුද්ධත්වයට ඔසවා සලකනු ලබනවා.

ඔබ මේ සම්බන්ධව වඩාත් උනන්දු නම්, මෙම හැල්මේ දිවීම දෙවරක්ම සම්පූර්ණ කළ, 2013 වසරේ දී අපවත් වූ බෞද්ධ භික්ෂුවක වන යුසේ සකායි හිමිනමගේ ජීවිත කතාව කියවා බලන්න.

කවරයේ ඡායාරූපය: Backpacker Magazine bp1016feat_monk_opener_smdate.jpg

මූලාශ්‍ර:

  1. The Telegraph
  2. Oddity Central
  3. The Guardian

Related Articles