Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රුසියානුවන්ගේ පෑන්කේක් සතිය හෙවත් මස්ලිනිට්සා

ශ්‍රී ලාංකික අපිට සමකය ආසන්න පිහිටා තිබීම හේතුවෙන් මුහුණ දීමට සිදු වන්නේ වැසි සමය සහ වියළි සමය ලෙස නිවර්තන සෘතු ද්විත්වයකට පමණක් වුණත් උත්තර හෝ දක්ෂිණ ධ්‍රැවයන්ට සමීපයේ පිහිටා ඇති රටවල දී ඉතාමත් පැහැදිලි ව වසන්තය, ගිම්හානය, සරත් සමය සහ සිසිරය ලෙස සෘතු භේදයක් දැක ගැනීමට ලැබෙනවා. බොහෝ රටවල කටුක සිසිරයේ නිමාව සටහන් කරමින් පැමිණෙන සොඳුරු වසන්තය පිළි ගැනීම සඳහා නොයෙක් ආකාරයේ උත්සව ද පැවැත් වෙනවා.

නැගෙනහිර ස්ලාවික් ජාතිකයන්ගේ (එනම් රුසියානුවන්, යුක්රේන වැසියන් සහ බෙලරුසියානුවන්ගෙන් සමන්විත ජන කණ්ඩායමක්) සාම්ප්‍රදායික වසන්ත සැමරුම් උළෙල හඳුන්වන්නේ ‘මස්ලිනිට්සා’ ලෙස යි. සතියක කාලයක් පුරාවට සමරනු ලබන එය, ‘පෑන්කේක් සතිය’ සහ ‘බටර් සතිය’ යන නාමයන්ගෙන් ද හඳුන්වනු ලබනවා. මේ රුසියානුවන්ගේ ‘පෑන්කේක් සතිය’ ගැන තොරතුරු කිහිපයක්.

(© Leonid Solomatkin)
ක්‍රිස්තු වර්ෂ 1878 ‘මස්ලිනිට්සා’ සැණකෙළියක්

‘මස්ලිනිට්සා’ සැණකෙළියේ ඇරඹුම

පසු කාලීන ව රුසියානු ඕර්තඩොක්ස් පල්ලිය මගින් චිරාගත ගැමි උත්සව දිනයක් ලෙස පිළි ගන්නා ලද ‘මස්ලිනිට්සා’ සැණකෙළිය ක්‍රිස්තු වර්ෂ 2 වැනි සියවසේ දී පමණ ඇරඹී ඇත්තේ බහුදේවවාදී (Pagan) සාම්ප්‍රදායක් ලෙස යි. ස්ලාවික් දේවකථා සංග්‍රහයන් හි දැක්වෙන ආකාරයට එය සිසිර සෘතුව​ අවසානයේ දී වොලෝස් නම් දෙවිඳුන් වෙනුවෙන් පවත්වා ඇති සූර්ය මංගල්‍යයක්. නමුත් ක්‍රිස්තියානු සාම්ප්‍රදායන්ට අනුව මෙය සැලකෙන්නේ කොරොස්ම කාලය හෙවත් වතාරික සමයේ (Great Lent) ඇරඹුමට පෙර එළැඹෙන අවසන් සතිය ලෙස යි.

මේ වසරේ පෙබරවාරි 12 වැනි දා සිට 18 වැනි දා දක්වා ‘මස්ලිනිට්සා’ සැණකෙළිය පැවැත්වීමට නියමිත ව පවතිනවා. මෙම කාලය තුළ දී ඕතඩොක්ස් ක්‍රිස්තියානුවන්ට මාංශ ආහාරයට ගැනීම තහනම් වන අතර එය කොරොස්ම කාලය පෙර ඔවුන්ට බිත්තර, කිරි, චීස් සහ අනෙකුත් කිරි ආහාර අනුභවය සඳහා අවසර ලැබෙන අවසාන සතිය ද වෙනවා. එම කාල සීමාව ‘පෑන්කේක් සතිය’ හෝ ‘බටර් සතිය’ ලෙස නම් කිරීමට හේතු වී ඇත්තේ ද මෙම රීතිය යි.

© Pixabay

හිරු සංකේතවත් කරන පෑන්කේක්

රුසියානු බසින් බටර් හඳුන්වන්නේ ‘මස්ලෝ’ යන නාමයෙන්. එම වදනින් බිඳී පැමිණි ‘මස්ලිනිට්සා’ සැණකෙළියේ ප්‍රධාන ම ආහාරය ලෙස සැලකෙන්නේ බටර්, කිරි, බිත්තර සහ පිටි මැනවින් යොදා සාදන ලද පෑන්කේක්.

‘මස්ලිනිට්සා’ සාම්ප්‍රදායන්ට අනුව රන්වන් පැහැයක් ගන්නාතුරු පිස උණුවෙන් පිළි ගන්වනු ලබන පෑන්කේක් මගින් සංකේතවත් කරන්නේ සූර්යයා යි. පෑන්කේක් අනුභව කිරීම මගින් සිරුරට අවැසි ශක්තිය සහ උණුසුම ලැබෙන බව යි, රුසියානුවන්ගේ විශ්වාසය වන්නේ. අතීතයේ දී හිරුගේ මෙන් රතු පැහැයක් පෑන්කේක් සඳහා ලබා දීමට ඒවා සැකසීමේ දී බක්වීට් තිරිඟු යොදාගෙන තිබෙනවා.

(© Katrina Rivers)
බක්වීට් තිරිඟු පෑන්කේක්

එසේ ම රුසියානුවන් තුළ ඇති තවත් විශ්වාසයක් වන්නේ රවුම් හැඩැති ද්‍රව්‍ය මිනිසුන්ව නපුරෙන් ආරක්ෂා කරන බව යි. මේ නිසා ‘මස්ලිනිට්සා’ සැණකෙළිය සැමරීම සඳහා පෑන්කේක් නැතුව බැරි ආහාරයක් බවට පත් වී තිබෙනවා. උත්සවයේ සෑම දිනක ම ඥාතීන් සහ හිතමිතුරන් සමග බෙදා ගැනීම සඳහා පෑන්කේක් සාදන අතර හතු, ජෑම්, මී පැණි හෝ බටර් සමග පිළිගැන්වීම සිදු කරනවා.

දින හතට සිරිත් හතක්

කලින් සඳහන් කළ පරිදි සතියක කාලයක් පුරාවට සමරනු ලබන ‘මස්ලිනිට්සා’ සැණකෙළියේ එක් එක් දිනය නොයෙකුත් චාරිත්‍ර සඳහා වෙන් කර තිබෙනවා.

සඳුදා : පිළිගැනීම

© Die Republik Komi

සාමාන්‍යයෙන් සඳුදා දිනයේ දී සිදු කරන්නේ අයිස් කඳු ගොඩ නැංවීම සහ පිදුරු සහ පැරණි ඇඳුම් භාවිතා කරමින් ‘මස්ලිනිට්සා’ බෝනික්කා ව නිර්මාණය කිරීම යි. පසුව බෝනික්කා උස් කණුවක් මත තැන්පත් කර ඒ වටා රවුමට නැටීම සිදු කරනවා. මෙම නැටුම හඳුන්වන්නේ ‘ක්‍රවොද්’ (khorovod) ලෙස යි. එසේ ම සඳුදා දිනයේ පිසින පෑන්කේක් මිය ගිය ඥාතීන්ට උපහාරයක් ලෙස යාචකයන්ට ලබා දීම සිදු කරනවා.

අඟහරුවාදා : ක්‍රීඩා කිරීම

‘මස්ලිනිට්සා’ සතියේ සැහැල්ලුවෙන් සහ කෙළිසෙල්ලමෙන් ගත කළ යුතු දිනය ලෙස සැලකෙන්නේ අඟහරුවාදා දිනය යි. එදිනට කුඩා දරුවන් පෙර දිනයේ නිර්මාණ කරන ලද අයිස් කඳු මතින් ලිස්සා යමින් කාලය ගත කරන අතර සාම්ප්‍රදායික රුසියානු රූකඩයක් වන පෙත්රුෂ්කා පෙනී සිටින රූකඩ සංදර්ශන ද පැවැත්වෙනවා. එසේ ම එදින වීදියේ ගමන් ගන්නා ඕනෑම කාන්තාවක් සිප ගැනීමට ද පුරුෂයන්ට අවසර හිමි වෙනවා.

© Delombre

බදාදා : පැණි රසැති දිනය

බදාදා දිනය වෙන් කර ඇත්තේ බෑනාවරුන්ට තමන්ගේ බිරිඳගේ නිවසට ගොස් නැන්දාම්මාගේ පෑන්කේක් රස විඳීම සඳහා යි. එදිනට සකසන පෑන්කේක් අනෙක් දිනවලට වඩා පැණි රසයෙන් වැඩි වන අතර ඒවා සැකසීම සඳහා හොඳම තිරිඟු, බාර්ලි හෝ ඕට්ස් පිටි යොදා ගන්නවා. පෑන්කේක් අනුභවය අවසානයේ දී නැන්දම්මාට තුති පිදීම සඳහා ගීත ගායනයක් ද පැවත්වෙනවා.

බ්‍රහස්පතින්දා : ඝෝෂාකාර උත්සවය

‘මස්ලිනිට්සා’ සැණකෙළිය නිසි ලෙස ආරම්භ වීම සිදු වන්නේ බ්‍රහස්පතින්දා දිනයේ දී යි. එදිනට සිට රුසියානුවන්ට සතිය අවසන් වන තෙක් රැකියාවට යාමට අවසර නැහැ. සාම්ප්‍රදායක් ලෙස බ්‍රහස්පතින්දා දිනයේ දී වැඩි වශයෙන් ම සිදු කරන්නේ අත් පොරයේ (fist/hand fighting) යෙදීම යි. එයට අමතර ව ‘මස්ලිනිට්සා’ බෝනික්කා ව හිම කරත්තයක තැන්පත් කර උස් හඬින් ගීත ගයමින් ගෙයින් ගෙට යාම ද සිදු කරනවා.

© Ntalka

සිකුරාදා : නැන්දම්මාගේ සැඳෑව

බදාදා දිනයේ නැන්දම්මාගේ සැලකිලි ලැබූ බෑනාවරුන් කළගුණ සැලකීම සිදු කරන්නේ සිකුරාදා දිනයේ දී යි. එදින නැන්දම්මාට සහ ඇගේ සියලු ම ඥාතීන්ට බෑනාගේ නිවසේ රාත්‍රී ආහාරයට පැමිණෙන ලෙස ආරාධනා කරනවා. බෑනා විසින් ම අදාළ සිදු කළ යුතු අතර නැන්දාම්මා ව කැඳවාගෙන පැමිණීම සඳහා දූත පිරිසක් යැවිය යුතුයි. දූත පිරිස ප්‍රමාණයෙන් වැඩි වන තරමට නැන්දම්මාට ලබා දෙන ගෞරවය වැඩි බව යි සැලකෙන්නේ.

සෙනසුරාදා : නෑනාවරුන්ගේ හමුව

© Vladimir Ilin

මෙහි දී සිදු වන්නේ කාන්තාවන් විසින් තම සොයුරන්ගේ බිරිඳ සඳහා භෝජන සංග්‍රහයක් පැවැත්වීම යි. මෙහි අරමුණ වන්නේ නෑනාවරුන් අතර පවතින සබඳතාව වැඩි දියුණු කිරීම සහ ඇය ස්වාමියාගේ පවුලේ ම අයෙක් බව සහ පිටස්තරයෙකු නොවන බව සොයුරාගේ බිරිඳට ඇඟවීම යි.

ඉරිදා : සමාව දීමේ දිනය

සමාව දීමේ දිනයේ දී සිදු කරන්නේ ගෙවී ගිය වසර තුළ දී තමන් අතින් සිදු වූ වැරදි සඳහා සමාව අයැද සිටීම යි. සමාව අයැදීමේ දී තෑගි ලබා දීම ද සිදු කරන අතර පුරුෂයෙකුට ලබා දිය හැකි ගෞරවාන්විත ම ත්‍යාගය ලෙස සැලකෙන්නේ තුවායක්. කාන්තාවකට නම් ලබා දිය හැකි උසස් ම ත්‍යාගය සබන් කැටයක් ලෙස සැලකෙනවා.

© Amir Nurgaliyev

‘මස්ලිනිට්සා’ සැණකෙළිය අවසන් දිනයේ දී ඉතිරි වී ඇති රස ආහාර සියල්ල ම අනුභව කර අවසන් කරන අතර එළැඹෙන කොරොස්ම කාලය සිහි කිරීම සඳහා රයි පිටිවලින් සැකසූ පාන් සහ ලුණු ආහාරයට ගැනීම සිදු කරනවා. සැණකෙළියේ අවසානය සනිටුහන් කරන්නේ සතිය ඇරඹුමේ දී පිදුරු සහ පරණ ඇඳුම් යොදා නිර්මාණය කළ ‘මස්ලිනිට්සා’ බෝනික්කා ව පුලුස්සා අළු මත ඇවිදීම මගින්.

කවරයේ පින්තූරය : © Wallpaperscraft

Related Articles