ලෝකයේ ඇති විවිධ භූ විෂමතා හා දේශගුණික කලාප අතරින් සුවිශේෂීම එකක් ලෙස කාන්තාර හඳුන්වන්නට පිළිවන්. ශ්‍රී ලාංකිකයන් වන අපට ඒ තරම් හුරු නොවුණාට ලෝකයේ භූමියෙන් සැළකිය යුතු ප්‍රතිශතයක් කාන්තාරික දේශගුණයක් සහිත ප්‍රදේශ තිබෙනවා. සාමාන්‍යයෙන් මිනිස් වාසයට අපහසු කාන්තාරික දේශගුණයක් ඇති ප්‍රදේශ වල ඒවාටම ආවේණික වූ පාරසරික ලක්ෂණ පිහිටන අතර සමහර විටෙක අනුවර්තනය වූ වෘක්ෂ ලතා හා විවිධ සත්ත්ව ප්‍රජාද ජීවත් වෙනවා.

යුරෝපය හැරුණු විට ලොව අනෙක් මහාද්වීප සතුව එක් කාන්තාරයක් හෝ දැකගන්නට පිළිවන්. එම කාන්තාර අතුරින් අටකාමා කතර ගැන සවිස්තර වාර්තාවක් පසුගිය ලිපියකින් අපි ඔබ වෙත ගෙන ආවා. මේ කාන්තාර සියල්ලෙන්ම විශාලම කාන්තාරය ලෙස සැළකෙන්නේ සහරා කාන්තාරයයි. එය විශාලත්වයෙන් ලොව බොහෝ රට වල භූමි ප්‍රමාණයට වඩා වැඩි අගයක් ගන්නවා. ඒ වාගේම සහරාව පැතිකඩ කිහිපයකින්ම ජගත් වශයෙන් විශේෂත්වයක් උසුළනවා. මේ හේතු නිසා සහරා කතර පිළිබඳව සවිස්තර වාර්තාවක් ඔබ වෙත ගෙන එන්නට අපි තීරණය කළා.

Beautiful world .com

සහරාවේ පිහිටීම

උතුරු අප්‍රිකාවේ චන්ද්‍රිකා ඡායරූපයක්. මෙහි දුඹුරු පැහැයෙන් පෙනෙන්නේ සහරාවයි-desertusa.com

අප්‍රිකා මහාද්වීපයේ උතුරු කොටස සම්පූර්ණයෙන්ම වාගේ වසාගෙන පැතිරී තිබෙන සහරා කතර නැඟෙනහිර සිට බටහිරට කිලෝමීටර 4800ක පමණ දිගකින් යුතු වන අතර උතුරේ සිට දකුණට කිලෝමීටර 1300-1900 අතර පළලකින්ද යුතු යෝධ භූමි ස්කන්ධයක් වෙනවා. සහරා කාන්තාරය සතු සම්පූර්ණ භූමි වපසරිය වර්ග කිලෝමීටර 8,600,000 ක් නමුත් කාලානුරූපීව මෙහි යම් යම් අඩු වැඩි වීම් සිදු වෙනවා. සහරාව බටහිරින් අත්ලාන්තික් සාගරයටද, උතුරින් ඇට්ලස් කඳු පන්තියට හා මධ්‍යධරණී මුහුදටද, නැඟෙනහිරින් රතු මුහුදටද මායිම් වන අතර දකුණින් සහෙල් නැමති අර්ධ ශුෂ්ක කලාපීය ලක්ෂණ පෙන්වන කලාපයටද මායිම් වෙනවා. මෙ අර්ධ ශුෂ්ක කලාපය සහරා කතර වඩාත් දකුණින් පිහිටන ඝර්ම කලාපීය සැවානා වනාන්තර වලින් වෙන් කරනවා. සහරාවට මොරිටානියාව, ඇල්ජීරියාව, ලිබියාව, ඊජිප්තුව, මාලි, චැඩ්, නයිජර්, ටියුනීසියාව හා සුඩානය යන රට වල විශාල කොටසක් අයත් වෙනවා.

සහරාවේ භූ විෂමතාවය

සහරාව පුරාම විහිදී ඇති වැලි කඳු වලට අමතරව ශුෂ්ක රූපී ලක්ෂණ පෙන්නුම් කරන කඳු වැටිද, උස් සානුද, රළු පාෂාණ සහිත තැනිතලා බිම්ද, නොගැඹුරු නිම්න භූමි මෙන්ම ක්ෂේම භූමිද මෙහි හමු වෙනවා. සහරාවේ උසම ස්ථානය වන්නේ චැඩ් රාජ්‍යයට අයත්ව පිහිටා ඇති නිෂ්ක්‍රීය ගිණිකඳු ද්වාරයක් වන කොඋසි කන්දයි. එය මුහුදු මට්ටමේ සිට අඩි 11,204 ක උසකින් යුක්ත වෙනවා. මෙහි පහත්ම ස්ථානය මුහුදු මට්ටමේ සිට අඩි 436 ක් පහතින් පිහිටා ඇති ඊජිප්තුවේ ක්වටෙරා අවපාතනයයි.

කොඋසි කන්ද-freevst.x10.mx

සහරාව සතු වැලි කඳු වලින් බහුතරය පිහිටා ඇත්තේ එහි මධ්‍යයේ සිට මදක් උතුරට වන්නට, ඇල්ජීරියාව හා ලිබියාව තුලයි. දීර්ඝ කාලීනව සුළං හැමීම නිසා මේවා විවිධ හැඩ වලින් තැනී තිබෙනවා.

ජල සැපයුම

සහරාව සතුව ඇත්තේ ස්ථිර ගංගා දෙකක් හා අතළොස්සක් වන විල් කිහිපයක් පමණයි. නමුත් පුදුමයකට මෙන් සහරාව සතුව භූගත ජල ප්‍රභව තිබෙනවා. සහරාව ඔස්සේ ගලා යන ගංගා දෙක වන නයිල් හා නයිජර් අතුරින් නයිල් ගඟ මධ්‍යම අප්‍රිකාවෙන් ආරම්භ වී උතුරු දෙසට සහරාව ඔස්සේ ගලා අවුත් මධ්‍යධරණී මුහුදට වැටෙනවා. මේ ගමනේදී එම ගංගාව සුඩානය හා ඊජිප්තුව පසු කරනවා. නයිජර ගංගාව බටහිර අප්‍රිකාවෙන් ආරම්භ වී ඊසාන දිගට සහරාව ඔස්සේ ගලා ඉන් අන්තුරුව ගිණිකොන දෙසට හැරී නයිජීරියාව ඔස්සේ ගලා ගොස් ගිනියා බොක්කට වැටෙනවා.

නයිල් ගඟ-africa-facts.org

සහරාව සතුව විල් 20ක් පමණ තිබෙනවා. ඒ කෙසේ වෙතත් ඉන් භාවිත කළ හැකි මට්ටමේ ජලය තිබෙන්න්නේ චැඩ් ජනරජයට අයත් සීමාවේ පිහිටා ඇති චැඩ් විලයි. නොගැඹුරු නමුත් වැඩි වපසරියක විහිදී ඇති මේ විල කාලයෙන් කාලයට ප්‍රසාරණය හා හැකිළීම සිදු වෙනවා. අනෙක් විල් සියල්ලේම ජලය ලවණමය ස්වභාවයක් ගන්නවා. සහරාව සතු භූගත ජලතලය සමහර ස්ථාන වලදී මතුපිටට පැමිණීම නිසා ක්ෂේම භූමි නිර්මාණය වී තිබෙනවා. මේවා බොහෝ විට දැකිය හැක්කේ අවපාතන ඇති ස්ථාන වලයි.

චැඩ් විල-Venturesafrica.com

සහරාවේ දේශගුණය

සහරා කතර ලොව අතිශය කටුක දේශගුණයකට උරුමකම් කියන ස්ථානයක්. සහරාවට වර්ෂාව ලැබෙන්නේ ඉතා කලාතුරකිනුයි. මීට අමතරව තද සුළං හැමීම හා ඉතා වැඩි පරාසයක පැතිරුණු උෂ්ණත්ව උච්ඡාවචන සහරාවේදී යමෙකුට අත්දකින්නට පුළුවන්.

මුළු සහරා කතර පුරාම වාර්ෂික වර්ෂාපතනය අඟල් කිහිපයකට සීමා වන අතර බොහෝ ස්ථාන වක ඊටත් වඩා අඩු අගයක් ගන්නවා. සමහර ස්ථාන වලට වසර ගණන් වර්ෂාව නොලැබී තිබී එක්වරම  මහා වර්ෂාවක් ඇද හැළෙනවා. අනතුරුව නැවතත් වසර කිහිපයක් ගත වන තුරු වහින්නේ නැහැ. සහරා කතරට සුළං හමන්නේ වසර පුරාවටම ඊසාන දිග සිට සමකය දෙසටයි. කාන්තාරයේ වියළි බව හා අධික උෂ්ණත්වය නිසා මේ සුළං වල අඩංගු තෙතමනය සම්පූර්ණයෙන්ම පාහේ වාෂ්ප වී යනවා. මෙම සුළං සමහර විටෙක භූමියේ ඇති වැලි ද ඔසවාගෙන ගොස් වැලි කුණාටු සාදනවා.

සහරාවේ වැලි කුණාටුවක්-bbc.co.uk

ග්‍රීෂම ඍතුවේ සහරාව පුරාවටම ඉතා උණුසුම් සුළං හමනවා. සමහර විටෙක සහරාවේ යම් කිසි ස්ථානයක උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 100 ඉක්මවනවා. මේ කතර තුල එදා මෙදා වාර්තා වූ ඉහළම උෂ්ණත්වය ලෙස සටහන් වී ඇත්තේ 1922 සැප්තැම්බර් මස 13 වනදා ලිබියාවෙන් වාර්ථා වූ ෆැරන්හයිට් අංශක 136 යි. වසර පුරාම පාහේ පැහැදිළි අහසකට උරුමකම් කියන සහාරාවේ සවස හා රාත්‍රියේ උෂ්ණත්වය දිවා උෂ්ණත්වයට වඩා ෆැරන්හයිට් අංශක 40 කින් පමණ පහත වැටෙනවා. ශීත ඍතුවේදී උතුරු සහරාවේ ජලය මිදෙන උෂ්ණත්ව පවා ඇති විය හැකියි. ශීත සෘතුවේදී සහරාවේ සමහර උස් කඳු මුදුන් වලට කලාතුරකින් හිම වැටෙනවා.

සත්ත්ව ප්‍රජාව

සහරාවේ වැවෙන තුරු ලතා හා සත්ත්ව ප්‍රජාව ඉතා දැඩි ලෙස ශුෂ්ක දේශගුණයට අනුවර්තනය වූ ජීවීන් වෙනවා. මීට අමතරව දැඩි සුළං වලට, දැඩි උෂ්ණත්වයට හා විශාල උෂ්ණත්ව උච්ඡාවචනයන්ට මොවුන්ට මුහුණ දැන්නට සිදු වෙනවා. සහරා කතරේ බොහෝ සතුන් සිය ජල අවශ්‍යතා සපුරාගන්නේ සිය ආහාරයෙනුයි. මේ සඳහා වූ ශාරීරික අනුවර්තන ඔවුන් විසින් පෙන්නුම් කරනවා.

තිත් සහිත හයිනා-animals.sandiegozoo.org

සහරා කතර ආශ්‍රිත ප්‍රදේශ වල ක්ෂීරපායී සතුන් විශේෂ 70 ක් ද, නේවාසික පක්ෂී විශේෂ 90 ක් පමණද, උර්ග විශේෂ 100ක් හා කෘමි සතුන් වර්ග රාශියක්ද ජීවත් වෙනවා. ක්ෂීරපායීන් අතරට බාබරි බැටළුවන්, ඔරික්ස් ගවයන්, ඇනුබිස් බැබුන්, තිත් සහිත හයිනාවන්, ගැසල් මුවන්, නරින් වැනි සතුන් අයත් වන අතර පැසබරුන් වැනි පක්ෂීන්ද නයින්, කටුස්සන්, ගෝනුස්සන් හා කිඹුලන් වැනි සතුන්ද මේ පරිසර පද්ධතිය තුළ දැකගන්නට පිළිවන්. සහරාවේ වැඩිමනක් ජීවී ප්‍රජාව ජීවත් වන්නේ එහි උතුරු හා දකුණු මායිම් වල හා ජල ප්‍රභව ආශ්‍රිතවයි.

කන්තාරයේ නෞකාව -ඔටුවා-nosade.com

සහරාවේ වඩාත් ප්‍රසිද්ධ සත්ත්වයා වන්නේ ඔටුවායි. මේ කාන්තාරයේ ප්‍රවාහන කටයුතු ආදියට​ වසර දහස් ගණනක් තිස්සේ ඔටුවන් භාවිතා වෙන්නේ ජල සංරක්ෂණය හා කාන්තාරික ජීවිතය සඳහා සඳහා එම ජීවියා සතුව ස්වභාවික අනුවර්තන පිහිටීම නිසායි. මොල්ලි දෙකක් පිහිටිම නිසා සිය ශරීරය තුල සෑකෙන කාලයක් ඔවුනට ජලය ගබඩා කරගත හැකි අතර ගිණියම් වැලි පර ඔස්සේ ඉදිරියට ඇදෙන්නට හැකි පරිදි සෑදුණු දැඩි කුරත්, පතොක් වැනි කටු සහිත ශුෂ්කරූපී ශාක ආහාරයට ගැනීමට හැකි පරිදි සෑදුණු තද තොල්පෙති මෙන්ම ජල සංරක්ෂණය සඳහාම සෑදුණු නාසය, ඇහිබැම වැනි දේ නිසා ඔටුවන් ‘කාන්තාරයේ නෞකාව’ ලෙස හැඳින්වීමේ කිසිදු වරදක් නැහැ.

ශාක ප්‍රජාව

වර්ෂාවකට පසු සහරාවේ වැවෙන කෙටි කාලීන පැලෑටි-desertusa.com

අනෙක් සෑම කාන්තාරයක මෙන්ම සහරා කාන්තාරය සතුවත් ඇත්තේ ඉතාම සීමාසහිත ශාක ප්‍රජාවක්. මේවායින් බහුතරයක් කාන්තාරයේ උතුරු හා දකුණු සීමාවේ, ක්ෂේම භූමි වල හා ගංගා නිම්න වල පිහිටනවා. ක්ෂේම භූමි අසළ වැවෙන රටඉඳි ගස් වැනි දීර්ඝ මූල පද්ධතියක් තුළින් ජල ප්‍රභව සොයාගෙන යන අතර ඉතාමත් ශුෂ්ක ප්‍රදේශ වලට හදිසියේ වර්ෂාවක් ඇදහැළුනොත් කෙටි කාලීනව වැවෙන මල් සහිත පැළෑටි වර්ග කිහිපක්ද මේ කතර සතුයි. මේ මල් වර්ග වල බීජ වසර ගණනාවක් ප්‍රරෝහණය නොවී කටුක පාරිසරික තත්ත්ව දරා සිටීමේ හැකියාව දරන ඒවා වෙනවා.

කවරයේ පින්තූරය – travelercorner.com