Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දශක තුනකට පසුව යළි විවෘත වන සෞදියේ සිනමාහල්

සෞදි අරාබිය කියන නම ඇසෙන විටම අපට මතක් වන්නේ උෂ්ණාධික කාන්තාර, හිසේ පටන් දෙපතුල දක්වා සිරුර වසාගත්තු කාන්තාවන් සහ ක්ෂමා විරහිත දැඩි දඬුවම් පනවන නීති වගේ දේවල්. ඇත්තටම සෞදි අරාබිය කියන්නේ අතිශයින්ම ධනවත්, ඒ වගේම අතිශයින්ම දැඩි නීති රීති පවතින රටක්. ඉස්ලාම් දහමේ ඉගැන්වීම් අනුව පාලනය වන සෞදිය කියන්නේ වර්තමාන ලෝකයත් සමග බලන විට නම් ගොඩක් සාම්ප්‍රදායික මතයන් වල එල්බගෙන සිටින රටක් කිව්වොත් වැරදි නැහැ.

http://www.independent.co.uk

සෞදි කුමරුගේ  “Vision 2030”

නමුත් මේ වන විට ඒ මත වෙනස් කරන්නට සෞදියේ ඔටුන්න හිමි කුමරු වන මොහම්මද් බින් සල්මන් කුමරා පියවර ගනිමින් සිටිනවා. තමන්ගේ “Vision 2030” හෙවත් “2030 දැක්ම” නමින් ඔහු දියත් කර ඇති ව්‍යාපෘතියට අනුව සෞදි රාජ්‍යය තව තවත් ලෝකයා වෙත විවෘත කිරීමට, රටේ ආර්ථිකය විවිධාංගිකරණය කිරීමට මෙන්ම ඉස්ලාම් දහමට ගරු කරමින්ම රටේ ඇතැම් නීති වෙනස් කිරීමට පියවර ගැනෙමින් පවතිනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ගිය වසරේ සැප්තැම්බර් මාසයේදී සල්මන් කුමරා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ සෞදි ජාතික කාන්තාවන් හට තනිව රිය ධාවනය කිරීමට අයිතිය ලබා දෙන නීති ක්‍රියාත්මක කිරීමට තමා බලාපොරොත්තු වන බවයි. එම වසරේ ඔක්තෝබර් මසදී ඔහු තවත් නව නීතියක් පනවමින් ප්‍රකාශ කළේ එරට කාන්තාවන්ට ක්‍රීඩාගාර වලට පැමිණ ක්‍රීඩා නැරඹීමට අවස්ථාව සලසා දෙන බවයි.

එහි තවත් කඩඉමක් ලෙස, මේ වසරේ මාර්තු මාසයේ පටන් සෞදි අරාබිය තුළ සිනමාහල් නැවත විවෘත කිරීමට පියවර ගැනෙමින් පවතිනවා. 1980 වසරේදී ගෙන එන ලද නීතියක් ප්‍රකාරව සෞදියේ සියළු සිනමාහල් වසා දැමුණු අතර, ප්‍රසිද්ධියේ චිත්‍රපට පෙන්වීමද තහනම් කෙරුණා. එම නීතිය ඉවත් කෙරෙන්නේ වසර තිස් පහකට පසුවයි. මේ ක්‍රියාමාර්ගය මගින් සෞදි අරාබිය කෙරෙහි ජාත්‍යන්තර ප්‍රජාවගේ පැහැදීම වර්ධනය වෙතැයි සෞදියේ ඔටුන්න හිමි කුමරා බලාපොරොත්තු වනවා.

www.google.com

මාර්තු මාසයේ පටන් සෞදි රාජ්‍යය පුරා සිනමාහල් නැවත විවෘත වන බවටත්, ඉදිරි දශකය තුළ රට පුරා සිනමාහල් 300ක් සහ සිනමා තිර දෙදහසක් පිහිටුවීමට සෞදි රජය කටයුතු කරන බවටත් ප්‍රකාශ කර සිටි එරට සංස්කෘතික අමාත්‍ය අව්වද් අලව්වද් මහතා ප්‍රකාශ කර සිටියේ, මෙම වෙනස මගින් රටේ සංස්කෘතිකමය ආර්ථිකයට නව පනක් ලැබෙනා බවයි.

“සෞදියේ ජනගහනයෙන් 70%ක් දෙනා වයස අවුරුදු තිහට අඩු පුද්ගලයින් වනවා. ඇත්තටම කිව්වොත් අපේ ජීවිතයේ මුල් වසර තිහ සාම්ප්‍රදායික නීති රීති වලට යටත්ව ගත කරන්න අවශ්‍ය නැහැ. එවැනි නීතීන් වහාම ඉවත් කළ යුතුයි.” සල්මන් කුමාරයා තම අදහස් BBC නාලිකාව සමග ප්‍රකාශ කළේ ඒ අයුරිනුයි.

මේ පුවත තමන්ට අදහාගත නොහැකි තරමේ පුවතක් බවයි සෞදි ජාතික රංගන ශිල්පීන් සහ නිෂ්පාදකවරු ප්‍රකාශ කරන්නේ. මෑත කාලීනව තරුණ අධ්‍යක්ෂකවරුන්ට රාජ්‍ය අනුග්‍රහය සහ පැසසුම් ලැබී තිබීමත් ඔවුන්ගේ සතුටට කරුණක් වී තිබුණා. එපමණක් නොවෙයි, 2013 වසරේදී නිෂ්පාදනය කෙරුණු සෞදි චිත්‍රපටයක් ඉතිහාසයේ ප්‍රථම වතාවට ඔස්කාර් සම්මාන උළෙලේ සෞදි අරාබිය නියෝජනය කරමින් ඊට සහභාගී වීමත් සෞදියේ චිත්‍රපට කර්මාන්තයට විශාල ශක්තියක් ලබා දී තිබුණා.

www.cnn.com

ආගමික නායකයින්ගේ විරෝධය

නමුත් සෞදියේ ආගමික නායකවරුන් නම් මෙම තීරණයට එරෙහිව ප්‍රසිද්ධියෙම අදහස් දැක්වීමට පසුබට වූයේ නෑ. රටේ පවත්නා සාරධර්මයන් විනාශ කිරීමට මෙම නීතිය ඉවහල් වන බවයි ඔවුන්ගේ මතය වන්නේ. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් ආගමික නායකයින්ගේ මත වීමසීමට තරම් සෞදි රාජ්‍ය නිලධාරීන් සැළකිලිමත් නොවන බවයි ජාත්‍යන්තර පුවත් සේවා වාර්තා කර සිටින්නේ. ආගමික නායකයින්ගේ මතයට ගරු කරමින් මෙම නව නීති රීති තම රටට අවශ්‍ය නැතැයි ප්‍රකාශ කරන පුද්ගලයින් පිරිසක්ද සිටින අතර, ඔවුන්ගේ අදහස වන්නේ, සල්මන් කුමරා රට තුළ ඇති කරනා පෙරලි ඉක්මන් වැඩි බව සහ දශක ගණනාවක් තිස්සේ විවිධ නීති රාමු වලට කොටු වී සිටි සෞදි අරාබිය මෙම වෙනස්කම් සියල්ල එකවිට දරාගන්නට අපහසු විය හැකි බවයි.

නව සිනමාහල් තුල තිරගත කරනු ලබන සිනමාපට විවිධ වාරණයන්ට ලක් කොට තිරගත කෙරෙනු ඇතැයි සෞදි බලධාරීන් ප්‍රකාශ කරනවා. එපමණක් නොවෙයි, සිනමාහල් තුල කාන්තාවන් සහ පුරුෂයින් එකට හිඳගැනීම වැනි කරුණු කෙරෙහිද තම ඔවුන්ගේ අවධානය යොමු විය යුතු බවට මතවාද මේ වන විට ගොඩනැගෙමින් පවතිනවා. ස්ත්‍රීන් සහ පුරුෂයින් එකට ගැවසීම දැඩි සේ ප්‍රතික්ෂේප කරන රටක් වන සෞදි අරාබිය තුල මෙවැනි කරුණු කාරණා රාශියක් සළකා බලා තීරණ ගැනීමට සිදු වන බව රටේ තරුණ පරපුර පවා ප්‍රකාශ කර සිටින්නේ මේ නිසයි.

පසුගිය වසරේ සැප්තැම්බර් මස සල්මන් කුමරා විසින් ප්‍රකාශ කරන ලද පරිදි කාන්තාවන්ට රිය ධාවනය කිරීමේ අයිතිය ලබා දෙන නීතියත් මෙම වසරේ ජූනි මස පටන් ක්‍රියාත්මක වීමට නියමිතයි.

පුරුෂාධිපත්‍යයට අභියෝග කරමින් කාන්තා අයිතීන් වඩ වඩාත් නංවාලීමටත් සල්මන් කුමරා පියවර ගනිමින් සිටින බවකුයි ඉන් පෙනී යන්නේ. කෙසේ වෙතත්, කාලයාට ඉඩ දෙමින් රටේ ජනතාවටද දරාගත හැකි වේගයකින් මෙම නීති සංශෝධනයන් සහ නව නීති පැනවීම් සිදු වනවා නම් එයින් සෞදි අරාබියට පමණක් නොව, මුළු මහත් මැද පෙරදිගටම යහපතක් වනු නොඅනුමානයි.

කවරයේ ඡායාරූපය – theguardian.com

තොරතුරු උපුටා ගැනීම – www.theguardian.com , www.forbes.com , www.thebusinessindier.com වෙබ් අඩවි ඇසුරිණි.

Related Articles