ඊශ්‍රායල් විශේෂ බලකාය – “සයෙරෙට් මට්කාල්”

ඊශ්‍රායල් ආරක්ෂක බලකායට අයත් “සයෙරෙට් මට්කාල්” (Sayeret Matkal) හෙවත් The General Staff Reconnaissance Unit යනු එරට ඇති විශේෂ හමුදා ඒකකවලින් ජනප්‍රියම හමුදා විශේෂ ඒකකයක්.

කමාන්ඩෝ බලසේනාව, විශේෂ පුහුණුව ලැබූ සුනඛයන්ගෙන් සමන්විත  Oketz ඒකකය, ඊශ්‍රායල් ගුවන් හමුදාවේ ගලවාගැනීමේ විශේෂ ඒකකය වන Unit 669, Shayetet 13 නමින් ක්‍රියාත්මක වෙන මැරීන් කමාන්ඩෝ බලකාය, ගුවන් හමුදාවේ විශේෂ ඒකකය වන Shaldag Unit, ජලය තුළ මෙහෙයුම් සිදුකරන The YALTAM unit, ඕනෑම භූමියකට ඔරොත්තු දෙමින් මෙහෙයුම් කළ හැකි Alpinist Unit, ඉංජිනේරු මෙහෙයුම් විශේෂ බලකාය වන Yahalom Unit හා විශේෂ කාලතුවක්කු මෙහෙයුම් බලඇණිය වන Skylark Unit ද ඊශ්‍රායලයේ ඇති අනෙකුත් විශේෂ හමුදා ඒකක ලෙස සඳහන් කළ හැකි යි.

අතිශය රහසිගත බුද්ධි තොරතුරු හඹා යාම, ඊශ්‍රායල් දේශ සීමාවෙන් එපිට දී ප්‍රතිත්‍රස්ත මෙහෙයුම් සිදු කිරීම හා ලෝකයේ ඕනෑම ප්‍රදේශයක සිරකරගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් බේරා ගැනීම සඳහා විස්මිත මෙහෙයුම් සකස් කිරීම, මෙම විශේෂ ඒකක අතරින් සයෙරෙට් මට්කාල්  බලකායට අයත් වන කාර්යයභාරය ලෙස නම් කළ හැකි යි.

මේ ඒකකය බොහෝ දුරට බ්‍රිතාන්‍යයේ විශේෂ ඒකකය වන SAS බලකායේ ගති ලක්ෂණවලට සමානකමක් දක්වනවා. සාම්ප්‍රදායික හමුදා ඒකකවලින් සම්පූර්ණයෙන්ම වෙනස් ඒකකයක් ලෙස හැදින්වෙන සයෙරෙට් මට්කාල් පිළිබඳව යි අද ලිපිය.

සයෙරෙට් මට්කාල් වෙත බඳවා ගැනීමේ ක්‍රියා පිළිවෙල

සයෙරෙට් මට්කාල්  පුහුණුව (Pinterest)

සයරේට් මට්කාල් ආරම්භ කරන්නේ 1957 වසරේ දී යි. එහි පළමු ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ Avraham Arnan නම් දක්ෂ ඊශ්‍රායල් හමුදා නිලධාරියා යි. ඊශ්‍රායලය මෙන්ම ලෝකයම විශ්මයට පත් කළ මෙහෙයුම් ගණනාවක් සාර්ථකව නිම කරන ලද මෙම බලකාය වෙත බඳවා ගැනීම සිදු වන ආකාරය කාලයක් ඉතා රහසිගත ක්‍රමයක් ඔස්සේ සිදු කරනු ලැබුවා.

පසුව මෙම බඳවා ගැනීමේ ක්‍රමවේදයේ යම් කොටස් ලෝකයට නිරාවරණය කිරීමට ඊශ්‍රායල් ආරක්ෂක බලකාය තීරණය කරනවා. 1970 වසරෙන් පසු මෙම බලකායට බඳවා ගැනීම සඳහා වෙනම තෝරා ගැනීමේ කඳවුරක් පවත්වනවා. වසර දෙකකට වරක් එය අද දක්වාම පැවැත්වෙනවා. මෙම තෝරාගැනීම් සිදු වන්නේ නිදි වර්ජිත රාත්‍රීන් කිහිපයක් ගත වීමෙන් පසුව යි. තෝරා ගන්නා භටයන් මානසික හා කායික ශක්තියෙන් ඉතාමත් උසස්, ඕනෑම අවස්ථාවකට ඔරොත්තු දෙන ආකාරයේ අය විය යුතු යි. ඊට අමතරව දරා ගැනීමේ හැකියාව හා කණ්ඩායම් හැඟීම ද පරික්ෂා කරනු ලබනවා. භටයන් තෝරා ගැනීම සඳහා සහභාගී වන්නේ ඒ සඳහා විශේෂ පුහුණුව ලැබූ භෞත චිකිස්තක හා වෛද්‍ය කණ්ඩායමක්.

පුහුණුව (War Is Boring)

තෝරා ගැනීමෙන් අනතුරුව මාස 20ක පමණ කාලයක් පුරාවට මූලික පුහුණු හා විශේෂ පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. මාස 4ක මූලික පාබල සටන් පුහුණුව හා ගුවන් සංක්‍රමණික පුහුණුවක්, මාස 2ක උසස් පාබල සටන් පුහුණුවක්, සති 3ක් ක්‍රියාත්මක වෙන පැරෂූට් පුහුණුවක් (මෙම පුහුණුව ඊශ්‍රායල් ආරක්ෂක බලකායේ පැරෂුට් පුහුණු පාසලක දී ලබා දෙයි) හා සති 5ක ප්‍රතිත්‍රස්ත සටන් පුහුණුවක් ලබා දෙනවා. සතුරු ප්‍රදේශ කරා ගොස් සිදුකෙරෙන දිගු දුර විහිදුම් මෙහෙයුම් ද මේවා අතරට ඇතුලත් වෙනවා.

පුහුණුව අවසන් වන්නේ දින හතරක් තුළ අති දුෂ්කර ප්‍රදේශයක ක්‍රියාත්මක වෙන කි.මී 120ක් දුර පා ගමනක් සම්පූර්ණ කළ පසුව යි.

විස්මිත මෙහෙයුම්

ඔපරේෂන් තන්ඩර්බෝල්ට් (Post Card News)

ලෝක යුධ ඉතිහාසය තුළ ප්‍රාණ ඇපකරුවන් බේරා ගැනීමේ මෙහෙයුම් අතරින් වඩාත් සාර්ථක මෙහෙයුම ලෙස නම් කළ හැක්කේ සයෙරෙට් මට්කාල්  බලකායේ මෙහෙයුමක්.

1976 වසරේ ජූලි මස 4 දින උගන්ඩාවේ එන්ටෙබේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිරකරගෙන සිටි මගීන් 102ක් ඊශ්‍රායල් සයෙරෙට් මට්කාල්  බලකා සෙබළුන් විසින් මුදාගැනීම,“ඔපරේෂන් තන්ඩර්බෝල්ට්” නමින් හඳුනවනවා.

ඊශ්‍රායලයේ ටෙල් අවිව් හි (Tel Aviv) බෙන් ජුරියන් (Ben Gurion) ගුවන්තොටුපොළේ සිට ප්‍රංශයේ පැරිස් නුවර බලා ගුවන් ගමන් අංක 139 යටතේ ගමන් ආරම්භ කරන ප්‍රංශ ගුවන් සේවයට අයත් A300 වර්ගයේ එයාර් බස් ගුවන් යානය පලස්තීන විමුක්ති සංවිධානයේ ත්‍රස්තයන් විසින් පැහැර ගන්නවා.

සයෙරෙට් මට්කාල්  භටයන් 100 දෙනක්, කණ්ඩායම් හතරකට බෙදී ලොක්හීඩ් සී-130 හර්කියුලිස් යානා හතරක නැඟී කි.මී 3500ක් දුරින් පිහිටි උගන්ඩාවේ එන්ටැබේ ගුවන් තොටුපොල වෙත පියාසර කරනවා. ඔවුන් විසින් පැහැරගෙන තිබුණු ප්‍රංශ ගුවන් සේවයට අයත් ගුවන් යානයෙහි සිටි ඊශ්‍රායල් ප්‍රාණ ඇපකරුවන් මුදාගන්නවා. මෙම මෙහෙයුමෙන් ලෝකවාසීන් අතිශය විස්මයට පත්වෙනවා. සටන සඳහා නායකත්වය දෙන්නේ වර්තමාන ඊශ්‍රායල් අගමැතිවරයාගේ සහෝදරයා යි. නමුත් මෙහෙයුමේ දී අවාසනාවන්ත ලෙස ඔහු මරණයට පත්වෙනවා.

මියුනිච් ප්‍රහාරයේ ත්‍රස්තයෙක් (The Times)

1972 වසරේ ජර්මනියේ මියුනිච් නගරයේ පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී ඔලිම්පික් ඉතිහාසයට අඳුරු පැල්ලමක් එක් කරමින් පලස්තීන “කළු සැප්තැම්බර්” නම් ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයන් විසින් නිරායුධ ඊශ්‍රායල් ක්‍රීඩකයන් 11 දෙනෙක් ප්‍රාණ ඇපකරුවන් ලෙස තබාගෙන පසුව ඝාතනය කරනවා.

ඊශ්‍රායලයේ මොසාඩ් සංවිධානය හා සයෙරෙට් මට්කාල්  බලකාය එකට එකතුවෙමින් වසර 20ක පමණ කාලයක් ක්‍රියාත්මක වෙමින් විවිධ රටවලදී විවිධ ආකාරයෙන් කළු සැප්තැම්බර් සාමාජිකයන් හා පලස්තීන විමුක්ති සංවිධානයේ (PLO) සාමාජිකයන් 28 දෙනෙක් ඝාතනය කරනවා. එය හඳුන්වන්නේ Wrath of God (දේව කෝපය) මෙහෙයුම ලෙස යි.

සහභාගී වූ යුද්ධ

ඉන්ටිෆාඩා (Al Jazeera)

1973 දී අරාබි රටවල් හා ඊශ්‍රායලය අතර යුද්ධයක් ඇතිවෙනවා. මෙය යොම් කිපූර් යුද්ධය ලෙස හැඳින්වෙන අතර මෙම යුද්ධ කාල සීමාව තුළ සයෙරෙට් මට්කාල්  බලකාය ඊශ්‍රායලය වෙනුවෙන් විශාල කාර්යයභාරයක් ඉටුකරනවා.

පලස්තීනුවන් ප්‍රථම වරට ඊශ්‍රායලයට එරෙහිව නැගී සිටීම නිසා 1987 සිට 1993 දක්වා කාලය තුල බිහිසුණු ගැටුම් නිර්මාණය වෙනවා. ඊශ්‍රායලයට එරෙහි මෙම පලස්තීන නැගිටීම් ‘ඉන්ටිෆාඩා” (intifada) ලෙස හැඳින්වෙනවා. 2000 – 2005 කාලය තුළ පලස්තීන දෙවන නැගී සිටීම සිදුවෙනවා. මෙම ඉන්ටිෆාඩාවන් දෙකටම සාර්ථක ලෙස ව්‍යර්ථ කිරීමට සයෙරෙට් මට්කාල් සෙබළුන් කටයුතු කරනවා.

සයෙරෙට් මට්කාල් සෙබළුන් (0’20 Magazine)

1982 වසරේ දී ඊශ්‍රායලය විසින් ලෙබනනය ආක්‍රමණය​ කරන අවස්ථාවේත් 2006 වසරේ ලෙබනනයට එල්ල කළ ප්‍රහාරවලදීත් සයෙරෙට් මට්කාල් බලකාය තම විස්මිත යුධ උපක්‍රම ප්‍රයෝජනයට ගන්නවා.

කවරයේ පින්තූරය:Pinterest

මූලාශ්‍රයයන්:

idf.il

britannica.com

timesofisrael.com

Related Articles