Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශාන්ත පීටර්ස්බර්ග් නුවර ලෝහිත රුවල් සැණකෙළිය

ෆින්ලන්ත මුහුදු බොක්කට මුහුණලා නේවා ගං ඉවුරේ පිහිටා ඇති ශාන්ත පීටර්ස්බර්ග් නුවර, බෝල්කන් මුහුදු තීරයේ ඇති වැදගත් නැව් තොටුපොළක් මෙන් ම රුසියාවේ දෙවැනියට විශාලතම නගරය ලෙස ද සැලකෙනවා. සියවස් ගණනාවක් ඈතට දිව යන ඉතිහාසයක් සහිත ශාන්ත පීටර්ස්බර්ග් නුවර ඓතිහාසික නගරය, 1990 වර්ෂයේ දී යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කරන ලද අතර එය සතු සුන්දරත්වය හේතුවෙන් ඇතැම් විටෙක එය ‘උතුරුකරයේ වැනීසිය’ ලෙස ද හඳුන්වනවා.

© Anastasia Drozhzhina

දීර්ඝ ඉතිහාසයක් සතු ශාන්ත පීටර්ස්බර්ග් නුවර වැසියන් වාර්ෂික ව සමරනු ලබන උත්සව ද බොහෝම යි. සොඳුරු පාසල් සමය අවසන් කර වැඩිහිටි වියට පිය මනින තරුණ තරුණියන් වෙනුවෙන් පවත්වනු ලබන ‘ලෝහිත රුවල් සැණකෙළිය’ එවැන්නක්. සෑම වසරක දී ම දෙස් විදෙස් සංචාරකයින් දස දහස් ගණනකගේ අවධානය ශාන්ත පීටර්ස්බර්ග් නුවර කරා යොමු කරවන එය ලොව විචිත්‍රවත් ම උත්සවයක් ලෙස ද සලකනු ලබනවා.

අලෙක්සාන්ද්‍ර ග්‍රීන්ගේ පන්හිඳෙන් ගෙතූ සුරඟන කථාන්තරය

1968 ජූනි මාසයේ දී මුල් වරට පවත්වන ලද ‘ලෝහිත රුවල් සැණකෙළිය’ ඇරඹී ඇත්තේ අලෙක්සාන්ද්‍ර ග්‍රීන් නම් රුසියානු ලේඛකයාගේ අදහසක් හේතුවෙන් බව පැවසීමේ වරදක් නැහැ. එයට හේතුව වන්නේ ඔහු විසින් 1923 වර්ෂයේ දී ප්‍රකාශයට පත් කරන ලද ‘ලෝහිත රුවල්’ ග්‍රන්ථයේ සඳහන් වන අයුරින් පාසල් සමයේ අවසානය සැමරීම සඳහා දෙවැනි ලෝක සංග්‍රමයෙන් පසු ව ශාන්ත පීටර්ස්බර්ග් නුවර (එවකට ලෙනින්ග්‍රෑඩ්) පාසල් කිහිපයක් කටයුතු සංවිධානය කිරීම යි.

© Wikimedia Commons

රුසියානු සාහිත්‍යයේ එන ප්‍රකට සුරඟන කථාන්තරයක් මෙන් ම අලෙක්සාන්ද්‍ර ග්‍රීන්ගේ වඩාත් ජනප්‍රිය ම නිර්මාණය ලෙස සැලකෙන ‘ලෝහිත රුවල්’ හි පසුතලය වන්නේ කුඩා ධීවර ගම්මානයක්. තම ආදරණීය බිරිඳගේ මරණයෙන් පසු ව කලකට පෙර නැවියෙක් ලෙස කටයුතු කළ ලෝන්ග්‍රෙන්, ඔහුගේ දියණිය වන ඇසොල් ව තනි ව රැක බලා ගන්නේ දැවයෙන් කැටයම් කරන ලද සෙල්ලම් බෝට්ටු විකිණීමෙන් ලද සුළු ආදායමෙන්. කුඩා දැරියක් වන සිටින අවධියේ දී ඇසොල්ට මායාකරුවෙක් යැයි කියා ගන්නා ලද මහලු මිනිසෙකු හමු වන අතර යම් දිනෙක රතු රුවල් සහිත නෞකාවකින් පැමිණෙන කුමාරයෙකු ඇය ව රැගෙන යන බවට ඔහු පොරොන්දු වෙනවා. ගම් වැසියන් ඇය ව සමච්චලයට ලක් කළ ද ඇගේ විශ්වාසය වන්නේ මහලු මායාකාරයා පැවසූ දේ යම් දිනෙක සැබෑ වනු ඇති බව යි.

© Uladzia Burymskaja

කෘෘර වංශවතෙකුගේ පුතු වන ආතර් ග්‍රේ, පියාගේ විරෝධතාවන් මැද නැවියෙකු වීමේ අරමුණේ පළා යන අතර කෙටි කලෙකින් ම වාණිජ නෞකාවක කපිතාන්වරයෙකු වීමට ඔහුට හැකියාව ලැබෙනවා. එක් දිනක් ඔහුගේ නෞකාව, ඇසොල්ගේ ගම්මානයේ නැංගුරම් ලා තිබෙන අතරතුර දී අසල පිහිටි වනයේ ඇවිදීමට යන ඔහු නිදා සිටින සොඳුරු යුවතියක් දැක ඇය හා ප්‍රේමයෙන් බැඳෙන අතර කථාන්තරය අවසන් වන්නේ ගම් වැසියන්ගෙන් ඇසොල් සහ රතු රුවල් සහිත නෞකාවකින් පැමිණෙන කුමරු ගැන වන ඇගේ සිහිනය පිළිබඳ ව දැන ගන්නා ආතර් ග්‍රේ, එය සැබෑ කිරීමට ගන්නා තීරණයෙන්.

සිහින පසුපස හඹා යනු පිණිස

ලෝහිත රුවල් සැණකෙළියේ අරමුණ වන්නේ අලෙක්සාන්ද්‍ර ග්‍රීන්ගේ සුරඟන කථාන්තරයේ දී ඇසොල් සිදු කළ අයුරින් පාසල් සමය අවසන් කරන තරුණ තරුණියන්, ඔවුන්ගේ සිහින පසුපස හඹා ගොස් ඒවා සැබෑ කර ගැනීමට කටයුතු කිරීම ධෛර්යමත් කිරීම යි. මුල් ම වරට පාසල් අධ්‍යාපනය අවසන් කළ තරුණ තරුණියන් 25,000 කගේ සහභාගීත්වයෙන් පැවැත් වූ ‘ලෝහිත රුවල් සැණකෙළිය’ සෑම වර්ෂයක ම ජූනි මාසයේ දී පැවැත්වෙන ‘ශ්වේත රාත්‍රී උත්සවය’ අතරතුර දී පැවැත්වීම සාම්ප්‍රදායක් වී අවසන්. නමුත් 1979 වර්ෂයේ දී ‘ලෝහිත රුවල් සැණකෙළිය’ අත්හිටුවන ලද අතර යළිත් වරක් එය ආරම්භ කරන ලද්දේ 2005 වර්ෂයේ දී යි.

© Clay P

වර්තමානයේ දී ‘ලෝහිත රුවල් සැණකෙළිය’ ප්‍රධාන කොටස් ද්විත්වයකින් යුක්ත වෙනවා. එය ආරම්භ කරන්නේ  ලබන ඇරඹෙන්නේ ද්වොත්සෝවා චතුරස්‍රයේ පැවැත්වෙන දැවැන්ත විවිධප්‍රසංගයකින්. ඉන් පසු ව නේවා ගං ඉවුරේ දී විචිත්‍රවත් සංදර්ශනයක් ද පවත්වනු ලබනවා. ද්වොත්සෝවා චතුරස්‍රයේ පවත්වනු ලබන විවිධප්‍රසංගය සඳහා සහභාගී විය හැක්කේ පාසල් උපාධිධාරීන්ට පමණක් වුවත් අනෙක් නරඹන්නන් සඳහා ආසන්නයේ පිහිටි වැසිලිස්කි දූපතේ වේදිකාවක් ගොඩ නැංවීම සිදු කරනවා.

සාමාන්‍යයෙන් නේවා ගං ඉවුරේ පවත්වනු ලබන විචිත්‍රවත් ගිනිකෙළි සහ වතුර සංදර්ශනය ආරම්භ වන්නේ මැදියම් රැයෙන් පසු ව යි. එය මිනිත්තු 20 – 30 ක පමණ කාලයක් පැවැත්වෙනවා. මියුරු සංගීත නාදය මධ්‍යයේ එය පැවැත්වෙන්නේ ලෝහිත පැහැ රුවල් සහිත අලංකාර නෞකාවක් මැදි කරගෙන යි. 2009 වර්ෂයේ සිට දෙවැනි ලෝක සංග්‍රම සමයේ දී ගොඩ නංවන ලද ‘ට්‍රේ ක්‍රෝනර්’ නම් ස්වීඩන් නෞකාව යොදා ගන්නවා.

© Dmitry Solovei

සෑම වර්ෂයකදී ම ලෝහිත රුවල් සැණකෙළිය නැරඹීම සඳහා දෙස් විදෙස් සංචාරකයින් මිලියන 2 – 3 ක් පමණ ශාන්ත පීටර්ස්බර්ග් නුවරට රැස් වෙන බව යි සංඛ්‍යා දත්ත පෙන්නුම් කරන්නේ. 2018 වර්ෂයේ දී එය පැවැත්වීමට නියමිත ව ඇත්තේ ජූනි 23 වැනි දින යි. ඒ සඳහා ශාන්ත පීටර්ස්බර්ග් හි පාසල් සහ අනෙක් ද්විතීක අධ්‍යාපන ආයතන මගින් උපාධිය ලබා ගත් පාසල් උපධිධාරීන් 32,000 ක් පමණ සහභාගී වනු ඇති බවට සංවිධායකයින් විශ්වාසය පළ කරනවා.

කවරයේ පින්තූරය : © Evgeniy Chernobuk

Related Articles