කාලය සමග බුදු දහම තුළින් උපන් ගුරුකුල

ලෝකයේ අනෙක් ආගමික සාම්ප්‍රදායයන් මෙන් ම නොයෙක් ආකාරයේ වෙනස්කම් රැසකට මුහුණ දෙමින් කාලය සමග වර්ධනය වූ බුදු දහම තුළින් ගුරුකුල කිහිපයක් ම උපන් බව පැවසීමේ වරදක් නැහැ. එසේ ඇති වූ ගුරුකුල අධ්‍යයනය කිරීමේ දී හෙළිදරව් වන්නේ එවැනි ගුරුකුල ඇති වීම සඳහා පදනම සපයා ඇත්තේ මූලධර්ම අර්ථ නිරූපණයේ වෙනස්කම්, අභිධර්මය, විවිධ භාවනා ක්‍රමවේද, සහ දාර්ශනික මතවාදයන් වැනි බුද්ධ දර්ශනයේ හරය සමග සබඳතාවක් නොමැති බාහිර සාධක බව යි. වර්තමානයේ දී මහායාන, ථේරවාද, සෙන් බුදු දහම, සහ වජ්‍රයාන යන සිව් ගුරුකුලයන්ගෙන් බුදු දහම සමන්විත වෙනවා. එය පොදු රාමුවක් ලෙස භාවිතා කරමින් බුදු දහමේ ගුරුකුලයන් ඇති වූ ආකාරය අධ්‍යයනය කිරීම වඩාත් යෝග්‍ය බව යි විද්වත් මතය වන්නේ.

(© Wikimedia Commons) බුදු දහමේ ගුරුකුල බෙදී ගොස් ඇති අයුරු

බුද්ධ පරිනිර්වාණයෙන් පසු, සීසීකඩ විසිරුණු දර්ශනය

අදින් පන්විසි සියවසකට පමණ පෙර සිදු වූ බුදු රජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව, සීසීකඩ විසිරී ගිය බුද්ධ දර්ශනය, ගුරුකුලයන්ට බෙදී ගිය ආකාරය පිළිබඳ ව අධ්‍යයනය කිරීම සඳහා ඇති ප්‍රධාන බාධකය වන්නේ ඒ සම්බන්ධයෙන් පවතින ලිඛිත සාක්ෂ්‍ය, ශිලා ලේඛනය, සහ වෙනත් පුරාවිද්‍යාත්මක සාක්ෂ්‍ය අතිශය දුර්ලභ වීම යි. ක්‍රි. ව. 5 – 7 සියවසේ දී ඉන්දියාවට පැමිණි චීන ජාතික පැවිදි වන්දනාකරුවන්ගේ දිනපොත් සහ සටහන් හි බුදු දහමේ ගුරුකුල පිළිබඳ ව විස්තරාත්මක තොරතුරු ඇතුළත් වුව ද, ඒවා ගුරුකුල බිහි වීමෙන් සියවස් කිහිපයකට පසුව රැස් කරන ලද කරුණු හේතුවෙන් බුද්ධ දර්ශනය ගුරුකුලයන්ට බෙදී ගිය ආකාරය අධ්‍යයනය කිරීමේ දී ඒ මත පදනම් විය නොහැකි බව යි උගතුන් ප්‍රකාශ කරන්නේ.

(© Pinterest) බුද්ධ පරිනිර්වාණය

නමුත් බෞද්ධ ජන සාහිත්‍ය අධ්‍යයනය කිරීමේ දී පෙනී යන්නේ, බුදු රජාණන් වහන්සේ ජීවමාන ව වැඩ සිටි කාලයේ පවා භික්ෂූන් අතර බෙදීමක් පැවති බව යි. එසේ ම බුද්ධ පරිනිර්වාණයෙන් දින 7කට පසුව සුභද්‍ර නම් භික්ෂුව විසින් සංවේගයට පත් ව සිටි අනෙක් භික්ෂූන් අමතා සිදු කළායැ යි කියන අභද්‍ර ප්‍රකාශය වැනි ක්‍රියාවන් මඟින් ඇතැම් භික්ෂූන්, බුදු රජාණන් වහන්සේ විසින් පෙන්වා දෙන ලද මාර්ගය අනුගමනය කිරීමට එතරම් කැමැත්තක් නොදක්වන බව සහ මුල් කාලයේ සිට ම බුදු සසුන තුළ බෙදීමක් පැවති බව මැනවින් පෙනී යනවා. එයට අමතර ව ධර්මාශෝක අධිරාජ්‍යයා විසින් ආසියාව තුළ බුදු දහම ව්‍යාප්ත කිරීමෙන් පසුව, ඒ ඒ රාජ්‍යයන් හි සමාජ සහ සංස්කෘතික පසුබිම, භාෂාමය වෙනස්කම්, රාජ්‍ය අනුග්‍රාහය, සහ වෙනත් ආගමික බලපෑම් ආදිය මත බුදු දහම ගුරුකුලයන් ලෙස ඛණ්ඩනය වී නව සිරිත් විරිත් සහ සාම්ප්‍රදායයන් ඇතුළත් දර්ශනයන් ලෙස වර්ධනය වන්නට ඇත.

(© Gunawan Kartapranata) ආසියාව තුළ බුදු දහමේ ව්‍යප්තිය

මහායාන බුදු දහම

සංස්කෘතික බසින් ‘උතුම් රථය’ යන අර්ථය ගන්නා ‘මහායාන බුදු දහම’ ක්‍රි. ව. 100 දී පමණ උතුරු ඉන්දියාව සහ කාශ්මීරය ආශ්‍රිත ප්‍රදේශයෙන් බිහි ව මධ්‍යම ආසියාව, නැගෙනහිර ආසියාව, සහ ගිනිකොනදිග ආසියාවේ ඇතැම් ප්‍රදේශ කරා පැතිරෙන්නට ඇති බව විශ්වාස කරනවා. වර්තමානයේ දී මහායාන බුදු දහම අනුගමනය කරන රාජ්‍යයන් ලෙස චීනය, කොරියාව, සහ ජපානය හඳුනාගත හැකි යි. පුරාණ බෞද්ධ සාම්ප්‍රදායයන් සම්පූර්ණයෙන් ම ඉවත් කරන ලද ගුරුකුලයක් ලෙස සැලකෙන මහායාන බුදු දහමේ ඉගැන්වීම්වලට අනුව, එ් මඟින් බෝධිසත්ත්ව තත්ත්වය ළඟා කර ගත හැකි මාර්ගය පෙන්නුම් කරනවා. එසේ ම මහායාන බුදු දහමේ විශ්වාසය වන්නේ ගිහියෙකුට පවා සම්බෝධිය/ බුද්ධත්වය ළඟා කර ගැනීම එක් ආයු කාලයක් තුළ දී සිදුකළ හැකි බව යි.

(© Wikimedia Commons) මහායාන බුදු දහමේ දැක්වෙන බෝධිසත්ත්වයින්

හීනයාන බුදු දහම

මහායාන බුදු දහමෙන් බිඳී පැමිණි ‘හීනයාන බුදු දහම’ යන වදනේ සංස්කෘතික අර්ථය වන්නේ ‘කුදුතර රථය’ යන්න යි. මහායාන බුදු දහමේ අනුගාමිකයන් විසින් නිකායන්ට බෙදී ගිය ගුරුකුල හැඳින්වීම සඳහා එය භාවිතා කර තිබෙනවා. ඇතැම් විටෙක ‘ථේරවාද බුදු දහම’ හඳුන්වනු ලබන සමාන පදයක් ලෙස යොදා ගන්නා ලද එය භාවිතා කිරීම තහනම් කරන ලද්දේ 1950 දී ලෝක බෞද්ධ මිත්‍රත්වය විසින්. 7 වැනි සියවසේ දී ඉන්දියාවේ සංචාරය කළ යීජිං නම් චීන ජාතික භික්ෂුව විසින් මහායාන සහ හීනමාන යන ගුරුකුලයන් ද්විත්වය අතර වෙනස දක්වා ඇත්තේ පහත පරිදි යි.

“දෙපිරිස ම එක් විනයක් අනුගමනය කරන අතර, පස් පවින් වැළකී චතුරාර්ය සත්‍ය පුහුණු කරයි. බෝධිසත්ත්වයින්ට ගරු කරමින් මහායාන සූත්‍ර සජ්ඣායනය කරන්නෝ මහායානවාදීන් වන අතර, අන් සියලුම දෙනා හීනයානාදීන් වෙති.”

ථේරවාද බුදු දහම

(© Gerard Vonk) තායිලන්තයේ ථේරවාද භික්ෂූන්

මහායාන බුදු දහමේ වර්ධනය පෙර බිහි වූ ගුරුකුල අතරින් ඉතුරු වී ඇති එක ම ගුරුකුලය ලෙස සැලකෙන්නේ ‘ථේරවාද බුදු දහම’ යි. ශ්‍රී ලංකාව, මියන්මාරය, කාම්බෝජය, ලාඕස්, සහ තායිලන්තයේ ප්‍රබල වශයෙන් පැතිරී ඇති ථේරවාදී බුදු දහම, ක්‍රි. පූ. 3 වැනි සියවසේ දී පමණ ඇති වූ ‘ස්ථවිරවාද’ නම් ගුරුකුලයෙන් බිඳී පැමිණියක්. සහස්‍රයකට අධික කාලයක් තිස්සේ ‘ධර්මය’ ආරක්ෂා කිරීම සඳහා කටයුතු කළ ථේරවාද ගුරුකුලය, භික්ෂු විනය සහ ඉගැන්වීම් පිළිබඳ ව අතිශය ගතානුගතික පිළිවෙතක් අනුගමනය කරන බවට ප්‍රකට යි. ශ්‍රී ලංකාව තුළ ප්‍රබල ව පැවති ථේරවාද බුදු දහම, අනුරාධපුර යුගයේ දී මහා විහාරය, අභයගිරි විහාරය, සහ ජේතවනය ලෙස නිකායන් ත්‍රිත්වයකට බෙදී ගිය බව යි ඉතිහාසයේ සඳහන් වන්නේ.

වජ්‍රයාන බුදු දහම

ක්‍රි. ව. 900 දී පමණ ඉන්දියාවෙන් බිහි වූ ‘වජ්‍රයාන බුදු දහම’ පදනම් වී ඇත්තේ මහායාන බුදු දහමේ මූලධර්ම මත යි. අනෙක් ගුරුකුලයන්ට සාපේක්ෂ ව සංකීර්ණ චාරිත්‍ර අනුගමනය කරන වජ්‍රයාන බුදු දහමේ අනුගාමිකයන් විසින් යෝග අභ්‍යාස, මන්ත්‍ර, මණ්ඩල, සහ මුද්‍රා පුහුණු කිරීම සිදුකරනවා. වර්තමානයේ දී බහුල වශයෙන් වජ්‍රයාන බුදු දහම අනුගමනය කරන රාජ්‍යයන් ලෙස ටිබෙට් දේශය සහ නේපාලය හැඳින්විය හැකි යි.

(© Aika Yoro) මණ්ඩල නිර්මාණයේ යෙදී සිටින වජ්‍රයාන භික්ෂූන්

සෙන් බුදු දහම

7 වැනි සියවසේ දී පමණ ජපානය තුළ ප්‍රචලිත වූ ‘සෙන් බුදු දහම’ මඟින් සිදුවන්නේ භාවනා කිරීම මඟින් ධ්‍යාන උපදවාගෙන සම්බෝධිය/ බුද්ධත්වය ළඟා කර ගැනීම යි. සෙන් බුදු දහමේ දෙවැනි මූලිකයා ලෙස සැලකෙන්නේ මහා කාශ්‍යප රහත් තෙරුන් වන අතර, සෙන් බුදු දහමේ අනුගාමිකයන්ගේ විශ්වාසයට අනුව උන්වහන්සේ විසින් වදන් පැවසීමකින් තොර ව ධර්ම අවබෝධය ලබාගෙන තිබෙනවා. සෙන් බුදු දහමේ සිරිත් විරිත් සියල්ල ම පාහේ පදනම් වී ඇත්තේ එකී විශ්වාසය මත යි.

කවරයේ පින්තූරය: www.52dazhew.com

Related Articles