Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඕස්ට්‍රේලියානුවන් අදටත් මුසපත් කරවන “මින් මින්” ආලෝකය

ෂැනී ප්‍රසී, සිය සහකරු සමඟ එක්තරා දවසක ඕස්ට්‍රේලියාවේ මටරන්කා සිට ඊවා වැලී ප්‍රදේශයට ගමන් කරමින් සිටියා. තරමක් දීර්ඝ වූ මේ ගමන අතරතුර ඉතා අද්භූත සංසිද්ධියකට මුහුණ පාන්න ඔවුන්ට සිදු වුණා.

“අපි හිටියේ මටරන්කා සිට කිලෝමීටර් දහයක් හෝ පහළොවක් පමණ දුරින්. මගේ සහකරු එක විට ම අර එළිය පෙනෙනව ද? කියලා ඇහුවා.”

සිදුවීම මාධ්‍ය වෙත හෙළිදරව් කරමින් ෂැනී පවසා සිටියා.

“ඒක අපේ මෝටර් රථයේ එක පැත්තකින් දැල්වෙමින් සහ චලනය වෙමින් තිබුණා. හදිසියේ ම ඒක වාහනයේ අනෙක් පැත්තට මාරු වුණා!”

ප්‍රසී සහ ඇය ගේ සහකරු මෝටර් රථය ගසක් පිටුපස නවත්වා අබිරහස් ආලෝකය තවදුරටත් චලනය වන්නේදැ යි සොයා බැලුවා. එය තරුවක් විය හැකි බව ඔවුන් අනුමාන කළා. සිදුවීමේ ඇති අද්භූත බව නිසා ම  තරුවකට එහා ගිය තර්කානුකූල සම්බන්ධයක් ගැන ඔවුන්ට සිතා ගැනීමට නොහැකි වන්නට ඇති. නමුත්, එම ආලෝකය ගස පිටුපසින් එළියට පැමිණියා!

“ඒක අපේ මෝටර් රථය පිටුපස හඹා එන බවක් පෙනෙන්න තිබුණා. මීටර් සියයක් හෝ දෙසීයයක පරතරයකින් තමයි ආලෝකය අප පසුපස හඹා ආවේ.”

මෙය සත්‍ය “මින් මින්” ආලෝකයක් නොවෙයි. එහෙත්, ඇසින් දුටුවන් පවසන ආකාරයට “මින් මින්” ආලෝකය දිස් වන්නේ මේ ආකාරයෙන් – www.abc.net.au 

“මින් මින්” ආලෝකය

විස්මයජනක සංසිද්ධිය සම්බන්ධයෙන් ඔවුන්ට යම් අනුමානයක් තිබුණා. ෂැනී සහ ඇය ගේ සහකරු “මින් මින්” ලෙස හඳුන්වන අබිරහස් ආලෝකය දුටු බව විශ්වාස කළේ ඒ නිසා යි. ඔවුන් පමණක් නොව ඕස්ට්‍රේලියාවේ බොහෝ දෙනෙක් “මින් මින්” ආලෝකය දැක ඇති බව පැවසෙනවා. බොහෝ දුරට ඕස්ට්‍රේලියාවේ දුර බැහැර පාළු ස්ථානවල මෙම ආලෝකය දකින්නට ලැබුණත්, ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ “බුලියා” ප්‍රදේශය “මින් මින්” ආලෝකය සම්බන්ධයෙන් විශේෂ ප්‍රසිද්ධියක් උසුලනවා.  

“මින් මින්” ආලෝකයේ ස්වභාවය සැලකීමේ දී එය අපැහැදිලි තැටියක් හෝ දිළිසෙන පාපන්දුවක හැඩයක් ඇති ආලෝකයක් බව දුටුවන් පවසනවා. ඇතැමුන් “මින් මින්” ආලෝකය කොමඩු ගෙඩියක ප්‍රමාණයටත් සමාන කර තිබෙනවා. විටෙක ඉතා දීප්තිමත් ව සහ විටෙක අඳුරු ස්වභාවයකින් දර්ශනය වන මෙම ආලෝකය, බොහෝ විට සුදු පැහැයක් ගන්නා බව යි වාර්තා වන්නේ. එහෙත්, කලාතුරකින් කොළ, රතු, තැඹිලි හෝ නිල් වර්ණයෙන් ද ආලෝකය දර්ශනය විය හැකි යි.

“මින් මින්” තානායමේ නටඹුන් ආරක්ෂා කර ඇති අයුරු – www.exploroz.com 

පොළොවේ සිට අඩි තුනක් වැනි කුඩා උසකින් දර්ශනය වන බැවින්, ඉදිරියෙන් එන වාහනයක ආලෝකයක් ලෙස බොහෝ දෙනා “මින් මින්” සංසිද්ධිය වරදවා වටහා ගන්නවා. විටෙක මෙම අද්භූත ආලෝකය නිශ්චල ව පවතින අතර, විටෙක වේගයෙන් චලනය වෙමින් ගමන් කරනවා. එබැවින්, “මින් මින්” සංසිද්ධියට මුහුණ දුන් බොහෝ දෙනා බියපත් වීම සාමාන්‍ය දෙයක්. මෝටර් රථ පසුපස පමණක් නොව, අශ්වයන් පිට සහ පා ගමනින් යන මිනිසුන් පසුපස ද “මින් මින්” ආලෝකය හඹා ඇවිත් තිබෙනවා.

අබිරහස් අතුරුදහන් වීම්

ඕස්ට්‍රේලියානුවන් “මින් මින්” ආලෝකය සමඟ ජීවත් වන්නේ දශක ගණනාවක සිට යි. වර්ෂ 1838 දී යුරෝපීයයන් “මින් මින්” ආලෝකය සම්බන්ධයෙන් ප්‍රථම වරට සඳහනක් කර ඇති අතර, ඕස්ට්‍රේලියාවේ වෙසෙන ආදිවාසීන් ගේ විශ්වාස සමඟත් “මින් මින්” සංසිද්ධිය සම්බන්ධ වෙනවා. කෙසේ නමුත්, ඕස්ට්‍රේලියානුවන් මුසපත් කරන මේ අබිරහස් ආලෝකයේ සම්භවය ගැන තවමත් නිශ්චිත තොරතුරක් නැහැ. විටෙක එය ආදිවාසීන් ගේ විශ්වාස හා සම්බන්ධ වන අතර, තවත් විටෙක තානායමක් ආශ්‍රිත ව සිදු වූ ඛේදනීය සිදුවීම් දාමයක් සමඟත් සම්බන්ධ වෙනවා. 

බූලියා ජනාවාසය “මින් මින්” ආලෝකය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන අතර, එය සංචාරක ආකර්ෂණයටත් හේතු වී තිබෙනවා – www.abc.net.au 

ජනප්‍රවාදවලට අනුව “මින් මින්” ආලෝකය ලුහුබැඳ ගිය කිසිවෙක් නැවත පැමිණෙන්නේ නැහැ. ඕස්ට්‍රේලියාව තුළ සිදු වූ පැහැදිලි කළ නොහැකි මිනිස් අතුරුදහන් වීම් ගණනාවක වරදකරු “මින් මින්” ආලෝකය බව ජනප්‍රවාදවලින් කියවෙනවා. විශ්වාසයට අනුව අදාළ ආලෝකයට මිනිසුන් හඹා ඒමට ඉඩ දෙනවා හැර මිනිසුන් එය පසුපස නොයා යුතු යි. ඇතැම් විට “මින් මින්” ආලෝකය දර්ශනය වන කලාපයේ ස්වභාවය මීට හේතුව විය හැකි යි. අද්භූත සංසිද්ධිය පාළු කාන්තාර හෝ වනගත ප්‍රදේශවල වැඩි වශයෙන් දර්ශනය වන අතර, කුතුහලයට පත් වූ මිනිසුන් ආලෝකය හඹා ගිය විට කාන්තාරයේ අතරමං වී හෝ වන සතුන් ගේ ප්‍රහාරයට ලක් වීමෙන් මිය යෑමේ හැකියාවක් තිබෙනවා. අවසානයේ දී එය නොවිසඳුණු මිනිස් අතුරුදහන් වීමක් ලෙස අතීතයට එක් විය හැකි යි. 

ආදිවාසීන් ගේ විශ්වාසය

ඕස්ට්‍රේලියානු ආදිවාසීන් ගේ මිත්‍යා විශ්වාසවල අබිරහස් ආලෝකය ගැන බොහෝ කථා සොයා ගත හැකි අතර, ඒවායේ විවිධත්වයක් ද තිබෙනවා. උදාහරණයක් ලෙස මධ්‍යම ඕස්ට්‍රේලියාවේ වෙසෙන “අරන්ට්” ආදිවාසී ජනයා “උදා තරුව” සහ “පහන් තරුව” මන්දාකිණියේ වෙසෙන මවකට සහ පියකුට සමාන කරනවා. ඔවුන් ගේ දරුවා මන්දාකිණියේ සිට මහ පොළොවට ඇද වැටී ඇති බැවින්, දරුවා ගේ මව දීප්තිමත් ආලෝකයක ස්වභාවයෙන් පෘථිවියට පැමිණ දරුවා සොයන බව ඔවුන් විශ්වාස කරනවා.

“A” සළකුණින් දැක්වෙන්නේ බුලියා ජනාවාසයේ පිහිටීම යි. “මින් මින්” තානායම, බුලියා සහ වින්ටන් අතර පිහිටා තිබුණු බව පැවසෙනවා – exemplore.com 

තවත් විශ්වාසයකට අනුව මෙවැනි අද්භූත ආලෝක යුරෝපීයයන් පැමිණීමට පෙර පටන් පැවතුණත්, ඒවා දර්ශනය වූ වාර ගණන අඩු බව පැවසෙනවා. යුරෝපීයයන් ඕස්ට්‍රේලියාවට පැමිණ ජනාවාසීකරණය ඇරඹූ පසු ස්වදේශික ජනයා සමඟ ගැටුම් ඇති කර ගත් අතර, ආදිවාසීන් බොහෝමයක් මරු දුටුවා. ඉන්පසු ඕස්ට්‍රේලියාව පුරා අද්භූත ආලෝක පෙනෙන වාර ගණන වැඩි වූ බව ආදිවාසීන් විශ්වාස කරනවා. ඒවා කිසිවිටෙක විවේක නොගන්නා පළිගැනීමේ ආත්ම බවත්, යුරෝපීයයන් අතින් සිදු වූ මිනීමැරුම්වලට යුක්තිය සොයා ඔවුන් ඕස්ට්‍රේලියාව පුරා සැරිසරන බවත්, ඇතැම් ආදිවාසී ජන කණ්ඩායම් පවසනවා.

 වරින් වර ඕස්ට්‍රේලියානුවන් ප්‍රශ්නාර්ථයක ගිල්වන මේ අබිරහස් ආලෝකයට “මින් මින්” යන නාමය ලැබුණේ ඉන් බොහෝ කලකට පසු යි. ඊට හේතු වූ සිද්ධීන් සමුදාය නූතන පුරාවෘත්තයක් හෝ “අ(ර්)බන් ලෙජන්ඩ්” එකක් ලෙස සැලකුවත් වරදක් නැහැ.

“මින් මින්” තානායම

 1947 ජනවාරි 25 වැනිදා “Sydney Morning Herald” පුවත්පත සිත් ඇදගන්නාසුලු ලිපියක් පළ කළා. ලිපිය පාදක වී තිබුණේ “මින් මින්” ලෙස හඳුන්වන තානායමේ ඉතිහාසය පිළිබඳව යි. විසිවන සියවසේ ආරම්භක අවධියේ පැවතුණායැ යි සඳහන් මෙම තානායම පිහිටා තිබුණේ බූලියා සහ වින්ටන් යන ජනාවාස දෙකට මැදි ව යි. එකල “මින් මින්” තානායම, ප්‍රදේශයේ කම්කරුවන්ට මත්ද්‍රව්‍ය සහ මත්පැන් විකිණීම සම්බන්ධයෙන් කුප්‍රකට වූ ස්ථානයක්. ඇතැම් පුරුෂයන් තානායමේ නැවතී සිටි අතර, ඇතැමුන් ස්වල්ප කාලයකට විඩා නිවා ගන්නා ස්ථානයක් ලෙසත් මෙම තානායම භාවිත කළා.

“මින් මින්” තානායම ප්‍රතිනිර්මාණය කිරීමට දැරූ උත්සාහයක් – exemplore.com 

දූෂිත මත්පැන් හෝ මත්ද්‍රව්‍ය නිසා තානායමෙන් සේවය ලබා ගත් බොහෝ දෙනෙක් මිය ගිය අතර, විටින් විට හට ගන්නා දරුණු ගැටුම් සහ කොල්ලකෑම් හේතුවෙන් ද තානායමේ මිනිසුන් මරණයට පත් වුණා. නමුත්, කිසිදු මරණයක් ප්‍රසිද්ධියට පත් වුණේ නැහැ. ඉතා කර්කශ සහ ජන ශූන්‍ය පෙදෙසක තානායම පිහිටා තිබූ නිසා මරණයට පත් පුද්ගලයන් ගේ සිරුරු තානායම පිටුපස තිබූ සොහොන් බිමක තැන්පත් කෙරුණා.

අශ්වාරෝහකයා ගේ පැමිණිල්ල

1900 ගණන්වල මුල් භාගයේ දී (ඇතැම් වාර්තාවල සඳහන් වන්නේ 1918 ලෙස යි.) “මින් මින්” තානායම ගින්නකින් දැවී ගිය අතර, ඉතිරි වූයේ සොහොන් බිම පමණ යි. තානායම ගින්නෙන් විනාශ වී ටික වේලාවකට  පසු අශ්වාරෝහකයෙක් ඒ අසලින් ගමන් කළ අතර, සුප්‍රකට අද්භූත ආලෝකය ඔහුට දකින්නට ලැබුණා. පසුව අශ්වාරෝහකයා පොලිස් ස්ථානයකට පැමිණ පහත ආකාරයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

 “සුසාන භූමිය මැද අමුතු ම ආකාරයේ දිළිසුමක් මා දැක්කා. මම පුදුමයෙන් ඒ දිහා බලාගෙන හිටියා. කොමඩු ගෙඩියක ප්‍රමාණය දක්වා ම ඒ දීප්තිය විශාල වුණා. පොළවට උඩින් ඒ ආලෝකය ගැවසෙන්න ගත්තම මට ඇස් අදහා ගන්න බැරි වුණා. පස්සේ ඒක මගේ පැත්තට එනකොට බය නිසා ම මට දහඩිය දැම්මා.”

“මින් මින්” තානායම විනාශ වූ පසු ඒ අසලින් ගමන් කළ අශ්වාරෝහකයෙක් “මින් මින්” ආලෝකය දැක තිබුණා – www.youtube.com 

ආලෝකයෙන් පැන යාමට උත්සහ කළ නමුත්, නගර සීමාව තෙක් අද්භූත ආලෝකය තමා පසුපස පැමිණි බව අශ්වාරෝහකයා පොලිසියට පවසා තිබුණා. එහෙත්, සේවයේ නියුතු සැරයන්වරයා මෙම කතාව විශ්වාස කළේ නැහැ. එතැන් පටන් බූලියා ප්‍රදේශයේ බොහෝමයක් මේ සංසිද්ධිය දැක තිබෙනවා. ඇතැමුන් තානායම පිටුපස වළ දැමූ මිනිසුන් ගේ ආත්ම සමඟ අද්භූත ආලෝකය සම්බන්ධ කිරීමටත් උත්සහ කළා. අද්භූත ආලෝකයට “මින් මින්” නාමය පට බැඳුණේ මේ සිදුවීම් දාමයෙන් පසුව යි.

අද බූලියා ජනාවාසය සහ “මින් මින්” තානායම තිබුණායැ යි විශ්වාස කරන ප්‍රදේශය සංචාරක ආකර්ෂණය දිනා තිබෙනවා. ඇතැමුන් බූලියා ප්‍රදේශයට පැමිණෙන්නේ “මින් මින්” ආලෝකය දැකීමේ අටියෙන්.

පෙටිගෘව් ගේ උත්සාහය

ඕනෑම ගුප්ත සංසිද්ධියකට යතාර්ථවාදී පැහැදිලි කිරීමක් ලබා දීමට මිනිසුන් උත්සහ කරනවා. බොහෝ දුරට ඒ යතාර්ථවාදී පැහැදිලි කිරීම පැමිණෙන්නේ විද්‍යාවෙන්. ක්වීන්ස්ලන්ත විශ්වවිද්‍යාලයේ කායික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් ලෙස සේවය කළ ජැක් පෙටිගෘව්, “මින් මින්” ආලෝකය සම්බන්ධයෙන් සාධනීය විද්‍යාත්මක පැහැදිලි කිරීමක් ලබා දීමට උත්සහ කළ විද්වතෙක්. ඔහුත් “මින් මින්” ආලෝකය දැක තිබුණා. පෙටිගෘව් එය මුලින් ම දැක තිබුණේ සැලකිය යුතු දුරක සිට යි. ඒ නිසා තමා දුටු ආලෝකය සිකුරු ග්‍රහයාගේ දීප්තිය බව ඔහු උපකල්පනය කළා. අනෙකුත් ආකාශ වස්තුවලට සාපේක්ෂව දීප්තියෙන් වැඩි තරුවක් ආකාරයෙන් සිකුරු දර්ශනය වන නිසා එම උපකල්පනය සාධාරණයැ යි සිතුණත්, නොබෝ වේලාවකින් තමා නිවැරදි නොවන බව පෙටිගෘව්ට වැටහුණා. අනෙකුත් තාරකා මෙන් පෘථිවියේ භ්‍රමණය සමඟ ආලෝකයේ පිහිටුම වෙනස් නොවීම ඊට හේතුව යි.

 ටික කලකට පසු නැවත වතාවක් “මින් මින්” ආලෝකය දැක බලා ගැනීමට අවස්ථාවක් ඔහුට උදා වුණා. පෙටිගෘව් ඒ අවස්ථාවේ දී සගයන් කිහිප දෙනෙක් සමඟ සිය මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියා. ඔවුන් මුලින් සිතුවේ විදුලි පහන් හේතුවෙන් මීටර් 50 ක් පමණ එපිටින් සිටි බළලකු ගේ දෑස් දිදුළන බව යි. රථය නැවැත්වූ විටත් ආලෝකය ඒ අයුරින් ම දර්ශනය වූ නිසා ඔවුන් සතු උපකරණයකින් ආලෝක‍ය යම් විශ්ලේෂණයකට යටත් කර ගැනීමට උත්සහ කළා. එම ආලෝකය ඇත්තේ කිලෝ මීටර් 300 ක් පමණ ඈතින් බව හෙළි වූ විට අබිරහස තවත් ගැඹුරු වුණා.

මහාචාර්යවරයා පසුකලෙක “මින් මින්” ආලෝකය සම්බන්ධයෙන් පර්යේෂණයක් සිදු කළා. ඔහු ගේ උත්සාහය වූයේ කෘත්‍රිම අන්දමින් “මින් මින්” ආලෝකය නිර්මාණය කිරීම යි. යහපත් කාලගුණික තත්ත්වයක් සහිත රාත්‍රියක් තෝරා ගත් පෙටිගෘව්, නිරීක්ෂණකයන් හය දෙනෙක් ඉතා ඈතින් තබා කිලෝමීටර් දහයක පමණ දුරක් සිය වාහනය ධාවනය කළා. නීරික්ෂකයන්ට පෙටිගෘව්ගේ වාහනය දර්ශනය නොවුණත්, වාහනයේ ඉදිරි ලාම්පුවල ආලෝකය ක්ෂිතිජ‍යට ඉහළින් පාවෙනවාක් මෙන් දර්ශනය වුණා.

 “මින් මින්” ආලෝකය, එක්තරා අන්දමක දෘශ්‍ය මායාවක් බව මහාචාර්යවරයා නිගමනය කළ අතර, 2003 දී පර්යේෂණ පත්‍රිකාවක් පවා නිකුත් කළා. එම පර්යේෂණ පත්‍රිකාව ඔහු නම් කළේ “The Min Min light and the Fata Morgana: An optical account of a mysterious Australian phenomenon” යනුවෙන්.   

ෆාටා මො(ර්)ගානා සංසිද්ධියට හසු වූ නෞකාවක් – www.theguardian.com

ෆාටා මො(ර්)ගානා

මහාචාර්ය පෙටිගෘව් ගේ උපකල්පනයට අනුව “මින් මින්” ආලෝකය යනු විශේෂ අන්දමේ මිරිඟුවක්. “ෆාටා මො(ර්)ගානා” ලෙස හඳුන්වන මෙම මිරිඟු ආකාරය, උණුසුම් වායු ස්ථරයකට යටින් ඝන, ශීතල වායු ස්ථරයක් සිර වූ විට හට ගන්නක්. ඝනත්ව වෙනසක් ඇති මෙම ස්ථර දෙක හරහා ආලෝකය ගමන් කරන විට ආලෝකය නැමීම හෝ වර්තනය වීමක් සිදු වෙනවා. වර්තනය වූ ආලෝකය දෘශ්‍ය මායාවක් ලෙස දර්ශනය වන බැවින්, බොහෝ මිනිසුන් සිය මිත්‍යා මත ඊට ආරෝපණය කරමින් බිය වන බව පෙටිගෘව් ගේ විශ්වාසය යි.

 “ෆාටා මො(ර්)ගානා” සංසිද්ධියේ දී හට ගන්නා දෘෂ්‍ය මායාව ක්ෂිතිජයේ පාවෙනවාක් මෙන් දිස් වන නිසා නිරීක්ෂකයා තුළ ඉතා ගුප්ත හැඟීමක් ජනිත වීමට පුළුවන්. “මින් මින්” ආලෝකය වැඩිපුර දකින්නට ලැබෙන ප්‍රදේශවල දේශගුණික තත්ත්වය සැලකීමේ දී “ෆාටා මො(ර්)ගානා” සංසිද්ධිය සිදුවීමේ වැඩි ඉඩකඩක් පවතිනවා. බොහෝ විට මෙම ප්‍රදේශ කාන්තාර ලක්ෂණ දරණ අතර, දවස පුරා විශාල පරතරයකින් උෂ්ණත්වය වෙනස් වීම ද සිදු වෙනවා.

ෆාටා මො(ර්)ගානා සංසිද්ධියට සිදුවන හැටි. කාන්තාරයකටත් මෙම සිද්ධාන්තය ආදේශ කළ හැකි යි – www.thesun.co.uk 

 කෙසේ නමුත්, “මින් මින්” ආලෝකය දුටු මිනිසුන් ගේ අත්දැකීම් සලකා බලන විට පෙටිගෘව් පවසන තරම් ස්වභාවික සංසිද්ධියක් ලෙස එය පෙනෙන්නේ නැහැ. සත්‍ය අසත්‍ය කුමක් වුවත්, ඕස්ට්‍රේලියාවට ආවේණික වූ අද්භූත සංසිද්ධියක් ලෙස “මින් මින්” ආලෝකය දිගට ම පවතීවි.

කවරයේ ඡායාරූපය: සත්‍ය අසත්‍ය කුමක් වුවත්, ඕස්ට්‍රේලියාවට ආවේණික වූ අද්භූත සංසිද්ධියක් "මින් මින්" ආලෝකය දිගට ම පවතීවි -www.youtube.com

මූලාශ්‍ර:

www.historicmysteries.com

www.ntnews.com.au

Related Articles