Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගීසා හි මහා පීරමීඩය තුළ රහසිගත කුටියක්?

ඊජිප්තුවේ ගීසා නගර මායිමේ පිහිටා ඇති පිරමීඩ ත්‍රිත්වයෙන් පැරණි ම සහ විශාලත ම පිරමීඩය හඳුන්වනු ලබන්නේ ගීසා හි මහා පිරමීඩය ලෙස යි. ක්‍රිස්තු පූර්ව 2580 – 2560 අතර කාලය තුළ කූෆු නම් පාරාවෝ රජුගේ සොහොන් කොත ලෙස ඉදි කරන ලද මෙය පැරණි ලෝක පුදුමයන් හත අතරින් විනාශ නොවී පවතින එක ම ඉදි කිරීම වශයෙන් සැලකෙනවා.

ලොවක් පුදුමයට පත් කළ මේ පිරමීඩයන් ගැන පවතින පිළිතුරු නොලද අභිරහස් ගොන්නට අලුතෙන් ම අභිරහසක් එක් වුණේ ගෙවී ගිය වසරේ අග භාගයේදි යි. අන්තර්ජාතික පර්යේෂකයන් පිරිසක් අන්තරීක්ෂ (කොස්මික්) කිරණයන්ට පින් සිදු වන්නට ගීසා හි මහා පිරමීඩය තුළ පවතින විශාල රික්තයක් අනාවරණය කර ගැනීමට සමත් වී තිබෙනවා. එය සත්‍ය වශයෙන්ම පවතිනවා නම් එහි කාර්යය, මුද්‍රා තබා වසන ලද ඉදිකිරීම් මාර්ගයක සිට රහසිගත කුටියක් දක්වා වන ඕනෑම දෙයක් විය හැකි බව යි පුරාවිද්‍යාඥයින්ගේ මතය වන්නේ.

(© Steve Welling) ගීසා හි පිරමීඩ ත්‍රිත්වය

ගීසා හි මහා පිරමීඩය තුළ ඇති අභිරහස් රික්තය ගැන මුලින් ම තොරතුරු හෙළිදරව් කළේ නොවැම්බර් 2 වැනි දින ‘Nature’ ජ’නලයේ පර්යේෂකයන් පිරිසක් පළ කර ලිපියක් හරහා යි. එහි සඳහන් වූ ආකාරයට පර්යේෂණ කණ්ඩායම පිරමීඩය තුළ පැවති ම්‍යුඔන් (muon) නම් අන්තරීක්ෂ කිරණ තුළ අන්තර්ගත වන ඉලෙක්ට්‍රෝනයන්ට තරමක් සමාන අස්ථායී පරමාණුක අංශුවල චලනයන් නිරීක්ෂණය කරමින් සිටින අතරතුර දී ගීසා හි මහා පිරමීඩයේ ප්‍රධාන මැදිරියට ඉහළින් පිහිටා ඇති අඩි 98 (මීටර් 30) ක පමණ දිගකින් යුතු හිස් අවකාශයක් නිරීක්ෂණය කර තිබෙනවා. 19 වැනි සියවසෙන් පසු ව මේ දක්වා ම පිරමීඩය තුළ අලුත් කාමරයක් හෝ ගමන් මාර්ගයක් හෝ ඇති බවට තහවුරු කිරීමක් සිදු කර නැහැ.

‘ScanPyramids’ ලෙස නම් කර ඇති අදාළ මෙහෙයුමේ නියමුවා ලෙස සැලකෙන Heritage Innovation Preservation සංගමයේ සභාපති මෙඩී ටයිබේ පැහැදිලි ලෙස ම ප්‍රකාශ කර සිටින්නේ ගීසා හි මහා පිරමීඩය තුළ රික්තයක් පවතින බව යි. කෙසේ වුව ද මෙම ප්‍රකාශය ඊජිප්තු විද්‍යාව පිළිබඳ ව උනන්දුවක් දක්වන්නන් අතර යම් මතභේදයකට තුඩු දී තිබෙනවා.

© Nature

ඊජිප්තු විද්‍යාව පිළිබඳ පුරාවිද්‍යාඥයෙක් මෙන් ම ඊජිප්තුවේ හිටපු පුරාවස්තු පිළිබඳ අමාත්‍ය සාහී හවාස් ප්‍රකාශ කරන්නේ “ඔවුන් පිරමීඩය තුළ රික්තයක් සොයා ගන්නට ඇති. නමුත් එයින් කිසිවක් තහවුරු වන්නේ නැහැ. බොහෝ වෙලාවට ඉදි කිරීම් කටයුතුවල ප්‍රතිඵලයක් ලෙස පිරමීඩ තුළ රික්ත දකින්නට ලැබෙනවා” ලෙස යි.

පීරමීඩය තුළ හිස් අවකාශයක්

කලින් සඳහන් කළ පරිදි පර්යේෂකයන් කණ්ඩායම ගීසා හි මහා පිරමීඩය තුළ ඇති රික්තය අනාවරණය කරගෙන ඇත්තේ ම්‍යුඔන් අංශු උපයෝගී කරගෙන යි. ම්‍යුඔන් අංශුවලට පාෂණ හරහා ගමන් කළ හැකි නමුත් එවැනි දැඩි වස්තුවක් හරහා ගමන් කිරීමේ දී ම්‍යුඔන් අංශු සතු ශක්තිය අඩු වී ගොස් ක්‍රමයෙන් ක්ෂය වී යනවා. ඒ අනුව වස්තුවක් තුළින් එක් දිශාවකට ගමන් කරන ම්‍යුඔන් අංශු ප්‍රමාණයේ අඩු වීම මත අදාළ වස්තුවේ ඝනත්වය ගණනය කළ හැකි යි. යම් හෙයකින් අදාළ වස්තුව තුළ රික්තයක් පවතිනවා නම් බලාපොරොත්තු වන ප්‍රමාණයට වඩා ඉහළ ම්‍යුඔන් අංශු ප්‍රමාණයක් පාෂාණය විනිවිද ගොස් පිටතට පැමිණීම සිදු වෙනවා.

ගීසා හි මහා පිරමීඩය තුළ පවතින රික්තය අනාවරණය කර ගැනීම සඳහා පර්යේෂකයන් ක්‍රමවේද ත්‍රිත්වයක් භාවිතා කර ඇති අතර සෑම විටෙක ම සමාන ප්‍රතිඵලයක් ලද බව යි මෙඩී ටයිබේ වාර්තාකරුවන්ට ප්‍රකාශ කර තිබුණේ. ඒ අනුව දැනට පිරමීඩය තුළ විශාල රික්තයක් පවතින බව තහවුරු වී තිබෙනවා.

ඉදි කිරීම් පිළිබඳ මතභේදයක්

ගීසා හි මහා පිරමීඩය තුළ රජුගේ කුටිය, රැජිනගේ කුටිය සහ අන්තර්භෞම (පොළොව යට පිහිටි) කුටිය ලෙස මැදිරි ත්‍රිත්වයක් පවතිනවා. ඒ සියල්ල එකිනෙකට සම්බන්ධ වී පවතින්නේ බරාඳ කිහිපයක් මගින්. එයින් විශාලත ම බරාඳය, ‘ප්‍රධාන මැදිරිය’ ලෙස හැඳින්වෙන අතර එහි පළල අඩි 3 කට මදක් වැඩි යි. එය අඩි 28 ක උසකින් සහ අඩි 153 ක දිගකින් යුතු වෙනවා.

© ScanPyramids

අලුතෙන් සොයා ගන්නා ලද රික්තය ප්‍රධාන මැදිරියට ඉහළින් පිහිටා ඇති බව පෙනී ගිය ද එහි නිශ්චිත පිහිටීම හෙළිදරව් කර ගැනීම සඳහා පර්යේෂණ කණ්ඩායම තවමත් සමත් වී නැහැ. එසේ ම එහි දිශානතිය හෝ හැඩය ගැන ද නිසි තොරතුරු ලැබී නැති බව යි වාර්තා වන්නේ.

ඊජිප්තු විද්‍යාව පිළිබඳ පුරාවිද්‍යාඥවරියක් වන මොනිකා හැනා ප්‍රකාශ කරන්නේ සොයා ගන්නා ලද රික්තය, තවත් රහසිගත කුටියක් හෝ මැදිරියක් විය හැකි වනවා සේ ම එය මුද්‍රා තබන ලද ගෘහනිර්මාණ ශිල්පීය වරදක් ද විය හැකි බව යි.

නමුත් ඊජිප්තුවේ හිටපු පුරාවස්තු පිළිබඳ අමාත්‍ය සාහී හවාස්ගේ මතය සම්පූර්ණයෙන් ම සෘණාත්මකයි. පිරමීඩ ගොඩ නැංවීම සඳහා විවිධ හැඩයන්ගෙන් සහ ප්‍රමාණයන්ගෙන් යුතු පාෂාණ යොදාගෙන ඇති නිසා ඒවා අතර පවතින කුඩා ඉඩකඩ ද රික්තයක් ලෙස පෙනී යා හැකි බව ඔහු පවසනවා.

නමුත් මෙඩී ටයිබේ තර්ක කරන්නේ සොයා ගන්නා ලද රික්තය, විෂම ඉදි කිරීමක ප්‍රතිඵලයක් විය නොහැකි බව යි. නමුත් අදාළ රික්තය රහසිගත කුටියක් ද නැද්ද යන්න සොයා ගැනීම සඳහා තවත් බොහෝ කාලයක් ගත විය හැකි බව ඔහු ප්‍රකාශ කරනවා. එයට හේතුව අදාළ රික්තයට ළඟා වීම සඳහා කිසිම ආකාරයක ප්‍රවේශ මාර්ගයක් නොමැති වීම යි.

(© ScanPyramids)
ම්‍යුඔන් අනාවරක යොදාගෙන පර්යේෂණ කටයුතු සිදු කරන අයුරු

ඒ අනුව පර්යේෂකයන්ට ඉතිරි ව ඇති එක ම විසඳුම වන්නේ ම්‍යුඔන් අංශුවල හැසිරීම නිරීක්ෂණය කිරීම සඳහා හැකිතාක් ම්‍යුඔන් අනාවරක (muon detectors) යොදා ගැනීම පමණ යි. ඒ නිසා ගීසා හි මහා පිරමීඩය තුළ ඇති විශාල රික්තය රහසිගත කුටියක් ද නැද්ද යන්න සොයා ගැනීම සඳහා තවත් සැලකිය යුතු කාලයක් ගත වන බවට කනගාටුවෙන් වුණත් පැවසිය යුතු යි.

කවරයේ පින්තූරය : ©Pinterest

Related Articles