ඓහික ව්‍යවස්ථාව ගැන ඔබේ අදහස කුමක්ද?

මෙම වසර මුල දී ශ්‍රී ලංකා රජය නව ව්‍යවස්ථා සංශෝධනයන් සඳහා ජනතාවට සිය අදහස් සහ යෝජනා ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටියා. එහි සැබෑ අරමුණ ගැන විවිධ මත පළ වුවත් ජනතාවගේ මතයට අවධානය යොමුකිරීම ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක්. මෙම යෝජනා අතර වර්තමාන ජනාධිපතිවරයාගේ ඡන්ද පොරොන්දුවක් වූ විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමේ යෝජනාව ද වඩා ඵලදායක මැතිවරණ ක්‍රමයක් කරා යෑමට කල යෝජනාව ද ඔබට මතක ඇති. ඒත් මේ සියල්ල අතර සැඟවී ගිය ඊට වඩා විවාදාපන්න යෝජනාවකුත් තිබුණා. එම යෝජනාවට අනුව ශ්‍රී ලංකාව ඓහික ව්‍යවස්ථාවක් කරා යා යුතු ද ? හෙවත් ලංකාවේ නිරාගමික රාජ්‍යය ක්‍රමයක් ඇති කල යුතු ද ?

ලංකාව බුදු දහමට මුල් තැන ලබා දෙන රාජ්‍යයක් ලෙස මෙම යෝජනාව තදින් ම මතගැටුම්වලට තුඩු දෙන එකක් බව අමුතුවෙන් කියන්න ඕනෙ නෑ. ඒ කොහොම වෙතත් එක්තරා කතෝලික ආගමික කණ්ඩායමක් ඓහික ශ්‍රී ලංකාවක් සඳහා සිය යෝජනා ඉදිරිපත් කරනු ලැබුවා. ඊට අනුව ශ්‍රී ලංකා ව්‍යවස්ථාව බෞද්ධ රාජ්‍යය පිළිබඳ සංකල්පය ඉවත දමා සියලු දෙනාගේ ම සංස්කෘතිය සහ ආගමික අගයන්ට සමව සැලකිය යුතුයි. කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් පියතුමා වරක ප්‍රකාශ කල පරිදි ‘අපි බුදු දහමට හිමි තැන ලබා දිය යුතු යි’ යන්න වෙනුවට මොවුන්ගේ විකල්ප අදහස ඓහික ශ්‍රි ලංකාවක් ආගම් අතර සුහදතාවය වර්ධනය කොට ජනතාවට සිය ආගම් වෙත වඩ වඩා බැතිමත් වීමට මං පාදන බවයි.

ඓහික රාජ්‍යයක් යනු කුමක් ද ?

ඓහිකත්වය එනම් වඩා ජනප්‍රිය වචනයෙන් කියනවානම් නිරාගමික ආණ්ඩුක්‍රමයක් සහිත රාජ්‍යයක රාජ්‍ය ක්‍රමය ආගමික මතවාදයන්ගෙන් ස්වාධීන ව පවතියි. එවන් රාජ්‍යයක් ආගම සම්බන්ධයෙන් පූර්ණ වශයෙන් මධ්‍යස්ථ සහ සාධාරණ ප්‍රතිපත්තියක් අනුගමනය කරයි, සියළු රටවැසියන් සමව සලකා කටයුතු කරන අතර රාජ්‍ය ආගම යන සංකල්පය බැහැර කරයි. ඒ අනුව රාජ්‍යය යාන්ත්‍රණය විසින් ගන්නා තීරණ සහ එහි දැක්ම සම්පූර්ණයෙන් ම ආගම්වල බලපෑමෙන් නිදහස් වෙයි.

ඓහික ප්‍රජාතන්ත්‍රවාදය විවිධාකාර ආගමික මතවාද සහ ඒවායේ ඉල්ලීම්වලට ඉඩක් නොතබා මානව අයිතිවාසිකම් සුරැකීම යන පොදු ස්ථාවරයේ සිය කටයුතු කරයි. ඓහික ව්‍යවස්ථාවක් කරා යෑම අවසානවශයෙන් මෙම අරමුණ සාක්ෂාත්කරගැනීම සඳහා රාජ්‍ය යාන්ත්‍රණය සකස් කරයි.

වර්තමාන ව්‍යවස්ථාව (1978)

ශ්‍රී ලංකාවේ දෙවන් ජනරජ ව්‍යවස්ථාව එහි දෙවන පරිච්ඡේදයේ කියැවෙන පරිදි බුදු දහමට අනෙක් ආගම් අභිබවා මූලික තැනක් ලබා දෙයි.

9 වන වගන්තිය: ශ්‍රී ලංකා ජනරජය බුදු දහමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේ ය. එහෙයින් 10 වැනි ව්‍යවස්ථාවෙන් සහ 14 වැනි ව්‍යවස්ථාවේ (1) වැනි අනු ව්‍යවස්ථාවේ (ඉ) ඡේදයෙන් සියලුම ආගම්වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂාකරදෙන අතර බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම විය යුත්තේ ය.

ඓහික රාජ්‍යයක් සඳහා වන කතිකාව

ඓහික රාජ්‍යයක් සඳහා කතිකාවේ නිරතවන බොහෝදෙනෙක් පවසන්නේ මනුෂ්‍ය අයිතිවාසිකම් සුරැකීම මෙන්ම ආගමික එකමුතුකම සඳහාද මෙය ඉවහල්වනුඇති බවයි. (goplaces.lk)

ඓහික රාජ්‍යයක් සඳහා කතිකාවේ නිරතවන බොහෝදෙනෙක් පවසන්නේ මනුෂ්‍ය අයිතිවාසිකම් සුරැකීම මෙන්ම ආගමික එකමුතුකම සඳහාද මෙය ඉවහල්වනුඇති බවයි. (goplaces.lk)

ඓහිකත්වය නිරන්තර කතිකාවන්ට ලක්වන්නක් වුවත් එය ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා වූ යෝජනාවක් ලෙස සැලකීමේ දී අතිශය විවාදාපන්න වන බව අමුතුවෙන් කිව යුතු නොවේ. Roar අප මේ සම්බන්ධයෙන් මත විමසීමක යෙදෙන්නේ මේ නිසා. ප්‍රධාන පෙළේ මානව හිමිකම් ක්‍රි‍යාකාරිකයෙකු වන ගරු සරත් ඉද්දමල්ගොඩ පියතුමා වෙත අප හැරෙන්නේ මේ පිළිබඳ ඔහුගේ අදහස දැනගනු පිණිසයි.

ඔහුට පවසන පරිදි සාධාරණත්වයෙන් සහ සමානාත්මතාවයෙන් යුතු පුද්ගල නිදහසක් සහ සියළු ම ආගම් සහ සංස්කෘතික අනන්‍යතාවයන් සඳහා ගරුත්වයකින් යුතු ව සලකන සමාජ දේශපාලනික ක්‍රමවේදයක් කරා යා හැකි එක ම මග ඓහිකත්වය පමණකි.  ‘ ඓහික රාජ්‍යයක් කියන්නේ බොහොම ධනාත්මක දෙයක්. කිසිම ආගමක් හෝ සංස්කෘතියක් හුදෙක් රාජ්‍යය අනුග්‍රහය පමණක් තිබීමෙන් ආරක්ෂාවන බව සිතීම මුළාවක් බව ඉතිහාසය විසින් ම ඔප්පු කරල තියෙනවා. හොඳ ම උදාහරණය කතෝලික ආගමම තමා. යුරෝපය තුළ කතෝලික පල්ලිය පරිහානියට පත් වීම ඇරඹුණේ ම රාජ්‍ය අනුග්‍රහයත් එක්ක.’ ඔහු අප සමග ප්‍රකාශ කලා.

ව්‍යවස්ථාවෙන් හිමිකරදුන් වරප්‍රසාද භුක්ති විඳින නමුත් වර්තමාන බෞද්ධ සංස්කෘතිය ගුණාත්මක අතින් ඊට සාධාරණත්වයක් ඉටුකරනවා ද යන්න මතවාදයට තුඩු දෙන කාරණයක්. ‘අපි පිළිගන්න එකඟ ද නැද්ද දන්නේ නෑ, ඒත් දැනටමත් ලංකාවේ සියළු ම ආගමික ආයතන ඓහිකකරණය වෙලා අවසානයි. ආගමික නායකයින් ආධ්‍යාත්මික ගුණාත්මක බවට වඩා දැන් හොයන්නේ ධනය, බලය සහ සිවිල් බලතල. මේක තමා ඇත්ත.” කණගාටුදායක කාරණය නම්, ඉද්දමල්ගොඩ කියන විදියට, මෑත ඉතිහාසය තුළ ආගමික අධිකාරය භාවිතා වූයේ ජනතාව පීඩාවට පත් කිරීමට සහ එකිනෙකාගේ ජන්ද පදනම් ආරක්ෂාකරගැනීමේ දේශපාලනික අතකොළුවක් විදියට.

මෑතක දී ඇමරිකා එක්සත් ජනපදය ලංකාවේ ආගමික සුළුතරයට එරෙහිව කෙරෙන අපරාධවලට වගකිවයුත්තන් නීතිය හමුවට පමුණුවන ලෙසත් සියළු වැසියන්ගේ ආගමික් නිදහස ආරක්ෂා කරන ලෙසත් ලංකාවට බල කර සිටියා. 2015 ආගමික නිදහස පිළිබඳ අන්තර්ජාතික වාර්තාව පෙන්වා දුන්නේ 2014 වසරේ දී මුස්ලිම් සහ ක්‍රිස්තියානි කණ්ඩායම් කිහිපයකට එල්ල වූ පහර දීම්වලට වගකිව යුතු බෞද්ධ හිමිවරු තවමත් නීතිය හමුවට පමුණුවා නැති බව ය.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි එවැන්ජලික එකමුතුව (NCEASL) ක්‍රිස්තියානි පල්ලිවලට පහර දීමේ සිදුවීම් 87 ක් වාර්තාකර ඇති අතර මුස්ලිම් ජනතාව සඳහා වූ ලේකම් කාර්යයාලය (SFM) ද්වේශසහගත ප්‍රකාශ සහ විශම ලෙස සැලකීම් 82ක් වාර්තාකර ඇත.

රට තුල සුළුතරයට එරෙහිව එවන් අපරාධ සිදුනොවන සමාජක්‍රමයක් නිර්මාණය කිරීමට නම් ඓහිකත්වය ක්‍රියාවේ යෙදවිය යුතු යි. මේ සඳහා රජය, ආගමික නායකයින් සහ විද්වතුන් ජනතාවට මෙවන් සෘණාත්මක මතවාදයන්ගෙන් සහ විශ්වාසයන්ගෙන් මුදවාගැනීමට කටයුතු කල යුතු යි.

‘මගේ විශ්වාසයේ හැටියට ඓහික රාජ්‍යය ක්‍රමය ඇත්තේ සියළු දෙනාටම නිදහසේ ආධ්‍යාත්මික ජීවිතයක් සහ ආගමික බෙදීම්වලින් තොර නිදහසක් බුක්ති විඳින්න.’ ඉද්දමල්ගොඩ පියතුමා පවසනවා.

‘අපි කවදාවත් ශ්‍රි ලංකාව ඓහිකකරණයට එකඟ වෙන්නේ නෑ’ යන මැල්කම් රන්ජිත් පියතුමාගේ ප්‍රකාශයට පිළිතුරු ලෙස ඉද්දමල්ගොඩ පියතුමා ප්‍රකාශ කලේ එම ප්‍රකාශය පල්ලියේ නිල ප්‍රකාශයක් ලෙස පිළිගත නොහැකි බවත් එය හුදු පුද්ගල මතයක් සේ සලකන බවයි.

2013 වසරේ දී ශ්‍රී ලංකා පල්ලිය විසින් පළ කල එක්තරා නිල ලේඛනයක සඳහන් වන පරිදි ‘ශ්‍රී ලංකාව විවිධ ජන කොටස්වලට ඔවුන්ගේ ආගමික සහ ජාතික පදනම් මත වෙනස්ව සලකන්නට යෝජනා කරන සියළු වගන්ති සහ ප්‍රකාශ සිය ව්‍යවස්ථාවෙන් ඉවත් කර ගත යුතුයි’ මෙය පල්ලියේ නිල ස්ථාවරය ලෙස සැලකිය යුතු බවයි ඔහු පවසන්නේ.

ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය සඳහා වූ ජනතා නියෝජිත කමිටුවට කතෝලික පල්ලියෙන් යෝජනා දෙකක් ලැබී තිබෙනවා. කතෝලික බිෂොප්වරුන්ගේ සමුළුව නියෝජනය කරමින් බිෂොප් වැලන්ස් මෙන්ඩිස් ද යාපනයේ දියෝකීසය නියෝජනය කරමින් S.V.B. මංගලරාජා පියතුමා ද මෙම යෝජනා ඉදිරිපත් කර ඇති අතර පාර්ලිමේන්තුව මෙම යෝජනා සලකා බලමින් සිටියි.

ජනතා අදහස්

මේ වකවානුව තුල ඓහිකත්වය ස්ථාපනය කරන ව්‍යවස්ථාවක් ඉල්ලීම ඉටු කල නොහැකි ඉල්ලීමක් ලෙස පෙනෙන්න පුළුවන්. නමුත් එම යෝජනා කෙතරම් දුරට ප්‍රායෝගික ද ජනතාවට සැබැවින් ම හැඟෙන්නේ මොනවා ද ? අප කිහිප දෙනෙකුගෙන් ඔවුන්ගේ අදහස් විමසා සිටියා.

“ඓහිකත්වයේ කේන්ද්‍රීය අදහස යුරෝපයේ බුද්ධි ප්‍රබෝධය සමග පල්ලියේ භූමිකාවට එරෙහිව නැගී ආවක්, විශේෂයෙන් ම පාප්වහන්සේ ට එරෙහිව, පාප්වහන්සේට අනුව එතුමාට සියළු දෙනාගේ ම හරි වැරැද්ද විනිශ්චය කරන්න පුළුවන් නමුත් කිසිවෙකුට එතුමා ව විනිශ්චය කිරීමට හැකියාවක් නෑ. නූතන රාජ්‍යය ස්ථාපනය වෙන්නේ පාප්වහන්සේට, පල්ලියට සහ ආගමික නීති රීති පද්ධතියට එරෙහිව.

බ්‍රිතාන්‍යය යටත්විජිත පාලකයින් ලංකාවේ රාජ්‍යය ක්‍රමය සකස් කලේ ආගමෙන් ස්වාධීනව. නමුත් ඊට විරෝධතා එල්ල වුණා. ඒ අනුව 1972 දී ව්‍යවස්ථාව සකස් වෙන්නේ බුදු දහමට විශේෂ ස්ථානයක් ලබා දෙමින්. 1978 ව්‍යවස්ථාවේ දී එය නැවතත් අවධාරණය කරනු ලැබුවා. එම පියවර රට තුල ඇති කලේ අසමබරතාවයක්, අසමානතාවයක් සමග වාර්ගික සහ ආගමික ආතතියකින් පෙළෙන රටක්.

ඒ නිසා, මම දැඩි ලෙස විශ්වාස කරන කාරණයක් තමා ලංකාව ඓහික රාජ්‍යයක් බවට පත් විය යුතු බව සහ සියළු ම ආගමික ආධිපත්‍යයන්ගෙන් නිදහස් විය යුතු බව. ආගම කියන්නේ අතිශය පෞද්ගලික දෙයක්. රාජ්‍යය ඊට මැදිහත් නොවිය යුතුයි.”

-මාර්කස් ප්‍රියන්ත පෙරේරා (හිටපු දේශපාලන ක්‍රියාකාරී, PhD ශ්‍රී ලංකාවේ පශ්චාත් යටත්විජිත ජාතිය නගා සිටුවීම )

 

“ඓහික ව්‍යවස්ථාවක කිසි ම වැරද්දක් නෑ. විශේෂයෙන් ම ව්‍යවස්ථාවක් තෝරාගත් ආගමික විශ්වාසයකට විශේෂ සැලකිල්ලක් දැක්වීමෙන් අනෙක් ආගමිකයින්ගේ හිමිකම්වලට සහ අයිතීන්ට සීමාවන් පැනවේ නම් ඓහික ව්‍යවස්ථාවකට යෑමේ කිසි ම වැරැද්දක් නෑ. අනෙක් අතට තෝරාගත් ආගමකට විශේෂ තැනක් දෙන නමුත් සුළුතරයේ අයිතීන් සුරකින බවට ප්‍රකාශ කරන, විධිවිධාන සපයන ව්‍යවස්ථාවක් සංශෝධනය කිරීමේ දී ඓහිකත්වය ගැන අපි වඩාත් අවධානය යොමු කල යුතු යි.

ඒ වගේ ම ඓහිකත්වය බහුතරය සහ සුළුතරය යන දෙකොටස ම සමානාත්මතාවයෙන් යුතු ව ආරක්ෂා කරනවා. නමුත් බහුතරයට කඩේ යෑමෙන් ඡන්ද ‘මිළ දී’ ගත හැකි දේශපාලන ක්‍රමයක් මත යැපෙන ලංකාවේ ව්‍යවස්ථා සම්පාදකයෝ තමන්ගේ වාසිය තකා ඓහිකත්වයේ ගුණාත්මක බව හිතා මතා ම නොසලකා හරිනවා.”

-උදිත දේවප්‍රිය(නීති ශිෂ්‍යය/ ලේඛක)

 

“අප අද අදහන කිසිම ආගමක් ලංකාව තුළ නිර්මාණය වූ ඒවා නෙවෙයි, ඒවා බාහිරින් ලැබුණු දේවල්. ආගම මා පිය උරුමයෙන් කෙනෙකුට ලැබෙන දෙයක් මිස ඔහු හෝ ඇය විසින් තෝරාගන්නා එකක් නෙවෙයි. තත්ත්වය එසේ තිබියදීත් ව්‍යවස්ථාවකින් තෝරාගත් ආගමක් ප්‍රචාරණය කිරීම, ආරක්ෂා කිරීම සහ අනෙක් ආගම් අභිබවා ඔසවා තැබීම අසාධාරණයි. ආගම කියන්නෙ පුද්ගල තෝරාගැනීමක් මිස රාජ්‍යයක පරිපාලනය සමග පටලවාගත යුතු දෙයක් නෙවෙයි. ඒ නිසා, මා හිතන විදියට, ඓහිකත්වය තමා ආගමික භේදයට විසඳුම.”

-රොහාන් ෆර්නෑන්ඩු(මූල්‍ය ගවේෂණ නිලධාරී)

 

“හරියට බැලුවොත් එක් ආගමකට මූලිකත්වය දීම පිළිගත නොහැකියි. ඒ මේ සමාජ-දේශපාලනික සම්මතය ඇතුලෙ වෙනසක් සිදුවීමට තියෙන ඉඩ ඉතාම අඩුයි. එවන් තත්ත්වයක් යටතේ වුවත් පෙර දැක්මක් සහිත මේ රෙජීමය සමග හෝ සියළු ආගම්වලට සමානාත්මතාවයෙන් යුතු ව සලකනු ඇතැයි බලාපොරොත්තු විය හැකියි. සෑම ආගමක ම මූලික ඉගැන්වීම සාමකාමීත්වය සහ සහජීවනවය. ඒ නිසා ආණ්ඩුව ආගමික ප්‍රචණ්ඩත්වය පාලනය කිරීම සඳහා සුදුසු යාන්ත්‍රණයක් සකස් කල යුතු යි.”

-මිතිල මුදලිගේ (සමාජ සේවක)

 

“ලංකාව බෞද්ධ රටක්. බුදු දහම ව්‍යාප්තව ඇති අතිශය සුළුතරයක් වන රටවල් අතර එකක් වන අප රටේ බුදු දහම වෙනුවෙන් ව්‍යවස්ථාමය ආරක්ෂාවක් ලබා දීම අතිශය වැදගත්. මෙවන් සියුම් කාරණාව දී රජය හැකි සෑම ආකාරයකින් ම බහුතර මතය සලකා බැලිය යුතුයි. බෞද්ධ රටක් වන ලංකාවට ඓහිකත්වය නුසුදුසුයි යන්න මගේ පෞද්ගලික මතය. “

-අමාලි පෙරේරා ( ශිෂ්‍යය)

මේ පිළිබඳ විවිධ සාකච්ඡා මතුවෙමින් පවතින අතර අවසාන වශයෙන් මීට අවශ්‍ය පියවර ගැනෙන්නේ ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ ක්‍රමවේදය තුළ. ඒ කෙසේ වෙතත් අවසාන තීරණය සඳහා බලපාන ප්‍රධානතම සාධකය බහුතරයේ මතය කියන එක අමතක කල යුතු නෑ. නමුත් බහු ආගමික රටක් විදියට රටේ පරිපාලනය එම විවිධත්වය මත වෙනස්කම් නොකරන නොසලකන සාධාරණ එකක් විය යුතුයි.

කවරයේ පින්තුරය: stocksy.com/Hugh Sitton

පරිවර්තනය: තාරක කල්දේරා 

Related Articles