ගල් ඔය බහුකාර්ය යෝජනා ක්‍රමය යටතේ ස්ථාපිත කරන ලද සේනානායක සමුද්‍රය

ගොවි ජනපද පිහිටුවමින්, නව මංමාවත්, වැව් අමුණු, කර්මාන්තශාලා හා රැකී රක්ෂා සඳහා මන් පෙත් විවර කළ ලංකාවේ ප්‍රථම බහු කාර්ය යෝජනා ක්‍රමය ලෙස ගල් ඔය ව්‍යාපෘතිය සැලකිය හැකියි. ගල් ඔය වාසය කරන මිනිසුන් මෙහි නිර්මාතෘ ඩී. එස්. සේනානායක මහතා සිහිපත් කරන්නේ දෙවි කෙනෙකු, බුදු කෙනෙකු මෙන්ය. එක් ප්‍රදේශයකට පමණක් සීමා නොවූ මෙම මහඟු කටයුත්ත ගැන විස්තර ඉදිරිපත් කිරීම මෙම ලිපියේ අරමුණ වනවා.

ගල්ඔය යෝජනා ක්‍රමය

thefamouspeople.com ( ඩී. එස් සේනානායක මහතා)

නිදහස ලබා ගැනීමෙන් පසුව ශ්‍රී ලංකා රජය විසින් ක්‍රියාත්මක කළ ප්‍රථම ප්‍රධාන​ සංවර්ධන ව්‍යාපෘතිය ලෙස ගල් ඔය බහු කාර්ය ව්‍යාපෘතිය හැඳින්විය හැකියි. මෙම විශිෂ්ඨ සංකල්පය පසු පස සිටින ප්‍රධාන පුරෝගාමී චරිතය වන්නේ ඩී. එස්. සේනානායක මහතායි. මෙම යෝජනා ක්‍රමය පිළිබඳ මුලින්ම අදහස ඉදිරිපත් වන සමයේ, එනම් 1937 දී, රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කෘෂිකාර්මික අමාත්‍ය ධූරය හෙබවූයේ මෙතුමා විසිනි.

ගල් ඔය බහු කාර්ය යෝජනා ක්‍රමය යටතේ 250,000 පමණ මහජනතාව නැවත පදිංචි කිරීම සිදු කෙරුණා. මේ අතර ජල විදුලි බලය සංවර්ධනය සඳහා දිරිමත් කරනු ලැබුවා.

සුවිශාල මහජන සේවාවන් රැසක් සඳහා මෙම බහු කාර්ය යෝජනා ක්‍රමය මූලික වුණා. මේ සඳහා 1949 අංක 51 දරන ගල්ඔය සංවර්ධන මණ්ඩල පනත මඟින් පසුබිම සපයනු ලැබුවා. ඒ අනුව අක්කර එක් ලක්ෂ විසිදහසක පමණ පෝෂක කලාපයකින් යුක්ත මෙම යෝජනා ක්‍රමය මඟින් ගොවි ජනපද 40 ක් ස්ථාපිත කිරීම ඉතාමත් උසස් මෙන්ම සුවිශේෂී කර්තව්‍යක් වනවා.

සේනානායක සමුද්‍රය

easternsrilanka.natgeotourism.com(සේනානායක සමුද්‍රය)

සේනානායක සමුද්‍රය ‘ඉඟිනියාගල  ජලාශය’ ලෙසත් ‘ගල් ඔය ජලාශය’ ලෙසත් හඳුන්වනු ලබනවා. වර්ෂ 1949 දී ආරම්භ කරන ලද මෙම බහු කාර්යය ව්‍යාපෘතිය 1953 දී අවසන් වුණා.

මෙම ව්‍යාපෘතියේ කටයුතු, එකළ ගම්මුන්ට අලුත් දෙයක් වුණා. මෙහි වැඩ ආරම්භ කිරීම සඳහා නොයෙකුත් ස්ථාන වල කඳවුරු ගැසීම් ආදිය සිදු වුණා. එමෙන්ම මෙමගින් ස්ථාපිත කරන ලද ගොවි ජනපදවල වැඩ කටයුතු සිදු කිරීම උදෙසා ගොවි හමුදාවල් සිටි බව දැක්වෙනවා. මෙම පිරිස් පරගහකැලේ යන ප්‍රදේශයේ කඳවුරු බැඳගෙන සිටිනු ලැබුවා. එවකට ‘ඇග‍්‍රිකල්චර් කැම්ප්’ යනුවෙන් මෙම ප්‍රදේශය හැඳින් වූ අතරම වර්තමානයේ දී ‘ඒ.සී කෑම්ප්’ ලෙස නම් කරනු ලැබුවා. මෙම පුද්ගලයන් සඳහා නිල ඇඳුම්, කෑම ආදිය රජයෙන් සැපයූ අතරම මාසික වශයෙන් රුපියල්. 45 ක පමණ වේතනයක් ද ලබා දී තිබෙනවා. ව්‍යාපෘතියේ වැඩ ආරම්භ වූ පසු ලංකාවේ නොයෙකුත් ප්‍රදේශ වලින් රැකියාවන් සොයා මිනිසුන් මෙම ප්‍රදේශයට පැමිණ තිබෙනවා. මෙම වකවානුවේ මෙම ප්‍රදේශයේ දක්නට ලැබුණු ඉතාමත් සුලභ දසුනක් ලෙස සඳහන් වන්නේ සිය ගණනක් මිනිසුන් ගල්ඔය ඉවුර දිගේ පොල් අතු ආදිය​ උපයෝගී කර ගනිමින් නිදා සිටින අයුරුයි.

ඉඟිනියාගල පිහිටා තිබූ විශාල කඳු දෙකක් යා කොට ඉදි කරන ලද​ සේනානායක සමුද්‍රය වර්ග සැතපුම් 384 ක පමණ ජල පෝෂක ප්‍රදේශයකින් යුක්ත වනවා. එමෙන්ම මෙම ජලාශය ඉදි කොට තිබෙන්නේ අඩි 3600ක් පමණ දිගකින් යුක්ත, අඩි 140ක් පමණ උසකින් යුක්ත පස් වේල්ලක් මඟිනි. අක්කර අඩි හත් ලක්ෂ හැත්තෑදහසක පමණ විශාල ජල ප්‍රමාණයක් මෙහි රඳවා ගත හැකි අතරම මෙය වර්ග සැතපුම් 30 ක් පමණ පුරා පැතිරී පවතිනවා.

සෝදිසි කිරීමේ කර්තව්‍යයන් සඳහා අභ්‍යන්තර කුටීරයක්ද මෙහි ඉදි කර තිබෙන අතර, සේනානායක සමුද්‍රයේ වාන්වල දිග අඩි 770ක් ද​ උස අඩි 60 ක් ද​ පමණ වනවා. දොරටු හයකින් පමණ යුක්ත වන මෙම වානේ ජලය බෙදා හැරීම සිදු කරනුයේ  අඩි 13 ක පමණ විශ්කම්භයකින් යුක්ත සොරොව්වක් ආධාරයෙනි.

ඉඟිනියාගල ජල විදුලි බලාගාරය

en.wikipedia.org (ගල් ඔය වේල්ල)

ගල්ඔය බහුකාර්ය යෝජනා ක්‍රමය යටතේ ජල විදුලි බලය ජනනය කිරීමේ ක්‍රමවේදයක් ආරම්භ කෙරුණා. මෙයද ආරම්භ කර තිබෙන්නේ 1953 වර්ෂයේ දීයි. මෙම විදුලි බලාගාරය සතුව අඩි 714 ක දිගින් හා අඩි 13 ක විශ්කම්භයකින් යුත් ‘පෙන්ස්ටොක්’ නළ නිර්මාණය කර තිබෙනවා. එමෙන්ම විදුලි ජනක 4 ක් පමණ අන්තර්ගත මෙයින් නිපදවිය හැකි විදුලි බල ප්‍රමාණය වන්නේ මෙගා වොට් 11.25  කි.

වෙනත් කටයුතු

en.wikipedia.org(ගල් ඔය ජාතික උද්‍යානය)

ජල විදුලි බලය ජනනය කිරීමට අමතරව තවත් නොයෙකුත් සේවාවන් මෙමඟින් සිදු වනවා. මිරිදිය මත්ස්‍ය ව්‍යාපාරය, ඌව හා නැගෙනහිර පළාත්වල වාරි කටයුතු ආදිය සඳහා දායකත්වය ලබා දීම හා කුඹුරු අක්කර දහස් ගණනකට පමණ ජලය මෙමඟින් සපයනු ලබනවා.

ගල් ඔය බහු කාර්ය ව්‍යාපාරය මඟින් ගල් ඔය ජාතික උද්‍යානය, සේනානායක සමුද්‍ර අභය භුමිය හා ගල් ඔය නිම්න නිරිත දිග අභය භුමිය ද ස්ථාපිත කරනු ලැබුවා. ජලාශය අවට අභය භූමි වල අලි ඇතුළු නොයෙකුත් සතුන් හට වාසස්ථාන සපයනු ලබනවා.

මේ ආකාරයට ඩී. එස් සේනානායක ශ්‍රීමතාණන් විසින් ස්ථාපිත කරන ලද ගල් ඔය සංවර්ධනය සඳහා වූ බහු කාර්ය යෝජනා ක්‍රමය මෙරට ඉතාමත් වැදගත් සංදිස්ථානයක් සලකුණු  කරනවා.

කවරයේ පින්තූරය: ampersandtravel.com

Related Articles