Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ප්‍රචණ්ඩත්වය, සුරාකෑම රජකළ රන් ආකරය: සෙරා පෙලාඩා

සෙරා පෙලාඩා කඳු පන්තිය (Wikimedia)

මෙම පුවත අසන්න ලැබෙන්නේ බ්‍රසීලයේ පරා පළාතේ පිහිටි රන් ආකාරයකිනි. බ්‍රසීලය යනු ඛණිජ සම්පත් සුලභව පවතින රාජ්‍යයකි. රන්, යකඩ, තඹ, තුත්තනාගම්, ඊයම්, ටින්, බොක්සයිට්, ගල් අඟුරු වැනි ඛණිජයන් බ්‍රසීලය තුළ බහුලව හමුවන අතර එරටෙහි ප්‍රධාන අදායම් මාර්ගයක් ලෙස ද ඛණිජ කර්මාන්තය ප්‍රචලිත ය. 1979 දී ජෙනිසියෝ ෆෙරෙයිරා ද සිල්වා නම් ගොවියකු විසින් සිය ඉඩමෙන් රන් මිශ්‍ර පාංශු කොටසක් සොයා ගන්නා අතර, පසුව භූවිද්‍යාඥයින් ගෙන්වා මෙම භුමිය පරික්ෂා කිරීමෙන් අනතුරුව මෙහි රන් ආකරයක් පවතින බව අනාවරණය කරගන්නා ලදී. දින කිහිපයකින් මෙම පුවත දසත පැතිර ගිය අතර එයින් සති පහක් ඇතුලත දස දහසක පිරිසක් සෙරා පෙලාඩා කඳුකරය වෙත පැමිණ රන් සොයා පොළොව සමග වෙර දරන්න විය. එයින් සෙරා පෙලාඩාව එකල ලොව විශාලතම ‘විවෘත රන් ආකරය’ විය.

විශාලතම විවෘත රන් ආකරය මෙයයි (STEPHANIE MAZECORBIS)

මෙය ඉතාම දුෂ්කර සේවා කොන්දේසි මත පවත්වාගෙන යන ලද, ශ්‍රමය මහා පරිමාණයෙන් කොල්ල කෑ ස්ථානයක් විය. සේවක වැටුප් දිනකට ඩොලර් 2-3 අතර ය. පුරවන ලද පස් මල්ලක් සඳහා ශත 20 කි. දුප්පත්කම සමාජයේ සෑම අස්සක් මුල්ලක් නෑර පැතිර තිබූ නිසා අසල ප්‍රදේශවලින් පමණක් නොව බ්‍රසීලය පුරා සිටි මිනිසුන් මෙහි සේවය කිරීමට පැමිණුනි. ආකරයේ කටයුතු සීග්‍රයෙන් සිදුවන සමයේ එහි 110 000 කට අධික පිරිසක් සේවය කරන ලදී. ඔවුන්ව හඳුන්වන ලද්දේ ‘Garimpeiros’ (එනම්, “නිදහස් පතල්කරුවන්”) ලෙසයි. සේවක අයිතීන් කිසිවක් ඔවුන් සතු නොවිය. අනතුරු පමණක් නොව මරණය පවා යටහත්ව භාරගනිමින් සේවය කිරීම ඔවුන්හට පැවරී තිබුණි.

කම්කරුවන්ට කැණීම සඳහා ස්ථාන පවරමින්(GETTY IMAGES)

පස් කැණිය යුතු වූයේ දෑතින් වුණු අතර, කණින ලද පස් ගැඹුරු පතලේ සිට ඉනිමං ඔස්සේ ඔසවා මුදුනට රැගෙන ඒමට ද පතල්කරුවන්ට සිදුවිය. දුප්පත්කමින් මිරිකී සිටි මිනිසුන්ට මෙය දැවැන්ත ශ්‍රමයක් වගුරවා සුළු මුදලක් උපයා ගැනීමට පමණක් ප්‍රමාණවත් රැකියාවක් විය. පස් කැණීම සහ ඉහළට රැගෙන ඒම යනු මාරාන්තික ක්‍රියාවක් වූ අතර දිනපතා බුරුල් පස් බිත්ති කඩා වැටීම නිසා කම්කරුවන් පස් කන්දටම යටව මරණයට පත්වීම සාමාන්‍ය සිදුවීමක් විය. නමුත් දරිද්‍රතාවෙන් පෙළුණු මිනිසුන් 80 දශකයේ පමණක් නොව අදද ලොව පුරාත්, අප‍ රට තුළත් සුලභය. ඔවුන්ට තෝරාගනීමට වෙනත් කර්මාන්තයක් ද නොවීය.

පොළොව කණිනු ලැබුයේ දෑතෙනි (GETTY IMAGES)

ඉතා දුෂ්කර තත්ත්වයන් යටතේ සේවය කරන සේවකයන්, දිනක් පුරා වෙහෙසී වැඩ කරන කම්කරුවන් සිය වේදනාව, පීඩනය, අසහනය පිට කරගැනීමට මාර්ගය සොයාගත්තේ නගරයේ තැබෑරුමෙන් සහ ගණිකා මඩම් වලිනි. මත්පැන් සහ ගණිකා වෘත්තීය ඉතා ඉක්මනින් ප්‍රදේශය පුරා පැතිරී යන්නට විය. තමන්ට ඉතා සුළු මුදලක් පමණක් උපයමින්, පතල් හිමියාට මහා ධනස්කන්ධයක් උපයා දී ලද ශාරීරික වෙහෙස සහ මානසික පිඩාව මග හරවා ගැනීමට ඔවුන්ට අවසන පිහිට වූයේ ගණිකාව සහ මත්වතුර වීදුරුව පමණි. මෙම කාලය තුළ රන් ආකාරය තුළ මෙන්ම ඉන් පිටත ද ඉතා ප්‍රචණ්ඩකාරී සිදුවීම් වලින් ගහණ විය. මසකට ඝාතනයන් 60-80 ක් පමණ සිදු වූ බවත් වාර්තා වේ. මෙම සියලු දේ සිදුවුයේ රන් ආකරයේ වැඩ අරඹා ඉතා කෙටි කලක් තුලදී යි.

තෙත් පස් මළු රැගෙන ඉහළ නගින කම්කරුවන්(STEPHANIE MAZECORBIS)

මෙහි සිදුවන ශ්‍රම සුරාකෑම සහ ප්‍රචණ්ඩත්වය වළක්වාලීමට පතලේ වැඩ අරඹා මාස තුනකට පසුව රජය හමුදාව යොදවා රන් ආකරය අත්පත් කරගන්නා ලදී. රජයේ භාරයට පත්වූ පසුව ගණිකා වෘත්තීය සහ මත්පැන් ආකරය අසල ප්‍රදේශයේ තහනම් කරන ලදී. නමුත් ඉන් පසුව සිදුවූයේ පැවති තත්ත්වයටත් වඩා දරුණු ව්‍යසනයකි. නිත්‍යානුකූල ගණිකා වෘත්තීය තහනම් කිරීමෙන් පසුව ගණිකාවන් ලෙස අඩු වයස් දැරියන් විශාල වශයෙන් රහසේ යොමු වූ අතර ප්‍රචණ්ඩ ක්‍රියාවන් ද වඩාත් සක්‍රියව පැතිර ගියේය.

හමුදාව යොදා ආකරය පවරා ගනී (rarehistoricalphotos)

රජයේ නිල වාර්තා අනුව මෙම ආකරයෙන් රන් ටොන් 44.5ක් ලබාගෙන ඇති බවට ගණන් බලා ඇතත් නිල නොවන වාර්තා අනුව මෙම රන් ප්‍රමාණය ලබාගත් මුළු රන් ප්‍රමාණයෙන් 10%ක සුළු ප්‍රමාණයක් බව පැවසේ. ඉතිරි 90%ක රන් කළු ව්‍යාපාර හරහා විකුණා දැමු බවත් සඳහන්. රන් ලෝහයට අමතරව ප්ලැටිනම්, රිදී, සහ පැලේඩියම් යන වටිනා ලෝහයන් ද මෙම ආකරය තුළ යම් ප්‍රමාණයකින් අන්තර්ගතව ඇත.

GETTY IMAGE

වසර හයක කැණීමෙන් පසුව ක්‍රමයෙන් මෙම ආකරය අභාවයට ගියේය. ඊට හේතු වූයේ වර්ෂාව සමඟ ක්‍රමයෙන් පතල ජලයෙන් පිරී යාමයි. මේ නිසා තව දුරටත් කැණීම හෝ ඊට ළඟා වීම හෝ කළ නොහැකි විය. එසේම පසුකාලීනව මෙහි සේවය කිරීමට ශ්‍රමිකයන් සොයා ගැනීමද දුෂ්කර විය. අසාර්ථක උත්සාහයන් කීපයකින් පසුව අවසානයේ 1986 දී පතල අත්හැර දැමීමට තීරණය කරනු ලැබිණි.

අද සෙරා පෙලාඩා පතල දුෂිත ජාලයකි (TVZero)
Retratos de ex garimpeiros da Serra Pelada
Foto: Bruno Magalhaes / Agencia Nitro

එකල ලක්ෂයකට අධික පිරිසක් රැකියා කළ සෙරා පෙලාඩා ප්‍රදේශයේ අද වනවිට 8000කට නොවැඩි පිරිසක් ජිවත් වේ.  ඔවුන් ද මෙහි ජීවත් වන්නේ එයින් පිටව ගොස් ජීවත් වීමට තැනක් හෝ මුදලක් නොමැති නිසාය. අද මෙම පතල ජලයෙන් යටව ජලාශයක් ලෙස පවතී. භූමියේ රසදිය අඩංගු වීම නිසා අධික විෂ සාන්ද්‍රණයක් ද මෙහි අඩංගු ය.

කවරයේ පින්තුරය: GETTY IMAGE

Related Articles