Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දශක හතකට පසු යළි හමු වූ වියපත් පෙම්වත්තු

ලොව සමහර ආදර කතා කඳුළෙන් නිම වෙනවා. තවත් ආදර කතාවලට දීර්ඝ කාලීන විරාමයක් වැටී, පසුකාලීන ව හෝ පල දරන්නේ, එම ආදර කතාවල හිමිකරුවන්ගේ ස්ථිර අධිෂ්ඨානය මොනවට ලොවට පෙන්වමිනු යි. කෙතරම් අභියෝග පැමිණියත් තම ආදරය ජය ගත් ආදර කතා ගැන ලොව තැනින් තැන අපට අසන්න පිළිවන්.

මෙවැනි ම ආදර කතාවක් අමෙරිකා එක්සත් ජනපදයෙන් පසුගිය දා වාර්තා වුණා. විශ්‍රාම ලත් අමෙරිකානු නාවුක භටයකුට අවසානයේ සිය ජපාන පෙම්වතිය පසුගිය ජුනි මස පළමුවැනි දා මුණ ගැසුණා. ඔවුන් මෙලෙස හමුවූයේ දශක හතකට පසු වීම සුවිශේෂ යි. කොරියානු යුද්ධය නිසා වෙන් වුණු ඔවුන්ගේ ආදරයට වසර හැත්තෑවක් තිස්සේ විලංගු වැටී තිබුණා.

ඩුඈන් මාන් තුරුණු වියේදී- Duane Mann

ආදරය සොයා ගිය වයෝවෘද්ධ අමෙරිකානුවා

වසර හැත්තෑවකට ආසන්න කාලයක් තිස්සේ, කීර්තිමත් නාවුක නිලධරයකුව සිටි අමෙරිකානු ජාතික ඩුඈන් මාන් ජීවත් වූයේ විශාල දුකක් සිතෙහි දරාගෙන යි. මීට දශක ගණනාවකට පෙර, තරුණ නිලධරයකු ලෙස ඔහු ජපානයේ සේවය කර තිබූ අතර, එහිදී ඔහු ‘පෙගී යමගුචි’ නම් ජපාන ජාතික යුවතියක සමඟ ආදර සම්බන්ධතාවක් ගොඩ නඟා ගෙන තිබුණා. 

ඔහු ඇය හා විවාහ වීමට සියලු කටයුතු සූදානම් කරමින් සිටියා. කෙසේ නමුත් දෛවයේ සරදමකට ඔවුන්ට වෙන් වන්නට සිදු වූ අතර, ඉන් වසර හැත්තෑවක් පමණ ගත වන තුරු ඔවුන්ට හමුවීමට ඉඩක් ලැබුණේ නැහැ. කෙසේ නමුත් ඇය නැවත සොයා ගන්නට නිති පතා ඩුඈන් වෙහෙසුණු අතර, වර්තමානයේ 91 වියැති ඔහු අවසානයේ පසුගිය මැයි මස පළමුවන දින යමගුචි පිළිබඳ ව සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබනවා. ඒ ඔහු 1950 දශකයේ මුල් භාගයේ ඇය සමඟ සිටින පින්තූරයක් ද සමඟ යි. එහෙත් ඒ වන විට ඇය ජීවතුන් අතර සිටිනවා ද යන්න පිළිබඳවත් ඔහුට අදහසක් තිබුණේ නැහැ. ඇයද  ඩුඈන් සමඟ සම වයසේ පසු වූ අතර, ජීවතුන් අතර සිටිනවා නම් 91 වියැති විය යුතු වුණා.

ජපානයට ගිය තරුණ නාවුක හමුදා නිලධරයා

1953 හා 1954 වසරවල ඩුඈන් ජපානයට අනුයුක්ත කෙරුණා. මේ තරුණ නාවුක නිලධරයා ජපානයේ ටෝකියෝ නුවර ස්ථානගත වූ අතර, ඔහුට පෙගී හමුවන්නේ හමුදා නිලධාරීන් සඳහා වෙන් වූ සමාජ ශාලාවක සේවය කරමින් සිටිය දී යි. එක් දිනෙක ඔහුට ඇය හා නර්තනයේ යෙදීමේ අවස්ථාව හිමි වෙනවා. මේත් සමඟ මෙම ජපාන ජාතික රූමත් තරුණිය සමඟ ඔහු ප්‍රේමයෙන් වෙලෙනවා. දෙදෙනාට ම හොඳින් නර්ථනයේ යෙදීමේ හැකියාව තිබූ අතර, නිතර නිතර එකට නර්තනයේ යෙදෙමින් සිය බැඳීම් වැඩිදියුණු කරගන්නට ඔවුන් ක්‍රියා කළා.

පෙගී සහ ඩුඈන් ඉක්මනින් විවාහ වීමට තීරණය කළ අතර, පෙගී ගර්භණී තත්ත්වයට ද පත් වෙනවා. කෙසේ නමුත් නොසිතූ තරම් ඉක්මනින් කොරියානු යුද්ධය අවසන් වූ අතර, කොරියාවේ සහ ජපානයේ වූ තම නාවුක බළ මුළු අමෙරිකාවට නැවත ගෙන්වා ගන්නට අමෙරිකානු රජය ක්‍රියා කරනවා. මේ අනුව ඩුඈන්ට අමෙරිකාවට යාමට සිදු වූ අතර, ඔහු පෙගී අමතා පැවසුවේ තමන් හැකි ඉක්මනින් පැමිණ ඇය විවාහ කරගන්නා බව යි. එමෙන් ම තමන් ඇය හා ඔහු වෙනුවෙන් විශාල මුදලක් ඉතිරි කර ඇති බවත්, ඒවා ඇය වෙත එවන බවත් ඩුඈන් පැවසුවා. කෙසේ නමුත් අමෙරිකාව වෙත ආ ඔහු මුහුණ දුන්නේ කිසිවෙක් නොසිතූ සිද්ධියකට යි.

පෙගී යමගුචි තුරුණු වියේදී- Duane Mann

අයෝවා හි පිහිටි සිය නිවස වෙත ගිය ඩුඈන්ට දැන ගන්නට ලැබුණේ ඔහුගේ පියා තමන් එවූ මුදල් සියල්ල වියදම් කර ඇති බව යි. මේ නිසා ඩුඈන් ඉතා අසරණ භාවයට පැමිනුණා. තමන් යුද්ධයේදී මිය ගියහොත් සිය පවුලේ උදවියට ගැනීමට හැකි වන පරිදි ඔහු මුදල් තැන්පත් කර තිබූ අතර, ඔහුගේ පියා එහි අන්තිම සතය වන තුරු සිය පරිභෝජනයට ගෙන තිබුණා.

අසරණ වූ ඩුඈන්

තමන් මුහුණපා ඇති තත්ත්වය වටහාගත් වහා ම, ඩුඈන් පෙගීට ලිපියක් ලියමින් ඒ පිළිබඳ දැන්වූවා. ඉන් නොනැවතුණු ඔහු ප්‍රදේශයේ ඉදිකිරීම් සමාගමක රැකියාවක් සොයා ගත් අතර, කෙමෙන් කෙමෙන් මුදල් ඉතිරි කරන්නට පටන් ගත්තා. මේ පිළිබඳ ව නිතර ම ඔහු පෙගී දැනුම්වත් කළ අතර, කෙටි කලකින් ඇගෙන් ලැබෙන ලියුම් කෙමෙන් කෙමෙන් අඩුවන්නට වුණා. අවසානයේ ඇය ඔහු වෙත ලියා එවා තිබුණේ ඔවුන්ගේ දරුවා කුසේ දී ම මියගිය බව සහ ඇය තවෙකකු හා විවාහ වන්නට යන බව යි. ඉන් අනතුරුව ඔහු වෙත ඇයගෙන් ලිපියක් ලැබුණේ නැහැ.

සිත් තැවුලට පත් ඩුඈන් මේ පිළිබඳ ව සිය මව දැනුම්වත් කළ අතර, එය දැන ගත් ඔහුගේ මව, පෙගී ගෙන් ලැබුණු ලිපි සියල්ල ගිනිබත් කළා. ඇයට අවශ්‍ය වූයේ ඔහු අමෙරිකානු කාන්තාවක් හා විවාහ වීම යි. මින් ඩුඈන් තවත් අසරණ වුණා. පෙගී සම්බන්ධ කර ගැනීමට කිහිප විටක් උත්සාහ කළ ද එය ව්‍යර්ථ වූ තැන අවසානයේ ඔහු සිය මවගේ කීම පිළිගෙන අමෙරිකානු කාන්තාවක හා විවාහ වුණා. පසුකාලීන ව ඇගෙන් වෙන් වී ඔහු තවත් විවාහයක් ද කර ගත්තා. මේ විවාහ දෙකෙන් ඔහු දරුවන් සය දෙනෙක් ද ලැබුවා.

නැවත සොයා ගිය ආදරය

විවාහ දෙකක් සිදු කර ගෙන දරුවන් සයක් ලැබූව ද, ඩුඈන් කිසි දිනෙක පෙගී අමතක කළේ නැහැ. ඔහු නිතර ම ඇය ගැන මෙනෙහි කළ අතර, හැකි සෑම විට ම පෙගී සොයා යාමට උත්සාහ කළා. මෙලෙස වසර 70 ක් ගෙවුණු අතර ඇය ඔහුට හමුවූයේ නැහැ. කෙසේ නමුත් ඔහු උත්සාහය අත් නොහැරිය අතර, තමන්ගේ පවුලේ විවිධ හේතු නිසා ඔහුට විටින් විට මෙම කර්තව්‍යය මඟහැරුණා. කෙසේ නමුත් 91 හැවිරිදි මහල්ලෙක් ව සිටිය දී ඔහු තම පැරණි පෙම්වතිය කෙසේ හෝ සොයා ගන්නට අදිටන් කර ගත් අතර, ඔහු පසුගිය මැයි පළමුවැනිදා තම ෆේස්බුක් පිටුවේ සටහනක් තබන්නේ ඒ අනුව යි. මේ වන විට පෙගී ජීවතුන් අතර සිටීමට ඇති ඉඩ අඩු බැව් ඔහු දැන සිටියත්, එය ඔහු මඳකට අමතක කොට සිය සටහන තැබුවේ, ඇය ගැන මතකයක් හෝ නැවත හමුවේ යැයි සිතමිනු යි. මේ සටහන ඉක්මනින් ම ලැව් ගින්නක් සේ ලොව පුරා පැතිරුණු අතර, ජපානයේ අස්සක් මුල්ලක් නෑර මෙම පුවත පැතිරී ගියා.

ඩුඈන් සහ පෙගී නැවත් හමු වූ මොහොත- newschannel5.com

ඩුඈන්ගේ සටහන දුටු කැනඩාවේ වැන්කුවර් හි පදිංචි තරුණ කාන්තාවක වන තෙරේසා වොන්ග් නම් තැනැත්තිය, එය දැක මහත් වූ සංවේගයකට පත් වුණා. ඇය ඔහු වෙනුවෙන් පෙගී පිළිබඳ පුවතක් හෝ සොයා දෙන්නට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වුණා. ඇය අන්තර්ජාලය ඔස්සේ පෙගී පිළිබඳ සෙවූ අතර, ඇය ඒ වන විට අමෙරිකාවේ  මිචිගන් හි එස්කනබා හි ජීවත් වන බැව් සොයාගන්නට හැකි වුණා.

යුවළ නැවත හමුවෙයි

පෙගී යමගුචි 1955 වසරේදී වෙනෙකකු හා විවාහ වී තිබූ අතර, ඔහුට දා ව පුතුන් තිදෙනකු ද බිහි කර තිබුණා. ඇයත් ඩුඈන් අමතක කර නොතිබූ අතර,  ඇගේ වැඩිමල් පුත්‍රයාගේ දෙවන නම ලෙස ‘ඩුඈන්’ යන්න දමා තිබුණා.

ඩුඈන්ගේ හා පෙගීගේ පවුල්, යොන්ග් ගෙන් මේ පුවත දැනගත් පසු, දෙදෙනා මුණගැස්වීම සඳහා දිනයක්, වේලාවක් හා ස්ථානයක් යොදා ගත්තා. අවසානයේ පසුගිය දා ඔවුන් හමු වූ අතර, ඔවුන්ගේ හමුව ඉතා හැඟීම්බර එකක් වුණා. ඔවුන් හඬමින් එකිනෙකා වැලඳගෙන තමන් ජපානයේ දී නර්ථනය කළ ආකාරය ගැන මෙන්ම තමන්ගේ ආදරය ගැන ද කතා කළා. එමෙන් ම ඔහු කිසි දිනෙක තමන් අතැර ගිය බවට තමන් නොසිතූ බැව් පෙගී ඩුඈන් වෙත පැවසුවා.

” පසුගිය වසර හැත්තෑවම මම පෙගී, ගර්භණීව සිටියදී ජපානයේ අතැර ගොස් ඇය අතරමං කළ බව මෙනෙහි කරමින් දුක් වින්දා. දැන් මගේ සිතට සාමය ළඟා වී තිබෙනවා” ඩුඈන් මාධ්‍ය වෙත පවසා තිබුණා.

කවරයේ ඡායාරූපය - washingtonpost.com
මූලාශ්‍ර:

Allthatsinteresting.com
Rundownbulletin.com
astroawani.com

Related Articles