Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මුදලට විකිණෙන තායිලන්තයේ ළමුන් හා කතුන්

මිනිස් ජාවාරම යනු ලෝකය පුරා ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින අපරාධයකි. මිනිස් ජාවාරමකදී  සිදු වනුයේ එම ක්‍රියාව කරන පුද්ගලයා විසින්  බිය ගැන්වීම, තර්ජනය කිරීම හා විවිධ බලපෑම් කිරීම තුලින් ඔහුට මුදල් උපයා ගැනීම සඳහා මිනිසුන් අපහරණය, සුරා කෑම, හා මුදලට විකිණීම ආදියයි. මිනිස් ජාවාරම තුළ කාන්තාවන් හා ළමුන් ප්‍රධාන තැනක් උසුලයි. කාන්තාවන් බොහෝවිට ගණිකා සේවය සඳහා යොදාගැනෙන අතර ළමුන් වහල් සේවය හා අනෙකුත් ලිංගික කටයුතු ආශ්‍රිත රැකියා සඳහා යෙදවීම සිදුකරයි. තායිලන්තය මේ ආකාරයෙන් ලිංගික ජාවාරම බහුලවම සිදු කරන රටක් ලෙස දක්විය හැක.

lithub.com

තායිලන්තයේදී බලහත්කාරයෙන් ලිංගික සේවයේ යොදවන පිරිස් අතර තායිලන්ත වැසියන්ට අමතරව බහුතරයක් සිටින්නේ ලාඕසය, කාම්බෝජය, වියට්නාමය හා බුරුමය යන රටවල තරුණ තරුණියන්ය. තායිලන්ත කතුන් තම රටට අමතරව උතුරු ඇමරිකාව, යුරෝපය, අප්‍රිකාව, ආසියාව හා මැදපෙරදිග රටවලද බලහත්කාර ලිංගික සේවයන් වල යොදවා ඇත.

තායිලන්තය ලාඕසය, කාම්බෝජය, වියට්නාමය හා බුරුමය වැනි රටවල දරුවන් ගණිකා නිවාස වල, සුරා සැල් වල හා හෝටල් වල වැඩි වශයෙන් සේවයේ යෙදවීම දක්නට ලැබේ. ඇතැම් විට මෙම දරුවන් සිඟා කෑම, මල් විකිණීම, නගරාසන්න නිවෙස් වල ගෘහස්ථ වහල් සේවයේ යොදවා තිබීමද දක්නට ලැබේ.

ලිංගික ජාවාරම සදහා බලපාන්නේ යැයි උපකල්පනය කරන හේතු

nebraskafamilyalliance.org

ලිංගික ජාවාරම හා මිනිසුන් තම ලිංගිකත්වය කැමැත්තෙන් මුදලට විකිණීම සඳහා බලපාන හේතු කීපයක් සමාජ විද්‍යාඥයින් විසින් ගෙන හැර දක්වයි. ඔවුන්ට අනුව මෙම හේතු වලින් බැහැර වූ තවත් හේතුන් ගණනාවක් තිබිය හැකි වුවත් මේවා පොදුවේ දැකිය හැකි හේතු වේ.

  1. ආර්ථික සාධක

මිනිස් ජාවාරම තායිලන්ත ආර්ථිකයේ වැදගත් අාදායම් ඉපයීමේ සාධකයක් බවට පත්වී ඇත. බොහෝ උතුරු තායිලන්ත පවුල් දිලිඳු ගොවියන් වන අතර ඔවුන් විසින් සැලකිය යුතු තරමේ මුදලක් දල දේශීය නිෂ්පාදිතයට එකතු නොකරයි. නමුත් වානිජමය වශයෙන් කෙරෙන ගණිකා ව්‍යාපාරය හා ලිංගික කටයුතු සම්බන්ධ ව්‍යාපාර වලින් තායිලන්තය තුලට දැවැන්ත විදේශ විනිමයක් ගලා එම සිදුවේ. එම නිසා තායිලන්ත වැසියන් අනෙකුත් රැකියාවන් පසෙකලා ලිංගික ජාවාරම් ආශ්‍රිත රැකියා වල නිරත වේ. තවද තායිලන්තයට සංක්‍රමණය වන බොහෝ වැසියන් තමාගේ දිලිඳු බව, රැකියා විරහිත බව, ස්ථාවරයක් නොමැති පවුල් පසුබිම ආදී කරුණු නිසා ලිංගික ජාවාරම් ආශ්‍රිත ව්‍යාපාර වලට හසුවේ.

huffingtonpost.com

තායිලන්තයේ අවුරුදු 16ට අඩු ළමුන් 40,000ක් පමණ ලිංගික කටයුතු ආශ්‍රිත ව්‍යාපාරවල යොදවා ඇත. 1998දි පැවැත්වූ සමීක්ෂණයකට අනුව මොවුන්ගෙන් 54.01% තායිලන්තයේ උතුරු ප්‍රදේශවලටත්, 9.67% තායිලන්තයේ දකුණු ප්‍රදේශවලටත් අයත් වේ. 1993 හා 1995 අතර කාලයේදී ගණන් බලා ඇති ආකාරයට ගණිකා ව්‍යාපාරයෙන් වාර්ෂිකව ඩොලර් බිලියන 22.5ත් 27ත් අතර අාදායම් ඉපයීමක් සිදු කර ඇත.

  1. පවුලේ වගකීම්

ගැහැණු දරුවන් පමණක් සිටින පවුල් වල වැඩිමල් ගැහැණු දරුවා මත පවුලේ බර පැටවේ. මෙහිදී ග්‍රාමීය ප්‍රදේශ වල කාන්තාවන් නගරයට සංක්‍රමණය වන්නේ රැකියාවක් අපේක්ෂාවෙනි. කම්කරු රැකියා හා අනෙකුත් සුළු රැකියා වල ගෙවීම් ඉතා අඩු වන නිසා ඔවුන්ගේ පවුලේ නඩත්තුවට එම මුදල ප්‍රමාණවත් නොවේ. ඔවුනට දිනකට පැය 12ත්-20ත් අතර සතියේ දින හතම වැඩ කිරීමට සිදුවන්නේ ඉතා සුළු මුදලකට වේ. මේ නිසා බොහෝ කාන්තාවන් ගණිකා ව්‍යාපාරය ආශ්‍රිත රැකියා වලට යොමුවේ. මීට අමතරව ග්‍රාමීය ප්‍රදේශ වල සිට සංක්‍රමණය වන කාන්තාවන්ගේ නොදැනුවත් කමින් ප්‍රයෝජන ලබා ගනිමින් බලහත්කාරයෙන් ගණිකා ව්‍යාපාර සදහා යොදාගැනීමද සිදුවේ.

ලිංගික කටයුතු සදහා පුද්ගලයින් ජාවාරම් කරන්නන් ඒ සඳහා භාවිතා කරන ක්‍රමවේද

thehopeline.com

සාමාන්‍යයෙන් පුද්ගලයින් ජාවාරම් කිරීමේ ක්‍රමවේද වන තර්ජනය කිරීම්, බලය යොදාගනිමින් කරන බියවැද්දීම්, බලහතාරකම්, අපහරණයන්, මේ සදහා යොදාගනී. මීට අමතරව

  • පුද්ගලයන් ලිංගික සේවයට බැඳීම හේතු කොට ගෙන ඔවුන්ගේ පවුල් ගෙවිය යුතු ණය බන්ධන වලින් නිදහස් කිරීම,
  • පවුලේ සාමාජිකයින්ට රැකියා අවස්ථා සපයාදීම,
  • විවාහයන් කර දීම ආදිය මගින්ද කාන්තාවන් ලිංගික සේවයේ යෙදවීමට කැමැත්ත ලබා ගැනීම සිදුකරයි.

බඳවා ගැනීමේ ක්‍රම වේදය මගින් කුඩා වයසේදීම ගැහැණු ළමුන් ගණිකා ව්‍යාපාරයට ඇතුලත් කර ගැනීම සිදු කරයි. මෙය බොහෝවිට සිදු කරනුයේ ගණිකා ව්‍යාපාරයේ කාලයක් තිස්සේ නියැලෙන කාන්තවක් විසින් හෝ ගණිකා නිවාස අයිතිකරුවන් විසිනි. ගණිකා නිවාස හිමියන්ගේ නියෝජිතයන් දුෂ්කර ගම්මාන වලට ගොස් තමාට අවශ්‍ය ගැහැණු දරුවා ලැබුණු පසු ඇයගේ දෙමාපියන්ට මූලික ගෙවීමක් සිදුකරනු ලබයි. ගැහැණු දරුවාට වයස අවුරුදු 12ක් වූ පසු එම නියෝජිතයා පැමිණ අවසාන ගෙවීම කර දරුවා රැගෙන යාම සිදු කරයි.

ලිංගික ජාවාරමේ යොදවන කාන්තාවන් සඳහා පවතින ප්‍රධාන අවදානම් වන්නේ HIV වෛරසය හා ගැබ් ගැනීමයි. ලෝකය පුරා ශීඝ්‍රයෙන් පැතිර යන HIV වෛරසය බොහෝ තායිලන්ත ළමුන් හා කාන්තාවන් ප්‍රමාණයක් බිලිගෙන ඇත.

තායිලන්තයේ ලිංගික කටයුතු සම්බන්ද ව්‍යාපාර ආශ්‍රිත නීතිමය රාමුව

ccn.com

1990 වසරේ සිට ලිංගික කටයුතු සදහා පුද්ගලයින් ජාවාරම් කිරීම හා මිනිස් ජාවාරම් වැළැක්වීමට බොහෝ නීති රීති සම්පාදනය කර ඇත. 1992දි තායිලන්ත රජය විසින් සමාජය දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් සකස් කරන ලදී. මෙහි මුලික අරමුණ වූයේ ළමා හා ගණිකා ව්‍යාපාරය නැති කිරීම පිළිබඳ ධනාත්මක අදහස් දෙමාපියන් තුළ රෝපණය කිරීමයි.

1996දි තායිලන්තය විසින් ගණිකා ව්‍යාපාරය මැඬලීම හා නැවත්වීමට නීති සම්පාදනය කරන ලදී. ගණිකා ව්‍යාපාරයේ යෙදුන කාන්තාවන්ට දඩයක් නියම කළ අතර ළමුන් පුනුරුත්තාපනය සඳහා යොමුකරන ලදී. දෙමාපියන් සෘජුවම තම දරුවන්ව විකිණීමේ ව්‍යාපාරයට සම්බන්ධ නම් ඔවුන්ටද දඬුවම් නියම කෙරුණි.

2008දී තායිලන්තය විසින් “Anti-Trafficking in Person Act BE 2551” නීති ගත කරන ලදී. මෙම පනතේ මිනිසුන් ජාවාරම යන්නට නිර්වචනයක් ලබා දී තිබේ. මෙම නිතිය මිනිසුන් හා ලිංගික ජාවාරම් අපරාධමය වරදක් ලෙස දක්වා ඇත. තායිලන්තය මිනිසුන් ජාවාරම් සම්බන්ධව කෙතරම් නීති සම්පාදනය කර තිබුණත් වර්තමානයේදී පවා ගණිකා ව්‍යාපාරය හා ලිංගික ජාවාරම් අතින් ප්‍රමුඛස්ථානයේ සිටින රටක් ලෙස දැක්විය හැක.

කවරයේ පින්තුරය – polorisproject.org

මුලාශ්‍ර

  1. en.wikipedia.org
  2. state.gov
  3. endslaverynow.org

Related Articles