මෙම ලිපිය ආරාධිත රචකයෙකු විසින් ලියැවුණකි.ඔබටත් අප හා ලිපි ලිවීමට අවශ්‍ය නම්, අපගේ ආරාධිත රචක කරළියට පිවිසෙන්න.

වර්තමානයේ සිංගප්පූරුව සැලකෙන්නේ ලොව ධනවත් ම රටක් ලෙස යි. කෙසේ නමුත් මීට දශක කිහිපයකට පෙර එරට වර්තමාන තත්ත්වයට පත් වේ යැයි බොහෝ දෙනා සිහිනයකිනුදු නොසිතූ අතර, ලොව ධනවත් ම රටක් වන්නට ඔවුන් පැමිණියේ විල්ලු ද ඇතිරූ මාර්ගයක නම් නොවේ. ඔවුන්ගේ මෙම දියුණුව ශ්‍රී ලංකාව වැනි, ඔවුනට වඩා සම්පත්වලින් අනූන රටවලට එක්තරා ආකාරයක පාඩමක් වෙනවා.

භූමි වපසරිය ගත් කල්හී වර්ග කිලෝමීටර 725 ක තරම් කුඩා භූමි ප්‍රමාණයකට උරුමකම් කියන සිංගප්පූරුවේ මෙම පෙරළිකාර වෙනස සඳහා ප්‍රමුඛ ව දරදිය ඇද්දේ එය පාලනය කළ අසහාය නායකයෙක් වූ ලී ක්වාන් යූ යි. මීට දශක කිහිපයකට පෙර ඔහු අතට පත් වූ සිංගප්පූරුව නම් දියුණු වෙමින් පවතින, එක් නගරයකින් සැදුම් ලද රට කිසිසේත් ම ශ්‍රී ලංකාව වැනි, ස්වාභාවික සම්පත්වලින් ආඪ්‍ය, දියුණු ශිෂ්ටාචාරයකට උරුමකම් කියූ, දියුණු වීම සඳහා වන සාධක කිසිවක් තිබූ රටක් නොවේ. කෙසේ නමුත් නිවැරදි දැක්මකින්, නිවැරදි ක්‍රියා පිළිවෙත්වලින් දශක කිහිපයක් තුළ ඔහු එය ලොව අතිශය දියුණු රටක් කරන්නට සමත් වෙනවා.

 සිංගප්පූරුව- worldstrides.com

 

නිදහසින් පසු

සිංගප්පූරුව බ්‍රිතාන්‍ය කිරීටයෙන් නිදහස ලැබුවේ 1965 වසරේදී යි. ඒ වන තුරු එය බ්‍රිතාන්‍යයන් එතරම් සැලකිල්ලක් නොදැක්වූ කුඩා බිම්කඩක් වුණා. 1965 වසරේ නිදහස ලැබීමෙන් පසු සිංගප්පූරුවේ සුක්කානම අතට ගත් ලී ක්වාන් යූ  එරට, ආසියාවේ සැලකිය යුතු මට්ටමේ මූල්‍ය සහ නිෂ්පාදන මධ්‍යස්ථානයක් බවට පත් කළා. ඒ සමගාමී ව ලොව සැලකිය යුතු රටවල් පිරිසක් එම ප්‍රතිපත්තිය ම අනුගමනය කළ ද, සිංගප්පූරුව ඒවා පරයමින් ලොව සාර්ථක ම රටක් බවට පත් වුණා. 

මේ ආකාරයෙන් සිංගප්පූරුව දියුණුව ලබන්නට ප්‍රධානත ම හේතුවක් වූයේ එය ආසියාවේ කිසිදු රටකට වඩා ආර්ථික වශයෙන් නිදහසක් පවත්වාගැනීම නිසා යි. මෙහි ව්‍යාපාර හා සම්බන්ධ බදු ඉතා අවම වන අතර, ව්‍යාපාර සබැඳි ප්‍රාග්ධන සීමා ඉතා ලිහිල් වෙනවා. එහි සංක්‍රමණය වන්නන් හට සිංගප්පූරුව ඉතා ලිහිල් ආගමන විගමන ප්‍රතිපත්ති පිළිපැදීම නිසා විවිධ ව්‍යවසායකයන් නිතැතින් ම සිය ව්‍යාපාර කටයුතු සඳහා එහි පැමිණෙන්නට පටන් ගත්තා.  එහි බැංකු කටයුතු ද ආරක්ෂිත මෙන් ම කාර්යයක්ෂ්ම ද වෙනවා. නවීන තාක්ෂණය හා සබැඳි ව ඉතා වැඩි පලදායීතාවකින් යුක්තව, විශ්වාසනීය ව එහි බැංකු පද්ධතිය ක්‍රියාත්මක වන නිසා බොහෝ දෙනෙක් සිංගප්පූරුවේ සිය මුදල් ආයෝජනය කරන්නට පැකිළෙන්නේ නැහැ.

 සිංගප්පූරුව 1965 වසරේදී- flickriver.com

 

නව ව්‍යාපාර ඇරඹීමේ පහසුව

සිංගප්පූරුවෙහි නව ව්‍යාපාරයක් අරඹන්නට අදහස් කරන්නකුට, තමන් සතු ව මූලික සුදුසුකම් සියල්ල සතු නම්, අවම වශයෙන් පැය 3 ක් හා උපරිම වශයෙන් සති 4 ක කාලයක් තුළ තමන්ගේම කියා නව ව්‍යාපාරයක් ආරම්භ කළ හැකි යි. සියලු සුදුසුකම් තමන් සතු නම් යමකුට එක් දිනක් තුළ තමන්ගේ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී තනතුර නිල වශයෙන් එහි දී ලබා ගත හැකි අතර, එය නිල වශයෙන් එහි බලධාරීන් පිළිගන්නවා. මේ නිසා බොහෝ ව්‍යාපාරිකයන් තම ව්‍යාපාරය සිංගප්පූරුවේ ස්ථානගත කරන්නට උත්සාහ කරන අතර, තම පැරණි ව්‍යාපාරය සිංගප්පූරුව වෙත ගෙන එන්නටත්, විශාල ව්‍යාපාරවල මූලස්ථාන සිංගප්පූරුවේ පිහිටුවා ගන්නටත් බොහෝ ව්‍යාපාරිකයන් උනන්දු වෙනවා. මෙහි ප්‍රතිඵලය යහමින් එරට තුළ ජාත්‍යන්තර විනිමය ගැවසීම යි. 

සාර්ථකත්වයේ පියවර

ලිපියේ පෙර සඳහන් කළ පරිදි සිංගපූරුවේ වර්තමාන දියුණුවට හේතු වූයේ, නිදහසෙන් පසු එය පාලනය කළ ලී ක්වාන් යූ යි. තමන් සතු ස්වභාවික සම්පත් අවම මට්ටමක තිබීම නිසා ඔහු තමන් සතු සම්පත් පිළිබඳ ව නිර්ණය කර, එහි භූමිය ඒ අනුව යොදා ගත්තා. ලොව වෙනත් රටවලට අවශ්‍ය සේවා වන බැංකු, නැව් තැනීම, ඉලෙක්ට්‍රොනික උපකරණ තැනීම තමන්ට පහසුවෙන් හසුරුවාගත හැකි ක්ෂේත්‍ර බැව් ඔහු නිවැරදි ව වටහා ගත් අතර, ඒ අනුව සිය රටෙහි ව්‍යාපාරයන් හැඩ ගස්වාගන්නටත්, එම ස්වරූපයේ ව්‍යාපාර කරන විදෙස් ව්‍යවසායකයන්ට, දෙපාර්ශවයට ම වාසි සහගත ගිවිසුම් ගසමින් එරට වෙත අද්දවාගන්නටත් ඔහු ක්‍රියා කළා.

දක්ෂ මිනිසුන් එහි අද්දවාගැනීම සඳහා නිවෙස්, යටිතල පහසුකම් හා සෞඛ්‍ය වැනි ක්ෂේත්‍ර ඔහු ඉතා හොඳින් දියුණු කළා. විශේෂයෙන්ම බහු ජාතික සමාගම් චකිතයකින් තොරව තම රට වෙත පැමිණ ව්‍යාපාර  කරන ආකාරයට ඔවුන් වෙත විශ්වාසය ගොඩනැඟෙන ආකාරයට නීති සම්පාදනය කරන්නටත් ඔහු අමතක කළේ නැහැ. නිවැරදි ශ්‍රමික නීති, මූල්‍ය නීති වැනි දේ ඇති කිරීමත්, ඒවා නිවැරදි ව ක්‍රියාවේ යෙදවීම සඳහා, දූෂණයෙන් තොර, සුදුසුකම් ලත් පොලිසියක් නිර්මාණය කිරීමෙන්, එම සමාගම් හා ව්‍යාපාරිකයන්ට හොඳ ආරක්ෂාවක් මෙන් ම පහසුකම් සැපයීමක් ලැබෙන බවටත් විශ්වාසයක් ඔහු ගොඩ නැඟුවා. 

 ලී ක්වාන් යූ- kapitalafrik.com

 

ලී ක්වාන් යූ තම අමාත්‍ය මණ්ඩලය තෝරාගැනීමේදී මිතුරුකම් පසෙක තබා ඒ ඒ තනතුරුවලට සුදුසුකම් උපරිමයෙන් ම තිබූ අය තෝරා පත් කර ගත් අතර, කිසිදු දූෂණයක් සිදුවන්නට ඉඩ තැබුවේ නැහැ. මේ නිසා නිසි පෙර දැක්මක් සහිත ව රට ඉදිරියට ඇදුණු අතර, රටට ලැබෙන මුදල් සියල්ල ම නිසියාකාරයට, සැලසුමක් සහිත ව ඒ ඒ අවශ්‍යතා වලට යෙදවුණා. ආසියාවේ බොහෝ රටවලට එය සිදු කර ගත නොහැකි වී ඇති අතර අද සිංගප්පූරුව මේ තැන සිටින්නේ එබැවිනු යි. මූල්‍ය විගණනය ලී ක්වාන් යූ රජයෙහි ප්‍රධානත ම අංගයක් වූ අතර, දූෂණ වංචා දුටු තැන, ඒවා ආරම්භයේදී ම මුලිනුපුටා දමන්නටත්, ඒවා සිදු කළ අයට දැඩි දඬුවම් පමුණවන්නටත් සිංගප්පූරු බලධාරීන් ක්‍රියා කළා. ඒ නිසා බලා සිටියදී ම සිංගප්පූරුව ලොව ධනවත් ම රටක් බවට පත් වුණා.

නිදහස ලබන විට සිංගප්පූරුව දූෂණයෙන් සපිරි දුප්පත් රටක් වුණා. ලී ක්වාන් යූ ආණ්ඩුව දූෂණයට එරෙහි දැඩි නීති සම්පාදනය කර ඉක්මනින් ම රටේ දියුණුව උදා කළ අතර, මේ නිසා එහි සේවය කරන ජනතාවට ඉතා සැපවත් ව ජීවත් විය හැකි වැටුපක් ලැබෙන ආකාරයට ආර්ථිකය හසුරවාගන්නට ඔවුන්ට හැකි වුණා. අදත් සිංගප්පූරුව ලොව මූල්‍ය දූෂණ සිද්ධි අව ම රටක් ලෙස සැලකෙනවා. හුදු සුබසාධනය පසෙක තබා යූගේ ආණ්ඩුව එහි මිනිසුන්ට 'අත සොලවා කට සොලවාගත යුතු' ක්‍රමවේදයක් ගෙන ආවා. මේ නිසා මිනිසුන් ස්වමහන්සියෙන් ධනය උපයන්නට පටන්ගත් අතර, උකටලීව, සහනාධාර මත යැපෙන පිරිස අඩු වී, සිංගප්පූරුව ක්‍රියාශීලී රටක් බවට පත් වුණා.

නිවාස සංවර්ධන ප්‍රතිපත්ති

නිදහස ලබන විට සිංගප්පූරුවේ සැලකිය යුතු ජනකායක් මුඩුක්කුවල ජීවත් වූ අතර යූ ගේ ආණ්ඩුව ඔවුන්ට නිවාස ව්‍යාපෘති හඳුන්වා දෙමින් කෙමෙන් කෙමෙන් එය 'සුපිරි නගරයක් ' තත්ත්වයට ගෙන ආවා. මෙම නිවාස ව්‍යාපෘතිවල යටිතල පහසුකම් හොඳ තත්ත්වයෙහි වූ අතර, සෞඛ්‍ය සහ අධ්‍යාපන පහසුකම් ද ඒත් සමඟ ම දියුණු කෙරුණා. මේ නිසා සිංගප්පූරු ජනතාව අඩු මානසික ආතතියකින් ජීවත් වෙන, නිරෝගී, උගත්, ප්‍රජාවක් වූ අතර, ඉන් වඩා කාර්යශූර, නිර්මාණශීලී ප්‍රජාවක් බිහි වුණා. මෙය ඉතා ධනාත්මක ලෙස අදටත් එරට ආර්ථිකයට බලපා තිබෙනවා. විශේෂයෙන් එරට රජය ට බදු ආදායම් වැනි දෙයින් ලැබෙන මුදල් ඉතා දැඩි විනිවිද භාවයකින් යුක්ත ව ව්‍යාපෘතිවලට යොදවන නිසා, එහි ජනතාවටත් තමන්ගේ බදු මුදල් අවභාවිත නොවන බවට විශ්වාසයක් තිබෙන අතර, තමන් ඉන් උපරිම වරප්‍රසාද විඳින බවට ඇති තෘප්තියත් ඔවුන් සතු ව තිබෙනවා.

 සිංගප්පූරුව වර්තමානයේ ලොව එක් ආර්ථික මධ්‍යස්ථානයක් බවට පත්ව තිබෙනවා- thetradenews.com

 

තාක්ෂණික ක්ෂේත්‍රයේ දියුණුව

සිංගප්පූරුවේ ඇමති මණ්ඩලයේ සිටින්නේ සුදුසුකම් සහිත පුද්ගලයන් නිසා ඔවුන්ට නිතැතින් ලොව ප්‍රවණතා සහ ඒවාට අනුව තමන් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ හොඳ අවබෝධයක් තිබෙනවා. මේ අනුව ලොව තාක්ෂණික පුනරුදයක් ඇති වන විට, එම ප්‍රවණතාව වටහා ගත් සිංගප්පූරු බලධාරීන්, තාක්ෂණය හා සබැඳි ව්‍යාපාර තම රටට ගෙන්වා ගැනීමට ක්‍රියා කළ අතර, ඒවාට උපරිම පහසුකම් සැපයුවා. ඔවුන් නිදහස් වෙළඳාමටත් උපරිම නිදහස ලබා දුන්නා. මේ නිසා බහු ජාතික සමාගම් රාශියක් සිය වෙළෙඳ කටයුතු සඳහා සිංගපූරුව යොදා ගත් අතර, මේ නිසා එහි ආදායම් බලා සිටිය දී වැඩි වුණා.

විවිධ හේතු නිසා ආර්ථික අතින් ලොව අඩියට ම වැටී සිටින රටවලට සිංගප්පූරුව හොඳ ආදර්ශයක් වෙනවා. ඒ ලොව බොහෝ රටවලට ආරම්භයේ දී සිංගප්පූරුවට තිබූ සම්පත්වලට වඩා බොහෝ සම්පත් තිබෙන නිසා යි. සිංගප්පූරුව වැනි දියුණු රටක් ගොඩ නඟන්නට අවශ්‍ය වන්නේ දූෂණයෙන් තොර පාලකයන්, බුද්ධිමත් ජනතාවක්, නිවැරදි දැක්මක් ඇති නායකයන් සහ නොපසුබට උත්සාහයෙන් පිරි ප්‍රජාවක් වැනි සාධක කිහිපයක් පමණක් බව බොහෝ විද්වතුන්ගේ මතය යි.

කවරයේ ඡායාරූපය - වර්තමාන සිංගප්පූරුව - kk. Nationsonline.org 

මූලාශ්‍ර:

Npr.org

Vulcanpost.com

britannica.com