Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සිංගප්පූරුවේ අගමැතිට පවුලේ අයගෙන් බරපතල චෝදනා

සිංගප්පූරුවේ අගමැති ලී සියෙන් ලූන්ග් සිය දේශපාලන ජීවිතයේ බරපතලම ප්‍රශ්නයකට මුහුණ දී සිටිනවා. ඔහුට එරෙහිව ඔහුගේම බාල සහෝදරයා සහ සහෝදරිය විසින් ඉතා ම බරපතල චෝදනා එල්ල කරනු ලැබුවේ සිංගප්පූරු දේශපාලන ක්ෂේත්‍රය කළඹවාලමින්.

ලී සියෙන් ලූන්ග්ගේ සහෝදරිය වන දොස්තර ලී වෙයි ලින්ග් (Lee Wei Ling) සහ ඔහුගේ සහෝදරයා වන ලී සියෙන් යෑන්ග් (Lee Hsien Yang) යන දෙදෙන සිංගප්පූරුවේ ප්‍රකට පුද්ගලයින් දෙදෙනෙක්. ලී වෙයි ලින්ග් කලක් එරට ජාතික ස්නායු විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළා. ලී සියෙන් යෑන්ග් එරට සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති වනවා.

මේ දෙදෙනා පසුගිය ජූනි 14 වනදා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඔවුනගේ වැඩිමහලු සහෝදරයාගේ සහ ඔහුගේ බිරිඳගේ චරිත ස්වභාව​, කල් ක්‍රියාව​, අරමුණු සහ නායකත්වය පිළිබඳ තමන් සැක කිරීමට පටන් ගෙන ඇති බවයි.

prime minister, house, legal issues, li quan yu, chamara sumanapala

ඔවුන් විසින් ඉදිරිපත් කෙරුණ චෝදනා අතරින් වැදගත් වූයේ ඔවුනගේ පියා ලී ක්වාන් යූගේ නිවස පිළිබඳ ගැටුම, ලී සියෙන් ලූන්ග්ගේ බිරිඳ අනවශ්‍ය ලෙස රජයේ කටයුතුවලට අත පෙවීම සහ ලී සියෙන් ලූන්ගේ පුතා දේශපාලනයට ගෙන ඒමට ඔහු තුළ ඇති අවශ්‍යතාවය යන කරුණු ය​.

විශ්වාසය කඩ වීම​

තම පියාගේ මරණින් පසු සිය දේශපාලන බලය උපයෝගී කරගනිමින් තම පුද්ගලික අවශ්‍යතාවයන් ඉටු කරගැනීම කෙරෙහි ලී සියෙන් ලූන් ග් කටයුතු කරන ආකාරය තමන් බියට පත් කළ බව ලී වෙයි ලින්ග් සහ ලී සියෙන් යෑන්ග් පවසනවා.

ලී සියෙන් ලූන්ග් තමන්ට අවශ්‍ය පරිදි පවුලේ කටයුතු පාලනය කරන්නට උත්සාහ කරන බවත් තම සහෝදරයකු සහ නායකයකු ලෙස ඔහු කෙරෙහි වූ විශ්වාසය බිඳ වැටී ඇති බවත් ඔවුන් ප්‍රකාශ කරනවා.

ලී ක්වාන් යූ සහ දරුවන් (පවුලේ ඡායාරූපයක්)

සිය සහෝදරයාගේ බිරිඳ හෝ චින් පිළිබඳව සඳහන් කරන මෙම දෙදෙනා කියා සිටින්නේ ඇය ඇගේ රාජකාරි මට්ටමටත් වඩා වැඩි බලපෑමක් රජයේ කටයුතු කෙරෙහි සිදු කරන බවයි. ‘හෝ චින්’ සිංගප්පූරුවේ ‘තමසෙක්’ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිණිය වනවා.

මේ අතර ලී සියෙන් ලූන්ග් සහ ඔහුගේ බිරිඳ, ඔවුනගේ පුත්‍රයා වන ලී හොංග්යි, දේශපාලනයට ගෙන ඒමේ බලාපොරොත්තුවෙන් සිටින බව ද ප්‍රකාශ චෝදනා කරනු ලැබුණා. දැනට 30 හැවිරිදි වියේ පසුවන ඔහු ඇමරිකාවේ මැසචුසෙට්ස් තාක්ෂණික ආයතනයෙන් ඉගෙනුම ලබා දැනට සිංගප්පූරුවේ රජයේ තාක්ෂණික ඒජන්සියේ සේවය කරනවා.

ලී ක්වාන් යූගේ නිවස

ලී ක්වාන් යූ පදිංචි ව සිටි අංක 38, ඔක්ස්ලි පාර යන ස්ථානයේ පිහිටි නිවස පිළිබඳ සහෝදර සහෝදරියන් අතර ඇතිව තිබෙන ගැටුම මෙම මතභේදයේ ප්‍රධානම අංගය බවට පත්ව තිබෙනවා. ලී සියෙන් ලූන්ග්ගේ සහෝදරයා සහ සහෝදරිය පවසන්නේ සිය පියාගේ අභිමතය පරිදි එම නිවස කඩා දමනු වෙනුවට එය දිගටම ආරක්ෂා කිරීම ලී සියෙන් ලූන්ගේ බලාපොරොත්තුව බවයි.

ලී සියෙන් ලූන්ග්ගේ දේශපාලන ජීවිතය ගොඩ නැගී ඇත්තේ සිය පියා විසින් ගොඩ නගන ලද දේ මත බව ලී සියෙන් යෑන් ග් සහ ලී වෙයි ලින් ග් පවසනවා. මේ නිසා ඔහුට අවශ්‍යව ඇත්තේ සිය පියාගේ නිවස කෞතුකාගාරයක් හෝ වෙනත් ස්මාරකයක් බවට පත් කර ලී ක්වාන් යූගේ නම භාවිතා කර සිය දේශපාලන අනාගතය සකසාගැනීම බවයි ඔවුන් පවසන්නේ. ලී වෙයි ලින්ග් මීට කලකට පෙර ද මෙම චෝදනාව ම ලී සියෙන් ලූන්ග්ට එරෙහිව එල්ල කළා.

ලී ක්වාන් යූ ගේ නිවස​. (චිත්‍රය ඔන්ග් කිම් සෙන්ග්)

කෙසේ නමුත් මෙවර ලී සියෙන් ලූන්ග් දරුණු චෝදනාවකට මුහුණ දී සිටිනවා. ඔහුගේ සහෝදර ලී සියෙන් යෑන්ග් සඳහන් කරන්නේ ලී සියෙන් ලූන්ග් මෙම නිවස සම්බන්ධව පරස්පර විරෝධී ප්‍රකාශයන් සිදු කළ බවයි.

සිය සහෝදරයා පාර්ලිමේන්තුවට සහ විශේෂ පාර්ලිමේන්තු කමිටුවකට අවස්ථා දෙකකදී කරුණු දෙකක් පවසා ඇති බවත් එයින් එක් අවස්ථාවක හෝ ඔහු අනිවාර්යයෙන් ම මුසාවක් පවසා ඇති බවත් ලී සියෙන් යෑන්ග් ප්‍රකාශ කරනවා.

මේ අනුව 2015 දී සිය පියාගේ මරණින් කෙටි කලකට පසුව පාර්ලිමේන්තුව අමතා කතාවක් පවැත්වූ ලී සියෙන් ලූන්ග් සිය පියා තම නිවස කඩා ඉවත් කළ යුතු යයි අවධාරණය කළ බව යෑන්ග් මතක් කරනවා. නමුත් පසු කලෙක විශේෂ පාර්ලිමේන්තු කමිටුවක් හමුවේ කරුණු දක්වමින් ලී සියෙන් ලූන්ග් පවසා ඇත්තේ අනිවාර්යයෙන් ම නිවස කඩා දැමිය යුතු යයි සිය පියා සඳහන් නොකළ බවයි.

අගමැතිවරයා පිළිතුරු දෙයි

මෙම චෝදනා අගමැති ලී සියෙන් ලූන්ග් වෙත දැඩි බලපෑමක් කිරීමට හේතු වූ බව පැහැදිලියි. සිය සහෝදරයා සහ සහෝදරිය කළ චෝදනාවලට පිළිතුරු දෙමින් ලී සියෙන් ලූන්ග් ප්‍රකාශ කළේ පවුලේ අභ්‍යන්තර ප්‍රශ්නයක් පොදු ජනතාව අතරට ගෙන යාම පිළිබඳව තමා කනගාටු වන බවයි. එමෙන්ම අගමැතිවරයා එම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කළා.

විශේෂයෙන් ම සිය පුත්‍රයා දේශපාලනයට ගෙන ඒමට තමන් සහ තම බිරිඳ බලාපොරොත්තු වන බව කරන චෝදනා ලී සියෙන් ලූන්ග් සම්පූර්ණයෙන් බැහැර කළා.

එමෙන්ම සිය පියාගේ අන්තිම කැමති පත්‍රයේ අවසන් පිටපත සකස් කිරීම පිළිබඳව ද ලී සියෙන් ලූන්ග් සැක පළ කළා. ඔහු ප්‍රකාශ කළේ සිය පියාගේ අන්තිම කැමති පත්‍රයේ පළමු පිටපතේත්, පසුව ඊට කළ සංශෝධන කිහිපයකත් සිය නිවස කඩා දැමීම පිළිබඳ කොන්දේසිය අඩංගු වූ බවයි.

කෙසේ නමුත් පස්වන සහ සයවන පිටපතේ එම කොන්දේසිය නොතිබූ බවත් යළි හත්වැනි, එනම් අවසාන පිටපතේ, එය නැවතත් ඇතුලත් වූ බවත් ලී සියෙන් ලූන්ග් ප්‍රකාශ කළා. එමෙන් ම මේ අවසන් පිටපත සකස් කළේ සාමාන්‍ය නීතීඥයා නොමැතිව බවත් එහිදී සිය සහෝදරයාගේ බිරිඳ සහ ඇය සේවය කරන නීතීඥ සමාගම කළ මැදිහත් වීම ප්‍රශ්නකාරී බවත් ලී සියෙන් ලූන්ග් සඳහන් කළා.

මේ අතර ලී සියෙන් ලූන්ග්ගේ පුත්‍රයා ද ප්‍රකාශයක් නිකුත් කරමින් තමා දේශපාලනයට පැමිණීමට කිසිදු සූදානමක් නොමැති බවත් දේශපාලනය කෙරෙහි තමා උනන්දු නැති බවත් සඳහන් කළා.

මේ දෙපිරිස අතර ගැටුම තවදුරටත් අවසන් වී නැහැ. සිංගප්පූරුවේදී පාලක පක්ෂ දේශපාලකයන් විවේචනය කිරීම ප්‍රවේශමෙන් කළ යුත්තක්. ඇතැම් විට අධිකරණයක් මගින් අපහාසාත්මක යයි තීරණය කෙරුණ දෙයක් ප්‍රකාශ කරන අයකුට විශාල වන්දියක් හෝ සිර දඬුවමක් පැණවීම කරනු ලබනවා. එවන් තත්ත්වයකදී ලී සියෙන් ලූන්ග්ට තම පවුලෙන්ම එල්ල වන විවේචන දරා ගැනීම අපහසු වී තිබෙනවා.

කෙසේ වෙතත් අගමැතිවරයා නුදුරු දිනකදී  අදාල කරුණ පිලිබඳ පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න සහ පිළිතුරු සැසියක් කැඳවීමට නියමිතයි.  එහිදී ඒ පිළිබඳ ඇති ගැටළු ඉදිරිපත් කරන ලෙසත් ඒ සියල්ලටම තමන් පිළිතුරු දීමට බලාපොරොත්තුවන බවත් ඔහු පවසා සිටිනවා.

ලී ක්වාන් යූ සිය නිවස ගැන පැවසූ දේ

තම මරණයෙන් කලකට පෙර, සිංගප්පූරුවේ The Strait Times පුවත්පත සමඟ සාකච්ඡාවකට එක්වෙමින් හිටපු අගමැති ලී ක්වාන් යූ පවසා සිටියේ, තම මරණයෙන් පසු, එම නිවසේ පදිංචිව සිටින දියණිය නිවසින් පිටවීමට තීරණය කළහොත් ඉන්පසුව සිය නිවස කඩා බිඳ දැමිම තමන්ගේ කැමැත්ත බවයි.

ලී ක්වාන් යූ (EPA)

එයට හේතු වශයෙන් ඔහු දක්වා සිටියේ එය ස්මාරකයක් වශයන් නඩත්තු කිරීමට රජයට විශාල වියදමක් දරන්නට සිදුවීම සහ අසල්වාසින්ව ඔවුන්ගේ නිවාස අලුත්වැඩියා කිරීමට තමන්ගේ “කුඩා, පරණ”  නිවාසය බාධාවක් වනු ඇති බව යන කාරණායි.

ඒ නිසා නිවාස සමතලා කර එම ඉඩමේ වෙළෙඳපොල අගයට ගැලපෙන පරිදි නිවාස සංකීර්ණයක් හෝ වෙනයම් ඉදිකිරීමක් සුදුසු බවයි හිටපු අගමැතිවරයා පවසා සිටියේ.

කෙසේ නමුත් මතභේදයට තුඩු දී  ඇති නිවසට කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳ​ අවසන් තීරණයක් වත්මන් සිංගප්පූරු අගමැතිවරයා සහ ඔහුගේ සහෝදරයා සහ සහෝදරිය මෙතෙක් ගෙන​ නැහැ.

මූලාශ්‍ර​

  1. Singapore PM Lee Hsien Loong denounced by siblings, June 14, 2017
  2. Lee Hsien Yang says PM Lee Hsien Loong lied in Parliament or to committee, The Straits Times, June 15, 2017
  3. Siblings of Singapore PM fear for their safety, accusing him of harassment and trashing Lee Kuan Yew’s values, South China Morning Post, June 13, 2017
  4. PM Lee Hsien Loong details ‘deeply troubling’ way Lee Kuan Yew’s will was made, June 15, 2017
  5. Oxley Road dispute: How it unfolded, The Straits Times, June 15, 2017
  6. MM Lee: Fengshui is “utter rubbish!” (Video interview with The Straits Times)

Cover Image: අගමැති ලී සියෙන් ලූන්ග් (AFP/Getty)

Related Articles