Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සිංහ කොඩිය ජාතික කොඩිය වූ හැටි

වර්තමානයේ අපි භාවිතා කරන ජාතික කොඩිය නිර්මාණය වන්නේ 1948 වසරේ ලංකාවට ඩොමීනියන් තත්ත්වයේ නිදහස හමුවීමෙනුත් ටික කාලයකට පසුව යි. නිදහස ලැබීමට ප්‍රථම ලංකාවේ භාවිතා වුණු සිංහ කොඩිය වෙනුවට, නව ජාතික කොඩියක් හඳුන්වා දිය යුතුයැ යි පාර්ලිමේන්තුව තුළ වූ විවාදයෙන් අනතුරුව වර්තමානයේ භාවිතා වන ජාතික කොඩිය නිර්මාණය කිරීම සඳහා එවකට අගමැති ඩි. එස්. සේනානායකගේ මඟ පෙන්වීම යටතේ කමිටුවක් පත් කරනවා.

1952 වසරේ පළමුවරට මෙම කොඩිය ශ්‍රී ලංකා ගුවනේ ලෙළ දෙනවා. ඉතින් මේ සුදානම වත්මන් කොඩිය නිර්මාණය වූ ආකාරය පිළිබඳ ව හා එය නිර්මාණය වූ ක්‍රියා පටිපාටිය පිළිබඳ ව ඔබ වෙත ලිපියක් ගෙන ඒමට යි.

දුටුගැමුණු යුගයේ සිට පැවති සිංහ කොඩිය

දකුණු පළාත් කොඩිය දුටුගැමුණු කොඩියට වඩා සමීප වේ (VectorStock)

අද අපි භාවිතා කරන ජාතික ධජයේ සිංහ රුව මුලින්ම සොයාගත හැකි පුරාවිද්‍යාත්මක සාක්ෂ්‍යයක් ලැබෙන්නේ දුටුගැමුණු රජ සමයේ යි. ඒ දුටුගැමුණු රජු මාගම්පුර සිට එළාර රජ හා යුද්ධයට යාමේ දී භාවිතා කළ ධජය යි. ඒ බව දඹුලු විහාරයේ එළාර – දුටුගැමුණු යුද්ධය පිළිබඳ ව ඇති සිතුවම්වලින් පැහැදිලි වෙනවා.

එහි කඩුවක් අතින් ගත් සිංහයෙක් ද, දෙපස ඉර හා හඳ ද ඇඳ දක්වා තිබෙනවා. එහි ඉර හා හඳ මඟින් සදාකාලික බව නිරූපණය වෙනවා. වර්තමානයේ දකුණු පළාත් කොඩිය නිර්මාණය වී තිබෙන්නේ දුටුගැමුණු කොඩියේ අභාසය ලබා ගනිමින්.

නුවර යුගයේ සිංහ කොඩිය

නුවර යුගයේ සිංහ කොඩිය (National Maritime Museum)

දුටුගැමුණු යුගයෙන් පසු ව කෝට්ටේ යුගයේ ද සපුමල් කුමරු විසින් කළ යාපා පටුන සංග්‍රාමයේ හා ලන්දේසි යුගයේ ද සිංහ කොඩිය පිළිබඳ ව විවිධ මුලාශ්‍රවල සඳහන් වෙනවා.

ලංකාවේ අවසාන රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ සමයේ භාවිතා වන්නේ ද දුටුගැමුණු යුගයට මඳක් සමීප වූ ධජයක්. එහි කහ පැහැති තීරුවකින් වට වූ, රතු පැහැති පසුබිමක කඩුවක් අතින් ගත් සිංහයෙකු සිටින ආකාරය නිරූපණය වෙනවා. සතර පැත්තෙන් ඊ හිස් සතරක් ද එහි දකින්න පුළුවන්.

1796 වසරේ ඉංග්‍රීසින් විසින් මෙරට මුහුදුබඩ ප්‍රදේශ යටත් කර ගන්නා අතර, 1815 වසරේ මහනුවර මඟුල් මඩුවේ දී ලංකාව සම්පූර්ණයෙන් ම ඉංග්‍රීසි ජාතිකයන් විසින් යටත් කර ගැනීමේ ගිවිසුමට අත්සන් තැබෙනවා.

ගිවිසුම අත්සන් කිරීමට ප්‍රථම මහා බ්‍රිතාන්‍යයේ යූනියන් ජැක් කොඩිය ඉංග්‍රීසින් විසින් ඔසවන අතර, ගිවිසුම අත්සන් තැබීමට ප්‍රථම මෙරට අයිති ස්වදේශිකයන්ට බව පවසමින් වාරියපොළ ශ්‍රී සුමංගල හිමියන් යූනියන් ජැක් කොඩිය බිම දමා, එවකට පැවති නුවර යුගයේ ධජය එසවූ බව සඳහන් වෙනවා.

සිංහ කොඩිය මෙරටින් ඉවත් වීම හා නැවත පැමිණීම

යූනියන් ජැක් (Chairish)

1815 වසරේ මාර්තු 2 වන දින ඉංග්‍රීසින් විසින් මෙරට සම්පූර්ණයෙන් ම යටත් කර ගැනීමෙන් පසු ව සිංහ කොඩිය මෙරට භාවිතයෙන් ඉවත් වෙන අතර, ඒ වෙනුවට බ්‍රිතාන්‍යන්ගේ යුනියන් ජැක් කොඩිය මෙරටට ආදේශ වෙනවා. ඒ 1948 වසරේ මෙරටට නිදහස ලැබෙන තෙක් ය.

තව ද, එම කාල සීමාව තුළ ශ්‍රී ලංකාවට ඉංග්‍රීසි යටත් විජිත කොඩිය ද හඳුන්වා දෙනවා. යුනියන් ජැක් සලකුණ කොනකට ද මධ්‍යයේ වෙහෙරක් හා ඇතෙකුගෙන් සමන්විත වෘත්තයක් ද එහි අඩංගු වෙනවා.

1947 වසරේ සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ මෙරට පළමු පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙනවා. එහි ප්‍රතිඵලය අනුව ඩි. එස්. සේනානායක ප්‍රමුඛ එ.ජා.පය මෙරට බලය ලබා ගන්නවා. 1948 වසරේ පළමු නිදහස් සැමරුම කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී පවත්වන අතර, එහි දී අගමැති ඩි. එස්. විසින් ඉහළට ඔසවනු ලබන්නේ සිංහ කොඩිය යි.

සිංහ කොඩියට එරෙහි විරෝධතාවය

බ්‍රිතාන්‍ය කොළනියක් ව පැවති සමයේ (Wikipedia)

1948 වසරේ පාර්ලිමේන්තුවේ දී නිදහස් ශ්‍රී ලංකාවේ ධජය කුමන අකාරයක් ගත යුතු දැ යි විවාදයට බඳුන් වූ අතර, ආණ්ඩුවේ හා විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් සිංහ කොඩිය නිදහස් ලංකාවේ ජාතික ධජය ලෙස භාවිතා කළ යුතු බව පවසනවා. ඇතැම් මන්ත්‍රීන් ඒ සඳහා තම විරෝධතාව එල්ල කරනවා.

නව ජාතික කොඩියක් පිළිබඳ ව නව ආණ්ඩුවේ පැහැදිලි මතයක් නොතිබූ අතර, නව ධජයක් නිර්මාණය කිරීමට අගමැති ඩි. එස්. කමිටුවක් පත් කරනවා. නව කොඩිය නිර්මාණය කරන තුරු සිංහ කොඩිය මෙරට ජාතික කොඩිය ලෙස පිළිගන්නා බව ඔහු විසින් සඳහන් කරනවා.

නව කොඩියක් සඳහා කමිටුවක් පත් කෙරේ

1951 දී නිර්මාණය වූ කොඩිය (Wikipedia)

නිදහස් ලංකාවේ නව කොඩිය නිර්මාණය කිරීම සඳහා අගමැතිවරයාගේ උපදෙස් මත එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් එස්. ඩබ්. ආර්. ඩි. බණ්ඩාරනායක (සභාපති), සර් ජෝන් කොතලාවල, ජේ. ආර්. ජයවර්ධන, ලලිත රාජපක්ෂ, හා ටී. බි. ජයා කමිටුවට ඇතුළත් වූ අතර, සමස්ථ ලංකා දෙමළ කොන්ග්‍රසය නියෝජනය කරමින් ජී. ජී. පොන්නම්බලම් පත්වෙනවා. කමිටුවේ ලේකම් ලෙස පුරාවිද්‍යා කොමසාරිස් සෙනරත් පරණවිතාන කටයුතු කරනවා.

කමිටුව සඳහා විවිධ යෝජනා ලැබුණු අතර, යෝජනා අතරින් අවසානයේ කොඩියෙන් 5/7ක ඉඩ ප්‍රමාණයක් කඩුවෙන් අතින් ගත් සිංහයාට වෙන් කෙරෙනවා. අනෙකුත් සුළු ජාතීන් නිරූපණය කිරීම සඳහා කහ හා තැඹිලි තීරු එකතු කිරීමට තීරණය වෙනවා.

වත්මන් ධජය (VideoBlocks)

කමිටුවේ අවසන් නිර්දේශය 1951 වසරේ පෙබරවාරි මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ අතර, 1951 වසරේ මාර්තු 2 වන දා එය ප්‍රථම වරට ඔසවනවා. ඉන්පසු, එළඹෙන නිදහස් දිනය දා ගුවනට නැඟෙන්නේත් මෙම ජාතික කොඩිය යි.

1972 වසරේ දී කොඩිය සතර පැත්තෙන් ඇති ඊ හිස් වෙනුවට බෝ කොළ හතරක් එකතු කිරීමට එවකට පැවති ආණ්ඩුව විසින් පත්කළ කමිටුව තීරණය කරනවා.

එලෙස වෙනස් වූ ජාතික කොඩිය, අද වන තුරු ශ්‍රී ලංකාවේ ජාතික ධජය ලෙස භාවිතා කරනු ලබනවා.

 

කවරයේ පින්තූරය: Pinterest

මූලාශ්‍රයයන්:

youtube.com

parliament.lk

silumina.lk

britannica.com

Related Articles