Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කාලයේ තාලයට සිංහල

සුපතල සමාජ වෙබ් අඩවියක මැතක දී කදිම කතා බහක් ඇති වුණා. ඉංග්‍රීසියෙන් ‘perfectionist’ යන්න සිංහලයෙන් තනි පදයකින් පැවැසිය හැකි ද? යන්න යි මීට හේතු වුණේ. මේ සංවාදය කදිම වන්න හේතුව, මෙවැනි සරල ඉංග්‍රීසි වදනකට පවා සරල සිංහල යෙදුමක් වහරෙහි නැතිකම යි. කෙටි යෙදුමක් පහසුවෙන් සිහියට පවා නොනැඟෙන්නේ එබැවිනුයි.

ඉංග්‍රීසි වදනකට සුදුසු සිංහල වදනක් නොමැති විට කුමක් කළ යුතු දැයි අප දැන් විමසා බලමු. කුමරතුඟු මුනිදසුන්, අරිසෙන් අහුබුදු, ජේ. බි. දිසානායක, ඊලියන් ද සිල්වා වැනි වියතුන් මේ මැය අලලා බෙහෙවින් ලියා කියා තිබෙන බව නොරහසක්. ඒ නිසා අප මේ ලිපියෙන් අදහස් කරන්නේ, වැඩිය ගැඹුරට නොගොස් සරලව එදිනෙදා වහරෙහි මෙවැනි පටලැවිල්ලකින් ගැලැවිමට එක් මඟක් පැහැදිලි කිරිම යි. නිදසුන් ලෙස; සිප්ලකුවේ (තාක්ෂණයේ) දියුණුවත් සමග අන්තර්ජාතික වහරට එකතු වුණු වදන් කිහිපයකුත් සිංහලයට පෙරළා තිබෙනවා.

බොහෝ විට සිංහලයේ (ඉංග්‍රීසියේ මෙන් නොව) කිරිය පදය (ක්‍රියා පදය) මූලිකව ඊට අදාළ අනෙකුත් වදන් තැනෙනවා. කිරිය පදය ගැන හොඳින් දැනුවත් විම, නව වදන් සාදා ගැනිමේ දී බෙහෙවින් අවැසි කරුණක්. උපසර්ග යොදා නව කිරිය පද මෙන්ම නමු පදයකට (නාම පදයකට) කිරිය පදයක් ඈඳා නව කිරිය පදයක් බිහි කිරිමට ද සිංහලයේ ඉඩ තිබෙනවා. ඊට අමතරව පවතින නමු පදයක් කිරිය පදයක් ලෙසට පෙරළීමට හා නව නමු පද නිපදවීමට ද හැකියි. සිංහලයේ වදන් සෑදෙන මේ කී නොකී පිළිවෙත් නිදසුන් සහිතව ඉහත වියතුන්ගේ ලියැවිලි ඇසුරෙන් උගත හැකියි.

ඉහත කතා බහේ දී අපට දැනගන්න ලැබුණා, අන්තර්ජාලයේ ‘මධුර’ වදන්මල (මධුර ශබ්දකෝෂයේ)  ‘perfectionist’ යන්න සිංහලයට පෙරළා ඇත්තේ ‘සර්වතෝභද්‍ර වාදියා’ ලෙස බව. කෙනෙක් මෙය නුසුදුසු යැයි කියද්දී, තවකෙක් කීවේ බුදුන් වහන්සේව ‘සර්වතෝභද්‍ර’ ලෙස හැඳින්වෙන්නේ ‘සියලු අතින්ම යහපත් බව’ යන අර්ථයෙන් යන්න යි. සිංහලය එදිනෙදා හසුරුවන්නෙකුට ‘perfectionist’ යන්නට සුදුසු සිංහල වදන ‘සර්වතෝභද්‍ර වාදියා’ නොවන බව ඉක්මනින්ම වැටහේ. ඒ මන්දයත්, ඉංග්‍රීසියේ ‘perfectionist’ට අදාළ ව බිඳෙන තවත් වදන් බොහෝමයක් ‘සර්වතෝභද්‍ර’ ඇසුරෙන් කට උලුක් කර ගන්නේ නැතිව පැවසිය නොහැකි නිසා යි. බලන්න, ‘perfection, perfectionism, perfectness, perfectibility’ ආදී වදන් ‘සර්වතෝභද්‍ර’ ඇසුරෙන් සිංහලයට කෙසේ හෝ පෙරළා එදිනෙදා වහරට යොදා ගන්නා ලෙසට කෙසේ නම් ඇරයුම් කරමු ද? මෙවන් අරුත් වියරු වදන් යොදා සිංහල නොමරා තබා ගන්නේ කෙසේ ද? මලලසේකර හෝ වෙනත් වදන්මලක මේ වදන්වල තේරුම මොනවට පහදා ඇත. අප සොයන්නේ එදිනෙදා වහරට ගත හැකි නැමියාවෙන් පිරිපුන් සරල යෙදුම් ය.

‘perfectionist’ තැනෙන්නේ ‘perfect’ යන කිරිය පදය මුල් කරගෙන යි. ඒ නිසා ඉහත පැනයට මෙසේ පිළිතුරක් සොයමු. ‘perfect’ යන්න නමු වෙසෙසුන් (නාම විශේෂණයක්) මෙන්ම කිරිය පදයකි. එය සියල්ල සපිරි, පරිපුර්ණ යන අරුත දනවයි. ගණිතයේ දී යම් නම්වරයක හරි බෙදුම්හි එකතුව එම නම්වරයට සමාන නම් එය ‘සපිරි නම්වරයක්’ (perfect number) ලෙස දැන ගනිමු. නිදසුනක් ලෙස; 28 හි හරි බෙදුම් වන 14, 7, 4, 2 සහ 1 හි එකතුව ද 28 ම යි. තවද, පැළවිදුවෙහි, ගැහැණු පිරිමි කොටස් දෙකම එකම සැහැටියේ ඇති මල් ‘සපිරි මල්’ (perfect flower) ලෙස දැන ගනිමු. එහෙයින්, ‘perfectionist’ අපි මෙලෙස පෙරළමු.

perfect (noun, verb, adjective) = සපිරියි, සපුරයි, සපිරි

perfect/imperfect = පරිපුර්ණ/අසම්පුර්ණ; සපිරි/නොසපිරි

perfection = සපිරිතම

perfecting = සපිරමින්/සපුරමින්/සපුරන

perfecter = සපුරන්නා

perfectibility = සපිරියාව

perfectible = සපිරිසුලු

perfectness = සපිරිකම

perfectionism = සපිරිදහම

perfectionist = සපිරිගැතියා

‘perfectionist’ යන්න ‘පරිපුර්ණවාදියා/පරිපුර්ණතා වාදියා’ ලෙස නොපෙරළන්නේ මන්දැ යි පැනයක් මතු වෙනවා. එවිට ‘perfect’ ඇසුරේ ඇති අනෙක් වදන් සිංහලයේ මටසිලිටිකමත්, නැමියාවත් නොනසා නිපදවාගත නොහැකි යි. නව වදන සෑදී ඇති අන්දම බලා එහි අරුත් සේයාව දැනැහැඳිනගත හැකි විය යුතු යි. එදිනෙදා වහරට සුදුසු පරිදි ගොරසැඬි නොවිය යුතු යි.

ඉහත සටහන් කළ පරිද්දෙන් තවත් සරල ඉංග්‍රීසි පද දෙකක් පෙරළා ඇති අයුරු බලමු.

smartphone = සුහුරු බණුව

‘telephone’ කෙටියෙන් ‘phone’ වේ. ‘telephone’ සඳහා ‘තෙලබණුව’ වදන්මාලාගතව ඇත්තේ දැනට අවුරුදු පණහකටත් පෙර සිට යි. එදිනෙදා වහරෙහි එතරම් (හෝ කොහෙත්ම) යෙදුණේ නැතත් tele = තෙල = දුර. ‘smart’ යන්න ‘සුහුරු’ ලෙස දැන් දැන් බෙහෙවින් යෙදෙනවා. එහි අරුත මාසුරු හෙවත් ඉතා සමත් බව යි. ඒ නිසා ‘smartphone’ යන්න සුහුරු බණුව ලෙස පෙරළීම සුදුසු බව යි හැඟෙන්නේ. ඒ ඇසුරෙන්ම, television = තෙලදසුන, ලෙස හැටේ දශකයේ සිටම ලිවිසැරියට එකතු වි තිබෙනවා. රූපවාහිනිය, ‘television’ සඳහා සුදුසුයැ යි විටෙක හැඟුනත් කිරිය පදය ගැන තැකිමකින් නිපදවා නැති නිසා පටලැවිම් බොහෝ යි. නිදසුනක් ලෙස; ‘televise’, ‘රූපවාහිනි විකාශනය කරනවා’ යැයි පවසනවා අපි අසා තිබෙනවා. ඒ මඟ ගියොත් ‘non-televise’ සිංහලයට පෙරළන්න, ‘රූපවාහිනි විකාශනය කිරීම නොකිරීම’, ‘රූපවාහිනි නොවිකාශනය කිරීම’ වැනි අනැවැසි විසුළු වැකි හදන්නට වේවි. ‘televise’ යන්න තෙලදිස්වයි ලෙස වහරෙහි නිරතුරුව යොදා ගන්නේ නම් කෙතරම් සරල ද? පහසු ද?

ඊළඟ නිදසුන ‘philosophy’. අපි බොහෝ දෙනා ‘philosophy’ යන්න දර්ශනවාදය ලෙස දනිමු. මෙහි අපිට ඇති ගැටළුව නම් ‘philosophy’ ඇසුරේ ඇති අනෙකුත් වදන් ‘දර්ශනවාදය’ යොදා ගෙන සරලව නිසියුරුව පෙරළාගත නොහැකි විම යි. ‘philosopher’ යන ඉංග්‍රීසි පදය හැදෙන්නේ ග්‍රීක ‘philosophos’ මුල් කරගෙන යි. එය ‘නුවණට ආදරය කරන්නා’ යන තේරුම දෙනවා. එමඟ ගොස් මෙසේ සුසරි යෙදුම් සකසාගත හැකියි.

philosophy/philosophies = නැණයුරුවම/නැණයුරුවම්

philosopher/philosophers = නැණසුරු/නැණසුරුවෝ

philosophise = නැණයුරයි

philosophiser = නැණයුරන්නා

philosophising = නැණයුරන

philosophically = නැණයුරුව

philosophical (philosophic) = නැණයුරු

බස නොමරා තබාගන්න නම් බස ද කාලයට අනුව වෙනස් විය යුතු යි. නව වදන් එකතු විය යුතු යි. ඉංග්‍රීසි  වදනක් සිංහල අකුරෙන් ලියූ පමණින් එය සිංහල නොවේ. යොදන බස ඉතා සරි හෙවත් සුසරි නොවේ නම් එයම බස කෙමෙන් කෙමෙන් අකා-මකාලනවා. ඉංග්‍රීසි ‘record’, සිංහලයට ‘රෙකෝඩය’ ලෙස පෙරළීම සිදුකළ පමණින් එහි අරුත් බර වන්නේ නැත. නමුත්, ‘record’ යන කිරිය පදය ‘පිරිසටහයි’ ලෙස ද, නමු පදය ‘පිරිසැටැහුම’ ලෙස පැවසු විට ඒ වදන් අවයවයෙහි තේරුම් දෙස බලා අරුත් සේයාව දැනැහැඳිනගත හැකියි.

බසට නීති-රීතිවලින් කොටු කළ හැකි නිරවුල් සැහැටියක් නැහැ. ඒ නිසා ඩී. එෆ්. කාරියකරවන ශූරීන් කලකට පෙර සිළුමිණ පුවත්පතට ලියූ දෙයක් සිහි නඟන්නට වටිනවා. “පිත්තෙන් ගහන පන්දු පිතිපන්දු වුවද, අද ඒ පන්දු කෙළිය ක්‍රිකට් යන්නට යටවෙලා ය… ක්‍රිකට් අපට ලැබුණේ ඉංග්‍රීසින්ගෙනි. ඒ නිසා ඒ ක්‍රීඩාවට අයත් ඉංග්‍රීසි වචන අපේ ඌරුවට අනුව සිංහලයට හරවා ගැනීමේ වරද කිමෙක් ද? ඒ ක්‍රීඩාවට අයත් බොහෝ වචන අපේ පොදු මිනිසුන් අපූරුවට සිංහලයට නඟා ගෙන ඇත. විකට්ටුව ඒ එකකි. එය වැටටත් කඩුල්ලටත් වඩා හොද නැද්ද?”- ඩී. එෆ්. කාරියකරවන (2011/03/13). එය සැබෑවක්. නව වදන් බසට එකතු කිරිමේ වුවමනාව විය යුත්තේ වහරන බස නිරවුල් කිරීම මිස අනැවැසි ගොරසැඬි වදන් යොදා මහ පඬිකම් පෑම නොවෙයි.

සිප්ලකුව දියුණුවත්ම පොදු වහරට නව වදන් එක් විම අමුතු දෙයක් නොවේ. දියුණුවත් සමග අන්තර්ජාතික වහරට එකතු වුණු වදන් කිහිපයක් (බිබිසි පුවත් සේවයට අනුව) දෙස බලමු.

autonomous architecture = සේගොවු නිමැයුරුවම

ගොඩනැඟිලි සම්පුර්ණයෙන් තනා නිම කළ හැකි යත් (යන්ත්‍ර = machines). මේ රොබොවරුන් සේයුරු (ස්වයංක්‍රිය = automatic) නොව සේගොවු වේ. සේගොවු යනු තමන් විසින්ම (මිනිස් මැදිහත්වීමකින් තොරව) කළ යුතුදැ යි තීරණය කළ හැකි බව යි. (autonomous vehicle = සේගොවු රිය/වාහනය; intelligent machines = සුනැණ යත්.) ගොවුන් යනු මෙහෙයවිම යි/ පාලනය කිරීම යි (උදා; ඇත් ගොව්වා).

printed buildings = පැහැයු (මුද්‍රිත) ගොඩනැඟිලි

මේ යත් කෙටි වේලාවකින් බැම්මක් පේළියෙන් පේළියට නිමවනවා. තෙමාන පහයනයක (3D-printer) සිප්ලකුවට සමාන යි.

plane LI-FI = ගුවන් ලයි-ෆයි

ඇල්.ඊ.ඩි බුබුළු උපයෝගයෙන් දත්ත හුවමාරු කළ හැකි සුසැටියකි. අපට හුරු පුරුදු වයි-ෆයි සිප්ලකුවට වඩා සිය ගුණයක් පමණ වේගවත් ය (දත්ත හුවමාරු වේගය). ඉරොනු වියෙදි (= electronic equipments) සමග ලයි-ෆයි නොපෑහෙන හෙයින් ගුවන් යානවල තුරුසිඳිමකින් තොරව අන්තර්ජාල පහසුකම පවත්වා ගැනිමට සුදුසු සිප්ලකුවකි.

brainjack = මොළකොල්ලය

දුරසිට පාලනය කළ හැකි සිරුරුගත වෙද අටවු (medical devices) දැන්නම් අරුමයක් නොවේ. කරුමය නම් පිරිගණන හරහා මෙම අටවුවල පාලනය කොල්ල කෑ හැකි විම යි.

machine bias = යත් පසැදිය

යත් පුහුණු පිරිගණරීති (= machine learning algorithms) සුනැණ යත් (= intelligent machines) නිමැවුමට බහුලව යොදා ගැනෙනවා. යත් පුහුණුව මුලදී යොදා ගන්නා දත්ත හෝ පිරිගණරීතිය යම් ලෙසකින් පක්ෂපාති (එක් පසකට අදී) නම් කෙතරම් සුනැණවුත් පුහුණුවන වාරයක් පාසා මෙම පසැදිය වැඩි වෙනවා. ඒ බව දැන සිටිම නුවණට හුරු යි.

අද නව පරපුරට පහසුවෙන් පිරික්සිය හැකි (උදා; අන්තර්ජාලය හරහා) සිංහල වදන්මලක් නොමැති විම බලවත් අඩුවක්. තියෙන වදන්මල පවා සුදුසු පරිදි යාවත්කාලීන නොකිරීම වැළපිය යුතු කාරණයක්. සිංහල වදන්වල තේරුම් අනුමත කරන බලය ඇත්තේ සිංහල ශබ්දකෝෂයට (http://www.dictionary.gov.lk) යි. දැනට අවුරුදු හතරක-පහක පමණ සිට එම විබ අඩවියේ මෙසේ අවවාදයක් ඇත, ‘දැනට අන්තර්ජාල ගත‍කොට ඇත්‍‍තේ අ සිට නාස්කුහරය දක්වා වචන පමණි’. යොදන බස හරි ද වැරදි ද යන්න දැනගන්න පහසුකම් නොසපයා නව පරපුර බස නසනවායැ යි අවලාද නැඟිම යුක්ති සහගත ද? මේ පහසුකම් සපුරන ලෙසට බලපැවරී ඇත්තන්ගෙන් අයදිමු.

Related Articles