Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලෝකයේ අමුතුම නගර හයක්

කොන්ක්‍රීට් වනාන්තරයෙන් වැසීගිය සුපිරි වෙළද සංකීරණ, නගරය වටා දිවෙන උමං මාර්ග, විදුලි දුම්රිය සේවා හා අති සුඛෝපභෝගී පහසුකම් සහිත නගර, මූලික පහසුකම් පවා නොමැති කුණු කසලින් පිරී ගිය හා වායු දුෂණයෙන් යුතු කිසිදු කළමනාකරණයක් නොමැති නගර මෙන්ම ස්වභාවික සෞන්දර්යයෙන් යුත් ජීවින්ට හිතකර නමුත් දුෂ්කර නගර වැනි නොයෙකුත් ආකාරයේ නගර ලෝකය පුරා දකින්නට පුළුවන්.

ඉතින් අද අපි ගෙන එන්නට අදහස් කරන්නේ විවිධ හේතූන් නිසා ලෝකයේ අපූරු නගර ලෙස ජනප්‍රියතාවයට පත්වූ නගර කිහිපයක රසවත් විස්තරයක්. මේ පිළිබඳව සමහරවිට ඔබ කිසිදිනක අසා නොතිබෙන්නටත් පුළුවන්. විශේෂ හේතූන් නිසා ප්‍රසිද්ධියට පත් තවත් නගර පිළිබඳව විස්තර ඔබ දන්නවනම් comment එකකින් ඒ බව සටහන් කරලා යන්නත් අමතක කරන්න එපා.

කොපි ඇන්ඩ් පේස්ට් නගරය – හොල්ස්ටාට්

චීනයේ හොල්ස්ටාට් නගරය. (Inhabitat)

ඕස්ට්‍රේලියාවේ හොල්ස්ටාට් නගරයේ ඇති සුවිශේෂී ලක්ෂණ හේතුවෙන් යුනෙස්කෝ සංවිධානය මඟින් එය ලෝක උරුමයක් බවට පත් කර තිබෙනවා. මෙම මුල් හොල්ස්ටාට් නගරය ආදර්ශයට ගනිමින් චීනයේ ඉදිකර ඇති ආදර්ශ හොල්ස්ටාට් නගරයේ ප්‍රධාන මාර්ග, අතුරු මාර්ග, දැවමය නිවාස හා දේවස්ථානයද ඉතා අපූරුවට මුල් ආකාරයටම නිර්මාණය කර තිබෙනවා. චීනයේ මින්මෙටල්ස් සමාගම විසින් නිර්මාණය කර ඇති මෙම ආදර්ශ හොල්ස්ටාට් නගරය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 940ක් වැය වී තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේ සැබෑ නගරයෙහි ජායාරූප උපයෝගී කරගනිමින් දෙවන නගරය නිර්මාණය කරන්නට තමයි මින්මෙටල්ස් සමාගම උත්සාහ දරා තිබෙන්නේ. කෙසේවෙතත් මේ කොපි නගරය චීනයේ සංචාරක කර්මාන්තය වැඩි දියුණු කරන්නට සමත් වී ඇති බවත් නගරය සංචාරක ධන උල්පතක් බවට පත්කර ඇති බවත් එරටින් ලැබෙන ආරංචි මාර්ග වල සදහන් වෙනවා.

සොහොන් බිමක් නොමැති නගරය – ලෝන්ගියෙර්බියෙන්

මනස්කාන්ත ලෝන්ගියෙර්බියෙන් නගරය (cruise-handbook.npolar.no)

ස්වොල්බර්ඩ් නම් නෝර්වීජියානු දූපත් සමූහයේ ලොව උතුරු කෙළවරේ පිහිටා ඇති කුඩා නගරයක් ලෙස ලෝන්ගියෙර්බියෙන් හදුනා ගන්නට පුළුවන්. මෙම නගරය තුළ සුවිශේෂී ලක්ෂණ බොහොමයක් දකින්නට තිබෙනවා.

නොර්වීජියානු නගරය මුලින්ම හොයාගෙන තිබෙන්නේ ඇමරිකානු ජාතිකයෙක්. ඒ 1906දීයි. ගල් අඟුරු කැණීමට තමයි මේ නගරය මුලින්ම ප්‍රයෝජනයට ගෙන තිබෙන්නේ. ලොව වඩාත් උතුරින් පිහිටා තිබෙන දේවස්ථානය, ගුවන් තොටුපොළ, තැපැල් කාර්යාලය, කෞතුකාගාරය හා විශ්වවිද්‍යාලය පිහිටා තිබෙන්නේ මෙම නගරයේයි.

මෙහි තිබෙන අපූරු නීතියක් වන්නේ භූමිය තුළ මල සිරුරු මිහිදන් කිරීම තහනම් වීමයි. පවතින ශීත දේශගුණය හේතුවෙන් ඒවා නරක් නොවී පැවතීම ඊට හේතුවයි. ඉතින් නගර වැසියන්ගේ සොහොන් භූමි පිහිටා තිබෙන්නේ වෙනත් පළාත් වලයි. මේ නගරයේ ජීවත් වෙන වැසියන්ට මැරෙන්නට වෙනත් නගරයකට යන්න වෙන නීතියනම් “ඉපදුනෙත් මෙහේ මැරෙන්නෙත් මෙහේ” කියා පවසන අයටනම් ටිකක් තද වැඩියි නේද?

නගරය තුළ බියකරු සුදු වළසුන් 3000ක් පමණ සැරිසරන බැවින් නගර වැසියන්ට ඕනෑම ගමනක් බිමනක් යනවිට අධි බලැති රයිපල් රැගෙන යාමට අවසර ඇති අතර තමාගේ ජීවිතයට තර්ජනයක් වේයැයි සිතනවානම් ඕනෑම අවස්ථාවක සුදු වලසෙකු මරා දැමීමට ඔවුන්ට නිත්‍යානුකූල අයිතිය හිමිවී තිබෙනවා.

නගරය තුළ අධික කුරුළු ගහනයක් ඇති බැවින් කිසිඳු නිවසක සුරතලුන් ලෙස පූසන් ඇති කිරීම තහනම් වෙනවා. එමෙන්ම වසරේ මාස 4ක් පමණ මෙම නගරයට හිරු උදා වෙන්නේ නෑ. ඒ ඔක්තොම්බර් මස 25 සිට මාර්තු මස 08 දක්වා කාලය තුළයි.

පැන්ෂන් යන්න – පාඩුවේ ඉන්න – The Villages

බොහෝ දෙනා තම ගමන් බිමන් සඳහා යොදා ගන්නේ ගොල්ෆ් ක්‍රීඩාව සඳහා භාවිතා කරන කුඩා වාහනයි (www.univision.com)

ඇමරිකාවේ ෆ්ලොරීඩා ජනපදයේ The Villages නම් නගරයේ වාසය කරන්නේ විශ්‍රාම සුවයෙන් කල්ගෙවන පුද්ගලයන් පමණයි. වැසියන් ලක්ෂයක් පමණ වාසය කරන නගරයේ බොහෝ දෙනා තම ගමන්බිමන් සඳහා යොදා ගන්නේ ගොල්ෆ් ක්‍රීඩාව සඳහා භාවිතා කරන කුඩා වාහනයි. ගොල්ෆ් වාහන 3321ක දීර්ඝ වාහන පෝලිමක් මෙම නගරයේ දකින්නට ලැබුණු බැවින් ලොව දීර්ඝතම වාහන පෝලිමක් ඇති නගරය ලෙස ගිනස් පොතට එක් වී තිබෙන්නේ The Villages නගරයයි.

මෙම නගරයට ආවේණික තවත් රසබර කරුණක් වන්නේ තම සීයලා හා ආත්තම්මලා බලන්නට පොඩිත්තන්ට නගරයට ඇතුල් වෙන්නට අවසර ලැබෙන්නේ වර්ෂයටම දින 30ක් පමණක් වීමයි.

මුළු නගරයටම එකම ගොඩනැගිල්ලයි – විටියර්

ගොඩනැගිල්ලේ ඉදිරි පෙනුම (California Sunday.com)

ඔබ කවදා හරි දැක හෝ අසා තිබෙනවාද එක ගොඩනැගිල්ලක් පමණක් ඇති නගරයක් ගැන? සමහරවිට ඔබ විශ්වාස නොකරන්නට පවා පුළුවන්. නමුත් තට්ටු 14කින් සමන්විත ගොඩනැගිල්ලක් පමණක් ඇති ඒ තුළ 300ක පමණ ජනගහනයක් සිටින නගරයක් ඇලස්කාවේ තිබෙනවා. එය හදුන්වන්නේ විටියර් නමින්. මුහුදෙන් සීමාවී තිබෙන මෙහි තවත් පවුල් කිහිපයක් වාහන වල හා පැරණි බෝට්ටු වල ජිවත් වෙනවා.

ගොඩනැගිල්ල තුළ දේවස්ථානයක්, වෙළදපොළක්, තැපැල් කාර්යාලයක් හා වෛද්‍ය මධ්‍යස්ථානයක් පිහිටා තිබෙනවා. නගරයට සංචාරකයන් මුහුදු මාර්ගය ඔස්සේ හෝ පැයකට දෙවරක් විවෘත කරනු ලබන කිලෝමීටර හතරක් දිග උමං මාර්ගය ඔස්සේ ළඟා වෙන්නට පුළුවන්. නමුත් රාත්‍රී කාලයේදී මෙම උමං මාර්ගය විවෘතව තබන්නේ නෑ.

නගරාධිපතිණිය පමණක් ජිවත්වන මොනොවි නගරය

එල්සිගේ නිවස හා තැබෑරුම (messynessychic)

2010 ඇමරිකානු එක්සත් ජනපද ජන සංගණනයේදී එක් කාන්තාවක් පමණක් ජිවත්වන නගරයක් ලෙස Nebraska ප්‍රදේශයේ ඇති මොනොවි (Monowi) නගරය නම් කරනු ලැබුවා. 1930දී  ජනගහනය 150ක් පමණ වූ මොනොවි නගරයේ 2000 වන විට ඉතිරි වූයේ එල්සි එලර් හා ඇයගේ සැමියා වන රූඩ් පමණයි. සැමියාගේ වියෝව හේතුවෙන් 2004 වර්ෂයේ සිට ඈ මෙහි තනිවම ජීවත් වන්නට විය.

2010 වර්ෂය වන විට නගරයේ නගරාධිපති, ලිපිකාර හා භාණ්ඩාගාරික තනතුරු දරන්නෙත් මෙම කාන්තාවයි. එමෙන්ම නගරයේ ඇති එකම පුස්තකාලයේ හා තැබෑරුමේ හිමිකාරත්වයත් ඈ සතු වෙනවා. සෑම වසරකම වාර්ෂිකව බදු ගෙවමින් එහි ඇති වීදි ලාම්පු හතර නඩත්තු කරන්නෙත් එල්සියි. එමෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ කුඩාම අධිකරණ ප්‍රදේශය වන්නේත් මෙම නගරයයි. එල්සි ජීවත් වන ප්‍රදේශය හැර නගරයේ අනෙක් ප්‍රදේශවල වල් බිහි වී තිබෙනවා. නගරය හරහා ගමන් කරන සංචාරකයන් නිතරම තමන්ගේ තැබෑරුමට ගොඩවීම තනිකම එතරම් නොදැනීමට එක් හේතුවක් වන බව ඇය පවසනවා.

අතහැර දැමූ බිචුආන් නගරය

භූමිකම්පාවෙන් පසු නගරය (Boston.com)

2008 වර්ෂයේ මැයි මස 12 වැනිදා චීනයේ බිචුආන් නගරයේ ඇති වූ දරුණු භූමිකම්පාව හේතුවෙන් 2008 වර්ෂයේ මැයි මාසයේදී එම නගරය අතහැර දමා නගරය වෙනත් ප්‍රදේශයකට රැගෙන යන බව පාලන නිලධාරීන් විසින් ප්‍රකාශ කරනු ලැබුවා. එසේ ඉක්මනින් නගරය අතහැර දමන්නට හේතුව වූයේ භූමිකම්පාව හේතුවෙන් වැසියන් 50,000 කට අධික සංඛ්‍යාවක් මරණයට පත්වීමයි. මෙසේ අතහැර දැමු බිචුආන් නගරය අමනුෂ්‍ය වාසයක් (Ghost Town) බවට පත්ව ඇතැයි චීන වැසියන් වර්තමානයේ විශ්වාස කරනවා.

චර්නොබෙල් පරමාණු බලශක්ති බලාගාරයේ අහිතකර තත්වය හේතුවෙන් යුක්‍රේනයේ ප්‍රිප්යාන් නගරයත්, හේතුව නොදත් ගුප්ත කරුණක් හේතුවෙන් තායිවානයේ සැන්ෂි නගරයත් හා ජපානයේ හෂිමා දූපතත් මේ ආකාරයට අතහැර දැමූ නගර ලෙස ඉතිහාස ගත වී තිබෙනවා. ලොව අතහැර දැමූ නගර පිළිබඳව වෙනත් ලිපියක් ඔබ වෙත ඉදිරියේදී ගෙන එන්නටත් අපි අදහස් කරනවා.

මෙම ලිපිය තුළින් ඔබවෙත ගෙන ආවේ ලෝකයේ සාමාන්‍යයෙන් වෙනස් නගර කිහිපයක තොරතුරුයි. ඉතින් මෙතෙක් කල් නොදැන සිටි රසවත් කරුණු කිහිපයක් ලිපිය මගින් ඔබ දැනගන්නට ඇතැයි අප විශ්වාස කරනවා.

කවරයේ පින්තුරය: sysselmannen.no

Related Articles