Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය කෙරෙහි සමාජ මාධ්‍ය බලපෑම

නොවැම්බර් 16 වන දා පැවැත්වෙන ජනාධිපතිවරණය ළං වෙද්දී, ප්‍රචාරණ කටයුතු සඳහා සමාජ මාධ්‍ය භාවිතා වන ප්‍රමාණය ද නිරීක්ෂණය කරන විට, සමාජ මාධ්‍යවලින් ජනමතය වෙනස් වීමට කෙතරම් බලපෑමක් වේ ද යන ප්‍රශ්නය නිතැතින්ම අපට මතු වනවා.

මැතිවරණයක අපේක්ෂකයන්ගේ මූලික අවශ්‍යතාව ජනතාවගේ සිත දිනාගැනීම යි. ඒ සඳහා ඔවුන් විවිධ උපක්‍රම භාවිතා කරනවා. මෙය විචාර බුද්ධියට ඇමතීම, හැඟීම්වලට ඇමතීම, ඒ ඒ අයට බලපාන සමාන ස්ථරවල පිරිස් යොදාගැනීම, ප්‍රසිද්ධ පුද්ගලයන් යොදාගැනීම මෙන්ම රැවටිලිකාර ප්‍රයෝග භාවිතා කිරීම ආදී ඕනෑම ක්‍රමයක් වෙන්න පුළුවන්.

ඩිජිටල් මාධ්‍යයෙන් ජනමතය හැසිරවීම

මානව ඉතිහාසයේ සියවස් ගණනාවක තිස්සේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා අපේක්ෂකයන් කථිකත්වය සහ පත්‍රිකා යොදාගත්තා. කෙසේ නමුත් පුවත්පත්, ගුවන්විදුලිය සහ රූපවාහිනිය ආදී මාධ්‍යයන් ප්‍රචලිත වීමත් සමග ඒ ඒ මාධ්‍ය මැතිවරණ ප්‍රචාරණයට යොදාගැනීම වැඩි වුණා. අද වනවිට ඡන්ද ව්‍යාපාරයෙහි යෙදෙන්නන් මෙන්ම ඡන්දදායකයින් ද සමාජ මාධ්‍යවල දේශපාලන කරුණු සාකච්ඡාවට සහ විවාදයට භාජනය කරනු දකින්න පුළුවන්.

ඡන්දයකදී ජනමතයට බලපෑම් කිරීම අලුත් දෙයක් නොවෙයි. එහෙත් ඩිජිටල් මාධ්‍යය පැතිරීමත් සමග ජනමතයට බලපෑම් කිරීමේ නව ක්‍රමවේදයන් සැකසෙමින් තිබෙනවා. මේ පිළිබඳ ඕනෑ තරම් සාක්ෂ්‍ය සහ උදාහරණ මෑත වසරවල දකින්න ලැබුණා. මේ පිළිබඳ ඡන්දදායකයන්, අපේක්ෂකයන් මෙන්ම මැතිවරණ බලධාරීන් ද විමසිලිමත් වීම වටිනවා.

දින කිහිපයකට පෙර පළ වූ පර්යේෂණ වාර්තාවකින් දේශපාලකයන් සහ ඡන්ද ව්‍යාපාරයේ යෙදෙන්නෙන් ලොව පුරා මැතිවරණ ප්‍රතිඵලවලට බලපෑම් කිරීම සිදු කරන අයුරු විස්තර කෙරෙනවා. වොෂිංටන් ඩී.සී. කේන්ද්‍ර කරගත් ෆ්‍රීඩම් හවුස් ආයතනයේ Freedom on the Net 2019 (FOTN 2019) වාර්තාවේ ප්‍රධාන සොයාගැනීමක් වන්නේ මෙම කරුණ යි.

“ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන නව සටන් බිම වන්නේ ඩිජිටල් වේදිකාවන් ය. මැතිවරණ හරහා ප්‍රජාතන්ත්‍රවාදී බලහුවමාරුවලට බලපෑම් කිරීම සඳහා, අන්තර්ජාලය ඔස්සේ සංසරණය වන තොරතුරු හැඩගැස්වීම, වර්තමානයේදී අත්‍යවශ්‍ය උපක්‍රමයක් ලෙස භාවිතා වනවා” යනුවෙන් එම වාර්තාව සඳහන් කළා.

FOTN 2019 වාර්තාව 2018 ජූනි මාසයේ සිට 2019 මැයි මාසය දක්වා කාලය තුළ රටවල් 65ක් සිය අධ්‍යයනයට යොදාගත්තා. ලෝක අන්තර්ජාල පරිභෝජකයන්ගෙන් සියයට 87ක් මෙම රටවල ජීවත්වන අතර සලකා බලන ලද කාලය තුළ එයින් රටවල් 30ක මැතිවරණ හෝ ජනමත විචාරණ පවත්වනු ලැබුණා. 

මෙම වාර්තාව කියා සිටින පරිදි ඉහත සඳහන් රටවල් 30න් 24ක්ම තොරතුරු හුවමාරුව පිළිබඳ යම් සීමාකිරීම්වලට ලක් වුණා. වෙනත් ආකාරයකින් කිවහොත් රජය හෝ වෙනත් යම් පාර්ශවයකට වාසිදායක වන පරිදි අන්තර්ජාල සාකච්ඡාවන් කූට ලෙසින් එක් පසෙකට නැඹුරු කිරීමේ සිද්ධීන් එම රටවල දී සිදු වුණා. මේ සඳහා ප්‍රධානම මාධ්‍යය වූයේ සමාජ මාධ්‍ය යි.

අන්තර්ජාලය ඔස්සේ හුවමාරු වන තොරතුරුවලට බලපෑම් කිරීමේ ක්‍රම පහක් ෆ්‍රීඩම් හවුස් ආයතනය 2017 දී හඳුනාගෙන තිබුණා.

  1. ප්‍රචාරණවාදී ප්‍රවෘත්ති 
  2. ව්‍යාජ පුවත්
  3. මුදල් ගෙවා සේවයට ගත් අදහස් දක්වන්නන්
  4. ස්වයංක්‍රීය සමාජ මාධ්‍ය ගිණුම් (බොට්ස්)
  5. සත්‍ය සමාජ මාධ්‍ය ගිණුම් පැහැර ගැනීම
රුසියාවේ සාන්ත පීතර්බුර්ග් නගරයේ මෙම ගොඩනැගිල්ලෙහි 2016 ඇමරිකන් ජනාධිපතිවරණයට බලපෑම් කළ ප්‍රචාරණ අඩංගු සමාජ මාධ්‍ය පළකිරීම් නිර්මාණය කර බෙදාහැරි එකක් තිබුණ බව සඳහන්. ඡයාරූපය​: pri.org

පිටත සිට ඇතුලතට

මුලදී, සමාජ මාධ්‍ය හරහා වන අනිසි බලපෑම් පිළිබඳ වැඩියෙන් ඇඟිල්ල දිගු කෙරුණේ විදෙස් රටවල් කෙරෙහි යි. ප්‍රජාතන්ත්‍රවාදී රටවල මැතිවරණ කෙරෙහි සමාජ මාධ්‍ය හරහා බලපෑම් කිරිම පිළිබඳ රුසියාවට සහ චීනයට චෝදනා එල්ල වනවා.

නමුත්, වර්තමානය වනවිට ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයන් එම රටවල් තුලින්ම පැමිණෙමින් තිබෙනවා. ජනකාන්තවාදී නායකයින් සහ ඔවුන්ගේ සහචරයින් අන්තර්ජාලය භාවිතයෙන් ස්වකීය රටවල දේශපාලනය අවුල් කිරීමට පටන්ගෙන තිබෙන බව FOTN 2019 වාර්තාව කියා සිටිනවා.

ලොව පුරා ඒකාධිපතිවාදීන් සහ ජනකාන්තවාදීන්, මිනිස් ස්වභාවයන් මෙන්ම පරිගණක ඇල්ගොරිතම භාවිතා කරමින් ඡන්දය අත්පත් කරගන්නට උත්සාහ කරන්නේ, නිදහස් සහ සාධාරණ මැතිවරණ පැවැත්වීම සඳහා වන නීති රීති ද නොසලකමින්,” ෆ්‍රීඩම් හවුස් සභාපති මයික් ඇබ්‍රමොවිට්ස් පැහැදිලි කරනවා.

විවිධ රටවල මේ සඳහා භාවිතා වන ප්‍රධාන උපක්‍රම දෙකක් ගැන පර්යේෂකයන් පෙන්වා දෙනවා.

* ක්ෂුද්‍ර ඉලක්කගත කිරීම් 

මෙහිදී අන්තර්ජාලය භාවිතා කරන්නන්ගේ ජනවාර්ගික, මානසික, භූගෝලීය සහ හැසිරීම් රටා ආදිය පිළිබඳ දත්ත, ඔවුන්ගේ සමාජ මාධ්‍ය සහ සෙවුම් යන්ත්‍රවල හැසිරීම් ඔස්සේ එකතු කිරීම සහ විශ්ලේෂණය කිරීම සිදු කෙරෙනවා. මෙම දත්ත (Big Data) විශ්ලේෂණය මගින් එක් එක් පුද්ගලයාගේ මිලදී ගැනීමේ හැසිරීම්, අවශ්‍යතා සහ අදහස් පිළිබඳ කරුණු ලබාගත හැකියි. මෙය නීති විරෝධී ක්‍රියාවක් නොවුණත්, විවිධ ඡන්දදායක කණ්ඩායම් මෙසේ වෙන්කර ඔවුනටම සැකසූ ප්‍රචාරයන් වෙනමම ලබාදීම පිළිබඳ විවිධ ගැටළු මතු වනවා. 2016 බ්‍රෙක්සිට් ජනමත විචාරණයේ දී සහ 2016 එක්සත් ජනපද ජනාධිපතිවරණයේ දී මෙවැනි දේ සිදු වූ බව දන්නා කරුණක්.

* ක්ෂුද්‍ර – බලපෑම්කරුවන්

මොවුන් ලිංගිකත්වය උලුප්පන හෝ ජනප්‍රිය සංස්කෘතික පුවත් (pop-culture news) අතරට දේශපාලන පණිවිඩ මිශ්‍ර කරන්නන් වනවා. 2019 මැයි පිලිපීන මැතිවරණයේ දී මෙම කරුණ පැහැදිලිව පෙනුණ ප්‍රවණතාවයක් වුණා. සමාජ මාධ්‍ය ඔස්සේ කෙරෙන ඍජු ප්‍රචාරණය එහි අන්තර්ගතය හා වියදම් පිළිබඳ පරීක්ෂාවකට භාජනය වුව ද මෙවැනි දේ ඊට හසු වන්නේ නැහැ. එමෙන්ම මේ සඳහා කළයුතු වියදම ද සාපේක්ෂව අඩු යි. එමෙන්ම සමාජ මාධ්‍යවල ඇති බෙදාගැනීම (Share කිරීම) මඟින් ප්‍රචාරය වීමේ ක්‍රමවේදය සමග මේවා වඩා අව්‍යාජ තොරතුරු ලෙස පෙනීමේ හැකියාව තිබෙනවා. කෙසේ නමුත්, බොහෝ මැතිවරණවල දී මීටත් වඩා ප්‍රාථමික ආකාරයෙන් ව්‍යාජ තොරතුරු, කුමන්ත්‍රණ කතා සහ ලේ කෝප කරන කතන්දර බෙදාහැරීමෙන් යම් ආගමික කණ්ඩායමකට හෝ ජනවර්ගයකට අගතියක් වන තොරතුරු සමාජගත කිරීමේ කටයුතු සිදුව තිබෙනවා.

සමාජ මාධ්‍ය නිරීක්ෂණය කිරීම

මෙසේ සමාජ මාධ්‍ය වේදිකාවන් යම් යම් පිරිස් විසින් අනිසි අයුරින් භාවිතා කිරීම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට තර්ජනයක්. භාෂණයේ නිදහස රකින ගමන්ම (දැඩි නීති රීති හෝ වාරණයන් නොපණවමින්) අන්තවාදී අදහස් පළ කිරීම් සීමා කිරීම කෙසේ කරන්නේද යන්න තවම විසඳාගත නොහැකි වූ ප්‍රශ්නයක් වනවා.

සෑම ප්‍රධාන සමාජ මාධ්‍ය ආයතනයකම පාහේ මේ සඳහා රීතීන් තිබෙනවා. ෆේස්බුක් හි ප්‍රජා ප්‍රමිතීන් (Community Standards) සහ යූටියුබ් හි “ප්‍රජා මාර්ගසූචක” (Community Guidelines) ඇත්තේ මේ සඳහා යි. එහෙත් මෙම සමාජ මාධ්‍ය ජාලවල මෙම රීතීන් කඩන සියළු ප්‍රකාශනයන් ඉක්මණින් පාලනය කිරීම හැකි දෙයක් නොවේ. එමෙන්ම මේ රීතීන් කඩන්නන්, ඒ සඳහා අලුත් ක්‍රම නිරන්තරයෙන් සොයා ගනිමින් සිටිනවා.

මැතිවරණ බලධාරීන් ද ඡන්ද ව්‍යාපාර කටයුතු දේශීය නීති රීතිවලට යටත්ව සිදුවන බව සහතික කිරීමට හැකි සෑම උත්සාහයක්ම ගන්නවා.

උදාහරණයක් ලෙස, පසුගිය සැප්තැම්බර් 21 වන දා මැතිවරණ කොමිෂන් සභාව මෙවර ජනාධිපතිවරණයට අදාල මාධ්‍ය උපමාන ගැසට් කළා. සමාජ මාධ්‍ය පිළිබඳ මෙහි තැන් දෙකක සඳහන් වනවා. එහි 30 වන වගන්තිය අනුව, සමාජ මාධ්‍ය පිටුවල පරිපාලකයින් මෙම උපමාන අදාල වන අවස්ථාවල ඒවා අනුගමනය කළ යුතුයි. එමෙන්ම මාධ්‍ය ආයතන හිමිකරුවන්ට ද සමාජ මාධ්‍ය පරිපාලකයන්ට ද මෙම උපමාන අනුගමනය කිරීමට වගකීමක් මෙන්ම යුතුකමක් තිබෙන බව දැක්වෙනවා.

එහෙත්, සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන අති විශාල තොරතුරු සම්භාරය පරීක්ෂා කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කෙසේ කටයුතු කරන්නේ ද යන්න පැහැදිලි නැහැ.ඊටත් වඩා වැදගත් කරුණ වන, අදාල උපමාන කඩකරන්නන්ට එරෙහිව පියවර ගන්නා ආකාරය ද පැහැදිලි නැහැ.

අතේ පැලවෙන බොරු, අර්ධ ව්‍යාජ පුවත්, අන්තගාමී අදහස් ආදිය පැතිරවීම පිළිබඳ ප්‍රධාන මාධ්‍ය ද වරදකරුවන් වනවා.

ශ්‍රී ලංකාවේ ජනමතය විලක් නම්, එහි විශාල රැලි ඇතිකිරීමේ හැකියාව ගත් විට රූපවාහිනී ආයතන ඉදිරියෙන් සිටිනවා. ඉන්පසු ගුවන් විදුලි ආයතනවල බලපෑම වැදගත් වනවා.

ඊට සාපේක්ෂව සමාජ මාධ්‍ය විසින් තවමත් ඇති කරන්නේ කුඩා රැලිති පමණයි. නමුත් එම කුඩා රැලිතිවලට සමස්ථ ජලාශයම මඩ කිරීමට හෝ විෂ කිරීමට හෝ හැකියාව තිබෙනවා.

Related Articles