Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කෝවිඩ්-19 වෙනුවෙන් සටන් වදින ලංකා ක්‍රිකට් තරු

පසුගිය මාර්තු මාසයේ සිට ශ්‍රී ලංකාව තුළ ප්‍රබලව පැතිරී යන කොරෝනාවෛරසය නිසා ජනතාවගේ දෛනික ජන ජීවිතය අඩාල වී තිබෙනවා. එසේම බොහෝ රැකියා ක්ෂේත්‍රවල උද්ගත වී තිබෙන අර්බුදකාරී තත්ත්වය නිසා විශාල පිරිසක් දැඩි ආර්ථික අපහසුතාවලට මුහුණදෙමින් තිබෙනවා. ලාංකීය ජනතාව පසුගිය කාල සමයේ විවිධ ආපදාවලට මුහුණ දුන්නත්, මෙම වසංගතය ඒවාට වඩා වෙනස් ස්වරූපයක් ගෙන තිබෙනවා. පසුගිය කාල සමයේ රටේ බොහෝ දිස්ත්‍රික්කවලට ඇඳිරි නීතිය පැනවීමත් සමගම දෛනික පරිභෝජනයට අවශ්‍ය ආහාර සපයාගැනීමට පවා අපහසු වුණු බොහෝ පවුල් සිටියා. එලෙස සිය රටේ ජනතාව අසරණ වුණු අවස්ථාවක ඔවුන්ගේ පිහිටට පැමිණීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තරු අමතක කළේ නැහැ. අතීතයේ සිටම ක්‍රිකට් ක්‍රීඩකයන් සහ ප්‍රේක්ෂකයන් අතර සමීප මිතුදමක් පැවතුණා. එම මිතුදමෙහි ප්‍රතිඵලයක් ලෙසින් මෙම වසංගත අවස්ථාවේ දී හිටපු සහ වර්තමාන ක්‍රිකට් තරු අසරණ වී සිටින අපේම රටේ මිනිසුන් වෙනුවෙන් සිය ධනය සහ ශ්‍රමය වැය කළා. 

ක්‍රිකට් ක්‍රීඩකයන් සහ රසිකයන් අතර ඇති සමීප මිතුදම 

ක්‍රිකට් ක්‍රීඩාව ශ්‍රී ලාංකිකයන්ගේ හදවතට සමීප වුණේ අතීතයේ සිටම යි. සිය රැකියාව නිමවා සිය නිවසට පැමිණීමෙන් පසුව  ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තරග කරන ක්‍රිකට් තරගයක් නැරඹීමෙන් සිය කාන්සිය මකාගත් මිනිසුන් අතීතයේ සිටම අප රට තුළ සිටියා. එසේම ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් ජයග්‍රහණයේ දී මෙන්ම පරාජයේ දීත් සිය කණ්ඩායම දිරිමත් කරනු ලැබුවා. එම නිසාම ක්‍රිකට් ක්‍රීඩකයන්ට මිනිසුන් ආදරය කළා සේම ක්‍රිකට් ක්‍රීඩකයනුත් සිය රසිකයන්ට වඩාත් ඇළුම් කළා. අතීතයේ සිටම දෙපාර්ශවය අතර පැවතුණු මෙම සමීප සබඳතාවය නිසාම ලංකාවේ මිනිසුන් විපතට පත් අවස්ථාවල ඔවුන්ට උපකාර කිරීම සඳහා ක්‍රිකට් ක්‍රීඩකයන් පෙරමුණට පැමිණියා.

ක්‍රිකට් තරගයක් නරඹන ප්‍රේක්ෂකයන් පිරිසක් (gettyimages)

ස්වභාවික ව්‍යසනවල දී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් කළ සමාජ මෙහෙවර 

පසුගිය දශක දෙක තුළ ශ්‍රී ලංකාව මුහුණදුන් දරුණුතම ස්වභාවික විපත වුණේ සුනාමි ව්‍යාසනය යි. 2004 වසරේ දෙසැම්බර් 26 වැනිදා උදෑසන රුදුරු සුනාමි රළ පහර ලංකාවේ මුහුදුබඩ පළාත් සුණුවිසුණු කරන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සිටියේ නවසීලන්තයේ යි. එම අවස්ථාවේ දී සිය රටට අත්වුණු විපත ගැන සංවේදී වුණු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සංචාරය අතරමඟ නවතා දමා හැකි ඉක්මනින් මව්බිමට පැමිණියා. 

හදිසියේම මව්බිමට පැමිණි ශ්‍රී ලංකා ක්‍රීඩකයන් (gettyimages)

එලෙස මව්බිමට පැමිණි ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඉන් පසුව විපතට පත් ජනතාව වෙනුවෙන් ආධාර උපකාර කිරීමට ඉදිරිපත් වුණා. එසේම සුනාමි ආධාර වෙනුවෙන් ආසියානු කණ්ඩායම සහ ලෝක කණ්ඩායම අතර පැවති එක්දින තරගයේ දී ජයසූරිය, මුරලිදරන්, වාස්, සහ සංගක්කාර ආසියානු කණ්ඩායම නියෝජනය කළා.

ආසියානු සහ ලෝක කණ්ඩායම් අතර තරගයේ දී වාස් සහ මුරලි (gettyimages)

ඉන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් තරු ඉයන් බොතම්, ෂේන් වෝන්, ස්ටීව් වෝ, සහ කපිල් දේව් වැනි සුපිරි ක්‍රීඩකයන්ගේ සහාය ලබාගෙන සුනාමි ව්‍යසනයෙන් විපතට පත් ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් යම් ව්‍යාපෘති දියත් කරනු ලැබුවා. එහි දී ඉහත සඳහන් කළ විදෙස් සුපිරි ක්‍රිකට් තරු ලංකාවේ සංචාරය කරමින් විපතට පත් ප්‍රදේශවල ජනතාව හමුවුණා. එසේම සුනාමි විපතින් පසුව අසරණ වුණු ජනතාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් ද විශාල වශයෙන් උපකාර කළ බවත් සිහිපත් කළ යුතු යි.

එංගලන්තයේ ඉයන් බොතම් ලංකාවට පැමිණ (gettyimages)

සුනාමි ව්‍යසනය පැමිණි අවස්ථාවේ දී වගේම පසුගිය කාල සමයේ ලංකාවට ස්වභාවික විපත්වලින් හානි පැමිණි අවස්ථාවල දීත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් හැකි පමණින් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා ඉදිරිපත් වී තිබුණා.

කෝවිඩ්-19 වසංගතයේ දී පුණ්‍යාධාර වැඩසටහන්වලට බාධා

සාමාන්‍යයෙන් යම් ස්වභාවික විපතක් ඇති වුණු අවස්ථාවක දී විපතට පත් ජනතාව වෙනුවෙන් සහන සැලසීම සඳහා ක්‍රිකට් ක්‍රීඩකයන් විවිධ ක්‍රිකට් තරග සංවිධානය කරනවා. එලෙස සංවිධානය කරන තරගවල දී අලෙවි වන සියලුම ප්‍රවේශපත්වලින් ලැබෙන මුදල් විපතට පත් ජනතාව වෙනුවෙන් ලබාදීම සාමාන්‍ය ක්‍රමය යි. නමුත් කොරෝනාවෛරසයේ ස්වභාවය අනුව ජනතාව එකතු වන එවැනි තරග සංවිධානය කිරීමට බැහැ. විපතට පත් ජනතාව වෙනුවෙන් අරමුදල් එක් රැස් කිරීමට මෙනිසා අපහසු වුණත් ලාංකීය ක්‍රිකට් තරු සිය රසිකයන්ව අමතක කළේ නැහැ.

තවමත් ක්‍රිකට් ක්‍රීඩා කරන ලංකා ක්‍රීඩකයන් රැසක් ජනතා සේවයේ 

වර්තමානය වන විට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් මෙන්ම තවමත් ක්‍රීඩාවෙන් සමුගෙන නැති ක්‍රීඩකයන් කොරෝනා වසංගතයෙන් විපතට පත්ව සිටින ජනතාව වෙනුවෙන් සහන රැසක් ලබාදීමට ඉදිරිපත් වුණා. එහි දී පවුල් රැසකට වියළි ආහාර ද්‍රව්‍ය ලබාදුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් අසරණව සිටින ජනතාවගේ අවශ්‍යතා හැකි පමණින් සපුරාලීමට ඉදිරිපත් වුණා. එසේම ශ්‍රී ලංකා ක්‍රීඩකයන් එක්ව සෞඛ්‍ය උපකරණ ද ලබාදුන්නා. ක්‍රිකට් ක්‍රීඩකයන් එසේ ජනතාවට සහන ලබාදීමට ඉදිරිපත් වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කොරෝනා මර්ධන වැඩසටහන් සඳහා ඩොලර් මිලියන 25ක මූල්‍යමය පරිත්‍යාගයක් ලබා දී තිබුණා. 

ශම්මි ද සිල්වා ක්‍රිකට් ආයතනයේ පරිත්‍යාගය ජනාධිපතිවරයාට ලබාදුන් අවස්ථාව (sportshub.lk)

පැරණි ක්‍රිකට් තරු රැසක් කොරෝනා මර්ධන සටනේ

කොරෝනාවෛරසය  ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීම ආරම්භ වුණු අවස්ථාවේ විදෙස් රටවල සිට පැමිණි ලාංකිකයින් පිරිසක් නිරෝධායන ක්‍රියාවලිය අනුගමනය කිරීමට අකමැත්ත පළ කළා. නමුත් එම කාල සමයේ දීම විදෙස් රටවල සිට පැමිණි රොෂාන් මහානාම සහ කුමාර් සංගක්කාර සිය නිවෙස තුළ දීම ස්වයං නිරෝධායනය වුණේ අන් අයට ආදර්ශයක් වෙමින්. එසේම මෙම අවස්ථාවේ දී විපතට පත් ජනතාව වෙනුවෙන් සහන සැලසීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ පැරණි තරු රැසක් ඉදිරිපත් වුණා. සනත් ජයසූරිය, රොෂාන් මහානාම, චමින්ද වාස්, මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, ෆර්වීස් මහරුෆ් වැනි පැරණි ක්‍රීඩකයන් එලෙස කොරෝනා මර්ධන සටනට උපකාර කළේ ඔවුන්ගේ රසිකයන්ට අවශ්‍යම අවස්ථාවේ පිහිටට පැමිණෙමින්.

ජනතාවට සහනාධාර ලබාදුන් මහානාම සහ වාස් (Roshan Mahanama-Facebook page)

Related Articles