Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සොකරි එන්නී සබයෙන් අවසර ගන්නී

ඔබ ඕනෑම අයෙක් වේදිකා නාට්‍යයක් බලා ඇතුවාට සැක නැත. මෙරට ගැමි නාටක අතුරින් පැරණිතම ගැමි නාටකය ලෙස සැලකෙන්නේ සොකරි නාට්‍යය යි. මෙය උඩරට සම්ප්‍රදායට අයත් ගැමි නාටක විශේෂයකි. පළමුව මෙම සොකරි කතා පුවත කුමක්දැයි සොයා බලමු.

කසී රටේ ගුරුහාමි නැමති පුද්ගලයෙක් වාසය කරයි. ඔහු අවලස්සන පුද්ගලයෙකු වූ අතර මහළු යි. මොහු දුප්පත් නමුත් රූමත් තරුණියක විවාහ කර ගනියි. ඇගේ නම සොකරි ය. මැය ගුරුහාමිව විවාහ කර ගන්නේ ඔහු කුලවත් පෙළපතකින් පැවත එන නිසා ය. විවාහයෙන් පසු මෙම දෙපලට මිල මුදල් හිඟ වේ. වයස නිසා ගුරුහාමිට රැකියාවක් සොයාගැනීමට නොහැකියි. එහෙයින් ගුරුහාමි, සොකරි, සහ ඔවුන්ගේ සේවකයා වූ පරයා සමග ලංකාවට පැමිණෙයි.

සොකරි නාටකය ගමක රඟදක්වන අවස්ථාවක්. (thunpathrata.blogspot.com)

ලංකාවට පැමිණි පසු පළමුව ඔවුන් සිරිපා වන්දනාවේ යයි. ඉන්පසු හෙට්ටියා නම් පුද්ගලයාගෙන් ඉඩමක් මිල දී ගෙන, එහි පැලක් තනා වාසය කරයි. දිනක් බත් පිසීම සඳහා සහල් සොයා ගුරුහාමි ගමේ ඇවිද යයි. ඔහු සිංහල ද නොදන්නා බැවින් නොයෙකුත් කරදර වලට මුහුණ දේ. කෙසේ හෝ ඔහු සහල් සොයාගෙන නිවස වෙත එයි. දැන් බත් පිසීම සදහා වතුර නැත. වතුර සොයාගැනීම සදහා ගුරුහාමි නැවතත් නිවසින් පිටවී යයි. එහිදී බල්ලෙක් ගුරුහාමිව සපා කයි. බල්ලෙක් සපා කෑ නිසා හා වෙහෙස නිසා තම නිවස අසල දී ගුරුහාමි ඇද වැටෙයි.

ගුරුහාමි මියගියා යැයි සිතන පරයා, සොකරි සමග හාද වීමට තැත් කරයි. සොකරි ගමේ වෙදරාල වෙත ගොස් ඔහුව සුව කරන ලෙස අයදී. වෙදරාල ගුරුහාමිට ප්‍රතිකාර කිරීම අරඹයි. එහි දී වෙදරාලට සොකරි සමග හිතවත්කමක් ඇතිවේ. වෙදරාල සොකරිව තම නිවස වෙත කැඳවාගෙන යයි.

පරයා, සොකරි හා ගුරුහාමි. (rangahala.lk)

ගුරුහාමි සුව වූ පසු සොකරි නිවසින් පිට වී ඇති බව දැනගනියි. ඔහු සොකරි සොයාගැනීම සඳහා කතරගම දෙවියන්ට බාරයක් වේ. කතරගම දෙවියන් ගුරුහාමිට සොකරි සිටිනා තැන පෙන්වීමෙන් අනතුරුව ගුරුහාමි ඇයව නිවසට කැඳවාගෙන එයි. කලක් ගතවීමෙන් පසු සොකරිට දරුවෙක් ලැබෙයි. දරු සුරතල් බලමින් සොකරි ප්‍රේක්ෂකයන්ට සෙත් පතා කවි ගායනය කරයි (ප්‍රදේශයෙන් ප්‍රදේශයට මෙහි කතාව සුළු වශයෙන් වෙනස් විය හැක).

දමිළ ගැමි නාට්‍ය විශේෂයක් වන නාට්ටුකුත්තුව නම් නාට්‍ය ඇසුරින් සොකරි නිර්මාණය වන්නට ඇතැයි සැලකේ. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ “සිංහල ගැමි නාටකය” නම් කෘතියෙහි මෙසේ සදහන් වේ.

“සමහර මූලික ලක්ෂණ අතින් සොකරි නාටකය ද්‍රවිඩ නාට්ටුකුත්තුව අතර ඉතා කිට්ටු නෑ සබඳකමක් පවතින බව පෙනී යතත්, එයින් පෙනෙනුයේ සිංහල ගැමි සංස්කෘතිය කෙරෙහි පොදුවේ ද්‍රවිඩ සංස්කෘතිය විසින් හෙළන ලද අභාසය මිස සොකරි නාට්‍යය ද්‍රවිඩ නාට්ටුකුත්තුවට ණය ගැති වූ බවක් නම් නොවේ.”

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතා. (Wikipedia.org)

මෙම නාට්‍යයේ ප්‍රධාන චරිත ලෙස සොකරි, ගුරුහාමි, පරයා, වෙදරාල, ගමරාල, හා ගුරුන්නාන්සේ රඟ දක්වන අතර හෙට්ටියා, වඩුරාල, කොරවක් බණ්ඩා, හා කේලමා ආදීන් සෙසු චරිතයන් ද රඟපායි. ගුරුහාමිගේ සේවකයා වූ පරයා, පච්චමීර යනුවෙන් ද හඳුන්වයි. ඔහු වෙස් මුහුණක් පැළඳ රංගනයේ යෙදේ. ඔහු ගැන විස්තර කරන්නේ මෙසේ ය;

ඉතින් කියන්නේ තුන්වෙනි වරට   නටන්නේ
පරයා එන්නේ වටපිට නිතර       බලන්නේ
කට දොඩවන්නේ ගිය ගිය තැන්  පෙරළෙන්නේ
කොක්හඬ ලන්නේ සොකරිය දෙසයි බලන්නේ

සොකරි ගැන විස්තර කරන්නේ මෙසේ ය;

සොකරි එන්නී සබයෙන් අවසර   ගන්නී
නැටුම් නටන්නේ තාලෙට රාග කියන්   නී
පද අල්ලන්නී පියයුරු ළැම සොලවන්   නී
කැඩපත ගන්නී සුරතින් මූණ බලන්      නී

අඳුන් ගන්නී නෙත් දෙක ඔමරි     කරන්නී
මල් ගවසන්නී කොණ්ඩේ ගොතා  හෙළන්නී
තෝඩු දමන්නී පවලන් මාල          දමන්නී
සේල අඳින්නී පටකින් ඔමරි          දමන්නී

සොකරි නාට්‍යයේ දී අනූරූපනයෙන් චරිත නිරූපනය කරයි. “අනුරූපණය” යනු කවියෙන් විස්තර කරන දෙය රඟ පා පෙන්වීම යි. මෙහි දී කාන්තා චරිත ද රඟ දක්වනු ලබන්නේ පිරිමින් විසිනි. ඇතැම් චරිත සඳහා වෙස් මුහුණක් යොදා ගනියි. සමාන්‍යයෙන් සොකරි නාටකය රාත්‍රී හතක් නොකඩවා රඟ දැක්වේ. අතීතයේ දී ඇතැම් ප්‍රදේශ වල දිනක් හැර දිනක් වශයෙන් දින එකොළහක් පුරාවට සොකරි නාට්‍යය රඟ දැක්වූ බව සදහන් වේ. තවත් සමහර ප්‍රදේශවල මෙම නාට්‍යය පත්තිනි දේවියට උපහාරයක් වශයෙන් ද රඟ දැක්වේ. සොකරි නාට්‍යය රඟ දැක්වූ පසු පත්තිනි දේවියට බාරයක් ඔප්පු කිරීම සිරිත යි.

නාට්‍ය, නාඩගම්, කෝලම් ආදියට භාවිතා වන වෙස් මුහුණු. (Aniwa.lk)

සොකරි නාටකය සාමාන්‍යයෙන් රඟ දැක්වෙන්නේ අස්වනු නෙලා අවසන් වන කාලයේ දී යි. එම නිසා රංග භූමිය ලෙස කමත යොදා ගැනීම පැරැන්නන්ගේ සිරිත විය. රංග භූමිය මධ්‍යයේ වංගෙඩියක් තබා, ඒ මත ලන්තෑරුමක් තබ යි. එමගින් රංග භූමිය ආලෝකවත් කර ගනියි. සොකරි රඟන්නේ මේ වංගෙඩිය වටා ය.

මෙහි දී වාද්‍ය භාණ්ඩ ලෙස ගැට බෙරය, තාලම්පට, හා හොරණෑව යොදා ගනි යි. මහනුවර, මාතලේ, කුරුණෑගල, නුවරඑළිය, බදුල්ල, කෑගල්ල ආදී ප්‍රදේශවල සොකරි නාටකය මෙසේ රඟදැක්වේ. වර්තමානය වන විට සොකරි නාටකය වේදිකා නාට්‍යයක් ලෙසත් දිවයින පුරා ප්‍රදර්ශනය කෙරේ.

මූලාශ්‍රයයන්:

විජය, දිවයින පුවත්පත්
2) සිංහල ගැමි නාටකය – එදිරිවීර සරච්චන්ද්‍ර

-කවරයේ පින්තූරය – සොකරි වේදිකා නාට්‍යයේ දර්ශනයක්. (rangahala.lk)

Related Articles